යටත් විජිත පාල­න­යෙන් වැනසූ සාම්ප්‍ර­දා­යික දැනුම | Page 4 | සිළුමිණ

යටත් විජිත පාල­න­යෙන් වැනසූ සාම්ප්‍ර­දා­යික දැනුම

අපේ වාරිමාර්ග තාක්ෂණයේ තිබූ අතිශය සංකීර්ණ හා සූක්ෂම සිද්ධාන්ත අපට අවබෝධ කරගත හැකි වී ඇත්තේ ඉතාම මෑතක සිටය. ඒ අපි කළ වැරදි නිසා අත් විඳි ප්‍රතිවිපාක මගිනි. නමුත් අද වන විටත් ඉන් සමහර සිද්ධාන්ත අපේ දැනුමෙන් විග්‍රහ කිරීමට හැකියාවක් නොමැතිය. මේ තාක්ෂණික සිද්ධාන්තවල සංකීර්ණත්වය අවබෝධොකර ගැනීමට කදිම නිදසුනක් තිබේ. ඒ යෝධවැවයි. මෙහි පළමු සැතපුම් 17 තුළ සැතපුමකට අඟල් 6ක දිය බැස්මක් සහිතව කලා වැවේ සිට අනුරාධපුරයට දිය ගෙන යාම සිදු කර ඇත. ඒ අදින් වසර 1500කට පෙරාතුවය.

ලංකාව යටත් විජිතයක් වන විට රජරට හා පොළොන්නරු යුගවල දී ඉදි වූ සුවිශේෂී වාරිමාර්ග බොහෝමයක් වල් බිහිවී තිබුණි. (අධ්‍යනය කරන්න- එල්. ආර්. බ්‍රෝහියර්ගේ ‘බ්‍රෝහියර් දුටු ලංකාව’ සහ ‘ලක්දිව පුරාතන වාරිමාර්ග’ ) යටත් විජිත සමයේ දී උගත් බ්‍රිතාන්‍යය ඉංජිනේරුවන් ඇතුළු විද්වත්හු මේ සුවිශේෂ වාරිඉන්ජිනේරු ශිල්පීය නටඹුන් දැක විශ්මයට පත් වූහ. එහෙත් කිසිවිටකත් මේ වාරිමාර්ග තාක්‍ෂණයේ සැබෑ සිද්ධාන්ත හා ඒවාට පදනම් වූ පරිසරය සමඟ ඈඳුනු දේශිය ඥානය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන් සතු නොවීය. ඊට ප්‍රධානම හේතුව වූයේ ඔවුන් මෙරටට වඩා හාත්පසින් වෙනස් වූ පාරිසරික කලාපයක ජීවත් වීමය. අනෙක් අතට මේ හැම දෙයක් පිළිබඳවම තේරුම් ගැනීමට ඔවුන් උත්සහ ගත්තේ බටහිර විද්‍යා නම් වූ කෝවේ බහාලමිනි. මේ නිසා බ්‍රිතාන්‍ය යුගයේ දී පිළිසකර කෙරුණු මෙරට වාරිමාර්ග පද්ධතිය යලි ගොඩනැංවුයේ මෙරට ස්වභාවික තත්ත්වයන්ට ගැළපෙන සිද්ධාන්ත මත නොවේ. ඒවා සියල්ල මකා, වනසා දැමිමෙන් පසුවය. මේ බව බ්‍රිතාන්‍ය යුගයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ජේ. එෆ්. කෙනඩි මහතාගේ ප්‍රකාශයන් මගින් හොඳින්ම තහවුරු වේ. මෙරට වියලි කලාපය පුරා පැතිර තිබූ කුඩා වැව් පද්ධතිය ඔහු විසින් හඳුන්වා දී තිබුණේ ‘ආහාර අතින් ස්වයංපෝෂිත වීමෙ දී ප්‍රයෝජනයට ගත නොහැකි වාෂ්ප තැටි සමුහයක්’ ලෙසය. නමුත් මේ කුඩා වැව් සමූහය රැස් කර තබා ගන්නා ජල ධාරිතාවය හා පසේ රඳවා තබා ගන්නා ජල මට්ටම ඉහළ දමයි. එහෙත් මෙමගින් කෙරෙන කාර්යය තේරුම් ගැනීමට තරම් දැනුමක් ඔහු සතුව නොතිබිණි. ඔහු දැන සිටි බටහිර විද්‍යාව අපේ ජල විද්‍යාත්මක හා පරිසර දැනුම තරම් පුළුල් එකක් නොවේ. ඒනිසා බ්‍රිතාන්‍ය යුගයේදි මහා වැව් ප්‍රතිසංස්කරණය කිරීම ගැන මිස මේ කුඩා වැව් නැවත අළුත් වැඩියා කිරීම ගැන අවධානය යොමු නොවුණි. නමුත් මේ සෑම කුඩා වැවක්ම ඊට අදාළ සෑම ගමකම ආර්ථිකයට ස්වයං ශක්තියක් විය.

