මන බන්දන නාද තාල සිත් පිනවන මියැසි රාව | Page 4 | සිළුමිණ

මන බන්දන නාද තාල සිත් පිනවන මියැසි රාව

සංගීත ශෛලිය කුමක් වුවත් එයින් මතු කරනු ලබන ධ්වනි සංයෝගය තුළින් මිනිස් මනසේ ඇති භාවයන් උද්දීපනය සිදු කරයි. එය සෑම සත්ත්වයෙක්ගේම හෘද ස්පන්දනය, රුධිර සංසරණය හා බැඳී පවතින්නකි. එකට බැඳී හඬ නගන ධ්වනි මාලාවේ කොතැනක හෝ ධ්වනියකින් මානව සත්ත්වයා අවදි කරනු ඇත. මේ සත්ත්ව ලෝකය සිව්පා සතුන්ටත් බලපෑ හැකිය.

සංගීතයක විද්‍යාත්මක අංශය නාද විද්‍යා‍වයි. විශ්ව භාෂාවක් වන සංගීතය ශ්‍රව්‍ය කලාවකි. මෙය ස්ථුලය. සංගීතය ගලා බසින ස්ථාපත්‍ය කලාවක් සේ ද ගිණිය හැකිය. මෙම කලාවේ වඩා වැදගත් විශේෂත්වය වන්නේ සම්බන්ධ සංගති පැවැත්වීමයි. එහි සන්තුලනය පරම්පරාශ්‍රිත සංයෝජනය හා මනෝභාවයන් උත්පාදනය කිරීමේ ශක්තිය අනිකුත් කලාවන්ට වඩා සංගීත කලාවේ වැඩිබවක් උසුලයි. ධ්වනිය මුල් කොටගත් සංගීත පර්යේෂණ විද්‍යාව( Musicology) තුළින් මිනිසාගේ මනෝභාවයන් උද්දීපනය කළ හැකි බව මතයයි. මෙහිදී විශේෂයෙන් සංගීතයේ නාද සංයෝජන ක්‍රමය (Harmonic principles) නාදයේ විද්‍යාත්මක හැසිරීම පදනම් කරගෙන වර්ධනය වී ඇත.

ධ්වනි (නාද) විද්‍යාවේදී විශේෂයෙන් එහි උප්පත්ති සිදුවන්නේ න කාර - ප්‍රාණව‍ාචක(වායුවාචක ) සහ ද කාර (අග්නිවාචක) වශයෙන් වායු සහ අග්නි යෝගයෙන්ය. (සම්බන්ධවීමෙන් ය) නාද ප්‍රභේදයන් දෙකකි. ආහත හා අනාහත. සවිඥානිකව හඳුනා ගත් නාදයක් වේ ද එය අනාහත වේ. මෙම නාදයත් කිසියම් වස්තූන් ගැටීමකින් තොරව උපදී. දෙකන් විවිර ඉතා තදින් වසා සිටින විට “හූම් හූම්” සාං සාං හෝ (මුහුද ගොඩගලන්නා වැනි) ශබ්ද ඇසීය හැකිය. මෙම නාද මුක්ති බවෙන් යුත්ත බව පුරාතන සෘෂිවරු විශ්වාස කරති. එහෙත් එය ජීවමාන නොවේ. මේ නිසා ජීවමාන සංගීතයට මෙය කිසිසේත්ම උපයෝගී නොවේ.

ආහත නාද කිසියම් වස්තු දෙකක් ගැටීම නිසා සිදුවන නාද උත්පත්තියකි. මෙය සංගීතය හා සම්බන්ධ වේ. අනාහත නාද විමුක්තිය ළඟා කිරීමේ යෙදෙන බවක් ආහත නාද භව සාගරය තරණය කරන්නක් බවත් “දමෝදාර් පණ්ඩිත්” සංගීත දර්පන ග්‍රන්ථයෙහි පෙන්වාදෙයි. ආහත නාද ව්‍යවහාරයේ ශ්‍රැති (ස්වර, ග්‍රාම්, මුර්ජනා) ආදියෙන් සකස් වී මිනිස් සිත රංජනය කරනු ලබයි. මෙම නාද ග්‍රහණය කිරීමෙන් සුර්ද්‍රස්, මීරාබායි, වැනි කවි කිවිදියන් ද ප්‍රභූ සරණ ගිය බව හින්දි සාහිත්‍යයේ සඳහන් වේ.

