
වික්ටෝරියානු සදාචාරවාදයෙන්ම බිහි වූ පුරාවිද්‍යාව හා ඉතිහාසය වැනි විෂයයන් නොවන්නට ඓතිහාසික සිංහල-බෞද්ධ ජනවාර්ගික අනන්‍යතාව වත්මනට ගොඩනැඟීමට අත්‍යවශ්‍ය දැනුම අපට නොලැබී යෑමට ඉඩ තිබිණි. කටුක වුවත් අප විසින් අවබෝධ කළ යුතු යථාර්ථය මෙය වේ. එසේ වුවත් හුදෙක් වික්ටෝරියානු සදාචාරවාදයේ දිගුවක් ලෙස පමණක් සිංහල-බෞද්ධ උරුමය දැකීම කෙසේ වත් සාර්ථක විශ්ලේෂණයක් නොවේ.
නිදහස ලබා වසර 70ක් ගෙවී ගියද තවමත් අපට වික්ටෝරියානු සදාචාර බැමිවලින් මුළුමනින්ම නිදහස් වීමට හැකි වී නැතැයි පැවසීම වරදක් නොවේ. ‘වික්ටෝරියානු සදාචාරය’ යනුවෙන් අර්ථගැන්වෙන මේ පුළුල් සංකල්පය තුළ වික්ටෝරියානු යුගයේ බිහි වූ අනේක අදහස් හා වටිනාකම් ගණනාවක් අන්තර්ගත වී තිබේ. මේ සියල්ල එකක් ලෙස තේරුම් ගැනීමට යෑම බුද්ධිගෝචර නොවන්නකි.
වික්ටෝරියානු යුගය ලෙස මූලික වශයෙන් යටත්විජිත සමයේ බ්‍රිතාන්‍ය පාලන යුගය - විශේෂයෙන්ම වික්ටෝරියා රැජිනගේ පාලන කාලය - ලෙස හඳුන්වාදිය හැකිය. එනම්: 1837 සිට 1901 දක්වා කාලයයි. මේ අනුව, වික්ටෝරියානු සදාචාරය යන යෙදුමේ පරිසමාප්ත අදහස නම්, මේ කාලයේ බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ජනතාව පාලනය කිරීම සඳහා ඒ ජනතාව විසින් සාමූහිකව පිළිගෙන තිබූ සදාචාරමය ප්‍රතිපත්ති මාලාවය. මේ තුළ ඉතා දැඩි ලෙස ලිංගිකමය පාලනය, අපරාධ (හොර-මැරකම් හා වංචා ආදිය) නොයිවසීම, විධිමත් දැනුම හා ඥානය අගය කිරීම හා දැඩි සමාජීය ආචාරධර්ම පද්ධතියකට ගරු කිරීම වැනි කරුණු අන්තර්ගත විය. 19 වන සියවසේ බ්‍රිතාන්‍යය සතු වූ දේශපාලනික හා සමාජ-සංස්කෘතික බලය නිසා මේ අගයන් බ්‍රිතාන්‍යයෙන් ඔබ්බේ පිහිටි බ්‍රිතාන්‍ය යටත්විජිත හා අන් රටවල් ගණනාවක් වෙත පැතිර ගියේය. වික්ටෝරියානු සදාචාර පද්ධතිය අප වැනි රටවලට පිවිසියේ මේ ආකාරයටය. ලංකාවේ 19 වන සියවසේ හා 20 වන සියවසේ මුල් භාගයේ පැවැති යටත්විජිත අධ්‍යාපනයේ මූලික අරමුණක් වූයේ මේ අගය පද්ධතිය ලාංකේය ජන සමාජය තුළ ස්ථාපිත කිරීමය.
