අත­රමං වූ දරුවා | Page 2 | සිළුමිණ

අත­රමං වූ දරුවා

ඒ සරත් උත්සව සමයයි. විසිතුරු ඇඳුම්-ආයිත්තමින් සැරසුණු ප්‍රීතියෙන් උද්දාම වූ ළමයි-ළපටි මෙන්ම වැඩිහිටි පිරිස්ද වීථි කරා අදෙන්නට වූහ. අහස් තලය මැද්දට හිරු නැ‍ඟෙන්නට, නැ‍ඟෙන්නට මුළු නගරයම එකම හිස් ගොඩක් සේ පෙනිණි. සමහරු ඇවිද්දහ. සමහරු අශ්වයන් පිට නැඟී ගියහ. තවත් සමහරු ගොන් බැඳි කරත්ත පිට ගමන් ගත්හ. මේ සෙනග අතර උන් දරුවෙක් තම දෙමවුපියන්ගේ ග්‍රහණයෙන් මිදී ඉදිරියට දිව ආවේය. නවෝදයත් සමඟම අතුපතර පැන දුවන කුරුල්ලකු මෙන් පිටාර ගලන සතුටින් යුතුව නැවතත් ඔහු තම අම්මා ළඟට දිව ගියේය; නැවතත් මිදී පැන යන්නට තැත් දැරුවේය.

“අනේ අම්මා අතාරින්න මට දුවන්න...” ඔහු ඇයට ආයාචනා කළේය. මඟ දෙපස ඇති සෙල්ලම් බඩු කඩ වෙත ඔහුගේ දඟකාර දෙනෙත් ඇදී ගියේය.

“අම්මා අර... පුංචි අස්සයා අරන් දෙන්න...” ඔහු අම්මාගේ මුහුණ දෙස අනුකම්පාසහගත බැල්මක් හෙළීය.

“අම්මේ... අර බලන්නකෝ කොච්චර ලස්සනද කියලා!”

“ඔව් පුතා, මං දැක්කා. අපි ඊටත් වඩා පුංචි අස්සයෙක් ලැබුණාම ගනිමුකො. ලොකු එවුන් හුඟාක් ගණන් ඇති.”

“අනේ අම්මා...”

ඔවුහු තවත් වීථියක් දෙසට හැරී ගමන් ගත්හ. එහි වූයේ රෙදිපිළි හා ඇඳුම්-ආයිත්ම් ප්‍රදර්ශනය පිණිස තැබූ කඩ පේළි නිසා එය දරුවාගේ සිත් නොගත්තේය. ඒත් එය ඔහුගේ අම්මාගේ සිත් ගත් වීථියක් විය. ඇය ඒවායේ එල්ලා තිබුණු නානා මාදිලියේ සාරි වර්ග තම සැමියාට පෙන්නුවාය.

ගමන් වෙහෙස නිවාගන්නට ඔවුහු පුංචි මල් වත්තකට ඇතුළු වූහ. සෙවණැති ගසක් මුල අම්මාත්, තාත්තාත් හිඳගත් සැණින්, දරුවා සිහිල් සුළඟ විඳිමින් එහාට මෙහාට දිවුවේය. මඳ පවනේ රිද්මයානුකූලව පැද්දෙන මලක් මත පැණි උරන සමනලයෙකි. ඔහු කෝටු කැබැල්ලක් ගෙන ඒ දෙසට විසි කළ විට ඌ කලබල වී පියඹා ගියේය. දරුවා ඌ පසුපස එළෙවුවේය. ඔහුට ළඟා වන්නට අපහසු මල් ගොමුවක් වෙත සමනලයා පියෑඹීය. දරුවා වදුල තුළට රිංගීමට උත්සාහ කළද අපහසු විය. ඔහුගේ හිංසාවෙන් කෝප වූ මී මැස්සෙක් ඔහු ලුහුබඳින්නට විය. දෙවරක් හිස වටා කැරකුණු මී මැස්සා ඔහු අතැර ඉවත ඇදුණේය. ඔහු ගීයක් ගයමින් අත්පුඩි ගැසුවේය; දුව ගොස් හදිසියේ නැවතුණේය; කැරකී බිම වැටුණේය; නැවත නැවත වටයක් දිවුවේය.

“ළමයා! මෙන්න මෙහාට එන්න. ඔය පැත්තේ සත්තු ඇති...” අම්මා උස්හඩින් කතා කළාය.

“අම්මා... බලන්න අර සමනලයාගේ පිහාටුවල ලස්සන!”

“අපි යනවා යන්න.” ඔවුහු උන් තැනින් නැඟිට ගමන් ගත්හ.

ඔහු මඳ දුරක් අම්මාගේ අතේ එල්ලී ගොස් කුරුමිණි රංචුවක් දැක නැවතුණේය. උදෑසන අවු රැස් තැපීමට තම ගුල්වලින් එළියට ආ කුරුමිණියන් හා පණුවන් බලමින් ඔහු මඳ වේලාවක් එතැන රැඳිණි.

