රබර් වගාවට අලුත් ඉඩම් | Page 6 | සිළුමිණ

රබර් වගාවට අලුත් ඉඩම්

දේශීය අවශ්‍යතා පිරිමසා ගැනීමට තරම් රබර් නිෂ්පාදනයක් නොවීම මේ වන විටත් ප්‍රබල ගැටලුවක් වී තිබේ. මෙයට හේතුව රබර් වගාවෙන් දේශීය අවශ්‍යතාව පිරිමසා ගැනීමට සරිලන රබර් අස්වැන්නක් නොලැබීමයි. මේ සඳහා සාම්ප්‍රදායික ප්‍රදේශවල නව රබර් වගා සංස්ථානපනය කිරීමට නොහැකි වී තිබේ. එයට හේතුව ඉඩකඩ නොමැති වීමයි. මේ සඳහා රජයේ පුරෝගාමීත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ තෝරා ගත් ප්‍රදේශවල රබර් වගා කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් යෝජනා කර ඇත. මේ වැඩපිළිවෙළට සමගාමීව නවතම ව්‍යාපෘතියක් සාම්ප්‍රදායික නොවන ප්‍රදේ්‍ශවල ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ රබර් පර්යේෂණ ආයතනයේ ශාක විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය චමිල් නයනකාන්ත මහතාගෙන් අදහස් විමසුවෙමි.

 

• මේ වන විට අපේ රටේ රබර් අවශ්‍යතාව පිළිබඳ පැහැදිලි කළොත්?

අපේ රටේ නිපදවන රබර්වලින් සීයයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය වේ. එයට හේතුව එබර් ආශ්‍රිත නිෂ්පාදන රැසකට රබර් අමුද්‍රව්‍යයක් ලෙස අවශ්‍ය වීමයි. ඒත් අපේ රටේ අස්වැන්නෙන් ලැබෙන රබර් ප්‍රමාණය මේ සියල්ල සපුරාලීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපට විදේශ රටමවලින් රබර් ගෙන්වන්නත් සිදු වෙලා. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් අපේ රටේ රබර් වගාව වැඩි කර රබර් අස්වැන්න වැඩි කර ගැනීම සහ තිබෙන රබර් වගාවන්ගේ ඵලදායීතාව වැඩි කර ගැනීම අනිවාර්යෙන්ම කළයුතුයි.

• රබර් වගාව වැඩි කරන්න වැඩ පිළවෙළක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙනවාද?

ඔව්. අපි මේ සඳහා සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ තෝරාගෙන එම ප්‍රදේශවල රබර් වගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තියෙනවා. මේ වන විට මොණරාගල, කිලිනොච්චිය,වවුනියාව සහ අම්පාර වගේ සාම්ප්‍රදායික නොව ප්‍රදේශවල රබර් වගා කරලා තියෙනවා. ඇතැම් අයට ප්‍රශ්නයක් ඇති අපි ඇයි සාම්ප්‍රදායික ප්‍රදේශවල රබර් වගාව පටන් ගන්නේ නැත්තේ ඇයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. සාම්ප්‍රදායික ප්‍රදේශවල රබර් වගාව සඳහා අවශ්‍ය බිම් මේ වන විට නැහැ. ඒ නිසා තමයි සාම්ප්‍රදායික නොවන බිම්වල රබර් වගා කරන්න තීරණය කළේ.

• සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල රබර් වගා කිරීමේ නවතම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ කුමන නමකින්ද?

අපි මේ ව්‍යපෘතිය රබර් සමඟ විවිධ අතුරු බෝග වගා කිරීම ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ අපි මේ ව්‍යාපෘතියේදී පලතුරු බෝග, ඖෂධ, එළවළු සහ බහුකාර්ය බෝග රබර් සමඟ අතුරු බෝග ලෙස වගා කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අාකාරයට ව්‍යාපෘතිය සංවිධානය කිරීම මඟින් රබර් බෝගය ආර්ථික හා තිරසාර වගාවක් ලෙස සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල සංස්ථාපනය කිරීමට හැකියාව ලැබෙනවා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 33ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම දැනටමත් රුපියල් මිලියන 10ක් 2018 වසරට ලැබිලා තියෙනවා. 2019 වසරට රුපියල් මිලියන 10ක් ද 2020 වසරට රුපියල් මිලියන 10ක් ද ලැබීමට නියමිතයි. මේ ව්‍යාපෘතිය 2021 තෙක් ක්‍රියාත්මක වෙනවා. ඉන් පසු වෙනත් ව්‍යාපෘති යටතේ තවදුරටත් ඉහත පර්යේෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

• නව ව්‍යාපෘතිය මඟින් කොපමණ බිම් ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිතද?