මගේ අදහස නම් යම් අදහස් පද්ධතියක් විදේශීය, අධිරාජ්‍යවාදි හෝ පැරණි වූ පමණින් එය පිළිකෙව් නොකළ යුතු බවයි. එයින් තත්කාලීනව අපට ප්‍රයෝජනයක් තිබේ නම් එය අත්හැරීමේ ඵලය කුමක්ද? අප වික්ටෝරියානු සදාචාර පද්ධතිය දෙස බැලිය යුත්තේද මේ ආකාරයටය. ලංකාවේ අද පවතින ලිංගික සම්බන්ධතා හා ලිංගිකත්වය පිළිබඳ අදහස් මූලික වශයෙන් මේ වික්ටෝරියානු සදාචාරයෙන් උකහාගත් ඒවාය. එහෙත් ඒවා සාධාරණීකරණය කරන්නේ ඉතා ඈත අතීතයේ පටන් අපේ සමාජයේ තිබූ අදහස් හැටියට සලකාගෙනය. අඩුම තරමින් උඩරට යුගය පිළිබඳ ශේෂ වී ඇති ඓතිහාසික වාර්තා හා පැල් කවි සහ ජනකතා වැනි මූලාශ්‍රය විමසා බැලුව හොත් අපට පැහැදිලිව පෙනී-යන කරණය වන්නේ ඒ යුගයේ ලිංගිකත්වය පිළිබඳව බලපැවැත්වූයේ වඩා නිදහස් අගය පද්ධතියක් බවය. ඒ යුගයේ බහු-පුරුෂ විවාහ මෙන්ම දික්කසාදයද දැකගත හැකි විය. එකල ප්‍රචලිත වී තිබූ බින්න විවාහ ක්‍රමය යටතේ ස්ත්‍රියට සෑහෙන සමාජ බලයක් තිබුණු අතර, දික්කසාදය ගැන තීරණ ගැනීමට පවා ඇයට හැකි විය. එනමුත් මේ පූර්ව වික්ටෝරියානු අදහස් අපිට අද බොහෝ දුරට අමතක වී ගිය දේවල්ය.
අනෙක් අතට, වික්ටෝරියානු සදාචාර පද්ධතිය විසින් හොර-මැරකම්, වංචා හා දූෂණ ඉතා තීරණාත්මක ලෙස බැහැර කළේය. එලෙසම, ඒ සදාචාර පද්ධතිය අදටත් අප අතර පවතින විධිමත් දැනුම් පද්ධති හා ඥාන පර්ෂද දැඩි ලෙස අගය කළා පමණක් නොව, ඒවා නඟාසිටුවීමට අනුබල දුන්නේය. අපේ රටේ මේ වන විටත් පවතින බොහෝ විෂයක්ෂේත්‍ර මෙන්ම විශ්වවිද්‍යාල වැනි ආයතන පවා අපට හිමි වූයේ මේ තත්ත්වය යටතේය. මේ අගය පද්ධතියම දේශපාලනයේ දී හා මහජන සේවයේ දී ආචාරධර්මානුකූලව හැසිරීමට සමස්ත සමාජයටම බල කළේය. මගේ පරම්පරාවේ උදවියගේ දෙමවුපියන් බොහෝ දෙනා හරි-වැරදි මොනවාද කියා ඉගෙනගත්තේත්, අපට කියා දුන්නේත් යම් දුරකට වික්ටෝරියානු සදාචාරවාදයේ අගය පද්ධතීන් ඇසුරු කරමිනි. ඔවුන්ට මේ පිළිබඳ සවිඥානක දැනුමක් තිබුණාද? නැද්ද? යන්න වෙනම කාරණයකි. එසේම මේ සමාජානුයෝජනයට අපේ පවුල්වල උදවියට බෞද්ධ ආචාරධර්මද බලපෑවේය. මේ ආකාරයටම අන්‍ය ආගමිකයන්ටද වික්ටෝරියානු අදහස්වලට අමතරව තම-තමන්ගේ ආගමික පසුබිම පැහැදිලි ලෙසම බලපෑවේය. මේ අනුව බලන කල, මේ හරපද්ධතියෙන් අයින් කළ යුත්තේ මොනවාද? තවදුරටත් අප සරණ යා යුත්තේ මොනවාද? දැනට පවතින සමාජ-සංස්කෘතික තත්ත්ව අනුව වෙනස් කරගත යුත්තේ මොනවාද? මේවා පිළිබඳ ගැඹුරින් සිතා බැලීම වඩාත් යෝග්‍ය වේ. අප එකඟ නොවන සියලු දේ වික්ටෝරියානු සදාචාරයේ ලේබලය තුළ බහා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම එතරම් බුද්ධිගෝචර නොවේ.
