නිදහසින් පසු අප විද්‍යා-තාක්ෂණයෙන් පුදුම අයුරින් දියුණු වුණා | Page 4 | සිළුමිණ

නිදහසින් පසු අප විද්‍යා-තාක්ෂණයෙන් පුදුම අයුරින් දියුණු වුණා

මහාචාර්ය චන්දන ජයරත්න

* විද්‍යාඥයන් විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන අතර සහසම්බන්ධය අත්‍යවශ්‍යයි.
* ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන්ට දැනට වඩා පහසුකම් සැලැසිය යුතුයි.
* සංවර්ධිත රටක් බිහි කිරීමට නම් දැනට වඩා විද්‍යා-තාක්ෂණ‍ය ජනප්‍රිය කළ යුතුයි

ශ්‍රී ලංකාවට නිදහස ලබා වසර 70ක් පිරෙන මේ මොහොතේ අපේ ‍රටේ විද්‍යා තාක්ෂණ ප්‍රවර්ධනය පිළිබඳව හා රට ඉදිරියේදී දියුණු කිරීමට විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය ව්‍යාප්ත කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නව සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ මෙරට විද්‍යාඥයන්ගේ ප්‍රබලතම හා විශාලතම ඒකාබද්ධ සංවිධානයේ වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ දැනට විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයින් 10000 ක් පමණ සාමාජිකත්වය දරති.

අපේ රටට නිදහස ලබා වසර 70ක් ගතවී අවසන් වන මේ මොහොතේ ආපසු හැරී බලන විට අපේ රටේ විද්‍යාත්මක හා තාක්ෂණික අංශයෙන් විශාල ප්‍රගතියක් තිබෙන බව කිව යුතුයි‍. විශේෂයෙන් සන්නිවේදන විදුලි සංදේශ හා වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රවල පුදුම දියුණුවක් අසූව දශකයෙන් පසු සිදුවුණා. ඒත් තාම අපේ රට ලොව අන් දියුණුවෙමින් පවතින හා දියුණු වූ රටවල් හා සමාන ලෙසින් විද්‍යා තාක්ෂණය අතින් දියුණු වී නැහැ.‍ අපි අතීතය පසෙකලා අනාගතය දෙස බලන්න ඕනේ. අපේ රට සංවර්ධිත රටක් කිරීමට අවශ්‍ය නම් අපේ රට දැනට වඩා විද්‍යා තාක්ෂණය දියුණු කිරීමට හා විද්‍යා තාක්ෂණය පදනම් කරගත් වැඩසටහන් හා කර්මාන්ත රට තුළ ව්‍යාප්ත කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි.

අපේ විද්‍යාභිවර්ධන සංගමය 1944 පිහිටවූ ආයතනයක්. එහි තිබෙනවා. විද්‍යා තාක්ෂණික උපදේශක කමිටුවක්. මේ සංගමය අප කමිටුවේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි අපේ රට විද්‍යා තාක්ෂණය අතින් දියුණු කිරීමට රජයට හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට උපදෙස් දීම දිගටම සිදු කරනවා‍. ‍ඉදිරියේදීත් මේ කටයුත්ත කාර්යක්ෂමව සිදු කිරීමටයි අපේ අපේක්ෂාව. අපේ සංගමයේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ ජනතාව පොහොසත් සමෘද්ධිමත් ජනතාවක් බවට විද්‍යා තාක්ෂණයෙන් පොහොසත් කිරීම සඳහා විද්‍යා තාක්ෂණය වැඩිපුර යොදාගැනීමයි. ඊට අමතරව සංගමයේ තවත් අරමුණක් වන්නේ විද්‍යා තාක්ෂණය ප්‍රවර්ධනය මගින් රටේ ජන ජීවිතවල ඇති ගැටලු හා දරිද්‍රතාව අඩු කිරීමයි.

ඒ සමඟම දීප ව්‍යාප්තව සිසු පරපුරේ විද්‍යා තාක්ෂණික දැනුම ප්‍රව‍ර්ධනය වැඩි කිරීමට රටේ ඉහළම මට්ටමේ විද්‍යාඥයන් යොදාගෙන විද්‍යා තාක්ෂණ සම්මන්ත්‍රණ රට පුරා පැවැත්වීමට අප කටයුතු කරනවා. මේ වසරේදී මේ ව්‍යාපෘතිය කාර්යක්ෂමව හා වැඩි සිසු පිරිසකට ප්‍රයෝජනවත් වන අයුරින් කරන්නටයි අපේ අදහස.