සංගීතයේ භාවිතා වන නාද 22 ක් පවතින බව මතයයි. මෙම නාද එකින් එකට උච්චභාවයට පත්වේ. මෙය ශ්‍රැති නමින් හැඳින්වේ. මෙම ශ්‍රැති මතම ගායනය කිරීමේ අපහසුතාවය මත ශ්‍රැති 22 න් ස්වර 12 ක් සකස් වී සංගීතය සඳහා උපයෝගී කර ගනී. සංගීතය තුළින් ආනන්දානුභූතියක්ම පමණක් නොව ධ්වනි මඟින් මානසික ස්ථරයන්ද උද්දීපනය කරනු ලබයි. ඒ හා සමගම මනෝභාවයන් ප්‍රභාවිත කරයි. සංගීතය මඟින් තම ආත්මය හා භක්තිමය මනෝභාවයන් උද්දීපනය කරන බව මතයයි. භක්තිමය හැඟිම් උත්පාදනය කිරීමද එක් ආවේගාත්මක ස්වරූපයකි. එයින් තම ආත්මය ප්‍රභාවිත කරනු ලබයි. මේ නිසා ආනන්දයෙන් ප්‍රඥාවට ලැබේ.

සංගීත කලාවේ එක් ස්වරූපයක් නම් අප විසින් සිදු කරනු ලබන ක්‍රියාවලීන් එකිනෙක සම්බන්ධ කිරීමයි. විශේෂයෙන් සංගීත ශාස්ත්‍රයේ දී අපට හමුවන ධ්වනිමය රාග - රාගිනියන් (ශාස්ත්‍රීය රාග) අපගේ ආත්මය ප්‍රභාන්විත කරයි. එහි ඇති ප්‍රකෘති සෞන්දර්ය අපට ආනන්දය ගෙන දෙයි.

සංගීත ශාස්ත්‍රයේදි, සංගීතය මානව හැගීම් ප්‍රකාශ කරන භාෂාවක් සේ හඳුන්වන බව දර්ශනවාදී හර්බට් ස්පෙන්සර්ගේ මතයයි. නාද උත්පාදන ප්‍රයෝග භාවිතය තුළින්ම මිනිස් සිතේ භාවයන් හඳුනාගැනීම සහ ඒ තුළින් මනෝභාවයන් උත්පාදනය කරමින් මානසික සුවයක් ඇති කරලිමට සමත් විය හැකි සංගීත සං‍යෝජන තුළින් මිනිස් ආත්මයට හා මනසට ලිහිල් භාවයක් අවධි කළ හැකිය.

මා මෙහිදී සාකච්ඡාවට භාජනය කරන්නේ ලෝකයේ බිහි වී ඇති සංගීත ශෛලීන් පිළිබඳව නොව ඒවාට පොදු වූ ස්වර සප්තකය හෙවත් හඳුනා ගත් ස්වරයටන්ට උරුම වූ ධ්වනි සමුදාය පිළිබඳවය. හඳුනාගත් ස්වර (ධ්වනි) සමුදායත් මෙහි කලින් සඳහන් ශ්‍රැති 22 මධ්‍යයේම පිහිටා ඇත. මෙම ධ්වනි ග්‍රහණය කළ හැකි අවස්ථා අවට ලෝකයෙන් අපට අත් විදිය හැක. උදාහරණයක් ලෙස කර්මාන්ත ශාලාවක හදිසි ඇමතුම් නලාව (සයිරන්) එය පහත් හඬක සිට උස් හඬක් දක්වා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් වාදනය වේ. එය ශ්‍රවණය කිරීමේදී ඔබගේ මනෝභාවයන් කුමන ස්ථරයක රැ‍ඳෙන්නේදැයි සිහිපත් කරන්න. හදිසියක්, අවධානයක්, කළබලයක් ආරක්ෂා ස්ථානයක පිහි‍ට, මේ ආදී සිතුවිලි රැසක් දෝලනය වෙමින් අප හදවතෙහි ආන්දෝලනය වනු ඇත. මෙසේ සිදුවන්නේ තම මනසේ චිත්ත වේග එක අරමුණකට ඒකරාශී වීමෙනි. මෙය පොදු ඒකාග්‍රතාවයකි. එසේ නැතිනම් එම ඒකාග්‍රතාවය ඇති කිරීමට ධ්වනි සංයෝගයෙන් ලබා දෙන සංඥාවකි.