සිංහල බෞද්ධ උරුමය
පැහැදිලිවම සිංහල බෞද්ධ උරුමය සමස්තයක් ලෙස ගත් කළ එය වික්ටෝරියානු සදාචාරවාදයට වඩා බෙහෙවින් පැරණිය. මා මින් අදහස් කරන්නේ මේ උරුමයේ ඇතැම් අගයන්, විද්‍යාව හා කලාව පිළිබඳ දැනුම, වාස්තු විද්‍යාත්මක අවශේෂ, නිර්මාණ සාහිත්‍යය ආදි දේය. මේවා පැහැදිලි ලෙස අපේයැයි පැවසිය හැකි ඓතිහාසික සාධකය. නමුත් සිංහල බෞද්ධ යන අදහස අපි ජනවාර්ගික අනන්‍යතාවක් ලෙස පමණක් සලකන්නේ නම්, ඒ අනන්‍යතාව 19 වන සියවසින් පසු කාලයේ සිට අද වන තෙක් ගොඩනගන්නට උපකාර කළ ඇතැම් දැනුම් පර්ෂද වික්ටෝරියානු සදාචාරවාදයෙන් උරුම වූ ඒවා බව අමතක නොකළ යුතුය. මේ අතරට ඉතිහාසය හා පුරාවිද්‍යාව වැනි විෂයයන් ඇතුළත් වී තිබේ. උදාහරණයක් ලෙස සිංහල ජන ප‍්‍රජාව ගැනත්, ලංකාවේ බුද්ධාගම හා වත්පිළිවෙත් ගැනත් බොහෝ දැනුමක් නිෂ්පාදනය වූයේ යටත්විජිත දැනුම් පද්ධතියේ ප්‍රසාරණයත් සමඟය. බොහෝ දුරට මේ දැනුම අප වෙත පැමිණියේ විජිතවාදි ඉතිහාසකරණයේ අනිවාර්ය කොටසක් ලෙස පළ වූ අප්‍රමාණ ලිපි-ලේඛන මඟිනි. තොරතුරු හා අර්ථකථන පිළිබඳ ඇතැම් අඩු-පාඩු කොතරම් පැවතියද, රාජකීය අසියාතික සංගමයේ නිබන්ධ මීට උදාහරණ සේ පෙන්වාදිය හැකිය. එමෙන්ම අනුරාධපුරය ඇතුළු අපගේ ඉපැරණි නටබුන් වූ නගර නැවත සොයාගැනුණේ මේ දැනුම් ප්‍රසාරණයේ ප්‍රතිඵල හැටියටය. එච්සීපී බෙල් මහතාගේ පර්යේෂණ හා ඒ පිළිබඳ වාර්තා මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමද මෙයට තවත් උදාහරණයකි.
මේ අතින් බලන විට, වික්ටෝරියානු සදාචාරවාදයෙන්ම බිහි වූ පුරාවිද්‍යාව හා ඉතිහාසය වැනි විෂයයන් නොවන්නට ඓතිහාසික සිංහල-බෞද්ධ ජනවාර්ගික අනන්‍යතාව වත්මනට ගොඩනැඟීමට අත්‍යවශ්‍ය දැනුම අපට නොලැබී යෑමට ඉඩ තිබිණි. කටුක වුවත් අප විසින් අවබෝධ කළ යුතු යථාර්ථය මෙය වේ. එසේ වුවත් හුදෙක් වික්ටෝරියානු සදාචාරවාදයේ දිගුවක් ලෙස පමණක් සිංහල-බෞද්ධ උරුමය දැකීම කෙසේ වත් සාර්ථක විශ්ලේෂණයක් නොවේ. එය දැනුම හා අතීතය පිළිබඳ සංකීර්ණ තත්ත්ව අනවශ්‍ය ලෙස ලඝු කිරීමකි.
