අප­න­යන කෘෂි භෝග සැක­සුම් යන්ත්‍ර | Page 6 | සිළුමිණ

අප­න­යන කෘෂි භෝග සැක­සුම් යන්ත්‍ර

ගුණාත්මක අපනයන කෘෂි භෝග නිෂ්පාදනය කිරීම අරමුණු කර ගනිමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අපනයන කෘෂි භෝග සැකසුම් යන්ත්‍ර කිහිපයක් හඳුන්වා දී තිබේ. සාරවත් කෘෂි භෝගයන්ගෙන් ගනු ලබන අස්වැන්න ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් යුක්තව මේ යන්ත්‍ර කෘෂිකර්මාන්තයේ නියැළෙන පුද්ගලයින්ට තමන්ගේ අපනයන කෘෂි භෝග නිෂ්පාදන වල ගුණාත්මක බව වර්ධනය කර ගැනීම සඳහා මේ සැකසුම් යන්ත්‍රවලින් සිදු කරන කාර්යයන් ප්‍රයෝජනවත් වේ.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමත්, අන්තර්ජාතික මට්ටමින් කෘෂි භෝග නිෂ්පාදන ව්‍යාප්ත කීරීමට තීරණය කර ඇති ගොවි මහතුන්ටත් මහා පරිමාණ වැවිලිකරුවන්ටත්, මේ අපනයන කෘෂි භෝග සැකසුම් යන්ත්‍ර පිළිබඳව අවබෝධය වැදගත්ය.

ගම්මිරිස් සැකසුම් යන්ත්‍ර

ගම්මිරිස් කරලින් ඇට වෙන්කරන යන්ත්‍රය (Pepper Thresher) -ගම්මිරිස් කරලින් ඇට වලට හානියක් සිදුනොවන පරිදි ගම්මිරිස් කරලින් ඇට වෙන්කර ගැනීම සඳහා භාවිතා කරයි. ධාරිතාව පැයට කි.ග්‍රෑ 400-500 පමණ වේ. අශ්ව බල 2 ක විදුලි මෝටරයක් මඟින් ක්‍රියා කරනු ලබයි. මේ යන්ත්‍රයේ වෙළෙඳපොළ මිල රු 80,000 ක් වේ.

ගම්මිරිස් බීජ තේරීමේ යන්ත්‍රය( Green Berry Seperator)- අමු ගම්මිරිස් පැසුණු ඇට , නොපැසුණු ඇට සහ ඇල් පෙනෙති හිස් ආකාර ඇට වෙන්කීරීම සඳහා භාවිතා වේ. ධාරිතාව පැයට කි.ග්‍රෑ. 250-300 පමණ වේ. අශ්ව බල 2 ක විදුලි මෝටරයක් මඟින් ක්‍රියා කරනු ලබයි. මේ යන්ත්‍රයේ වෙළෙඳපොළ මිල රු120,000 ක් වේ.

ගම්මිරිස් ශ්‍රේණිගත කිරීමේ යන්ත්‍රය (Pepper Grader) වියළි ගම්මිරිස් බර අනුව ශ්‍රේණි කර ගැනීම සඳහා මේ යන්ත්‍රය භාවිතා වේ. විදුලිබලයෙන් ක්‍රියා කරන වායු පොම්පයකින් නිපදවන වායු ධාරාවක් මඟින් ගම්මිරිස් ශ්‍රේණි කිරීම සිදුවේ. මේ යන්ත්‍රයේ ධාරිතාව පැයට කි.ග්‍රෑ. 200 ක් පමණ වේ. මේ යන්ත්‍රයේ වෙළෙඳපොළ මිල රු 80,000-රු 100,000 ක් අතර වේ.

