ජාතික නිදහස් අරගලයට වසර 200 යි | Page 4 | සිළුමිණ

ජාතික නිදහස් අරගලයට වසර 200 යි

ඉන්දියාවේ ජාතික නිදහස දිනාගැනිමට සිය දහස් ගණන් ජිවිත කැප කිරීමට සිදුවුවත්, අප රටේ එක ලේ බිඳුවක් හෝ නොසොලවා එය ලබාගැනීමට හැකිවි යයි ඇතැම් නායකයෝ අදත් පුරසාරම් දොඩති. එහෙත් එම ජිවිත පරිත්‍යාග සහ ලේ ගැලීම් කර තිබුණේ 1818 ප්‍රථම නිදහස් සටනෙහි දී බව ඔවුහු කීමට පසුබට වෙති. 1948 නිදහස ලැබෙන විටත් යටත් විජිත පාලනයෙන් ශේෂවු ‘කළු-සුදු’‘මුදලි-මුහන්දිරම්’ පවුල්වලින් පැවතෙන නායක කාරකාදීන් විසින්ම ජාතික නිදහස සැමරීමද එක්තරා ඓතිහාසික උත්ප්‍රාසයකි. සටන් සමයේදි සිංහල කැරලි නායකයන්ට එරෙහිව චරපුරුෂකම් කළ, එනිසාම තාන්නමාන්න මෙන්ම ඉඩම් දේපොළ සහ ධන ධාන්‍ය ලැබු පිරිස්වලින් පැවතෙන්නන් ඒ අමිහිරි අතීතය සිහිපත් කිරීමට මැලිකමක් දැක්විම අරුමයක් නොවේ.

මේ වසර මුළු රටටත් විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශයටත් ආගමික සංස්කෘතික රාජ්‍ය පාලනමය හා ජනජිවීතය සම්බන්ධයෙන් වැදගත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එසේ වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහි පැන නැගුණ 1818 ප්‍රථම ජාතික නිදහස් සටන හෙවත් උඩරට මහකැරැල්ල අවසන් වි හරියටම අවුරුදු දෙසීයක් ගෙවීයන හෙයිනි.

වසර 100ක් පමණ වන මිනිස් ආයු කාලයක් සසඳන විට හා අවුරුදු 200ක් දිර්ඝ කාලයක් සේ දැණුනත්, එයින් දුග්ගැහැට විඳි ප්‍රදේශයන්ට හා පවුල්වලට එය අද ඊයේ සිදු වු දෙයක් මෙන් මනස තුළ රැව් දෙන්නට පටන් ගනී. සිංහල ඥාති ප්‍රවේණි අනුව ද අවුරුදු 200ක් යනු ”හත්මුතු පරම්පරා”වක (එනම් අත්තා, මුත්තා, නත්තා, පනන්තා, කිත්තා, කිරිකිත්තා, කිරිකෑමුත්තා) කාලයයි. එහෙත් මේ රටේ අනාගතය ගැන මෙනෙහි කිරීමේ දී එම ප්‍රථම ජාතික නිදහස් අරගලයෙන් අදටත් උගත යුතු පාඩම් බොහෝ ඇත.