1815 දී වෙල්ලස්සට ගිය බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් වෙල්ලස්සේ ඇති කුඹුරුවලින් මුළු ලංකාවටම අවශ්‍ය තරම් සහල් නිපදවිය හැකි බව ප්‍රකාශ කළේය. මෙය යටත් විජිතකරණය වන තෙක් ස්වාධීනව පැවැති රටක කෘෂීකාර්මික ආර්ථිකයේ පැවැති පොහොසත් බව කියාපාන කදිම සාක්ෂියකි. එසේම 1818 වෙල්ලස්සේ විමුක්ති සටන මර්දනය කිරිමට වැව් අමුණු වනසා දැමීමට දුන් නියෝගය ද ඒ හා සමාන වේ. මහා මාර්ග තැනීමේ දී අපේ වැව් අමුණු දෙකඩවන ලෙස ඒවා ඉදි කළේද මේ වාපී ශිෂ්ටාචාරය මත ගොඩනැගුණු ගොවි ආර්ථිකය වනසා දැමීම සඳහාය. කුරුණෑගල සිට පුත්තලම දක්වා වන මාර්ගය ඉදි කිරිමේ දී වැව් 22ක් විනාශ කර ඇත. මෙහි ප්‍රතිපළය වුයේ කෙමෙන් මේ කුඩා වැව් විනාශ වී යාමයි. විශේෂයෙන්ම රාජකාරි ක්‍රමය අවලංගු වීමත් සමඟ එදා මෙන් මේ වැව් තමන් විසින්ම පිළිසකර කර ගැනීමේ හැකියාව ගොවියාට අහිමි විය.

මීට අමතරව මෙරට පැවැති කුළු වැව්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව හෝ අවබෝධයක් නොවූ මේ අය ඒවාද විනාශ කර දැමීය. (ඇතැම් විට උවමනාවෙන්ම විනාශ කර දැමුවා විය හැකිය)මෙහි දී සිදු වූ අනෙක් විශාලම අවාසනාව වුයේ, නිදහසින් පසු බිහිවූ මෙරට වාරි ඉන්ජිනේරුවන් කිසිදු අධ්‍යනයක් නොකර බටහිර වාරිමාර්ග සිද්ධාන්තවලට අනුකූලව කටයුතු කිරීමය. එසේම අපේ පැරණි තාක්‍ෂණය හා පරිසර සිද්ධාන්ත ගැන දැන ගැනීමට හෝ තේරුම් ගැනීමට හෝ ඔවුන් තුළ උවමනාවක් නොවීය. මේ හේතුවෙන් නිදහසින් පසු අද දක්වා මෙරට තුළ ජල කළමනාකරණය පිළිබඳ ගැටලු රාශියක් උත්පන්න විය. අතීතයේ දී වියලි කලාපයේ ගොවීන් ලැබුණු ජල ප්‍රමාණය ලබා දීමට අද වනතුරුත් සමත් වී නැත. මොරගහකන්ද මීට කිසියම් විසඳුමක් විය හැකි වුවද එහි සාර්ථකත්වය තවම නිශ්චය කළ නොහැකිය. ඒ නිසා අතීතයේ ගොඩනැංවූ කෘෂිකාර්මික පරිසරය නව තාක්‍ෂණය හරහා ගොඩ නැංවිමට මේ වෙනතුරුත් හැකි වී නැත. එසේ වුවත් මෙරට බිහි වූ වාරි ඉන්ජිනේරුවන් අතරින් ඩි. එල්. ඕ. මෙන්ඩිස් මහතාට හා එවැනි කීපදෙනකුට ගෞරව කළ යුතුය. මන්ද ඔවුන් කළ මැදිහත් වීම කිසියම් අස්වැසිල්ලක් වන නිසාය. එහෙත් නිදහසින් පසු මෙරට බලයට පැමිණි කිසිම දේශපාලඥයෙකුට අපේ රටට වඩාත්ම ගැලපෙන අපේ දේ සොයා බැලීමට තරම් දැනුමක් හෝ චින්තනයක් නොවීය. ඔවුන්ගේ දේශීයත්වය රෙදි බැනියම් ඇඳීමට හා හැඳි ගෑරුප්පුවලින් කිරිබත් කෑමට තරම් පටු විය.