මා‍ මෙහිදී අදහස් කරන්නේ සංගීත ශෛලය කුමක් වුවත් එයින් මතු කරනු ලබන ධ්වනි සංයෝගය තුළින් මිනිස් මනසේ ඇති භාවයන් උද්දීපනය සිදුකරයි. එය සෑම සත්වයෙක්ගේම හෘද ස්පන්දනය, රුධිර සංසරණය හා බැඳී පවතින්නකි. එකට බැඳී හඬ නගන ධ්වනි මාලාවේ කොතැනක හෝ ධ්වනියකින් මානව සත්ත්වයා අවධි කරනු ඇත. මෙම සත්ව ලෝකය සිව්පා සතුන්ටත් බලපෑ හැකිය. (වයලීනයක් වාදනය කරන විට, ඝණ්ටාර නා‍දයක් ඇසෙන විට බල්ලන් උඩු බිරීම සිදුකරන අවස්ථා ඇත.)

මානසික සුවයට සංගීතයේ බලපෑම හෙවත් සංගීතයේ යෙදීම බොහෝ දුර‍ට රස නිෂ්පත්තිය තුළින්ම ජනිත කළහැකි බව මගේ විශ්වාසයයි. එයට අමතරව අප සැම සැලකිල්ලට ගත යුතු වන්නේ මිනිසාගේ රුධිර සංසරණයේ පවතින රිද්මයයි. ඒ ගැනත් හිතන්න. මිනිසෙකුගේ ශරීරයේ ලේ ගමනය වැඩි වුවහොත් ඔහු අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නෙකි. ලේ ගමනය අඩු වුවහොත් ඔහු අඩු රුධිර පීඩනයෙන් පෙළෙන්නෙකි. නිරෝගී මිනිසෙකුගේ ආශ්වාස ප්‍රාශ්වාස ගණනය කිරී‍මේදී එය විනාඩියකට වාර 16 – 22 අතර විය යුතුයයි වෛද්‍ය මතයයි. එය වැඩි වුවහොත් හෝ අඩු වුවහොත් රෝග ලක්ෂණයක් විය හැකිය. එමෙන්ම නිරෝගි පුද්ගලයෙකුගේ නාඩි ස්පන්දනය විනාඩියකට 72 වරක් විය යුතුයයි වෛද්‍ය මතයයි. එය 60 කට අඩුවුවහොත් හෝ 120 දක්වා වැඩිවුවහොත් කිසියම් රෝගයක ස්වභාවයකි.

නාද සං‍යුතියක් නිර්මාණය කිරීමේදී මේ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුමයි. අද අප බොහෝ සංගීත ශෛලීන් උපයෝගී කර ගනිමින් මානසික ආතතිය අඩු කිරීම සඳහා සංගීත චිකිත්සා පර්යේෂණ කාර්යයේ නිරත වෙති.