1506න් පසු, මෙරට ඇති සංස්කෘතිය මෙන්ම ස්වභාවික සම්පත් ද දැකීමෙන් පහළවු අසීමිත තෘෂ්ණාව නිසා එය තමා සතු කර ගැනීමට පැමිණි යුරෝපීය නාවුක බලවතුන්, ඔවුන්ගේ සංස්කෘතිය දේශීය ජනයා මත බලහත්කාරයෙන් පටවන්නට වෙර දැරුහ. මුහුදු බඩ පළාත් පෘතුග්‍රීසි පාලනයට නතුවීමට පෙර ”උඩරට” ”පහත රට” යනුවෙන් භේදයක් සිංහලයන් අතර පැවතුනු බවට සාක්ෂි නොමැත. ඇත්ත වශයෙන්ම සිදුවුයේ මුහුදු ආක්‍රමණිකයන් හා ඔවුන්ගෙන් සිදුවු තාඩන පීඩන විඳදරා ගත නොහැකි මුහුදු බඩ විසු සිංහලයන්ගෙන් කොටසක් රට අභ්‍යන්තරයට පළා ගොස් එකළ ”සිංහලේ” නමින් හැදින්වු කන්ද උඩරටට එකතු වීමෙන් එවකට රට අභ්‍යන්තරයේ ශේෂව පැවැති සමාජය සහ පාලන තන්ත්‍රය පෞරාණික ආර්ය සංස්කෘතිය මුහුකුරා ගිය, එහි මුලික සංස්කෘතිකාංග ආරක්ෂා කරගෙන සිටි, සරල දිවිපැවතුම්වලට හුරුවි සිටි ජන සමුහයකගෙන් සමන්විත විය. මේ බව විසිතුරු අන්දමින් ප්‍රකාශ කරන සම්මානිත විද්වතෙකු වු ආනන්ද කුමාරස්වාමි සිය අග්‍රගන්‍ය ප්‍රකාශනයක් වු ‘මධ්‍යකාලින සිංහල කලා’ නම් කෘතියෙන් මැනවින් පැහැදිලි කරයි :

”ශත වර්ෂ තුනකට අධික කාලයක් හැඩිදැඩි කන්ද උඩරට වැසියන් සිය නිදහස රැකගත් අතර, එමගින් සිංහලයන් ජාතික ආනන්‍යතාවක් ඇති ඔවුන්ටම හිමි කලා ශිල්ප ඇති සුවිශේෂ ජනසමුහයක් වශයෙන් සැලකීමට අපට අවසර ලැබේ.”

1818 දී තමා ප්‍රමුඛත්වය ගනිමින් දියත්කළ ශ්‍රී ලංකාවේ මහා නිදහස් සටනේදීත් ඔවුන්ට කැප කිරීමට සිදු වු ජීවිත පරිත්‍යාගයන් සහ අනේකවිධ තාඩන පීඩනවලින් ඇති වු අනිෂ්ඨ ප්‍රතිවිපාකවලින් තවමත් විනාශ වු ප්‍රදේශ මි දී ඇතැයි කිව නොහැක. කැරලි තත්ත්වය මඟහැරි දශක කිහිපයකට පසුව මහනුවර විනිශ්චයකාර වරයෙකුව සිටි ඒ.සි. ලෝරි මහතා ඒ ගැන මෙබදු සටහනයක් තබයි:

”1818 කැරැල්ල පැවැති සමයේ උඩරට ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය පාලනය පිළිබද කථා පුවත ලැජ්ජාවක් නොමැතිව කිව නොහැකියි.... 1819 වන විට ප්‍රමුඛ පවුල්වල දිවිරැකගෙන සිටි එකදු සාමාජිකයකු පවා සොයා ගැනීමට නොහැකි විය...කඩුවට හෝ තුවක්කුවට ගොදුරු නොවී බේරි සිටි ජනයා කොළරාව වසුරිය හා අගහිඟකම් හේතුවෙන් සිය ගණනින් මළහ” (ලෝරිගේ ගැෂටියර්, 203 පිටුව)

ඉන්දියාවේ ජාතික නිදහස දිනාගැනිමට සිය දහස් ගණන් ජිවිත කැප කිරීමට සිදුවුවත්, අප රටේ එක ලේ බිඳුවක් හෝ නොසොලවා එය ලබාගැනීමට හැකිවි යයි ඇතැම් නායකයෝ අදත් පුරසාරම් දොඩති. එහෙත් එම ජිවිත පරිත්‍යාග සහ ලේ ගැලීම් කර තිබුණේ 1818 ප්‍රථම නිදහස් සටනෙහි දී බව ඔවුහු කීමට පසුබට වෙති. 1948 නිදහස ලැබෙන විටත් යටත් විජිත පාලනයෙන් ශේෂවු ‘කළු-සුදු’‘මුදලි-මුහන්දිරම්’ පවුල්වලින් පැවතෙන නායක කාරකාදීන් විසින්ම ජාතික නිදහස සැමරීමද එක්තරා ඓතිහාසික උත්ප්‍රාසයකි. සටන් සමයේදි සිංහල කැරලි නායකයන්ට එරෙහිව චරපුරුෂකම් කළ, එනිසාම තාන්නමාන්න මෙන්ම ඉඩම් දේපොළ සහ ධන ධාන්‍ය ලැබු පිරිස්වලින් පැවතෙන්නන් ඒ අමිහිරි අතීතය සිහිපත් කිරීමට මැලිකමක් දැක්විම අරුමයක් නොවේ.