“එන්න පුතා එන්න! මොනවා කරනවාද නැවති-නැවති?” ඔහු එම අණට කීකරුව දුව ගොස් අම්මාගේ අතේ එල්ලුණේය.

නිල් දියත්තක් දැක ඔවුහු පාවහන් ගලවා පා සේදූහ.

කලබල වූ මාළු රංචුවක් හිස් ලූ ලූ අත විසිරුණහ. අවුරශ්මිය වැටී දිදුලමින් තිබුණු ජල කඳ කැලැත්තී මඩ වී ගියෙන් උන් රංචුව කොහේ ගියාදැයි නොපෙනිණි. දිය පාර අසල වූ ගසකින් වැටුණු මලක් ඒ මතට වැටී කැරකෙමින් විත් ඔවුන් පසු කොට පහළට ඇදවැටුණේය. ගල් කැටයක් ගත් දරුවා ඊට දමාගැසීය. මල දිය යටට කිඳාබැස්සේය.

“අම්මේ... අර පරෙයි රංචුවක්!” ඔහු තම දෑත් අහසට යොමු කළේය; මඳ දුරක් දුවගොස් නැවතුණේය.

“මට පරෙයියෙක් ඉන්නවා නම්...” ඔහු අම්මාට කීය.

ඔවුහු නැවතත් වීථියට එක් වූහ. “බොම්බයි ‍මුටායි, බොම්බයි මුාටයි..” බොම්බයි මුටයිකාරයෙක් පුංචි සීනුවක් නාද කළේය. ඔහු තල්ලු කරගෙන ආ කුඩා කරත්තයේ තවත් නොයෙකුත් රස කැවිලි තිබිණි. දරුවාගේ කටට කෙළ ඉනුවේය.

“අම්මේ... අර රතු පාට මස්කට්!” ඔහු අම්මා දෙස බැලීය. තමා හරි කෑදර ළමයෙක් කියා අම්මා සිතන්නට පුළුවනියි ඔහුට අනෙක් අතට සිතිණි. හෙතෙම නිශ්ශබ්දව ඉදිරියට ගියේය.

ඉන් ඔබ්බෙහි මල්මාලා විකුණන්නෙකි. පාට පාට හා නොයෙකුත් සුවඳ වහනය වූ පුෂ්පයෝ ඒ අතර වූහ. ඒවායින් විහිදුණු සුවඳින් අවට වාතය පිරීගත්තේය. ඔහුගේ සිත පමණක් නොව, දෙපාද ඒ දෙසට ඇදී ගියේය.

“මල් මාලයකින් පුතාට ඇති වැඩේ මොකටද කියලා අම්මා අහවි.”

ඔහු එයද අමතක කොට ඉදිරියට ඇදුණේය. හිස වටා ජටාවක් පැලඳි වෛවර්ණ සරමක් ඇඳගත් තවත් තැනැත්තෙක් උස් රිටක බැලුන් බෝල කීපයක් ගැටගසාගෙන සිටියේය. කහ පාට, රතු පාට, කොළ පාට, නිල් පාට බැලුන් බෝල සුළ‍ඟේ එහාටත් මෙහාටත් පැද්දෙමින් තිබිණි.

දේදුන්නක පැහැ ගත් ඒ බැලුන් බෝල දුටු ඔහු‍ගේ සිත ප්‍රබෝධවත් විය. වචනයෙන් විස්තර කිරීමට අපහසු ප්‍රීතියකින් වෙළීගිය ඔහුට ඒ බැලුන් බෝල සියල්ල ඇත් නම් හොඳ නේදැයි සිතිණි. එහෙත් බැලුන් ‍බෝල ඉල්ලුවොත් ඒවා සමඟ සෙල්ලම් කිරීමට තමා ‍පොඩි එකෙක් නොවේයැයි අම්මා සිතන්න පුළුවනි. ඔහු ඒ සිතිවිල්ල යටපත් කරගෙන ඉදිරියට ගියේය.

ඉන් ඔබ්බෙහි බට නළාවක් පිඹිමින් උන් නයි නටවන්නෙකි. දිය යටින් මතු වන හංසයකු මෙන් වට්ටිය තුළ වූ නයා පෙණය පුප්පමින් එළියට විත් නටන්න පටන් ගත්තේය. ඔහුට වඩාත් කිට්ටු වී එය නරඹන්න සිතුණද අම්මා එපා කියන නිසා එතැන මඳක් රැඳී සිට තවත් ඉදිරියට පියමං කළේය.

