හර්තාල් - ගඩොල් | Page 4 | සිළුමිණ

හර්තාල් - ගඩොල්

සුමනේ පිළිබඳව ගමේ පමණක් නොව අහල ගම් පළාත්වලත් ආරංචි පැතිර ගියේ ඔහුගේ ප්‍රතිරූපය සහ වත්පොහොසත් බව මෙන්ම ගඩොල් කර්මාන්තයේ ප්‍රසිද්ධියක් ද අත් කර දෙමිනි. එහි ප්‍රතිඵලය වූයේ රටේ බොහෝ ප්‍රදේශවලින් සුමනෙගේ ගඩොල් සඳහා ඇණවුම් පිට ඇණවුම් ලැබෙන්නට ගැනීමය. ආණ්ඩුවටත් ගඩොල් සපයන තැනකින් තමන්ටත් විශ්වාසයකින් යුතුව ගඩොල් මිලට ගැනීමට ලැබීම භාග්‍යයක් ලෙස ඔවුහු කල්පනා කළෝය. මේ අනුව කළු සුමනේ ගඩොල් පෝරණු 50ක 60ක හිමිකරු බවට පත්වූවා පමණක් නොව සිය ගණනකට රැකියා සපයන හාම්පුතෙකු බවට ද පත්විය. තමාගේ අනෙක් බාල සහෝදරයන් දෙදෙනා කැඳවා ගත් සුමනේ කලවාන ලෝකුරු උන්නැහෙගේ මද්දුමී සහ බාල කෙලී යන නෑනලා දෙදෙනා ඔවුන්ට විවාහ කර දීමෙන් පසු කලවාන සහෝදරයෝ යනුවෙන් පෙනී සිටියේය.

 

කලවාන බ්‍රදර්ස් සමූහ ව්‍යාපාරය මුලින්ම පටන් ගැනුණේ තනි කැටේ ගඩොල් පෝරණුවකිනි. කැටේ යනු පෝරණුවට දර ඇතුළු කරන උදුනේ විවරය යි. සාමාන්‍යයෙන් ඕනෑම ගඩොල් පෝරණුවක අඩුම තරමින් කැට හෙවත් දර කොට ඔබා ගිනි දල්වන කවුළු හතරක්වත් තිබේ. එහෙත් කලවාන සහෝදරයන්ගේ වැඩිමලා වූ කළු සුමනේ විසින් 1953 මාර්තු 12 දා බුද දා පූර්ව භාග 09.11 ට නැගෙනහිර බලා ගිනි දල්වනු ලැබූවේ තනි කැටේ ගඩොල් පෝරණුවකි.

' ...කම්මලේ මයිනහම අදින්න ආපූ ආතක් පාතක් නැති කළු සුමනේ කලවානයාගේ ලොකූ එකී සහේට අරගෙන එතනම බින්න බැස්ස පිංගුත්තරයා ... ඕං බලහං ඕකා ඔය පවුලටම මහ වින්නැහියක් වෙනවා ඉතරක් නෙවෙයි ...මූ තනි කැටේ ගඩොල් පෝරණුවක් හැදුවා මදිවාට මහ නරකම වේලාවකනේ ඒකට ගිනි ඇවිළෙව්වේ ... බලහං අද මේ ගම විතරක් නෙවෙයි මුළු රටම ආලා පාලු කලබලේකට ගිය දවසකම නේ ඔය මූසල වැඩේ කෙරුවේ ...' යි කියමින් ගමේ නැකත් රාළ වූ කස්තුරි ආරච්චි තමා හමුවට එන හැමෝටම කළු සුමනෙගේ තනි කැටේ ගඩොල් පෝරණුව ගැන ලුණු ඇඹුල් සහිතව කරුණු කාරණා ගෙන හැර පෑවේය. ගමේ ඕනෑම කෙනෙක් ඕනෑම සුබ කටයුත්තක් සිදු කෙළේ කස්තුරි ආරච්ච්ගේ නැකත් ශාස්ත්‍රය සහ අවවාද උපදේශ අනුවය. එහෙත් කලු සුමනේ සහ කලවාන ලෝකුරුවාගේ වැඩිමහල් දියණිය විවාහ වූයේ කස්තුරි ආරච්චිගේ නැකත් ශාස්ත්‍රය හෝ අවවාද අනුසාසනා පයිසෙකටවත් මායිම් නොකරමිනි. එදා සිට කස්තුරි ආරච්චි; කලු සුමනෙගේ බලවත්ම හතුරා බවට පත් වූවා පමණක් නොව ඔහු විසින් කරනු කියනු ලබන සෑම දෙයක් ගැනම ඔත්තු බලන්නා බවට ද ඒ පිළිබදව ගම පුරා ගතු කේළාම් පතුරන්නා බවට ද පත්වූයේ ස්වේච්ජාවෙනි.

