
ප්‍රිය ළඳ
රං කඳ සුරබි දෙන පරදා මිණි පහන
පුන්සඳ පරදනා ලස්සන සුදු මුහුණ
පිං කඳ වගේ බබළනවා සැමදාම
ඔබ ළඳ නොමැති දා මා මියගිය වැනිය
දුටුවම සිනාරැලි ගත සිත විකසිත වෙනවා
දුටුවම නෙත් අඟින් බලනව සිත කැලඹෙනවා
දුටුවම ඇත් ගමන නුඹෙ මා සිත සනසනවා
ඔබ ලැබුණොතින් මා ලොව රජ වෙනවා
එම්. ජී. සරත්මධු
කල් එළඹ
සරුව පිත්තල
රේස රන් කුඩු
බැලුම් රතු කහ
දැවෙන දුම් වැටි..
ඒය හෙට
කද මලු කැවිලි ගෙන...
මැලවේද වත්
පිබිදේද නෙත්..
තැන තැන දොඩන
කන බොන ගයන...
ඥාති මිතුරනි
පලා යනු මැන...
ඉතිං අවසර
රුහිරු දැක්මට...
දඹේගොඩ ජිනදාස
වෙන් වීම
කෝවක ලෑ පරිදි ඉතිරුණ බසය තුළ
දිය කොට ගතේ සවි බැස යයි තුසර වැල
දෙබැමෙහි අඳුන් තවරා මඳ සිසිල කළ
දිස් විය රුවන් පිබිදුණු සේ කරඹ මල
රොන පිරි සුවඳ මුහු කර ගත් තිසර යුග
නිසලව කියයි කිරි කඳුළක් නොමැති වග
අඩ බැල්මක කැලුම් දිදුලන නයන අග
හමු වුණ කෙම්බිමකි යන මේ ගමන දිග
දසතෙහි පැතිර ගිය සසලන ගතිය බිඳ
දෙසවන සනහලයි නැඟි හස ලවන මැද
හදවත් තුළ එබුණු දුක් කම්කටුලු සිඳ
පායා තිබේ එක මොහොතක ඇසළ සඳ
මිග පොව්වන් පරිදි එහෙ-මෙහෙ සැරිසරන
ඉතිරෙයි වතේ අවිහිංසකකම පිරුණ
මනසෙහි නටද්දී හැඟුමන් සුව වරණ
අප ගෙන ගියා වෙත තුටු චන්දන අරණ
ගිලගෙන අමාවක පැතිරී ගිය අලුව
පුරවාලීය හදවත දුකඳුර රළුව
ගැබ්බර රියෙන් බැස ගිය සඳ සඳ පළුව
ගොලුවුනි මගේ සිතුවිලි රිදුමක වෙළුව
දඹගල්ලේ කේ.බී. රත්නායක
පිපේ
තවමත්
ගියත් අවුරුදු
බර ගණන්
මෙහෙම ගෙවිලා..
ගහේ අරලිය
පිපේ තවමත්
ඉලක්කන් නොබලා...
හිටිය නම් නුඹ
වා කෙක්ක බැඳ
මුදුනටම නැඟලා..
අත්ත අග මල්
වුණත් මෙලහට
නිවන් පුර දැකලා
ශාන් දිසානායක
තඹුත්තේගමදී
එදා ගම්දොර උපන් තඹපත්
ස්වර්ණමාලී, ගැබට පිදුවා
තඹ උපන් ගම ‘තඹුත්තේගම’
දුටුගැමුණු රජු නමක් බැන්දා...
වීර වදුලෙන් වීර වදුලට
තඹුත්තේගම ජලය පිරුණා
ගම්දොරින් ගම්දොරට වැව් බැඳ
වියළි රජ රට සාර වූවා...
නඟුල කැත්තට රිදුම් දෙන විට
අතේ කර ගැට වියැට වූවා
පොරණ රජ දා පටන් රජරට
වැව් පිරී බත බුලත සැදුණා...
