
අශෝකයන් අරභයා බොහෝ පොතපත ලියැවී ඇතත් අශෝක නම් කවරෙක්ද? ඔහුගෙන් ඉටු වූ සේවය කුමක්ද? ඔහු ඉතිහාසගත වූයේ කවර හේතුවක් නිසා දැයි දැන ගනු පිණිස ආචාර්ය ගුරුගේ පොත්පත් රැසක් තුලනාත්මකව අධ්‍යයනය කර ඇති බව මේ මහා කෘතියෙන් මොනවට පැහැදිලි කරයි.
කුමරජිත්
මුනිසඳ සුමන සුරිඳුෙග ඇරියුම විසිනේ
සිරිපද තැබු සේක සමනළ ගිරි මුදුනේ
මගේ හද කළු ගලේ යළි නොමැකෙන ලෙසිනේ
කොහොමද මිහිඳු මිහිඳුගෙ සිරිපද එබුණේ
(සාගර පලන්සූරිය)
අද වැනි දිනක එනම් ක්‍රි.ව. 307 – 6 වර්ෂයෙහි දී මෞර්ය්‍ය වාංශික ධර්මාශෝක අධිරාජයාණන්ගේ පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් ධර්මදූත පිරිසක් මිහින්තලා කඳු මුදුනෙහි දී දේවානම්පියතිස්ස මහ රජුන් හමු වූයේ අද වගේ දවසක ය. පොසොන් පොහෝ දිනයක අප රටට බුදු දහම දායාදය කිරීමට මූලික වූ ධර්මාශෝක රජතුමා බෞද්ධ ජනතාවගේ සදා අනුස්මරණීය චරිතයකි. ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසන ප්‍රතිෂ්ඨාපනයෙන් 2300 වසර පිරීම නිමිති කොට ගෙන ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන ලද Asoka the Righteous-A Definitive Biography නමැති ග්‍රන්ථය නිකුත් කළේය. මේ කෘතිය 2005 වසරේ දී “ධර්මාශෝක සුනිශ්චිත ජීවන චරිතය” සිංහල භාෂාවෙන් ගොඩගේ ප්රකාශනයක් ලෙස නිකුත් විය.
මේ කෘතියට පාදකවූ ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ ලියූ ග්‍රන්ථය පිටු 750 ක් පුරා දිව යයි. ආචාර්ය ගුරුගේ “අශෝකයන් ගැන තවත් පොතක් ඇයි”? යන ප්‍රශ්නයට පිළිතුරු මේ කෘතියෙන් සපයා ඇත.
“අශෝකයන් ගැන, ඔහු කළ කී දේ නොයෙක් භාෂා මාධ්‍යයෙන් මෙතෙක් ලියැවී තිබෙන පත පොත එකක් දෙකක් නොවේ. මහත් රාශියකි. අශෝක සෙල් ලිපි මුලින් සොයා ගත් දේශ ගවේෂකයන් ලියා තැබූ සටහන් වලින් පටන් ගෙන එම සෙල්ලිපි කියවා තේරුම් ගැනීම හා පරිවර්තනය කිරීම දක්වා ද, එතැන් සිට ‘අශෝක’ යනු කවරෙක්දැයි නිසැක ලෙස හඳුනා ගැනීමේ හා අදාළ ශිලාලේඛන, පුරාවිද්‍යා ගවේෂණ, පුරාණ භාෂා මූලාශ්‍රය යන මෙම මාධ්‍යයන් ඇසුරෙන් සොයා ගත් නොයෙකුත් සාක්ෂි අන්‍යෝන්‍ය වශයෙන් ගලපා ලීමේ විවිධ ව්‍යායාමයන් දක්වා ද විසිරී පැතිරි ගිය එම ග්‍රන්ථ සම්භාරය නිසා ම මෙවන් කෘතියක් සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය කර්තව්‍යයක් වී යයි කීම පරස්පර විරෝධි ප්‍රකාශයන් සේ පෙනී යා හැකි වුවද සත්‍ය ද එය මැයි.”