පොදුවේ ගත් කළ අප ඉතිහාසයේ, 19 වැනි ශත වර්ෂයේ ප්‍රථම භාගය අතිශයින්ම දුර්භාග්‍ය සම්පන්න සමයක් විය. ඒ වනවිට මුහුදුබඩ පළාත් යටත්කොට ගෙන සිටි පළාත් පාලකයන්වු පෘතුගිසි, ලන්දේසී හා ඉංග්‍රිසින්ද කන්ද උඩරට ප්‍රදේශයන් සිය ආධිපත්‍යයට නතුකර ගැනීම සඳහා නිරන්තරයෙන් වෙරදැරුහ. එම සියවසේ මුලදීම එනම් 1803 දී කන්ද උඩරට යටත් කර ගැනිමට දියත් කළ අසාර්ථක යුදප්‍රයන්තයෙන් පසු, හමුදා බලයෙන් රට මැද යටත්කර ගැනීමේ දුෂ්කර බව ඔවුහු මැනවින් අවබෝධ කොට ගත්හ. ඒ වෙනුවට සටකපටකමින් සහ චරපුරුෂ බුද්ධි සටන් මඟින් එය අත්පත් කර ගැනීමට උපාය මාර්ගිකව මේ සඳහා බෙහෙවින් උගත් සහ බුද්ධිමත් චරපුරුෂයන් යොදවා ගත් අතර, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයයෙන් උගත්, පසුව සිංහල භාෂාව මැනවින් කථාකිරීමට පුහුණුවු ජොන් ඩොයිලි වැනි බුද්ධියෙන් අනූණ එහෙත් අතිශයින් කපටි පුද්ගලයන් යෙදවුහ. ඒ සඳහා ඔවුන් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඇතැම් මුදලිමුහන්දිරම්වරුන්ගේ සහායද නොමඳව ලබාගත්හ. තවද බෙහෙවින් උපායශීලි ලෙස රජතුමන් මෙන්ම උඩරට ප්‍රධානීන්ගෙන් බොහෝ දෙනෙක්ද මත්පැන් පානයට ඇබ්බැහි කළහ. මෙම ඇබ්බැහිකමට අවසන් රජුවු ශ්‍රී වික්‍රම රාජසිංහයන්ද ගොදුරු වු සැටි, බමනමතින් ඇහැළේපොල පවුලේ ඝාතනය සිදු කළ අයුරු ගැන ඇති මුඛ පරම්පරානුගත විස්තරවලින් පැහැදිලිවේ.

එහෙත්, 1849 බ්‍රිතාන්‍ය පර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පෙනි සිටි ශ්‍රී ලංකාව ගැන බහුශ්‍රැත දැනුමක් තිබු ආචාර්ය ඬේවි මහතා සිය සාක්ෂියෙන් කියා සිටියේ බ්‍රිතාන්‍ය සොල්දුවක් 1000ක් පමණ (එනම් මුළු බලකායෙන් 20%ක් පමණ) මියගිය බවත් ස්වදේශීන් අතරින් සටනේ දී මියගිය හෝ ඝාතනයට ලක්වු පිරිස 10, 000ක් (මියගිය ඉංග්‍රිසි හේවායන් මෙන් දසගුණයක්) පමණ වු බවත්ය. එහෙත් ලෙඩ රෝග හා දුර්භික්ෂ නිසා මියගිය සහ ඝාතනයට ලක්වු සංඛ්‍යාව ද, ජාතික සටනෙහිදි දිවිපිදු විරවරයන්ගේ ද, රුධිරය 1948 ජාතික නිදහස ලැබීම කරා කුමන අයුරකින් හෝ හේතුපාදක නොවුවා යයි කෙසේ නම් කිවහැකිද?