පොරණ වෑකඳු පුපුරවා හැර
කඩිනමින් මහවැලිය ආවා
නීල වනපෙත් උගුල්ලා දා
මහවැලිය මහ කුඹුරු තැනුවා...
පුරුදු ගොවිතැන් ඉවත දමමින්
වස-විසට හුරු පුරුදු වූවා
ගිලන් වී වකුගඩුත් ලෙඩ දුක්
බොන්න දිය නැති තැනට වැටුණා...
තඹුත්තේගම වැවෙන් දියගෙන
ජීවිතය ගැට ගසා ගත්තා
ඇවිත් කොම්පැනි ලාභ ඉව කර
ඒ වතුර ටික උදුරගත්තා...
වැවේ දියවර උරුම පරපුර
මහපාරෙ මොර දෙන්න ගත්තා
වතුර වෙනුවට රුහිරු වැගිරී
මහපාර ‘තඹ පැහැය’ ගත්තා...
මහින්ද කුමාර දළුපොත
සොඳුර බව
නැති විටෙක...
සඳේ සුදු රැස් කිරණ ගෙනා මුව මී විතයි
සිනා මුතු දැල් මැදින් කී කතා ගී පොතයි
සෙනේ රන් රසු දැලින් ඔප දැමූ මාවතයි
මගේ විජිතය ඔබයි, ඔබේ මුදු හදවතයි
කවියකින් ගීයකින් සිතුවමින් ඔප ගැනී
ළබැඳි මිතු මල් ගොමුවෙ පෙම් මලක් පිදුණී
නුදුටු මල් පපි උයනෙ බමර මුව ඉව දැනී
මෙවන් එක් වසන්තෙක අපේ නෙත් හමු වුණී
හිත නිවයි ගත නිවයි දෝර යන සෙනෙහසින්
ලොවම මා ළඟය ඔබ හෙළන බැල්මක ඇසින්
සවනතට ළං වෙලා කියන කවියක රසින්
ගඳඹ තනු තව මොටද නුදුටු තුසිතෙක බසින්
අඹ මලින් දොඹ මලින් පරිසරය විසිතුරුයි
මියැසි ගී කොවුලු තනු ගෙනෙන ගී නිරතුරුයි
සත් රුවන් විජිතයක සියලු මං පියකරුයි
කුමකටද මේ අසිරි, සොඳුර ඔබ 6එනතුරුයි
බුලත්සිංහල සිරි පතිරගේ
කන්තලේ
වැව් බැම්මේදී
ගොම්මන් කළුවර
පාවි පාවී
කැටි වී පැතිරී
වැව් දිය කඳ
වසා ගලන විට
සුදු කොක් රෑනක්
තටු විදහාලා
රාත්‍රී අහර ගෙන
කූඩු සොයා එයි
අඳුර කපාගෙන
එස්. කේ. ජයවර්ධන
රුව
කරඹ මල සේ දිදුල මුදු වත
සුවඳ සිහිනෙන් විත් සිපී
නිසල මැදියම සොඳුරු සිතුවිලි
බුබුළු නංවයි හද පිපී..
නෙතට නොවැටුණු ලොවක නැවතුණු
මුවා වී ඉර-හඳ තැවේ
මතක රොන් ගෙන පවන් රැලි පැන
ළයෙහි දැවටී දේ සුවේ..
සුමුදු කුසුමක පෙති තැළී ගොස්
අඳුරු පෙම් ලොව ඉකිබිඳී
මිලින වී ගිය මගේ සෙනෙහස
ඔබේ රුව සොයමින් ඉඳී..