අශෝකයන් අරභයා බොහෝ පොතපත ලියැවී ඇතත් අශෝක නම් කවරෙක්ද? ඔහුගෙන් ඉටු වූ සේවය කුමක්ද? ඔහු ඉතිහාසගත වූයේ කවර හේතුවක් නිසා දැයි දැන ගනු පිණිස ආචාර්ය ගුරුගේ පොත්පත් රැසක් තුළනාත්මකව අධ්‍යයනය කර ඇති බව මේ මහා කෘතියෙන් මොනවට පැහැදිලි කරයි.
සියලු ආගම් කෙරෙහි දැක් වූ සමානාත්මතා නිසා අශෝක බෞද්ධයන්ගේ අප්‍රසාදයට ලක්වන්නට ඇතැයි කර්න් (kern) පළ කළ මතය නිස්සාර ප්‍රලාපයකැයි බැහැර කළ හැකි බව ආචාර්ය ගුරුගේ මතයයි.
එයට හේතුව ලෙස දක්වා ඇත්තේ දහනම වන සියවසෙහි විසූ අවරදිගුවකු වූ ඒ ප්‍රඥයා එදා එසේ කීවේ සිය සමීප වට පිටාවෙන් ලද අත්දැකීම්, ඊට හාත්පසින් වෙනස් ආගමික හැදියාව ඇති පෙරදිග රටකට ද එලෙසින් ම ආරෝපණය කරන්නට පෙළඹුණු නිසා විය හැකි බව ද ඔහුගේ නිගමනයයි. එහෙත් ඊට සියවසක් තරම් පසු කලෙක දී රොමිලා තාපර් (Romila thapar – Asokan India and the Gupta Age, A cultural History of India) වැනි කෙනකු, අශෝකයන් බුදුසමය කෙරෙහි පක්ෂපාතී වූයේ දේශපාලන වාසි ගැනීමේ චේතනාව පෙරදැරි කර ගෙනයයි කියන විට නම් ඉවසා නිහඬව සිටීම අසීරු බව ද ඔහු පවසා ඇත. තවදුර මේ කෘතියෙන් අවරදිග උගතුන් කිහිප දෙනෙකුගේ දුර්මත බිඳ හෙළා ඇත.
“වින්සන්ට් ඒ. සුමිත් (Vincent A.smith – the Identity of piyadasi with Asoka maurya and some connected problems) තියුණු වාග්ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලාංකීක මුලාශ්‍රය ග්‍රන්ථ පරිභවයට ලක් කළේය.
මුල් මූලාශ්‍රය කෘති අවඥාවෙන් බැහැර කළ ඔහු කිය වූයේ අසම්පූර්ණ ද්විතීයික මූලාශ්‍රය කෘති පමණකි. ඒ බව ඔහු ම පිළිගත්තේය. එහෙයින් ම ඔහුගේ අගතිගාමී ප්‍රකාශවලට සමාව දිය හැකිය. එහෙත් ලාංකීක වංස කථාවල සඳහන් වන ධර්ම දූතයන් සියලු දෙනාගේම නම් සාංචියේ හා සොනාරියේ ස්තූපවලින් සොයා ගෙන ඇති දා කරඬුවල දක්නට නොලැබීමේ හේතුවෙන් එම වංසකථා විශ්වාස කළ නොහැකි යයි ඩී.ආර්. භණ්ඩකාර් (D.R. Bhanadrakar – Asoka and his mission, Buddhist studies) වැන්නකුට සමාව දිය හැකි ද?”