නිදහසින් පසු ඉන්දීය විඥානය හා නිදහසින් පසු අපේ විඥානය
ඉන්දීය නිදහස් අරගලයේ නායකයන් බොහෝ දෙනා උත්සාහ ගත්තේ සංස්කෘතික විඥානයකට වඩා දේශපාලනික මතවාදයක් හා ඒ පිළිබඳ විඥානයක් ගොඩනැගීමටය. මෙහි මූලික පදනම වූයේ ඉන්දීය රාජ්‍ය අනාගමික රාජ්‍යයක් විය යුතුය යන්නයි. එයින් අදහස් වන්නේ රාජ්‍යක් ලෙස පශ්චාත්-නිදහස් ඉන්දීය ජාතික රාජ්‍ය කිසිම ආගමක සංස්කෘතික අනන්‍යතාවක් වැලඳ නොගත යුතුය යන්නයි. මේ කේන්ද්‍රීය අදහස ආචාර්ය බීආර් අම්බේද්කර්ගේ ප්‍රධාන දායකත්වය යටතේ ලියැවුණු ඉන්දීය ව්‍යවස්ථාවේ පූර්විකාවේම අන්තර්ගත වී තිබේ. එහෙත් මෙයින් අදහස් වන්නේ ඉන්දියාවෙන් ආගම් තුරන් කළ යුතුය යන්න නොවේ. එහි අදහස රාජ්‍යයේ ක්‍රියාකාරිත්වයට එක් ආගමක් හෝ ආගම් කිහිපයක් බලපෑම් නොකළ යුතුය යන්නය. මේ නායකයන්ට අවශ්‍ය වූයේ නිදහසින් පසු හින්දු දහම එහි අතිවිශාල සංස්කෘතික හා දේශපාලනික බලය නිසා රාජ්‍ය පාලනයට හෝ ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑම් කළ නොහැකි තත්ත්වයක තැබීමය; එනම්, කිසිම එක් ආගමකට දේශපාලනික බලය ලබා නොදීමෙන් ආගම් අතර යම් සමතුලිත බවක් හා සහජීවනයක් ඇති කිරීමටය. මෙයට හේතු වූයේ පශ්චාත්-නිදහස් යුගයේ ආගමික ගැටුම් ඇති විය හැකිය යන විශ්වාසය ඉන්දීය නිදහස් අරගලයේ බලවත් නායකයන් තුළ පැවතීමය. ඇත්තෙන්ම අඛණ්ඩව පැවැති භාරතය පාකිස්තානය ලෙස 1947 දී වෙන් වූයේත්, නැගෙනහිර පාකිස්තානය 1971 දී බංග්ලාදේශය වශයෙන් වෙන් වූයේත් මූලික වශයෙන්ම ආගමික අනන්‍යතාවන්ගේ බල-දේශපාලනික තරගකාරිත්වය නිසා බව අප අමතක නොකළ යුතුය.
මේ නායකයන් සංස්කෘතික විඥානයක් පිළිබඳ එතරම් කථා නොකළේ ඉන්දියාව වැනි සංස්කෘතික වශයෙන් අතිශය විවිධත්වයක් පෙන්නුම් කරන තැනක යම් කේවල සංස්කෘතික විඥානයක් පිළිබඳ අදහසක් ගොඩනැඟීම ඉතා අපහසු බව හොඳින් දැන සිටි නිසාය. එහෙත් සාමාන්‍ය කතා-බහේ දී ඉන්දීය සංස්කෘතිය වශයෙන් යම් අපැහැදිලි හා සරල අදහසක් මතු වේ. එහෙත් මේ කතාව සිද්ධ වන්නේ දිල්ලියේද, ඇසෑමයේද, කේරලයේද, තමිල්නාඩුවේද ආදි කරුණු මත මේ සංස්කෘතික විඥානයේ ස්වභාවය හා එහි භෞතිකමය හා චිත්තවේගීය අන්තර්ගතය මුළුමනින්ම වෙනස් වේ.
එහෙත් මේ වන විට අප හොඳින් දන්නා කාරණයක් වන්නේ ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමීන් ස්ථාපනය කරන්නට උත්සාහ කළ සියලු ප්‍රජාවන් එක් කළ සමස්ත ඉන්දීය රටවැසි නැති නම් ජාතික අනන්‍යතාව එතරම් සාර්ථක වී නැති බවය. ඊට හේතුව කුල, ජනවාර්ගික, ආගමික, භාෂාත්මක හා කලාපීය අනන්‍යතා මේ පුළුල් ඉන්දීය අනන්‍යතාව සෑහෙන දුරට අකර්මණ්‍ය කර තිබීමය. ඒ රටේ මෑතකාලීනව ඇති වී තිබෙන මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය හා දීර්ඝකාලීනව සිදු වන දලිත්-විරෝධී ප්‍රචණ්ඩත්වය මීට කදිම උදාහරණයකි.