සංගීතයේ ධ්වනි ගුණය හා මිනසාගේ හෘද ස්පන්දන ගුණය තුළනය වෙමින් මතු කර ගත හැකි ධ්වනි සංයෝජනය මේ කාරණයේදී ඉතා වැදගත් වේ. එහෙත් එහි ඇති යථා ස්වභාවය පිළිබඳ මනා අවබෝධයක් සංගීත චිකිත්සාව මෙහෙයවන්නා තුළ තිබිය යුතුය.

අද සංගීත චිකිත්සාව වෙනුවෙන් නිර්මාණය කරනා ලද බොහෝ සංගීත නිර්මාණ අන්තර්ජාලය හරහා අපට වින්දනය කළ හැකියි. උදා: අහස ගැන, මුහුද ගැන, ජලය ගැන, ආත්මය ගැන, ශෘංගාරය ගැන, පරිසරය ගැන නිර්මාණය වූ සංයෝජන අපට හමුවේ. මානසික සුවය සඳහා එයින් ලැබෙන ප්‍රතිපෝෂණය කොතෙක් දැයි ගණනය කළ නොහැක. එම නිසා නිර්මාණකරනයේදී වඩා වැදගත් වන්නේ රස මාධුර්යය පිළිබඳව දක්වන ප්‍රතිචාරයයි. මෙහිදී විශේෂයෙන් හින්දුස්ථානයේ රාග රාගිනී ධ්වනි සංකල්පයද යෝග්‍ය වේ. එහි එන රාග විස්තර අනුව ගොඩ නැගෙන රස සංයෝග සංගීත චිකිත්සාවේදී ඉතාමත් අවැඩි අංගයකි. මහා භාරත සමයේ සිටම මිනිසුන්ගේ විශ්වාසය වූයේ කිසියම් කාර්යයක් කරන විට සංගීතය නිසා විඩාවක් නොදැනෙන බවය. රෝගී මනස සංගීත චිකිත්සාවකින් සුවය ලැබීම සඳහා වින්දන කුසලතාවයක්, වින්දන ශක්තියක් තිබීම විශේෂ සුදුසුකමක් වේ.

හින්දුස්ථානි රාග රාගිනී පද්ධතියේ හඳුන්වාදෙන රාග මඟින් උත්පාදනය කරන රස නිෂ්පත්තීන් කෙරෙහි අවධානය යොමු කිරීමට ද කැමැත්තෙමි.

උදාහරණයක් ලෙස: පණ්ඩිත් විෂ්ණු නාරායන් භාත්ඛණ්ඩේ පඩිතුමා විසින් හඳුන්වා දුන් හින්දුස්ථානී රාග පද්ධතිය විශේෂිතය. එහි දී හඳුන්වාදෙන යමන් රාගය වීර ශාන්ත රස උත්පාදනය කරන බව විශ්වාසයයි. මෙම රාගය ගායනය කරන හෝ වාදනය කරන කාලයද රාත්‍රී ප්‍රථම ප්‍රහාරය හෙවත් සන්ධ්‍යා කාලයයි.බිලාවල් නමැති රාගයෙන් ශෘංගාර රස, හාස්‍ය රස හා ශාන්ත රස උත්දීපනය කරයි. මෙය උදය කාලයේ ගායනය හා වාදනයට සුදුසු වේ. මේ ආදී වශයෙන් භක්ති රස, කරුණා රස හා ගාම්භීර බව ඉස්මතු කෙරෙන රස මතු කරන රාගද මේ අතර වේ. මෙම රාග ගායනය ‍හෝ වාදනය ශ්‍රවණය තුළින් මානසික සුවයක් ලද හැකි බව විශ්වාසයයි. මෙහිදී රෝගී මනස සංගීත චිකිත්සාවකින් සුවය ලැබීම සඳහා වින්දන කුසලතාවත්, වින්දන ශක්තියත් තිබීම විශේෂ වේ. සංගීතයේ ධ්වනි ගුණය හා මිනිසාගේ හෘද ස්පන්දන ගුණය තුළනය වීමෙන් මතු කර ගත හැකි ධ්වනි සංයෝජනය මේ කාරණයේදී ඉතා වැදගත් වේ. 

Comments