ආචාර්ය ගුරුගේ තම කෘතිය ලිවීමේ දී අපේ උගතුන්ගේ කෘති රාශියක් පරිශීලනය කර ඇත. වල්පොල රාහුල හිමි. වේරගොඩ අමරමෝලි හිමි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි, ගම්මැද්දේගොඩ පුඤඤසාර හිමි, ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය ගුණපාල මලලසේකර චාල්ස් ද සිල්වා, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, මහාචාර්ය ඇන්. ඒ. ජයවික්‍රම, ආචාර්ය පී.බී. සන්නස්ගල, මහාචාර්ය ඇම්. බී. ආරියපාල රැ. තෙන්නකෝන්, එල්. පී. ඇන්. පෙරේරා, සුමනසේකර බණ්ඩා, ආදී උගතුන් මෙන්ම ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න ලියූ “ධර්මාශෝක රජතුමා සහ බෞද්ධ ශිෂ්ටාචාරය” ගුණපාල සේනාධීර ලියූ “අසෝක සිරිත” ආචාර්ය අදිකාරම්ගේ ලියූ “අසෝක සිරිත සහ සෙල් ලිපි” කෘති ගැන එම කෘතියේ සඳහන් වෙයි.
ආචාර්ය ගුරුගේ කෘතියේ එන නිගමනය මෙසේය.
“අශෝක අධිරාජ්‍යයා විසින් මනුෂ්‍ය වර්ගයා වෙත කුමක් නම් දායාද කොට තබා ඇද්ද යන ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරමු. මේ අතින් අශෝකයන් විසින් ඉටු කරන ලද විශිෂ්ටතම මෙහෙය නම් බුදු සමයට අද පවත්නා ලෝක ආගමක තත්ත්වයෙන් හැඩ ගැසීමට අවශ්‍ය වාතාවරණය හා අනුග්‍රහය ද පහසුකම් ද සලසා දීමය. ඒ හැරුණු විට අශෝකයන්ගේම වදනින් සෙල් මත කොටවා සදා කාලය හිමි කොට තබවන ලද ඔහුගේ ක්‍රියා හා දෘෂ්ටිය නිරූපණය කෙරෙහි ලේඛන නිසා ඔවුනට මේ විසිවැනි සියවසේ දී අවංක පාලකයන් අතර අනුගම්‍ය ආදර්ශයක් වශයෙන් ද මනුෂ්‍ය වර්ගයාට කාරුණික පැවැත්ම පිළිබඳ ව පාඩම් කියා දෙන ගුරුවරයකු වශයෙන් ද නැවත පහළ වීමට වරම් ලැබී ඇත.”
ග්‍රන්ථය නිම කරන ආචාර්ය ගුරුගේ තම කෘතියේ විග්‍රහය අනුව කරුණු තුනකට එළඹෙයි.
1) අශෝකයන් තරමක් රළු පරළු සමාජයක ප්‍රශ්න දෙස මුහුකුරා ගිය නුවණින් හා අවබෝධයෙන් යුතුව බැලු ආකාරය අගය කොට සැලකූ මුල් කාලයේ උගතුන් අශෝකයන් ගත් දහම් මඟ ඉන්දියාවට ගැළපෙන්නකැයි මෙම ශත වර්ෂය ආරක්භයේ දී කල්පනා කළ නමුත් මනුෂ්‍ය වර්ගයට ඔවුන් දැක් වූ ආදර්ශය සකල ලෝකයට ම ගැළපෙන බව කල් නොයවා ම ඊළඟ පරපුර විසින් පිළිගනු ලැබිණ. එසේ ඉන්දීය උගතුන්ගේ ප්‍රතිචාරය එතරම් හිතවාදී නොවීය. දීර්ඝ කාලයක් තුළ විදේශාධිපත්‍යයට යටත් ව සිටීමෙන් විඳි අවමානය නිසා දෝ ඔවුහු, ඉන්දිය දේශය ජාතියක් වශයෙන් නැඟී සිටීමෙන් හා ලෝකධිපත්යයක් ලැබීමෙන් වළක්වාලීමට හේතු වන අන්දමින් ක්‍රියා කළ, ඊට නිසි සාර ධර්ම ව්‍යාප්ත කළ පුද්ගලයා වශයෙන් සලකා අශෝකයන්ට දඬුවම් කළහ. අශෝකයන් අනුගමනයට නිසි ආදර්ශයක් වශයෙන් නැවත ඉදිරියට ඒම පිළිබඳ ගෞරවය හිමි විය යුත්තේ මහත්මා ගාන්ධි තුමාට ජවහර්ලාල් නේරු තුමාට සහ අහිංසාව තුළින් ඉන්දියාවේ නිදහස් අරගලය මෙහෙය වූ ඔවුන්ගේ අනුගාමිකයන් ය.