මෙකල මතු නොව එකල ද දෙපැත්තට ම කියන්නෝ වූහ. එහෙයින් කස්තුරි ආරච්චි සහ කළු සුමනේ එකිනෙකාට එරෙහිව කියනු ලබන ඇණුම්පද ඒ සැණෙකින්ම දෙදෙනාගේ කනට වැටුණේ තාර බර ද සහිතවය. ''..... ඔය මූසල පෝරං උලව්වේ පුච්චපු ගඩොල් අරගෙන දෙයක් හැදුවොත් ඒ ස්ථානේ මකබෑවිලා යනව විතරක් නෙවෙයි ඒකේ වසන එව්වොත් නැහෙන එක නැහෙනවාමයි ..'' යනුවෙන් කස්තුරි ආරච්චි කතාවක් පතුරුවා හැරියේ කළු සුමනෙගේ ගඩොල් පෝරණු කර්මාන්තය උපන් තැනම නැසෙන තැනට පත් කරවීමටය. කෙසේ නමුත් සතියකට පසුව කළු සුමනේ පෝරණුව ලිහා උණු උණුවේම ලබාගත් රතුම රතු පාට ගඩොල් තොගය තම නිවෙස ඉදිරිපිට ලස්සනට අට්ටි ගසා පළමු ගැනුම්කරුවා එනතුරු මග බලා සිටියේය. ගම්වැසියන් එකෙක් නෑර පැමිණ ගඩොල් අතට ගෙන ඒ මේ අත හරවමින් ද අත්ල මත තබා බර මැනිමෙන් ද නොනැවතී ගඩොල් දෑතට ගෙන එකිනෙක හප්පා සවි ශක්තිය ද පිරික්සූ නමුත් ඒ කිසිවකුත් විසින් එකම ගඩොලක්වත් මිලට ගනු ලැබුවේ නැත. '..සුමනේ මලේ මෙව්වා ඉතිං හර්තාල් ගඩොල් නොවැ ...අනිත් කාරණාව තනි කැටේ පෝරණුවේ පුච්චපුවා නේ ..ඊටත් උඹහෑ ..පෝරණුවට ගිනි දැම්මෙත් නරකම හෝරාවක කියලයි ආරංචිය ..ඕං මං නං ආයේ නැති තැන කිව්වා හේම නෙවෙයි ...ගමේ හැම එකාලම මේකට කියන්නේ හර්තාල් ගඩොල් කියලයි ...උඹ ඔන්නොහේ දන්න කරුමාන්තේ කොරගෙන හිටහං ...මේ වැඩේ උඹලට හරියන එකක් නෙවෙයි ...' යි රැපියෙල් අක්කා සුමනෙගෙ මුහුණටම කීවාය. ' මේං මේ පොඩ්ඩක් හිටහං ...ඔය කියපු ඔක්කෝම හරිය කියමුකෝ ...මේ ගඩොල්වලට හර්තාල් ගඩොල් කියන්නේ මොකෝ ..අන්නේක ඉතරක් තේරුං බේරුං කරලා යමංකෝ ..' යි සුමනේ රැපියෙල් අක්කාගේ වමතේ මැණික් කටු සන්ධිය කිටි කිටියේ ග්‍රහණය කරගත්වනම ඇසුවේය. ' ආයේ මයේ මොකෝ තෝ පෝරණුවට ගිනි ලෑවේ අර හර්තාල් යුද්දේ තිබුණු දවසෙම නේ ..අන්නේක නිසා තමා ගමේ එවුන් ඔලොක්කුවට කියන්නේ කළු සුමනෙගෙ හර්තාල් ගඩොල් කියලා .. ' යි සැරෙන් වැරෙන් කී ඇය අතගසා දමා ආපසු නොබලා පිටත්ව ගියාය.