කේ. බී. රත්නායක
දහම
තෝරන්න
හදවතට
ගඩ ගඩ ගාන
සමථය හැර
අර්ථ පූර්ණ
ගරුත්වය
අනවරත
යෙදුම
ස්ථිරය
දෙවනුව
යැදුම
වේනුක භාරත ධර්මරත්ත
දුක සොයා යෑම
අසා බැලුවෙමි; සොයා බැලුවෙමි
දුක උපන්නේ කොහිද කියලා
කිසිවකුත් නොදන්නේ - කිසිවකුත් නොකියනා
තැන - කොතැන මම සොයමි; තවමත්
පපුකුහර ඇතුළතින් එන
රිදුම සමඟම මම
තවමත් සොයමි දුකෙහි උපත ගැන
හිමි - අහිමි දේ ගැන
කම්පා නොවී සිටින්නට
තවම බැරි වුණේ මට
පුහුදුන් මිනිස් දුවක වීම නිසාය
දුක සොයනවට වැඩිපුර
සතුට සොයමින් හිඳිමි මම
ලැබෙන දේ පිළිගනිමින්
මම දුක අතැර සිටිනෙමි
කමලා ධර්මලතා ජයසූරිය
කොවුලාගේ පණිවිඩය
හැම වසරකම බක්මහ එලඹෙන වේලේ
සතුටින් අමුනමින් රසබර කවි මාලේ
සත් සමුදුරක් පසු කර බැඳගෙන ආලේ
ආවෙමි මෙදත් වැජඹෙන්නට ලක් දෑලේ
ලක් මවු තුරුලෙ සැනසෙන්නට තැනක් බලා
වෙහෙසී සොයා බැලුවෙමි නෙත් පියන් සලා
සොබාදහම හැම තැනක ම වෙනස් වෙලා
ගහකොළ නැතිව බිම විතරක් ඉතිරි වෙලා
තිරිසන් සතුන් වෙත ඉතිරිව තිබුණු කැලේ
වනසා දමනවලු පාටින් අයුතු බලේ
නොපනත් පනත්කම් මේ විදිහකින් කළේ
වන දෙවියනුත් වැටිලද අල්ලසට දැලේ
කපුටෝ ගිහින් හතරේ දුම් කවුළු සොයා
යන්තම් වහන් වෙනවලු දුක සෙමෙන් ගයා
උන්ගේ කූඩු නැත සෙවුමට කොහෙද කියා
බිජු බර මුදා නොහැර ම කෙවිලියොත් ගයා
ඉන්නට තැනක් නැති හන්දා පැටව් කියා
මින් පසු වෙන්නෙ යන්ටයි වෙන රටක් සොයා
පෙරදා පටන් අපි අවුරුදු ගීත ගයා
හිටි හැටි මතක් වී නෙතු කඳුළකුත් ගියා
උතුරු ලොවේ සීතල වැඩි වන දාට
දකුණු ලොවයි පිළියම පුරුදුයි ඊට
රූප පෙට්ටියේ කොවුලෝ සිටියාට
මිහිරි තාල නැත උන් ඔහෙ හැඬුවාට
සුන්දර මෙවන් බිමකට සිත ඇලුම් කියා
පරපුර පුරුදු විදිහට පෙර ඇවිත් ගියා
ගස්වැල් කොන්කිරිට් වනයෙන් වැසී ගියා
බය හිතෙනවා සහරාවක් වෙයිද කියා
සෝමරත්න හරස්ගම
හිනාවක් නැත...
හුඟක් දරනා වේදනාවන්
රැයේ අහසටම ගුළි කර
සඳක් තනි වී බලා සිටියා
සිනා සෙන්නට දවස් ගැන-ගැන
ශ්‍යාමා රනපති
කතා නැති
සිනා නැති වුවන
නොබලාම යන ගමන් දුර ඈත
රැගෙන ඒ මතක දමා ඔලොගුවක
දෝතින් ගෙන පෙර දාක වැලඳගත්..
රැඳි සුවඳ හා උරහිස් කොනක
සිහිනයක ගෑ සුවඳ සේ මතක
මැකී ගිය දඩමං විලස අමතකව ගිය
මතකයේ ගැඹුරුම තැන අද ඒ සුවඳ ..
