රන්කඳ තාම පැල් රකි­න­වදෝ...නිදි නැතුව.... | Page 4 | සිළුමිණ

රන්කඳ තාම පැල් රකි­න­වදෝ...නිදි නැතුව....

“ගිනි දු සෙනෙන්හි ලසඳවැගත් පැළ පතක් සේ” යනුවෙන් බුත්සරණ ග්‍රන්ථයේ “හේන් ගොවිතැන්” ගැන නැවුම් වපුරද්දී; පැරණි ලංකාවේ සෞභාග්‍යවත් නිවහනයක් ලෙස හේන් ගොවිතැන සඳහන් කළ හැක.

කෘෂිකාර්මික සංවර්ධනයේ ව්‍යාප්තියන් සමඟම දඩයමින් ජීවත් වූ මිනිසා; අල බතල වලට හුරු වෙමින් ඔවුන් කුඹුරු අස්වැන්නේ වින්දනය ලැබීය.

බිනර වැසි වලින් ආලෝකමත් වන ගොවියා ; ඔවුන් හේන් වග‍ාවෙහි භෝග වැපිරීමට මුල පුරති. වට්ටක්කා, පුහුල්, ලබු, කැකිරි, වැටකොලු අපුරුවට සිනාසෙද්දි ; බටු, දඹල, අවර, බණ්ඩක්කා එළවළු නැවුම් සුවඳින් සිත ප්‍රබෝධමත් කරවයි.

විශේෂයෙන්ම; මහන්සියෙන් අටවා ගත් අස්වැන්න ;ඔවුන් පළමුව කරනු‍යේ; දෙවියන්ට පුද පුජා පැවැත්වීමයි. නමුත් වර්තමානයේ මෙවැනි පුජාවන් බොහෝ දුරට නොපනින අතර හුරුවට කරන චාරිත්‍ර ‍එහෙන් මෙහෙන් ඇසෙන්නේ කලාතුරකිනි. කිරි ඉරිඟු පුජාව, දේව පුජාව ඔවුන්ගේ “චාරිත්‍ර සංස්කෘතියේ” විශේෂ ස්ථානයක් ලබද්දි; ‘ගොවි පොළ’ දෙවියන්ට බාර කිරීමේ පුජාව මට නොකියාම බැරිය. ගොවිපොළ දෙවියන්ට බාර කිරීමේ පුජාවේදී ; දෙවියන් හත් දෙනාගෙන් එක් දෙවියකුට පුජා පැවැත්විය යුතු බව කිව යුතුය. හුනියන් දෙවියන්, වන්නි බණ්ඩාර දෙවියන්, කළු බණ්ඩාර දෙවියන්, කන්දේ දෙවියන්, පුල්ලෙයාර දෙවියන්, මැණික් බණ්ඩාර දෙවියන් හා කුමාර දෙවියන් මෙම දෙවිවරු හත් දෙනාය.

මෙහිදී දෙවියන්ට බාර කළ පසු; ගොවියාට හේනට ඇතුළු වීමට අවසර නොලැබේ. මෙසේ දෙවියන්ට වෙන් කළ හේන් වල පළමු අස්වැන්නෙන් කොටසක් දෙවියන්ට පුජා කරනු ලබයි. මෙම පළමු පුජා දානය “අලුත් සහල් පුජාවක්”ලෙස හඳුන්වයි.

“කුරහන් රොටි” අපුරු රසවත් ආහාරයකි. මෙම “රොටී” පදමට ලුණු දමා රසවත් කළ විට එහි “ව්‍යංගාර්ථ රසය” ජනිත වන්නේ මී පැණි, මස් හොඳි ,එළවළු හා සම්බල් ආදි ව්‍යංජන එකතු කිරීමෙනි.

මෙසේ හේන් ගොවිතැනේ සශ්‍රීකත්වය උතුරද්දී ; ඔවුනොවුන් ‘ජන කවි’ වින්දනීය අඬහැරයෙන් පවිත්‍ර වූහ. යුගල ජන කවි, කුරක්කන් කවි, පැල් කවි, වස් කවි ආදී නිර්මාණ ආකෘති හරහා “ජන කවියේ” සෞන්දර්යාත්මක බන්ධනය සටහන් විය.

“වරිගේ අපේ කවුරුත් කෙටුවා හේනක්

වරිගේ අපේ කවුරුත් රැක්කා හේනක්

වරිගේ අපේ කාටත් තිබුණා හේනක්

වරිගේ පුරුද්දට මා කෙටුවා හේනක්”

‘හේන්’ ආශ්‍රීත වගා කටයුතු කෙරෙද්දී; පැරණි සිංහලයා ඔවුන‍්ගේ “ජීව‍නෝපාය”ලෙස බඩවියත රැක ගන්නේ මෙම හේන් වගාවෙනි. මේ නිසා “හේන” ඔවුන්ට දෙවියන් වැනිය.

හේන් ගොවිතැනෙහි සෞන්දර්යාත්මක අගය කියවෙද්දි ; ඔවුන‍් අස්වැන්න ලැබෙන තෙක්; නොයෙක් දුක් ගැහැට විදිමින් කරන ආයාචනා ඔබගේ ඇසටද හිතටද දුක ගයනු ඇත. මේ නිසා ඔවුන්ගේ හැඟිම් “ජන කවියෙන්” කියවුණේ අපුරු සුසංයෝගයෙනි.