සුදු ගම්මිරිස් සකස්කිරීමේ යන්ත්‍රය ( Papper Decorticator )- පොඟවාගත් ගම්මිරිස්වල පොත්ත ඉවත් කර ගැනීම සඳහා භාවිතා වේ. ධාරිතාව පැයට කි.ග්‍රෑ. 150-200 ක් පමණ වේ. අශ්ව බල 2 ක විදුලි මෝටරයක් මඟින් ක්‍රියා කරයි. මේ යන්ත්‍රයේ වෙළෙඳපොල මිල රු 50,000 ක් වේ.

උණුවතුර ප්‍රතිකාර කට්ටලය ( Blanching Kit)- කළු ගම්මිරිස් නිෂ්පාදනයේ දී අමු ගම්මිරිස් නටන ජලයේ මිනිත්තු 1-2 ක් අතර කාලයක් ගිල්වා තැබීමට භාවිතා කරනු ලබයි.ඒකාකාර තද කළු පැහැති , මතුපිට හොඳින් රැලි ගැසුණු ගම්මිරිස් නිෂ්පාදනය කිරීම උණුවතුර ප්‍රතිකාර ක්‍රමයේ අරමුණ වේ. මේ යන්ත්‍රයේ ධාරිතාව වරකට අමු ගම්මිරිස් කි.ග්‍රෑ 25-30 ක් පමණ වේ. මේ යන්ත්‍රයේ වෙළෙඳපොළ මිල රු 5000- රු 10,000 ක් අතර වේ.

 

ඉඟුරු සහ කහ සැකසුම් යන්ත්‍ර

 

ඉඟුරු සේදීමේ හා පොත්ත ඉවත් කිරීමේ යන්ත්‍ර (Ginger Washing and Peeling machine ) අමු ඉඟුරු වල ඇති වැලි ඉවත් කර සේදීමට සහ අමු ඉඟුරුවල පොත්ත ඉවත් කර ගැනීම සඳහා භාවිත වේ. මෙහි වරකට කි.ග්‍රෑ.5 හෝ 15 ක් ලෙස යන්ත්‍ර දෙකක් නිර්මාණය කර ඇත. මේ යන්ත්‍ර මෝටරයක් මඟින් ක්‍රියා කරනු ලබයි. යන්ත්‍රයේ වෙළෙදපොළ මිල රු 100,000 - රු 200,000 ක් අතර වේ.

ඉඟුරු පෙති කැපීමේ යන්ත්‍රය ( Ginger Slicing Machine)- අමු ඉඟුරු තුනී ඝනකම ඇති පෙතිවලට කපා ගැනීම සඳහා භාවිත වේ. අශ්ව බල 1 ක විදුලි මෝටරයක් මඟින් මේ යන්ත්‍රය ක්‍රියා කරනු ලබයි. මෙහි ධාරිතාව පැයට කි.ග්‍රෑ. 80-100 ක් පමණ වේ. මෙහි වෙළෙඳපොළ මිල රු 55,000 කි.

කහ ඔප දැමීමේ යන්ත්‍රය ( Turmeric Polisher)- වියළා ගත් කහ අලවල කළු පැහැති සුඹුල්ල ඉවත් කර ගැනීමට භාවිතා වේ. අශ්ව බල 1 ක විදුලි මෝටරයක් මඟින් මෙය ක්‍රියා කරයි. මේ යන්ත්‍රයේ ධාරිතාව පැයකට කි. ග්‍රෑ.10 - 30 ත් අතර වේ. යන්ත්‍රයේ වෙළෙඳපොෙළ මිල රු 60,000 කි.

ඉහත සඳහන් කළ යන්ත්‍රවලට අමතරව සාදික්කා බීජවල කටුව ඉවත් කරන යන්ත්‍රය, පුවක් පෙති කපන යන්ත්‍රය, කුරුඳු කොළ/ පොතු තෙල් නිස්සාරණ කරන ඒකකය, කුළුබඩු ඇඹරුම් යන්ත්‍රය, කෝපි පල්පරය, සහ කෝපි හලරය ද කෘෂි භෝග සැකසුම් කිරීමේදී වැදගත් වේ.

 

උපදෙස්- ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය 
මදාරා මුද­ලිගේ    

 

Comments