මාවතේ ඇවිද යන මිනිස් රුවක
ඒ රුවම සැඟවෙලා පාව යත
දිය කරන්නට හැදු මතක පෙරට පැන
ඒ මතක සිඹී හිඳ හදවත් පතුල
චම්මින්ද වෙලගෙදර
පැළෑටි හා ගස්වැල්
ගසක් වුණත් අපි හැදෙන්නේ පරිසරයේමයි
වැලක් වුණත් අපි හැදෙන්නේ පරිසරයේමයි
පැළෑටි වන අපි ඉන්නෙත් පරිසරයේමයි
අපි හැමෝම එකමුතු වී හොඳින් ඉන්නවයි
මට හැදෙන්න ලොකුම ඉඩක් ඕනෑ වෙනවා
පුංචි ඉඩක් තිබෙන තැනක අපිත් හැදෙනවා
කෙලින් ඉන්න මට හයියක් ඕනෑ වෙනවා
ඒක නිසා හැමතිස්සෙම ගහක එතෙනවා
අපි හැමෝම එකතු වෙලා කෑම ගෙනෙනවා
අපි හැමෝම එකතු වෙලා ජලය රකිනවා
සමහර අය අපව මුලින් කපා දානවා
පෑවිල්ලට වතුර නැතුව ඔබ ළතවෙනවා
අපි රැක දෙන්න සැවොම අපි රැකදෙන්න
එපා කපන්න අපිව එපා මරන්න
පරිසරයම අලංකාරවත් කරගන්න
අපි රැක ගන්න ආදරය කරන්න
ශ්‍රීමතී කුමුදුනී
එතෙර කවිය
වැසුණු දොරවල් Closed Doors
වැසුණු දොරවල්,
වෙසෙසින් ම මුරිච්චි ඇණ යොදා
වසා ඇති කල
පිළිකෙව් කරනු කිම? - අන් තැනකට යෑම
තට්ටු කරමින් ඉනුයෙ කුමට? ඒ දොරට ම
රැඳී ඇති සේ ඔබේ ඊළඟ හුස්ම
පිළිතුරු දෙන කෙනකු මත
දොර හරින කෙනකු මත...
හේතුවකට ය එය වැසී තිබෙනුයේ,
එදොර පිටුපස නොවනු ඇති
ඔබේ ඉරණම රැඳෙනුයේ...
නවතන්න තට්ටු කිරීම
නවතන්න ඇතුළට යනුව වැර යෙදුම
වෙනස මනාය
විටෙක අතිඅවැසිය...
යන්න නොනැවතී,
සොයනුව ලොවෙහි ඔබේ තැන....
විල්මා නීල්ස් - දකුණු අප්‍රිකාව
කිවිඳිය අදහස් කරන්නේ ජීවන ගමනේදී හෝ ඒ තුළම යෙදෙන අනුෂාංශික අභියෝගයකදී හෝ හමු වන වැසුණු දොරවල් සේ පෙනේ. එහිදී, එක් ඉලක්කයක, එක් අභිලාෂයක, එක් අපේක්ෂාවක පමණක් නොඇලී විකල්ප මාර්ග උරගා බැලිය යුතුය යන්න කිවිඳියගේ දැක්ම බව නිර්මාණයෙන් ගම්‍ය වේ. යම් දොරක් වැසී ඇත් නම් ඊට හේතුවක් ඇතැයි ද, වෙනසක් ඇතැම් තැනක අත්‍යවශ්‍ය වෙතැයි ද කීම තියුණු කාව්‍යාත්මක අදහස් දෙකකි.
විල්මා නීල්ස්, දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ ඉපිද, දැනටත් එහි ම වෙසෙන, සුදු ජාතික නූතන කිවිඳියකි. දෙසැම්බර් 25 දා තම උපන්දිනය බව දක්වන ඇය, නව පුදුම හතෙන් එකක් වන අත්‍යලංකාර, විස්මයාහවාහ Table Mountain කන්ද, ඇගේ උදා නැරඹුම් ඉලක්කයන්ගෙන් එකක් බව පවසන්නීය. “Whispers From my Soul” ඇය 2012 දී පළ කළ පද්‍ය සරණියයි.
දේ. වි. ගාල්ලගේ