යටකී පසුබිම් තුළ 1796 ඉංග්‍රීසින් මුහුදුබඩ පළාත් අල්ලාගත් තැන් සිට 1818 උඩරට ගිවිසුම අත්සන් කරන තෙක්ම යටත් විජිත පාලනය විසින් උඩරට ප්‍රදේශ කෙරෙහි අනේක විධ පීඩනයන් ඇති කරන ලදි. එහි කොන්දේසි අමුඅමුවේ උල්ලංඝනය කිරීම 1818 කැරල්ලට මංපැදු අතර, එබඳු ඇතැම් සාධක 1848 මාතලේ කැරැල්ලටද හේතුවිය. මේ නිසා මේ සිද්ධීන් තුනම, එනම් 1815 ගිවිසුම, 1818 නිදහස් සටන සහ 1948 මාතලේ කැරැල්ල, යන ඒවා එකම නිදහස් සටන් මාලාවක පුරුක්සේ සැලකීම යුක්ති යුක්ත වේ.

මේවා අතරින් 1815 උඩරට ගිවිසුම ගැන ලියවී ඇති පොතපත, හා ලිපිලේඛන එතරම් දුලබ නොවේ. ඒවා තුළින් පැන නඟින මතවාද මෙන්ම දුර්මතද බහුලය. එම ඓතිහාසික ලියවිල්ලේ ඇති නෛතික භාවය පිළිබද ප්‍රශ්න එකළ සිටම මතුවිය. එහි වර්තමානයට ඇති අදාලත්වය සමහරු ප්‍රශ්න කළහ. එම ගිවිසුමේ දෙමළෙන් සහ සිංහලයෙන් අත්සන් කර ඇති ආකාරය නිසා එහි පිළිගත හැකිබව ගැනද ප්‍රශ්න නැගුණි. ඒ සියල්ලටම වඩා මෙම ගිවිසුම මඟින් උඩරට ප්‍රධානීන් රට පාවාදුන් බවට අදටත් ඉඳහිට මුත් චෝදනා මුඛයෙන් කථා කරන අය සිටිති. මේ පිළිබඳ පවතින ජනශ්‍රැති ද බොහෝය. එයින් එකක් නම් ගිවිසුම කෙටුම්පත් කළේ වාරියපොළ සුමංගල හිමියන් විසින් බවයි. මේවායේ සත්‍යාසත්‍යතාව තවදුරටත් විමර්ශනය කළ යුතුව ඇත.

1818 නිදහස් සටනේ ඇරඹුමට හේතුවුයේ 1815 ගිවිසුම කඩ කිරීම නිසා උපන් බලගතු අසහනයන් වූ බවට සැකයක් නැත. බුදු සමයට ගිවිසුමෙ පරිදි හිමිතැන නැති කිරීම විශේෂයෙන් භික්ෂු ශාසනයට දැරිය නොහැක්කක් විය. තවද පාරම්පරික සංස්කෘතික සම්මතයන් කඩමින් අන්‍යාගමිකයන්ට උසස් නිලතල පැවරීම මගින් ප්‍රධාන පාලක පන්තියට මදිපුංචිකම් කිරීම ඔවුන්ට දැරිය නොහැකි විය. මෙවන් අසහනයක් නිසා මඩුගල්ල උඩ ගබඩා නිලමෙ මහියංගන විහාරයට ගොස්, හෙළ සිරිතට අනූව රජුන් ප්‍රමුඛ සිංහල ආණ්ඩුවක් පිහිටුවීමට බාරයක්වීම කණ වැකුණු වහාම, බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා, ඔහු කැඳවා නඩු විමසා ඒ රාත්‍රීයෙහිම සිය පවුල වෙත යාමටවත් ඉඩ නො දී නගරයෙන් පිටුවහල්කර ඔහුගේ නිවස ගිණිබත් කළේය. ඔහුගේ දේපල විකුණා දමා එයින් ගත් මුදලින් තැනූ බ්‍රිතාන්‍ය සොල්දාදු විශ්‍රාම නිවස අදත් වෙනත් ස්වරූපයකින් පවතී. මෙයින් පෙන්වන්නේ යටත් විජිත පාලකයෝ ඔවුන්ගේ බලය ගිලීහීයාම ගැන කොතරම් තැති ගැන්මකින් සිටියාද යන්න පමණක් නොව, එබදු සුඑ සිද්ධින්ට පවා කොතරම් දරුණු ලෙස ප්‍රතිචාර දැක්වුවාද යන්නයි.