ඉදිරි අභියෝග

වත්මන් දේශගුණ විපර්යාස නිසා අපේ රටටත් ඉදිරියේදී විවිධ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙනවා. නියඟය, ගංවතුර, නාය යෑම් වැනි ස්වාභාවික ව්‍යසන ඉදිරියේදී වැඩිපුර සිදුවෙන්නට පුළුවන්. මේ පිළිබඳව අපේ රටේ ඇති විවිධ පර්යේෂණ ආයතන මඟින් දැනට වඩා පර්යේෂණ කළ යුතුයි.

අපේ රටේ විද්‍යාත්මක කාර්මික පර්යේෂණ ආයතන ගණනාවක් තිබෙනවා. ඉන් පර්යේෂණ රැසක් සිදු කරනවා. ජාතික විද්‍යා පදනම මඟින් හා ලෝක ආධාර ලැබෙන ව්‍යාපෘති මඟින් ඒ පර්යේෂණ සඳහා ආධාර දෙනවා. එහෙත් ඒ පර්යේෂණ අපේ රටේ දියුණුවට විද්‍යාභිවර්ධනයට ජනතාවගේ දුප්පත්කම අඩු කිරීමට ජීවත්වීමේ ගැටලු විසඳීමට කෙතරම් ඉවහල් වෙනවාද කියා ඒ ඒ ආයතන ප්‍රධානීන් දැනට වඩා අවධානය යොමු කළ යුතුයි. එමෙන් ම ඒ පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අවශ්‍යයි.

අපේ රටේ විශ්වවිද්‍යාලවලින් ද විවිධ පර්යේෂණ පත්‍රිකා විද්‍යාත්මක නිබන්ධන රැසක් එළිදක්වනවා. නමුත් ඒ පර්යේෂකයන් තම උපාධිය ලබාගත් පසු ඒ පර්යේෂණ ප්‍රතිඵල විශ්වවිද්‍යාලයේ කබඩ් එකක හිරවෙනවා. එයින් රටට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ පර්යේෂණ හා ප්‍රතිඵල තවදුරටත් අධ්‍යයනය කර ඉන් රටට ප්‍රයෝජනයක් හා නව නිපැයුමක් මෙන් ම නව සංවර්ධන ක්‍රමවේදයක් ඇති කිරීමට සිසුන්ව උනන්දු කිරීම අදාළ විද්‍යාඥයින් හා මහාචාර්යවරුන්ගේ යුතුකමක්.

විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරයේදීත් විද්‍යාඥයින් සිය ගණනක් පර්යේෂණ පත්‍රිකා රැසක් ඉදිරිපත් කරනවා. නමුත් ඒ පර්යේෂණ පිළිබඳව අපි දන්නෙත් නැහැ. රට දන්නෙත් නැහැ. ඒකෙන් දැනට ලැබෙන ප්‍රතිලාභය ඒ අය උපාධියක් ලබාගැනීම පමණයි. ඒ පර්යේෂණවලින් රටට ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

පර්යේෂණ ප්‍රතිඵල

අපේ රටේ පර්යේෂණ ආයතන විශ්වවිද්‍යාල රජයේ දෙපාර්තමේන්තු මඟින් සිදු කරන පර්යේෂණ විද්‍යා තාක්ෂණික ඇගයීම් පිළිබඳව මනා සහසම්බන්ධතාවක් තිබිය යුතුයි. එවිට ඒවා මඟින් රටට ඉමහත් ප්‍රයෝජනයක් ලබාගෙන අපේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීමට ආණ්ඩුවට පියවර ගත හැකියි.