අපේ වාරිමාර්ග තාක්ෂණයේ තිබූ අතිශය සංකීර්ණ හා සූක්ෂම සිද්ධාන්ත අපට අවබෝධ කරගත හැකි වී ඇත්තේ ඉතාම මෑතක සිටය. ඒ අපි කළ වැරදි නිසා අත් විඳි ප්‍රතිවිපාක මගිනි.

නමුත් අද වන විටත් ඉන් සමහර සිද්ධාන්ත අපේ දැනුමෙන් විග්‍රහ කිරීමට හැකියාවක් නොමැතිය. මේ තාක්ෂණික සිද්ධාන්තවල සංකීර්ණත්වය අවබෝධ කර ගැනීමට කදිම නිදසුනක් තිබේ. ඒ යෝධවැවයි. මෙහි පළමු සැතපුම් 17 තුළ සැතපුමකට අඟල් 6ක දිය බැස්මක් සහිතව කලා වැවේ සිට අනුරාධපුරයට දිය ගෙන යාම සිදු කර ඇත. ඒ අදින් වසර 1500කට පෙරාතුවය. අපේ පැරණි වාරිමාර්ග ක්‍රම ගැන සොයා බැලීමේ දී පෙනීයන වැදගත්ම කාරණයක් වන්නේ, අද මෙරටට හඳුන්වා දී ඇති තාක්ෂණික ක්‍රම කීපයක්ම අපේ මුතුන් මිත්තන් විසින් ප්‍රතික්ෂේප කර තිබූ ඒව වීමය. මහවැලි ව්‍යාපාරයේදි මෙරටට හඳුන්වා දුන් මෙම තාක්ෂණික ක්‍රමෝපායන් අතර

1. ප්‍රධාන ගංඟා හරස්කර දැවැන්ත වේළි බැඳ ජලාශ ගොඩ නැ‍ඟීම (තවම සිදු කරයි)

2. කඳුකරයේ ජලාශ ඉදි කිරිම,

3. කඳු හරහා උමං තුළින් ජලය ගෙන යාම (උමා ඔය ව්‍යාපෘතිය මීට කදිම නිදසුනකි)

මෙම තාක්ෂණික ක්‍රමෝපායන් කිසිවක් අපේ පැරැන්නන් භාවිත කර නැත. ඊට හේතුව ඒ සඳහා වන තාක්ෂණ හැකියාව අපේ පැරැන්නන් සතුව නොතිබුණු නිසා නොව එය විනාශ කාරී ක්‍රියාවක් බව ඔවුන් දැනසිටි නිසාය. නමුත් අද ඇතැමුන් පෙන්වා දීමට උත්සාහ කරන්නේ එය අපේ නොදැනුවත් කම බවය. නමුත් සැතපුමකට අඟල් 6ක තරම් සුක්ෂම දිය බැස්මක් සකස් කිරිමට තරම් තාක්ෂණික ඥානයක් සතුව තීබූ ඔවුන් එසේ නොකළේ, එවැනි ක්‍රමවලින් සිදුවන විනාශය අද වාරි විද්‍යාඥයන්ට වඩා හොදින් ඔවුන් දැන සිටි නිසාය. ඒ බව අද සාක්ෂි සහිතව ඔප්පු කර අවසානය. ප්‍රධාන ගංඟා හරහා මහා වේලි බැඳ අති විශාල ජලාශ ඉදිකිරිම අපේ වාරිමාර්ග තාක්ෂණය නොවේ. නියමිත ස්ථානවල අමුණු බැඳ, එතැන් සිට ඇළ මාර්ගයක් දිගේ සුදුසු ස්ථානයකට ජලය ගෙන ගොස්, එතැන ඉදි කරන ජලාශයක ඒ ජලය රඳවා තබා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය.

ඇළහැර දී අඹන් ගඟ හරහා බැ දී අමුණක් මගින් ඇළ මාර්ගයකට ජලය හරවා, ඒ ජලය කන්තලේ වැව දක්වා ඇළ මාර්ග මගින් ගෙන යාම ඊට හොඳම නිදසුනකි. ඒ නිසා ස්වභාවිකව ගලා ගිය ගඟ වසර පුරාම ගලා ගියේය. මේ නිසා එම ගංඟා ජලය ආධාරයෙන් පෝෂණය වූ විවිධ පරිසර පද්ධති හා ගඟ පහළ පරිසරය ඒ ආකාරයෙන්ම පැවතිණි. අනෙක් අතින් වැසි සමයේ දී ලැබෙන වැඩිපුර ජලය මුහුදට යාම වලක්වා, ගොවිතැන සඳහා රඳවා ගැනීමටද හැකි විය.