2) මෙසේ ඉන්දීය දේශය නැවතත් වරක් අශෝකයන්ට ඇඟෑලුම්කම දක්වන්නට වූ පසු - ඉඳහිට නැඟුණු අවලාද බසක් නිසා සිත් දූෂ්‍ය වීමක් සිදු වූයේ වුවත් පිළිගත්හ. එම කරුණු දෙක මෙසේය.
පළමුවනුව, සාමය හා අහිංසාව , සත්‍යය හා සහනශීලීත්වය, කරුණාව හා පූර්ණ කැපවීම අගයමින් ඔහු දුන් පණිවුඩය සෑම දේශයකට ම යෑම කාලයකට ම උචිත වූවක් පමණක් නොව නූතන ලෝකයට නැති ව ම බැරි එකක් ද බවය.
දෙවනුව, යුද්ධය පිටු දැකීමෙන් හා ධර්මයට කැපවීමෙන් අශෝකයන් දැක් වූ ආදර්ශය ද, තම ධර්ම විජය ප්‍රතිපත්ති හා වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු ගත් ක්‍රියා මාර්ග ද, හේතු යුක්ති දක්වා අවවාද අනුශාසනා කිරීම සීමාකාරි නීති රීති පැනවීමට වඩා අගනා බවට ඔහු තුළ පැවැති පූර්ණ අවබෝධය ද සෑම කාලයකටම සෑම දේශයකට ම ඔබිනා කරුණු බව ය.
3)අශෝක අධිරාජ්‍යයාගේ ඇවෑමෙන් අධිරාජ්‍යය බිඳ වැටී, ඔහුගේ ම නිජ විම තුළ ඔහු සහස් වසරකටත් වැඩි කාලයක් ගරු බුහුමනකට අහිමි ව මතකයෙනුදු ගිලිහී යෑම කෙසේ සිදු වූයේ වුවද, ඔහුගේ දෘෂ්ටිය ද මානව ශිෂ්ටාචාරය පවත්නා තාක් පරපුරෙන් පරපුර මනුෂ්‍ය වර්ගයාට ආභාෂයක් වනු ඇත.
අශෝක අධිරාජ්‍යයාගේ ම ප්‍රාර්ථනය වූයේ ද මෙකී සෑම දෙයක් ම ඔහුගේ පුත්‍ර පෞත්රයන්, මී මුනුබුරන් වෙසෙන තාක් කල්, නොහොත් ඉර හඳ පවත්නා තාක් කල් පවතීවා යනුයි. එම ප්‍රාර්ථනය ඉදිරි කාලයේදී වුවත් ඉෂ්ට සිද්ධ වන්නට අවකාශ නැත්තේ නොවේ. මක් නිසා ද යත් මානව වර්ගයාට නැවත කවදාවත් ඔහු අමතක කර දමන්නට නුපුළුවන් වන බැවිනි.
ප්‍රචණ්ඩ ක්‍රියා හා අවි ගැටුම්, ආධානගාහී අසහනශීලී ආකල්ප, සීමාන්තික තෘෂ්ණාව ක්‍රියා හා අවි ගැටුම්, ආධානගාහී අසහනශීලී ආකල්ප, සීමාන්තික තෘෂ්ණාව හා මන්දෝක්සාහය, වගකීමකින් තොරව සිදු කෙරෙන ජෛවගෝලීය විනාශය ආදී අනන්ත හිරිහැර පීඩාවලින් මිදීමට ඉතිහාසයෙන් යම් ආභාසයක් ලැබිය වූ කල්හි මානව වර්ගයාට ඔහු නොසලකා සිටීමට නම් නුපුළුවන් වේ මැයි.