ලෝකයේ දියුණු රටවල දැන් ස්මාට් දුරකතනය මඟින් තමන්ට යා යුතු බස් රථය, එන වේලාව දැනගත හැකි ය. ටෙලි මෙඩිසින්වලින් පිට රට ඉඳන් බේත් ගන්න පුළුවන්. මේ වගේ අපේ ජනජීවිතයට අත්‍යාවශ්‍ය විද්‍යා තාක්ෂණික කටයුතු අපටත් ඉදිරියේදී නැතුව බැරි වෙනවා. රජයේ කාර්යාලවල වැඩ කිරීමට හා රජයේ කාර්යාලවලින් වැඩක් කරගැනීමට පමණක් නොව මහ පාරේ යාමට ජනතාවට විද්‍යා තාක්ෂණික දැනුමක් හා පරිගණක දැනුමක් මෙන් ම විද්‍යා තාක්ෂණික සාක්ෂරතාවක් තිබිය යුතුයි.‍ ඒ අනුව අපේ රටේ සියලු දෙනාටම එම දැනුම ලබාදීමට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් විධිමත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. ඊට සහාය දෙන්න අපි සූදානම්. අධ්‍යාපන අමාත්‍යාංශය හා රාජ්‍ය නොවන සංවිධාන ද පාසල් ප්‍රධානීන් ද මේ වැඩපිළිවෙළට අත හිත දිය යුතුයි‍. ඒ සමඟම දරු පරපුරට විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව ආශාවක් ඇති කිරීමට දෙමවුපියන් පියවර ගත යුතු යි.

රජය මේ රටේ විද්‍යා තාක්ෂණ ප්‍රවර්ධනයට ලබාදෙන මුදල තව වැඩි කළ යුතුයි. ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ඉක්මනින් ඇති කළ යුතුයි‍‍‍. ඒ සමඟම අපේ රටේ නව නිපැයුම් කරුවන්ට ඔවුන්ගේ නව නිපැයුම් ජගත් වෙළෙඳපළට සැපයීමට උදව් කිරීමට වෙනම ආයතනයක් අවශ්‍යයි. ලොව වෙනත් රටවල නව නිපැයුම් වාණිජ ලෙස දියුණු කිරීමට ‍හා වෙළෙඳ කටයුතු සඳහා වෙනම ආයතන පිහිටුවා තිබෙනවා. නව නිපැයුම් සඳහා පේටන්ට් ගැනීමේ නීති රීති සරල විය යුතුයි. ඒ ගැන නව නිපැයුම් කරුවන්ට උදවු දීමට දැනට වඩා නීතිඥවරු අවශ්‍යයි. මේ නව නිපැයුම් අපේ රටේ පමණක් නොව චීනය, ඉන්දියාව වැනි වැඩි ජනගහනයක් ඇති රටවලටත් යැවීම අවශ්‍ය දෙයක්.

ලෝකයේ දියුණු රටවල වගාවලට වල් නාශක කෘමිනාශක යොදන්නේ ‍ ‘ඩ්‍රෝනා’ යානාවලින්. ඒ සමඟම අද ලෝකයේ කාලගුණය දේශගුණය පිළිබඳ පර්යේෂණ කිරීමට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්නවා. අපේ රටටත් ඒවා ඕනෑ. එක් එක් කන්නයකදී වගා කර ඇති බෝග වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය නිවැරදි ව ගණනය කිරීමට ආදිය මෙවැනි චන්ද්‍රිකාවල සහ‍යෝගය ලබා ගන්න පුළුවන්. රථවාහන අවහිරතා, වන විනාශය වැනි දේවල් පිළිබඳවත් චන්ද්‍රිකා තාක්ෂණය මඟින් දැනගන්න පුළුවන්.

අලුත් ග්‍රහ‍ලෝකාගාර

මේ පිළිබඳව මොරටුව ආතර් සී‍. ක්ලාක් මධ්‍යස්ථානය මඟින් අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ කටයුතු වල සහාය සඳහා නැනෝ චන්ද්‍රිකා දෙකක් නිපදවා අභ්‍යාවකාශගත කිරීමට දැන් සැලැසුම් කර අවසන්. 2019 දී එනම් ලබන වසරේදී ජපානයේ ආධාර ඇතිව ‍මින් එකක් ගුවන් ගත කරන අතර අනෙත් එක 2020 දී රුසියාවේ ආධාර ඇතිව ගුවන්ගත කිරීමට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය සැලැසුම් කර තිබෙනවා. ඒ සමඟම මෙරට සිසු පරපුරේ අභ්‍යාවකාශ විද්‍යා දැනුම දීප ව්‍යාප්ත මට්ටමින් දියුණු කිරීමට අලුත් ග්‍රහලෝකාගාර තුනක් ඉඳිකිරීමට ද රජය සූදානම්. පොළොන්නරුව, වවුනියාවේ හා හම්බන්තොට ඒවා ඉදිකිරීමට සැලැසුම් කර තිබෙනවා.