තවද කැරැල්ල මැඩපැවැත්වීම සඳහා නිතරම සැක සංකාවෙන් පෙළුණ යටත් විජිත පාලකයෝ දරුණු අත්තනෝමතික ක්‍රියාමාර්ග අනුගමනය කළහ. රාත්‍රී හමුදා මෙහෙයුම්, ස්ත්‍රි දුෂණ, ගම් පිටින් සියලු දේපොල විනාශ කිරීම සහ මනුෂ්‍ය ඝාතන වැනි රුදුරුකම් ඔවුහු නොකඩවා කළහ. විශේෂයෙන් මෙම සැහැසිකම්වලට ගොදුරු වුයේ, කැරැල්ල හටගත් ඌව ප්‍රදේශයේ ගම්බිම්ය. අදත් එහි සංචාරය කරන්නෙකුට වරක් සශ්‍රිකත්වයෙන් අනුන එඩිතර මිනිසුන් මහත් අභිමානයෙන් ජිවත් වු ගම්මාන, පාලුගම් බවට හැරුණු තැන් දක්නට ලැබේ.

සමහර පවුල් සියවසර දෙකක් ගෙවී ගොස් තිබුනත්, තම පැරණි ගම්බිම් කරා අදත් එන සැටි දක්නට ලැබේ.

මෙම විනාශය සහ සිදුකළ මහා මිනිස් ඝාතන හා දරුණු යුධ අපරාධවලට වන්දියක් පවා පවතින කිසිදු රජයකින් නිදහසින් පසු ඉල්ලා නැත. එපමණක් නොව මානව හිමිකම් ගැන අපමණ ඝෝෂා කරන බ්‍රිතාන්‍ය රජය, අදවන තෙක් එදා සිදුකළ ඛේදවාචක ගැන පසු තැවිමක් හෝ ප්‍රකාශයට පත් කොට නැතෙ.

1815 ගිවිසුම කිසිසේත් රට පාවාදීමේ ක්‍රියාවක් ලෙස සැළකිය නොහැකි බව අවධාරණය කළයුතුව ඇතෙ. ඕනෑම ජාතික රජයක, අතිශයින් දුෂ්කර රාජ්‍ය තාන්ත්‍රික උභතෝකොටික ප්‍රශ්නවලට මැදිවන අවස්ථාවල දී, රටට අවම විනාශයක් විය හැකි විකල්පවලට එළඹීමට කුමන රාජ්‍ය නායකයෙකුට වුවද සිදුවේ.

බ්‍රිතාන්‍යයන්ගේ ඉමහත් හමුදා බලය ඉදිරියේ, එක්කෝ ඔවුන් සමඟ සෘජුව සටන්කර පරාජයට පත් වීමේ අනතුර එක් පැත්තකින් ඉස්මතුවී තිබුණි. අනෙක් අතින් ඔවුන් රට බලහත්කාරයෙන් අල්ලාගෙන මහ ලේ ගැලීමක් හා විනාශයක් සිදුවීමේ අනතුර වැඩි වශයෙන් පැහැදිලි වියෙ. මෙවන් පසුබිමක, දේශීය සංස්කෘතියත්, ජන ජීවිතයත්, පුර්ණ නිහීණ බවකට නොවැටී ආරක්ෂාකර ගැනීමේ අභියෝගය ඉදිරියේ, රට තුළ නෛතික ගිවිසුමක් අත්සන් කිරීම සැබැවින්ම මුහුකුරාගිය දේශපාලන බුද්ධියක් පෙන්වයි. මෑත ඉතිහාසයේ එබඳුම තත්ත්වයක් කොටි ව්‍යාපාරය පාලනය කිරීමේ මුවාවෙන් ඉන්දීය හමුදා මෙරට ආක්‍රමණය කිරීමේ සැබෑ තර්ජනයක් උද්ගත වූ අවස්ථාවේ දී, විශේෂයෙන්ම රටේ අවකාශ සීමාවන් කඩා බිඳ දමමින් යාපනයට පරිප්පු දැමීමෙන් මොනවට පැහැදිලි විය. මේ තත්ත්වය යටතේ උඩරට ගිවිසුම දෙස සමච්චලයෙන් සැලකු එවකට සිටි ජනාධිපතිවරයාට පවා, ඒ අවස්ථාවේ දී ඉන්දු-ලංකා ගිවිසුමට එළඹීම හැර අන් විකල්පයක් නොවීය.