“දාවල සකලයින්ගේ වස කරච්චලේ

රෑ අලි බොටා හේනට එයි කඩන් කැලේ

මෝරන ඉරිඟු කිරි කුරහන් බලන් පැලේ

හිමේ ඉදැන් මං ගෙවනවා අකුසලේ

උඳුවප් මහේ තද සීතල දැනෙන කොට

ගිනි ගොඩ ළඟට වී ගුළි වී නිදන විට

වන සීපාවො හේනට ගොඩ බසින විට

දෙවියෝ කියති ඒ බව සිහිනයෙන් මට

ඉරුං තලප දඩමස් හොද්දෙන් කන්නේ

පැලට ඇවිත් ගෝහාලේ කුදහන්නේ

එන එන සතුන් ගැහැ කියලයි පන්නන්නේ

හේනට විදින දුක මා පමණයි දන්නේ”

හේන් ගොවියා ; හේනේදි විඳින දුක අපමණ බව මෙම “ජන කවි” තුළින් ඔබට වැටහෙනවා ඇත. විශේෂයෙන්ම සතුන් හේනට ඇවිත් ; උන්ගේ විප්ලවය දකිද්දි; ගොවියාගේ සිත දුකින් බර වීම සාධාරණය. මේ නිසා ; රෑ පහන් වන තුරු තම ජීවන වෘත්තිය උකහා ගන්නේ ආයාසයෙනි. එමෙන්ම තම දරුවන් හා බිරියගෙන් ඈත් වී ගෙවන මේ ජීවිතය තුළ සතුට උතුරන්නේ “සරු අස්වැන්නක” අසිරි මවන්නටය. ජන කවියාගේ “කාව්‍ය රූප” ඔවු‍න්ගේ පෞද්ගලික හැඟීම් උද්දීපනය කරන්නේ; ජනකවි රස විදින ඔබටද අත්දැකීම් සමුදායක් උකහා දෙමිනි. තම අඹුව ගෙදර දමා ;ගොවියාගේ හිතෙන් මුමුණන මේ කාව්‍ය කල්පනා ඔබට රසය හා දුක සමව බෙදන බව කිව හැක.

“බැද්ද උඩින් සඳ පායා දිලීයන්

සද්ද කරන ඌරට හෙන වැඳීයන්

මගෙ කුරහන් හේන හනිකට පැසීයන්

දෙවියන් අණින් මගෙ අඹුදරු රැකීයන්

කොට්ට මෙට්ට ඇද ඇතිරිලි ගෙදර දමා

අඹුව දරුව හැම වස්තුව ගෙදර දමා

ආවත් ඉවර නැත තවමත් වැටිය දමා

මේනි කලේ මේ ලැබු වැල වතුර දමා”

විශේෂයෙන්ම කාන්තාවන්ගේ රුව හා එමඟින් නැගෙන නිසොල් කලාපය තුළ “හේන් ගොවියා” කවි ගොතන්නේ; ඔබ සිතට “ගැහැනුන්” ගැන විචිත්‍රවත් මවමිනි.

“මටත් විසේ තිබුණා ගෑනු ගන්නට

බත් ටික උයන්නට නොදනීය කන්නට

බඩ වුවොත් හැකිද මේකිට වදන්නට

ළඟදීම පිටත් කරනවා ගමට යන්නට”

කාන්තා‍වගේ භූමිකාව වන්නේ දරුවන් හදා වඩා ; උයා පිහා තම සැමියා සමඟ එකට විසිමය. උයන්නට නොහැකි කාන්තාවන්ට ; එකල ගැමියන් අඩු සැලකිලි දැක් වූ බව ඉහත කවියෙන් මනාව ඔප්පුවේ.

හේන් ගොවිතැන කතා කිරීමේදී “කුරහන් කවියක් හෝ දෙකක් නොකිව්වොත් ඔබද අසතුටු වන බව මම දනිමි. මේ නිසා “කුරහන් කවි” වල රසය මොහොතකට අපි මෙසේ රස විඳිමු.

“අපේ ගමේ ගමරාලගේ කුරක්කන්

කයිය හැදිලා කපනා කුරක්කන්

කයිය මැද්දේ කළු එතනෝ වනක්කන්

නාඩා කපාපන් මහ කළු කුරක්කන්

යායේ කුරක්කන් මයෙ කිරි කුරක්කන්

එක් පෙති දෙපෙති මයෙ හේනේ කුරක්කන්

තුන් පෙති වෙලා කිරි වදිනා කුරක්කන්

කපා දියන් මගෙ නෑනෝ කුරක්කන්”

හේන් වගාව තුළ දුක සතුට සමව බෙදෙන විට “සරු අස්වැන්න” සිතට කිරි උතුරද්දී ; ගැමියාගෙ සිත උමතුවෙන් ප්‍රබෝධමත් වන්නේ; ආශිර්වාදයක් නංවමිනි.

ප්‍රදේශ අනුව ; හේන් ක්‍රමය විවිධ ලෙසින් විතැන් වෙන විට; ඔවුන්ගේ කතා බහද ; කාව්‍ය ව්‍යවහාරද විවිධනය වන බව නොවනුමානව දැකිය හැක. මේ නිසා “ජන කවියේ” අර්ථ රසය පණ ගන්වමින් ඔබට දැක්වු මෙම “උදාහරණ” තරමක් දුරට හෝ ; ඔබ සෑහීමකට පත් වනු ඇතැයි මම සිතමි. 

Comments