අපේ රටේ විද්‍යාඥයන්ගේ අපේ රටේ තිබෙන වැටුප් තල ලෝකයේ අන් රටවල් සමඟ සංසන්ධනය කරන විට ඒවා ඉතා අඩු මට්ටමේ තිබෙන්නේ. ඒ වගේ ම අපේ විද්‍යාඥයන්ට තම ජීවන කටයුතු, පර්යේෂණ කටයුතු නිදහසේ සිදු කිරීමට සුදුසු පහසුකම් හා වාතාවරණයක් අපේ රටේ නැහැ. ඒ නිසා පිටරට ගිය විද්‍යාඥයින් ගෙන්වා ගැනීම අසීරුයි‍. එසේ වුවත් විද්‍යා තාක්ෂණය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උනන්දුව පරිදි පිටරටවල සිටින විද්‍යාඥයින් පිරිසක් අපේ රටට පැමිණ තිබෙනවා. ඒ අයට පූර්ණ පහසුකම් සැපයීම අපේ යුතුකමක්.

අපේ රටේ උසස් පෙළ සමත් දරුවන් සරසවි අධ්‍යාපනය සඳහා විද්‍යා තාක්ෂණයට යොමුවන්නේ 30% පමණයි. කලා ක්ෂේත්‍රයට සිසුන් 70%ක් යොමු වනවා. නමුත් මැලේසියාවේ සිදුවන්නේ මේකෙ අනෙක් පැත්ත. විද්‍යාවට 70%යි. කලාවට 30% යි. අ‍පිත් ඒ තත්ත්වයට පත්විය යුතුයි. ලැබුණු නිදහසින් අපේ ‍රට සංවර්ධිත රටක් බවට පත් කළ හැක්කේ ඉහත කටයුතු සිදු කිරීමෙන් පමණයි.

සංවර්ධිත රටක්

මේ අනුව විද්‍යාභිවර්ධන සංගමයේ විද්‍යාඥයින්, රජය විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය හා රාජ්‍ය පර්යේෂණ ආයතනය එක්වී අපේ රටේ විද්‍යා තාක්ෂණය සැමටම ප්‍රයෝජනය ලැබෙන පරිදි ව්‍යාප්ත කළ යුතුයි. රටට උචිත පර්යේෂණවලට වැඩි අවධානය යොමු කළ යුතුයි. විද්‍යා තාක්ෂණය පිළිබඳව දැනට අපේ ර‍ෙට් වගකිවයුත්තන් දක්වන උනන්දුව වැඩි කරන්නත් ඕනෑ.

අපි 1948 සිටම තවමත් දියුණු වෙමින් පවතින රටක්. මේ රට දියුණු සංවර්ධිත රටක් බවට පත්කිරීමට නම් ඉහත දැක්වූ අයුරින් විද්වත් වැදගත් අය හා පාලකයන් එකට එක් වී විද්‍යා තාක්ෂණික දැනුම ප්‍රව‍ර්ධනයට හා ජනජීවිතයට ගැළපෙන තාක්ෂණය අපේ රටේ ඇති කළ යුතුයි. සියලු ක්ෂේත්‍රවල ප්‍රගතියට විද්‍යා තාක්ෂණය සම්බන්ධ කළ යුතුයි. විශේෂයෙන් කෘෂිකර්ම, සෞඛ්‍ය, කාලගුණික, පශු සම්පත්, වාරිමාර්ග හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අවධානය යොමු කිරීම වැදගත්. අවසාන ලෙස කිව යුත්තේ මේ ඉහත සියලු දෙනා එක්වී ඉහත ක්‍රම විධි අනුගමනය කළහොත් නිදහසින් පසු ගතවූ අවුරුදු 70ට වඩා දෙගුණ තෙගුණ වූ විද්‍යා තාක්ෂණ දියුණුවක් ඉදිරි වසර දහය - විස්සේදී ලබාගත හැකිවනු ඇති බවයි.

Comments