ඊළඟට ලී අශ්වයන්, තාරාවුන්, අලි පැටවුන් මත නැඟි මිනිසුන් රැගත් මෙරිගෝ රවුන්ඩ්-එකකි. වේගයෙන් භ්‍රමණය වන එය කොයි මොහොතේ නවතීදැයි කිව නොහැකි ය. උස් හඬින් කෙරෙන වාදනය කන් බිහිරි කරවන තරම් විය. ඔහු ශබ්ද නඟා සිනා‍ සුණේය. ඉහළටත් පහළටත් පැද්දෙන ඔන්චිල්ලාවක් හැරෙන්නට වටේට වේගයෙන් කරකැවෙන මෙවැන්නක් ඔහු මෙතෙක් දැක නැත. තමාද රැගෙන කැරකෙන බවක් ඔහුට මඳ වේලාවකින් දැනිණි. ඔහු ඇඟිල්ලක් කටේ රුවාගෙන “මේකෙ නම් නැඟිලා කොහොම හරි යන්න ඕනෑ. අනේ අම්මා, හොඳ අම්ම නේ... නැවැත්තුවාම මා නග්ගන්න හො‍ඳේ...” ඊට උත්තරයක් නැත.

“අනේ අම්මා කියන්නකො... මේකෙ මා පද්දනවා නේද කියලා...” ඔහු නොයිවසිලිමත්ව විචාළේය. ඊටද උත්තරයක් නැත. ඔහු පිටුපස බැලුවේය. අම්මාත්, තාත්තාත් පෙනෙන්නට නැත. ඉදිරිපස සෙවුවේය. වම් පස හා දකුණු පස සෙවීය. අම්මා හෝ තාත්තා හෝ පෙනෙන්නට නැත. ඒ තබා ඔවුන්ගේ ලකුණක්වත් නොමැත.

කලබල වී ඔහු “අම්මේ, තාත්තේ...” යි මහ හඬින් බෙරිහන් දිනි. උණු කඳුළු බිඳු ඔහුගේ දෙනෙත් තුළින් රූරා ඇද හැලිණි. ඔහු හඬමින්, වැලපෙමින් එහාටත් මෙහාටත් දිවු‍වේය. ඩහදිය බිඳුවලින් ඔහුගේ ඇඳුම් තෙත් විය. ඔහු සෙනග පීරමින් දිවුවේය. දෙකකුල් පැටලී ඔහු ඇදවැටිණි. නැවත නැඟිට්ටේය. කථා කරන්නට අපහසු පරිදි යමක් උගුරේ හිර වී ඇති සෙයක් ඔහුට දැනිණි. ඔහු තම බෙල්ල අත ගා බැලුවේය. “අම්මා.. මගේ අම්මා... තාත්තා...” යි බෙරිහන් දුන්නේය.

කෝවිලක් වෙත ඇදෙන සෙනග අතරට ඔහු එක් වුණේය. පෝලිම කඩමින් තැන් තැන්වලින් මතු වෙමින් ඉදිරියට දිවුවේය.

“අම්මා... තාත්තා..” කෝවිලේ දොර අබියසට පැමිණි ඔහු කෑගෑවේය. සෙනග අතුරින් ඉදිරියට ආවෙක් ඔහු ඔසවන්නට තැත් කළද, දරුවා ඊට ඉඩ නොදුන්නේය.

“ළමයා උඹ කවුද? කියපං මෙතෙන්ට ආවෙ කොහොමද කියලා?” ඔහු විමසුවේය.

“මගේ අම්මා නෑ.. තාත්තා නෑ...” කඳුළු අතරින් ආයාචනා කළේය.

ඒ තැනැත්තා දරුවා රැගෙන මෙරීගෝ රවුම වෙත ගියේය.

“කියපං උඹ කැමැතිද කියලා මේ ලස්සන අස්සයෙක් පිට යන්න?”

“බැහැ! මට එපා. මගේ අම්මා කෝ?” ඔහුගේ හැඬුම නවතන සෙයක් නැත. ඔහු ඉකිබිඳිමින් ඇඬුවේය.

“එහෙනම් මේ නයා නටවනවා බලන් ඉන්න ආසද?”

“එපා. මට මගේ අම්මා ඕනෑ...”

“අපි යමු ඉස්සරහට බලන්න අර සින්දු කොච්චර ලස්සනද කියලා. මේ බැලුන් බෝලයක් පුතාට අරන් දෙන්නද?”

“එපා. මට අම්ම ඕනෑ. කෝ මගේ තාත්තා?”

“අපි යමු තව ඉස්සරහට බලන්න. මේ මල් මාලයක් අරන් දෙන්නම්. ඔය ඇඬිල්ල නවත්තපන්.”

“මට එපා. මගේ අම්මා ඕනෑ. මගේ තාත්තා ඕනෑ.” ඔහු හැඬීමේ වේගය වැඩි කළේය.

“මේ බොම්බයි මුටයි? මේ තලබෝල?”

“එපා! එපා! මට අම්මා හොයලා දෙන්න!”

“අර බලන්න ආකාසෙ, කොච්චර ලස්සන පරෙයි රංචුවක්ද කියලා.”

“මට බැහැ! කෝ මගේ අම්මා? අම්මේ, තාත්තේ...”

ඔහු මහහඬින් බෙරිහන් දෙමින්, ඔහුගෙන් ගැලවී ඉදිරියට දිවුවේය.

මුල්ක් රාජ් ආනන්ද්ගේ (1905-2004) The Host Child කෙටිකතාවේ අනුවර්තනය - ආචාර්ය සඳුන් විජේසිරි

Comments