1815 උඩරට ගිවිසුම සහ 1818 නිදහස් අරගලයත් 1848 මාතලේ කැරුල්ලත්, යන මේ වැදගත් ඓතිහාසික සිද්ධින් සම්බන්ධයෙන් විවිධ ඉතිහාසඥයෝ විවිධමත දරති.

ඒ සඳහා පාදකකර ගන්නා ලිපිලේඛන පවා යටත් විජිත සමයේදි හෙලිදරවි නොකිරිමේ පිළිවෙතක් පැවතිබවට සැක පහලකළ හැකියි. තවද, නිදහසින් පසුව වුවද ලියවෙන බොහෝ ලිපි සමිපුර්ණයෙන් ස්වාධින හෝ විෂයමුලක යැයි අප නොසිතමු. නිදසුනක් වශයෙන් මේ පිළිබඳව ලියන ලද බෝහෝ ලිපිලේඛනවල, පිටු දසදහසකින් යුත් 1850 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු තේරිම් කාරක සභා වාර්තාව ගැන සඳහන් කරන ලේඛකයෝ විරලය. 1826 මදුරාසි ගැසට් පත්‍රය පවා සොයා ගැනීම දුෂ්කරය.

1848 කැරුල්ලට සම්බන්ධ ඇතැම් ලිපිලේඛණ ජාතික ලේඛණාගාරයෙනුත් අතුරුදහන්ව ඇත.

1818 ප්‍රථම ජාතික සටන ගැන ඉතිහාසඥයන් අතර උනන්දුව මොන හේතුවක් නිසා හෝ අතිශයින් දුර්ලභ බව ද කිව යුතුය. මෙසේ පසුගිය දිනක පැවැත්වු ජාතික ඉතිහාස සමුඑවකට ඉදිරිපත්කොට තිබු ලිපිලේඛණ 150කට අධික ප්‍රමාණයෙන් එකක්වත්, මෙම වසරට අවුරුදු 200ක් පිරෙන ජාතික නිදහස් සටන පිළිබඳ සදහනක්වත් නොකරයි. මෙසේ විමට හේතුව අපගේ ඉතිහාසඥයන් මුලදීම ගොදුරුවු බ්‍රිතාන්‍ය කැස්පාරිස් ගුරුකුලයේ විකෘති චින්තන මාර්ගය දැයි සැකපහල වේ.

සුමංගල හිමියන් විසින් සඟවාගෙන සිටි දළදා කරඬුව අත්පත් කර ගැනිමත්, කැප්පෙටිපොල සෙන්පතිතුමන් ඇතුළු කැරලි නායකයන් ඝාතනය කිරිමත් සමඟ පසු බාගිය කැරැල්ල නැවතත් හිස ඔසවන්නේ යටත් විජිත ඉඩම් කොල්ලය හා සමගාමීවය. 1840 පැන වු රාජසන්තක ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනිමේ පනත මීට නිදසුනකි. මීට අමතරව උඩරට ප්‍රදේශ කරා පිටතින් පැමිණි ධනවත් ආයෝජකයෝ ප්‍රදේශවාසි ගැමියන් නව වහල් භාවයකට පත් කිරිමට සම්මාදන් වූහ.

ඔවුන්ගේ දේපොල කූට අන්දමින් සුරාකමින් නැවත කිසිදා නැගි නොසිටින තැනකට ඔවුහු පත් කලහ. මේ අතර වැඩි වැඩියෙන් පැමිණි මිෂනාරි දුත පිරිස්වලට අනුබල දුන්නා මෙන්ම වතුවල කුලිවැඩ කිරිමට අකමැති වු උඩරැටියන් වෙනුවට මහා ශ්‍රම හමුදාවක් ඉන්දියාවෙන් ගෙන ඒමට ද කටයුතු කළහ.