අාචාර්ය ආනන්ද ගුරුගේ විසින් ඉංග්‍රීසි බසින් රචිත “ධර්මාශෝක සුනිශිචිත ජීවන චරිතය” කෘතිය සිංහලට අනුවාදය කොට ඇත්තේ ජිනසෝම වීරසූරිය, ජයතිස්ස අබේකෝන් සහ නිශ්ශංස ජයසේන විසිනි.
ශ්‍රී ලංකාවේ සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වශයෙන් තනතුරු හෙබවූ ආචාර්ය ගුරුගේ විශ්වවිද්‍යාලයක සංස්කෘත හා වාග් විද්‍යා අංශයේ අධිපති ලෙස ද නිව්යෝක් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස ද යුනෙස්කෝ මූලස්ථානයේ ශ්‍රී ලංකා නිත්‍ය තානාපති ධූරය ද දැරුවේය. අභාවප්‍රාප්ත ආචාර්ය ගුරුගේ විසින් සිංහල, ඉංග්‍රීසි දෙබසින් ලියූ ග්‍රන්ථ රැස අතර සිංහල සාහිත්‍ය ප්‍රවේශය, සිංහලය හා සංස්කෘතිය, පුරාණ සංස්කෘතිය, සංස්කෘත කාව්‍යය හා නාටකය, දඹදිව බෞද්ධ කලාව, The society of the Ramayana, Facets of Buddhism, Anagarika Dharmpala, ආදී කෘති කැපී පෙනෙයි.
1994 වසරේ ආචාර්ය ගුරුගේ විසින් සැකැසූ “විසිවස් විසිතුනක හෙළ බොදු හැදියාව” කෘතිය මේ පොසොන් පොහෝ දා හැම බෞද්ධයකුම කියවිය යුතු අගනා ග්රන්ථයකි. එය අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලක පා තැබූ මොහොතේ සිට බුදු සසුන හා ඒ හා සබැඳි විශිෂ්ට සංස්කෘතික දායාදය රැක ගැනීමට අත දුන් හැම ලක් වැසියෙකුට ම උපහාරයක් ලෙස මෙම ග්‍රන්ථය ප්රකාශනයට පත් කර ඇත. එවකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එඩ්මන්ඩ් ජයසූරිය මහතා හා එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා මෙම කෘතිය පාඨකයන් අතට පත් කිරීමට විශාල වැඩ කොටසක් කර ඇති බව පැවසේ. මේ පිළිබඳව ආචාර්ය ගුරුගේ මහතා මේ කෘතිය ගැන මේසේ පවසා තිබුණි.
“මෞර්ය වාංශික ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් මෙහි බට ධර්මදූත පිරිස මිහින්තලා කඳු මුදුනෙහි දී ශ්‍රී ලංකාධිපති දේවානම්පිය තිස්ස මහ රජුන් හමු වූයේ පොසොන් පුණු පොහෝ දිනක දීය. එම අධිරාජ්‍යයාණන්ගේ දියණිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් ද රැගෙන මෙහි පැමිණ භික්ෂුණි ශාසනය පිහිටුවන ලද්දේ ඉන් වසරකට පසුය. ඒ ශ්‍රේෂ්ඨතම ශාසනික නායකයන් දෙනම ගේ අප්‍රතිහත ධෛර්යෙන් ඇරඹුණු අසහාය ශාසනික සාමාජික හා සාංස්කෘත සංවර්ධනයෙහි ඉතිහාසය නොකඩවා සවිස්තරව පවතී.”
අද වැනි පොසොන් පොහෝ දිනයක අද ජීවතුන් අතර නැති මෙරට සිටි විශිෂ්ටතම පඬිවරයෙකු වූ ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ සූරීන්ගේ උදාර සේවාව අපේ මතකය එක් වෙයි.
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්