කස්තුරි ආරච්චිගෙන් මගුල් තුලා නැකත් නො අසා කලවානේ ලෝකුරු උන්නැහෙගේ ලොකු දූ විවාහ කර ගැනීමේ සිද්ධිය නිසා ඔහු අතට හසුවන හැම දේකින්ම තමාට දමා ගසමින් සිටින බැව් සුමනේට අවබෝධ වී තිබිණ. තනි කැටේ පෝරණුව අසුබ වෙලාව යනාදිය කියමින් නොනැවතී ඔහු දැන් තමාගේ ගඩොල් හර්තාල් ගඩොල් යැයි නමක් ද පටබැඳ ඇති බැව් සුමනෙට වැටහිණ. සුමනේ විසින් තමාගේ තනි කැටේ පෝරණුවට හා හා පුරා කියා ගිනි ඇවිළවූ දිනය වූ 1953 අගෝස්තු 12 දා ලංකා සමසාමජ පක්ෂයේ මූලිකත්වයෙන් රටපුරා හර්තාල් විරෝධතාවක් දියත් කෙරුණු අතර එයින් මුළු රටේම වැඩ කටයුතු අකර්මණ්‍ය වූවා පමණක් නොව එවකට ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය රැස්වූයේද මුහුදේ නැංගුරම් දමා තිබූ නැවක් තුළදීය.

තවත් සතියක් හමාරක් ගත වූ අතර එක් දිනෙක කළු සුමනෙගෙ නිවෙස ඉදිරිපිට ගොඩගසා තිබූ ගඩොල් තොගය ද අතුරුදන්ව තිබිණ. ගැමියන් ඒ පිළිබඳව විමසූ විට සුමනේ මෙසේ කීවේය. ' මගේ ගඩොල්වලට ආණ්ඩුවෙන් හොඳ සහතිකයක් ලැබුණා ව්තරක් නෙවෙයි ..මගේ ගඩොල් මිලට ගන්නත් ආණ්ඩුවේ නිලධාරි මහත්වරු අනුමැතිය දුන්නා. ආං ..මගේ මුල්ම ගඩොල් තොගයෙන් දැන් ඩිස්පැන්සරියේ පඩි පෙළයි තාප්පෙයි හදනවා ... දැං ඉතිං දිගටම වැඩ තමා ...' යි කී ඔහු තවත් තනි කැටේ ගඩොල් පෝරණු හතරක වැඩ එකවිටම ආරම්භ කෙළේය. ඒවායින් ලබා ගත් ගඩොල්වලින් ලහි ලහියේ තැපැල් කන්තෝරුව ප්‍රජා ශාලාව සුසාන භූමිය සහ පිං ළිදේ ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදුවෙමින් තිබියදී සුමනේ ගැමියන් අමතා මෙසේ කීවේය ' රත්නත්‍රයේ ආනුභාවයෙන් සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් හිතුවටත් වඩා හොදට මගේ වැඩේ කෙරුණා ඉතිං දැං මං හිතුවා ගමේ පන්සලේ මල් ආසන ටිකයි ඝණ්ටාර කුලුනයි බෝධී ප්‍රාකාරයයි මගේ වියදමින්ම හදලා පූජා කරන්න '

මේ සමගම සුමනේ පිළිබඳව ගමේ පමණක් නොව අහල ගම් පළාත්වලත් ආරංචි පැතිර ගියේ ඔහුගේ ප්‍රතිරූපය සහ වත්පොහොසත් බව මෙන්ම ගඩොල් කර්මාන්තයේ ප්‍රසිද්ධියක් ද අත්කර දෙමිනි. එහි ප්‍රතිඵලය වූයේ රටේ බොහෝ ප්‍රදේශවලින් සුමනෙගේ ගඩොල් සඳහා ඇණවුම් පිට ඇණවුම් ලැබෙන්නට ගැනීමය . ආණ්ඩුවටත් ගඩොල් සපයන තැනකින් තමන්ටත් විශ්වාසයකින් යුතුව ගඩොල් මිලට ගැනීමට ලැබීම භාග්‍යයක් ලෙස ඔවුහු කල්පනා කළෝය. මේ අනුව කළු සුමනේ විසින් ගඩොල් පෝරණු 50 ක 60 ක හිමිකරු බවට පත්වූවා පමණක් නොව සිය ගණනකට රැකියා සපයන හාම්පුතෙකු බවට ද පත්විය. තමාගේ අනෙක් බාල සහෝදරයන් දෙදෙනා කැදවා ගත් සුමනේ කලවාන ලෝකුරු උන්නැහෙගේ මද්දුමී සහ බාල කෙලී යන නෑනලා දෙදෙනා ඔවුන්ට විවාහ කර දීමෙන් පසු කලවාන සහෝදරයෝ යනුවෙන් පෙනී සිටියේය.