වෙනස් වෙමින් ඉදිරියට යන සංස්කෘතික විඥානය
සංස්කෘතියේ අනේකවිධ භෞතික නිෂ්පාදන මෙන්ම සංස්කෘතික අගයන් හා විශ්වාස සහ සංස්කෘතිය පිළිබඳව යම් සමාජයක් තුළ තිබෙන විඥානයත් කාලීනව වෙනස් වීම්වලට ලක් වේ. මෙය සදාතනිකවම බලපැවැත්වෙන ලෝක ධර්මයකි. බෞද්ධ අදහස්වලට අනුව, ‘සියලු දේ අනිත්‍යයි’ යන විශ්වාසය මේ යථාව මැනැවින් හා සරලව විස්තර කර දක්වයි. මීට හේතුව, කාලීනව යම් සංස්කෘතික අඩවියකට, නැති නම් සමාජයකට අන් සංස්කෘතික කලාපවලින් නිරතුරුවම අදහස් හා භාවිත ගලා ඒමයි.
එසේම, යුද්ධමය තත්ත්වයන් තුළ ඇති වන බලපෑම් හැර, අන් බොහෝ සංස්කෘතික වෙනස්කම් සිදු වන්නේ ස්වේච්චාවෙන් පුද්ගලයන් යම් යම් නවාංග වැලඳගන්නා නිසාය. අප අද සිංහල ආහාර හැටියට සලකන ඉදිආප්ප හා ආප්ප කේරලයෙන් පැමිණි ආහාරය. එසේම කේරලයේ ඇතුළත පිහිටි ගම්මානවල ඇවිද යන විට බොහෝ දෙනා පවසන්නේ පොල් රා මැදීම පිළිබඳ තාක්‍ෂණය ලංකාවෙන් ඔවුන්ට උරුම වූ බවයි. කේරලය සමඟ ලංකාව දීර්ඝකාලීනව සමීප සම්බන්ධතා පැවතීම නිසා මේ සංස්කෘතික විසරණය හා කිසියම් කාලසීමාවක දී ඒවා ස්වීකරණය වීම (දේශීයකරණය) සාමාන්‍ය දෙයකි. සංස්කෘතිය හා විඥානයේ වෙනස්වීම පිළිබඳ මේ සරල උදාහරණ දෙකක් පමණි. එසේම ඇතැම් විට සංස්කාතික වෙනස්වීම්වලට අන්ධානුකරණයෙන් යම් යම් දේ පසුපස හඹායෑමද බලපා ඇත.
සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය
සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය යනුවෙන් වරනඟන්නේ කුමක්ද යන්න අප මූලින්ම අපගෙන් ඇසිය යුතු පැනයයි. එනම්: මෙමඟින් අප අදහස් කරන්නේ සිංහල බුද්ධාගම කියන ආගමික ප්‍රවාහය පිළිබඳවද? නොඑසේ නම්, සිංහල බෞද්ධ දේශපාලන ප්‍රවාහය හෝ ඊටම සම්බන්ධ ජනවාර්ගික අනන්‍යතාව පිළිබඳවද? ඇත්තෙන්ම මේ කාරණා දෙකකි.