විශේෂයේන්ම කඳුකර වනාන්තරවල සිට ගංඟා දිගේ පහළට ගලා එන කාබනික ද්‍රව්‍ය හා ලවන වර්ග මුසුව ආ රොන්මඩ ගංඟා නිම්න අවට ගොවි බිම්වලට අගනා පොහොරක් විය. ගඟ හරහා බඳින මහා වේලී මේ රොන්මඩ නතර කර ගන්නා අතර, එමගින් අමුණකින් දිය හරවා ගැනීමේ දී ඉන් සිදුවන හානිය වලක්වා ගත හැකි විය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ දී අපේ මේ සාම්ප්‍රදායික දැනුම ගැන කිසිදු තැකීමක් නොකළේය. මේනිසා මහවැලි ගඟ හරස් කර ඉදි කළ වික්ටෝරියා රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවලින් අඩකට වැඩි ප්‍රමාණයක් අද වනවිට රොන් මඩින් පිරී ගොස් අවසානය.

එදා අපේ මුතුන් මිත්තන් විසින් උමං හාරා ජලය ගෙන යාම තම වාරිමාර්ග තාක්ෂණයේ දී යොදා නොගත්තේ, උමං හෑරිමට තරම් මෙරට කඳුකරයේ ඇති පාෂාණ ශක්තිමත් නොවන බව හොඳින් දැන සිටි නිසාය. නවීන තාක්ෂණික දැනුම මත මහවැලි, සමනල වැව හා උමා ඔය යන ව්‍යාපෘතීන්වල දී උමං හෑරිමට ගොස් අද අපට අත්වී ඇති ව්‍යාසනයන් සුළුපටු නොවේ. මෙහි ඵලවිපාක අනාගතයේ දී ද භූක්ති විඳීමට නියමිතය. ඒ අනුව, අපේ මුතුන් මිත්තන් සතුවූ භූ විද්‍යාත්ම දැනුම මොනවට පැහැදිලි වේ. අවාසනාවකට ලංකාව ඇතුළු ආසියානු රටවල් අධිරාජ්‍යවාදීන්ට යටත් වූ හෙයින් ඒ රටවල පැවැති අධාපන ක්‍රමය, පුරුදු පුහුණු කර තිබුණු සාම්ප්‍රදායික දැනුම හා ඥානය අභාවයට ගියේය. පසුව බිහි වූ පරම්පරාවන් නව යටත් විජිත අධ්‍යාපනය හරහා ඒවා හෙළා දැකීමටත් විදේශිය දේ ඉහළින් ඇගයීමටත් කටයුතු කළේය. මීට හොඳම නිදසුන වන්නේ අහස් දියෙන් හා විශාල ජලාශවල පිටාරගලා ගිය ජලයෙන් පෝෂණය වූ වියලි කලාපය පුරා පැතිර තිබූ කුඩා වැව් දහස් ගණනක් විනාශ කර දැමිමය.

මීට විසඳුම ලෙස මේ පණ්ඩිතයන් දුටුවේ විශාල ජලාශ බැඳ රැස් කරන ජලය ඇළ මාර්ග මගින් ඒ ඒ ප්‍රදේශ කරා ගෙනයාමය.

නමුත් මෙය මෙරට ස්වාභාවික පාරිසරික, භූගෝලීය හා කාලගුණික ගති ලක්ෂණවලට ගැලපෙනවාද යන්න සොයා බැලුවේ නැත. මේ නිසා මහවැලි යෝජනා ක්‍රමය යටතේද ජනතාවගේ විරෝධය මැද කලා වැවට පහළ මහවැලි H කලාපයේ කුඩා වැව් රැසක් ඩොසර් කර දැමීය. මේ තත්ත්වය මහවැලි B - C කලාපවලද විශාල වශයෙන් සිදු විය. මෙරට කෘෂිකාර්මික ශීෂ්ඨාචාරය වනසා දැමිමේ ක්‍රියාවලිය ඇරඹිමේ මුල් පියවරක් ලෙස ඇතමුන් මෙම ක්‍රියාව හඳුන්වන්නේ එනිසාය. එතැන් පටන් ගම්බද ගොවි ජනතාවගේ ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාව බිඳ වැටිණ. ඒ බිඳ වැටිම දැවැන්ත ජලාශ කොතෙක් ඉදි කළද අදත් සපුරාලීමට නොහැකිවී තිබේ.

 

Comments