පන්සලේ මල් ආසන ඝණ්්ටාර කුලුන සහ බෝධි ප්‍රාකාරය මුළුමනින්ම ගොඩනැගුණේ සුමනෙගේ තනි වියදමින් නමුත් ඒවා පූජා කරන පිංකම ගමේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදු කෙරුණේ ගිගුම් දෙන සාධුකාර හඬ සහ සිත් පහන් කරවන ඝණ්්ටාර නාදය මැදය. මල් ආසනයට පළමුව මල් පූජා කළ නායක හාමුදුරුවෝ දෙවැනියට ඒ සඳහා සුමනෙට ඇරියුම් කළහ. මල්දෝත අතට ගත් හෙතෙම කලින් සැලසුම් කරගෙන සිටියාක් මෙන් වටපිට බලන විට සෙනග අතර කොනකට වී අසරණ එහෙත් නොසන්සුන් ඉරියව්වෙන් සිටි කස්තුරි ආරච්චි වෙත ගොස් එක එල්ලේ ඔහුගේ දෙනෙත් දෙස බලමින් මෙසේ කීවේය. '..මේ ගමේ නායක හාමුදුරුවන්ට දෙවැනිව ඉන්න එකම සම්භාවනීය පුද්ගලයා තමා කස්තුරි ආරච්චි මහත්තයා ..එහෙනං මේ මල් ආසනේට මල් පූජා කරන මුල්ම ගිහියා වෙන්න ඕනේ තමුන්නැ‍ෙහම තමා ..' යි කියමින් මල් දෝත ඔහුගේ අත්ල මතට දැමුවේය. සියොලෙඟ හිරිගඩු පිපෙන විදුලියක් වැදුණාක් මෙන් ගැස්සී ගිය නමුත් කස්තුරිආරච්චි ලහි ලහියේ සෙනග අතරින් ගමන් කොට මල් පූජා කෙළේ තමා තුළ වූ ව්‍යාකූල බව වෑයමෙන් සගවා ගන්නට තැත් කරමිනි. ඒ සිද්ධිය එසේ වෙත්දී කටකාර රැපියෙල් අක්කා ද සෙනග අතර සිටිමින් තමා අසලම වුන් කස්තුරි ආරච්චිගේ බිරිද අමතා මෙසේ මුනු මුනු ගෑවාය. ' ....ඕං බලහං කෝ ...මේ බුද්ධ දරුමේ බොරුයි කියන්නේ කොහොමෙයි ...සුමනෙගේ ගඩොල් හර්තාල් ගඩොල් කියලා ගම පුරා අපහාස උපහාස පතුරුවපු එකාලටම අද දෙනෝ දාහක් ඉදිරියේ ඒ හර්තාල් ගඩොල් ගොඩටම වඳින්න වුණා නෙව ..'

තවත් කාලයක් ගත්වෙත්දී සුමනෙගේ නායකත්වයෙන් යුතු කලවාන සහෝදරයෝ සහ සමාගම ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාරයේ පමණක් නොව වැවිලි සහ අපනයන ක්ෂේත්‍රයේ බලවත් භූමිකාවක් හිමිකර ගත්තේය. මේ සිද්ධියෙන් වසර තිහකට ආසන්න කාලයක් ගත්වෙමින් තිබියදී සුමනෙගේ ලොකු පුතා පළාත් සභා ඡන්දයකට ඉදිරිපත්වීම නිසා ඔහුට පුවත්පත් කලාවේදීන් සමග මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට වුවමනා විය. එක් දිනෙක විකල්ප පුවත්පතක පත්තරකාරයකු සමග දොඩමලු වෙමින් සිටියදී කලවාන බ්‍රදර්ස් ඇන්ඩ් කොම්පැනි ලිමිටඩ් හි සභාපති දේශබන්ධු සුමනවීර කලවාන මෙසේ කීවේය.