නාථ, සමන්, දැඩිමුණ්ඩ ආදි අපට ආවේණික දෙවි-දේවතාවුන් හා හින්දු දහමෙන් බෞද්ධ දේව පරිමණ්ඩලයට පැමිණ ඇති ශිව, විෂ්ණු ආදි දෙවි-දේවතාවුන්ගෙන් ගොඩනැඟී ඇති සිංහල බුද්ධාගම සිංහල සංස්කෘතිය පවතිනා තාක් කල් යම් යම් වෙනස්කම් සහිතව පවතීයැයි සිතිය හැකිය. එය පෝෂණය වන්නේ එහි සරණ යන බැතිමතුන් මඟිනි. මේ පිළිබඳ ගැටලුවක් නැත. එහෙත් මේ ප්‍රවර්ගය තුළම බෙහෙවින් ආන්තික හා ගැටලුකාරි ප්‍රවණතා දැකගත හැකිය. තමන් සෝවාන් වී ඇතැයි නැති නම් බුදු වී ඇතැයි කියාගන්නා, තම උපන්දිනට මහා සාද පවත්වන, අධි-සුඛෝපභෝගි මන්දිරවල වැඩවාසය කරන හා විමාන වැනි වාහනවලින් එහා මෙහා කරක්ගහන චීවරධාරීහු කලින් කලට අපේ රට තුළ පෙනී සිටිති. ඔවුන්ට බොහෝ පිරිසක්ද ඒකරාශි කරගැනීමට හැකිව තිබේ. මෙවැනි ප්‍රවණතා විග්‍රහ කළ හැක්කේ සිංහල බුද්ධාගමේම මෑතකාලීන හා ගැටලුකාරි ප්‍රවණතා හැටියටය. පෞද්ගලිකව සිංහල-බෞද්ධයකු ලෙස මට මේ පිළිබඳ ඇති වනේනේ කණගාටුවකි. එහෙත් රටේ උන්නතියට හා සමාජ සහජීවනයට හානියක් නොවන තාක් කල් මේවා නීතියෙන් තහනම් කළ යුතුයැයි නොපවසමි. එනමුත් මේවාට රාජ්‍ය අනුබල ලබාදීම කෙසේ වත් නොකළ යුතුය. එම ප්‍රවණතා වටා රොක් වූ බැතිමතුන් ඒවා පෝෂණය කරනතාක් කල් ඒවා පවතිනු නියතය. කෙදිනක හෝ මේවා නැති වූ දා සිට අපේ මතකයෙන් මේවා ඈත් වී යනු ඇත.
බුද්ධාගමේ කේන්ද්‍රීය අදහස් හා විශ්වාස කණපිට පෙරළන බෞද්ධ-විරෝධි හා බුද්ධි-විරෝධි චණ්ඩිකම් ලෙස පෙන්වාදීම වඩා සාධාරණය. මේ ප්‍රවණතා අපගේ ජනසමාජයට බෙහෙවින් හානිකරය. මෙවැනි ප්‍රවණතා හා ඒවායේ අති-භයානක ප‍්‍රතිවිපාක මේ වන විටත් අපි පාකිස්තානයේ හා බංග්ලාදේශයේ මුස්ලිම් දේශපාලන අන්තවාදීන්ගේ හා ඉන්දියාවේ හින්දු දේශපාලන අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් පැහැදිලිවම දැක ඇත. මේවා පැහැදිලි ලෙසම අපට අවශ්‍ය දේ හෝ අප විසින් පෝෂණය කළ යුතු දේ නොවේ.
අප කළ යුත්තේ අප අතර සිටින සියලු ජන කන්ඩායම් සම-අයිතීන් යටතේ එක්රැස් කළ හැකි ප්‍රබල රටවැසිකමක් පිළිබඳ අදහසක් හෝ ලාංකේය ජාතික අනන්‍යතාවක් ගොඩනැඟීමය. ඉන්දියාව හා අනෙකුත් දකුණු ආසියානු රටවලද මේ කර්තව්‍යය සාර්ථකව සිදු වී නැත. අප රටේ අද සිදුව ඇත්තේ සිංහල, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදි වශයෙන් ප්‍රාථමික අනන්‍යතා වටා ජනයා එක්රොක් වීමය. එක් අතකින් මෙය සාමාන්‍ය දෙයකි. එහෙත් තත්කාලීන අවශ්‍යතා හා යථාර්ථය අනුව සිදු විය යුත්තේ මේ ප්‍රාථමික අනන්‍යතාවන්ට ඔබ්බෙන් මේ සියල්ල එක් කරගත හැකි ව්‍යුක්ත ජාතික අනන්‍යතාවක් සවිඥානකව ගොඩනැඟීමය. නිදහස ලබා වසර 70ක් ගෙවී තිබුණද අපට තවමත් ඒ පිළිබඳ කිසියම් හෝ සාධනීය ප්‍රවේශයකට එළැඹීමට නොහැකි වී තිබීම ඉතා කණගාටුදායකය.
(සාකච්ඡාවකින් සැකසිණි)
රසික කොටුදුරගේ