1818 ජාතික නිදහස් සටනේ නිමාව ලෙස සටහන් කළ හැක්කේ ශ්‍රී දළදා වහන්සේ සමඟ අතුරුදහන් ව සිටි අස්ගිරි අනුනායක ධුරයෙන් පිදුම්ලත් වාරියපොල සුමංගල නාහිමියන්, දඹුල්ල වනපෙතක දී අත් අඩංගුවට ගත් 1818 නොවැම්බර් 2 දින ලෙස සැලකිය හැකිය. ඒවන විට අඳුනා ගත නොහැකි තරම් කෙහෙරැවුල් දික්ව සිටි උන්වහන්සේ, දිගින් දිගටම ශ්‍රී දළදා වහන්සේ දකුණු උරහිස මත සඟවාගෙන, අසිමිත ගෞරවයකින් අදාළ වතාවත් ඉටුකළහ. ශ්‍රී දන්තධාතුන් වහන්සේ රාජ්‍ය බලයේ උත්තරීතර සංකේතය වු හෙයින්, එය අත්අඩංගුවට ගත් පසු නැවත රාජ්‍යබලය සංකේතාත්මකව ඔවුන් අතට පත්වු බැව් යටත්විජිත පාලකයෝ සැළකුහ.

තවද, කැප්පෙටිපොල මහ නිළමේතුමන් එම වසරේම ඔක්තෝම්බර් මස 28 වැනි දින අත්අඩංගුවට පත්වු අතර නොවැම්බර් 25 දින හිසගසා ඝාතනය කොට, එම හිස්කබල එංගලන්තයට ගෙනයන ලදී. මෙසේ නිදහස් අරගලයේ අවසානය මීට වසර දෙසියකට පෙර නොවැම්බර් මාසයේ දී සිදුවු බව සැළකිය හැකිය. කැප්පෙටිපොල මහනිළමතුමන්ගේ ඝාතනය බොහෝ අතින් 1305 දී හිසගසා කුරිරු ලෙස ඝාතනයට ලක්වු, ඉංග්‍රීසි හමුදාවන්ට එරෙහිව සටන්කළ ස්කොට්ලන්ත ජාතිකයන් විසින් දියත්කළ නිදහස්සටනේ නායකයාව සිටි, ශ්‍රීමත් විලියම් වොලස්ගේ ඝාතනය හා සමාන බැව් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ලිපි ලේඛණවල සඳහන් වේ. එකළ ස්කොට්ලන්ත විමුක්ති සටන්කරුවන්ද උපයෝගි කොට ගෙන ඇත්තේ අප විරුවන් විසින් යොදවා ගත් සැගවී පහර දෙන ගරිල්ලා ක්‍රමම වූ බව මෙහි දී සනිටුහන් කළ යුතු වේ.

යට දැක්වු ඓතිහාසික අසාධාරණයන්ට ලක් වු, තවමත් මහා දුක්ගැනවිල්ලක් හදවත්තුළ දරා සිටින, මේ රටේ අතීත සංස්කෘතික උරුමයන් රකගැනීමට ජිවිත පරිත්‍යගයන් පවා සිදුකළ උඩරට ප්‍රදේශ නගා සිටුවීම, ඔවුන්ගේ යහපතට පමණක් නොව රටේ ජාතික අනන්‍යතාව පවත්වා ගෙන යාමටද මහෝපකාරිවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

උඩරට මහකැරැල්ල හෙවත් ප්‍රථම ජාතික නිදහස් අරගලයට අවුරුදු දෙසියක් පිරෙන මේ වසරේ ජාතික දිනය සමරන අවස්ථාවේ දි යටකී කරුණු මෙනෙහි කිරිම, රටේ අනාගත දිශානතිය ගැන තීන්දු තීරණ ගන්නා අයට මාර්ගෝපදේශයක් වනු ඇතෙ.

සී. ඇම්. මද්දුම බණ්ඩාර
සම්මානිත මහාචාර්ය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Comments