'... මං අද සුමනවීර කලවාන වුණත් මේ කලවාන කියන වාසගම ගත්තේ මගේ මාමණ්ඩි හේමත් නැත්තං කලවාන ලෝකුරු උන්නැහේගෙන් .. ඒ කියන්නේ මට තියෙන්නේ මගේ භාර්‍යාවගේ වාසගම නේ ...එතනිං ගියපුවාම මං මුලින්ම හැදුවේ තනි කැටේ ගඩොල් පෝරණුවක් ...එහෙම කෙරුවේ පුච්චන්න තරං මහ ගඩොල් තොගයක් හදාගන්න මට වත්කමක් නොතිබිච්ච හින්දනේ ... නමුත් ගඩොල් ටික නං පදමට පිච්චිලා ආවා .. ඒ වුණත් එක ගඩොලක්වත් විකුණගන්න ලැබුන්නෑ ...ඔහොම ඉද්දී මං හිතුව මේ ගඩොල් ටික කාටහරි නිකංම දීලා දාන්න ..ඉතිං මං පන්සලේ නායක හාමුදුරුවන්ට මේ ගැන කිව්වහම උන්වහන්සේ මට දුන්නු උපදේසේ හැටියට මම මුල්ම ගඩොල් දෙසිය පණහ දාලා ආණ්ඩුවේ ඩිස්පැන්සරියේ පඩිපෙළ හදලා දෙන්නද කියලා දොස්තර මහත්තයගෙන් ඇහුවම උන්නැහේ කිව්වා ' ඉතිං මගේ මොකෝ හදලා දාන එකනේ තියෙන්නේ..' කියල. ඔය වැඩේ ඔහොම කරමින් ඉදිත්දී එක දවසක් දොස්තර මහත්තය මට කිව්වා සුමනෙට ඕනේ නම් නිකංම නෙවෙයි මට ඕකට ආණ්ඩුවෙන් පොඩි මුදලක් අරං දෙන්නත් පුළුවන් කියලා උන්නැහේගේ සාක්කුවෙන් මට රුපියල් විස්සක් දුන්නා ... අන්න එතැනිං පස්සේ ගමේ ප්‍රචාරයක් ගියා මං ආණ්ඩුවටත් ගඩොල් සපයනවයි කියලා ...අන්න එතනිං පස්සේ හැම තැනකිංම මට ගඩොල් ඕඩර් එන්න ගත්තා ...ඔන්න ඔහොමයි මගේ නැගිල්ල පටන් ගත්තේ ඒ මිස එදත් අදත් හෙටත් මං ආණ්ඩුවේ ලියාපදිංචි කොන්ත්‍රාත්කාරයෙක් නෙවෙයි ...'

මේ විස්තරය අසා සිටි පුවත්පත් වාර්තාකරු ඔහුගෙන් ඍජු ප්‍රශ්නයක් ඇසුවේය. ' ඔය ඔක්කොමත් හරි කියමුකෝ ඒත් ඔබතුමා මොකෝ භාර්‍යාවගේ වාසගම ගත්තේ ...සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඕකේ අනිත් පැත්තනේ ...?' කිසිදු හදිසියකින් තොරව අවධාරණාත්මක ස්වරයෙන් ඔහු මෙසේ කීය. ' ඉතිං මහත්තයෝ මං භාර්‍යාවගේ වාසගම ගත්තාය කියලා වරදක් වෙලා තියේද ..නෑනේ ..මං හිතන්නේ ඒ වාසගම මගේ නැගිල්ලට ලොකු ලක් එකක් වුණා කියලයි ' යි හෙතෙම කී විගසම වාර්තාකරු පෙර සූදානම්ව සිටියාක් මෙන් ඊ ළග ප්‍රශ්නයත් ඇසුවේය. ' .. ඒ කියන්නේ ඔබතුමා ඔය ගුප්ත ශාස්ත්‍රය ශබ්ද ශාස්ත්‍රය වගේ දෙයක් නිසාද නෝනගේ වාසගම ගත්තේ ? මේ ප්‍රශ්නය ඇසීමත් සමගම සුමනවීර ඇගේ මස්පිඩු නටවමින් සිනාසෙන්නට විය. ' ... මේං මොන මගුලක් අහනවද මහත්තයෝ ...ඔය සුමනවීර කියන නම තිබ්බට මට උප්පැන්න සහතිකයක්වත් නෑ ...මං කුඩා කාලේ හිටියේ අත්තම්මා කෙනෙක්ගේ ගෙදර ..ඉන් පස්සේ තවත් කොල්ලෝ දෙන්නෙක් කොහෙන්දෝ මන්දා ආවා ..එවුං මගේ එක් කුස උපන් සහෝදරයෝ නොවුණත් අයියා මල්ලී කියාගෙනයි අපි හිටියේ එවුන්ට වගේම මටත් උප්පැන්න සහ්තිකයක් තියා කේන්දර කොළයක්වත් නෑ ..ඉතිං මං භාර්‍යාවගේ වාසගම ගන්නව ඇරෙන්න වෙන මොකක්ද කියන්නකෝ කරන්න පුළුවන්. ..'

පුවත්පත් වාර්තාකරු ඔහුගෙන් සමුගෙන පෙරළා කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඒ පැය හතරක පහක කාලයේම ඔහුගේ සිත කල්පනාවෙන් භරිත වී තිබුණත් ඔහුට සුමනවීර කලවානගේ කතාව අදහන්නට ම අමාරු සිද්ධියක් බවට පත්ව කාලයක් පුරා හිතේ හොල්මන් කෙළේය.

 

Comments