හෙක්ටයාර් 20ක් ආවරණය වෙන ආකාරයට තමයි අපි සැලැසුම හදලා තියෙන්නේ. ඒ වගේම ඒ සඳහා ගොවීන් හතළිස් දෙනකු පමණ යොදාගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලම කරන්නේ තිරසර ආර්ථික බෝගයක් ලෙස රබර් වගාව නැංවීම උදෙසා 2015 සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා දත්තවලට අනුව රබර් වගා කර ඇති මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 132 000ක් වෙනවා. මේ අනුව රබර් වගාවෙන් සීයයට හැටහතරක් කුඩා රබර් වතු හිමියන් සපයන අතර සීයයට තිස් හයක් සපයන්නේ වැවිලි සමාගම් බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අනුව කුඩා රබර් ඉඩම් හිිමියන් ජාතික ආර්ථිකයට සුවිශේෂ මෙහෙවරක් කරන බව පැහැදිලියි. ඒත් නිවැරැදි මඟ පෙන්වීමක් ලබා දෙනවා නම් මේ මෙහෙවර දෙගුණ තෙගුණ කිරීමට හැකියාව ලැබෙනවා. 2015 වැවිලි අමාත්‍යාංශයෙන් සපයා ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව හෙක්ටයාර් එකකින් ලැබෙන ඵලදායිතාව කිලො ග්‍රෑම් 914 කි. රබර් නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 88.6 කි.

• 2021 තෙක් ක්‍රියාත්මක වන මේ ව්‍යපෘතියේ අරමුණ විස්තර කළොත්...

2025 වන විට රබර් නිෂ්පාදනය සීයයට 12කින් ඉහළ නැංවීම රබර් සඳහා වන විශේෂ සැලැස්මෙන් යෝජනා කර තිබෙනවා. අපගේ ව්‍යාපෘතියෙන් රබර් වගා කිරීමට සැලැසුම් කරලා තියෙන්නේ සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල නිසා අපට නොයෙක් ගැටලු මතු විය හැකිය. මේ සඳහා අපි විශේෂයෙන් කටයුතු යොදාගෙන ඇත්තේ රබර් වගාව අතර අතුරු බෝග වගා කිරීමයි. රබර් වගාවෙන් අස්වැන්න ලැබීමට අවුරුදු හත අටක් වැනි කාලයක් ගත වෙනවා. මේ කාලයේදී ගොවීන්ට අතුරු බෝගවලින් අාදායමක් ලබා ගන්න හැකියාව ලැබෙනවා.

• රබර් වගාව අතර වගා කිරීමට සුදුසු යැයි නිර්දේශ කර ඇති අතුරු බෝග පිළිබඳ පැහැදිලි කළහොත්...

යෝග්‍ය බෝග මේ වන විට තෙත් කලාපය වෙනුවෙන් නිර්දේශ කර ඇත්තේ විශේෂ පර්යේෂණයන් කිරිමෙන් අනතුරුවයි. මේ සඳහා රබර් පර්යේෂණ ආයතනයේ ශාක විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරයේෂණ නිලධාරියෙක් ලෙස සේවය කළ එල්.එස්. එස්. පතිරත්න මහතා විසින් තෙත් කලාපය සඳහා සුදුසු අතරු බෝග ලෙස ඖෂධ බෝග රාශියක් හඳුන්වලා දීලා තියෙනවා. මේ අනුව කටුවැල් බටු, තිප්පිලි,නිල්අවරිය, පොල්පලා ආදිය නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම ශාක විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ටී. යූ. කේ. සිල්වා මහතා රබර් සමඟ තෙත් කලාපයේ වගා කළ හැකි පලතුරු බෝග පිළිබඳ පර්යේෂණ සිදු කරනවා. මේ සඳහා පේර, දෙළුම්,දූරියන්, රඹුටන් වැනි බෝග තෙත් කලාපයේ රබර් සමඟ අතුරු බෝග ලෙස වගා කිරීමට ඇති හැකියා පිළිබඳ අධ්‍යනය කරනවා. දැනටමත් තෙත්,අතරමැදි සහ වියළි කලාපවල රබර් සමඟ කෙසෙල් අතුරු බෝගයක් ලෙස වගා කරනවා.

• ඔබ පැහැදිලි කළ ආකාරයට නව ව්‍යපෘතිය හඳුන්වා දී තිබෙන්නේ වියළි සහ අතරමැදි කලාප වෙනුවෙන්. එම කලාපවල වගා කිරීමට සුදුසු පලතුරු ,ඖෂධ සහ අනෙකුත් බෝග මොනවාද?

වියළි කලාපයේ වගා කළ හැකි පලතුරු බෝග වන දෙළුම් , පේර, දොඩම් අතුරු බෝග ලෙස රබර් වගාව අතර වගා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔසු පැළ ලෙස කටුවැල් බටු, පාවට්ටා, පැඟිරි මාන, සේර, සැවැන්දරා, කෝමාරිකා, හීන් අරත්ත ආදිය වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. එළවළු බෝග ලෙස තුඹකරවිල සහ තිබ්බටු වගා කිරීමට කටයුතු කරනවා. ඒ වගේම බහුකාර්ය බෝගයක් ලෙස මුරුංගා වගාකිරීමටත් අවශ්‍ය වාතාවරණය සලස්වනවා. ඒ වගේම වියළි සහ අතරමැදි කලාපවල බඩ ඉරිඟු, රට කජු, මෑ කව්පි, ආදී බෝග දැනටමත් රබර් සමඟ අතුරු බෝගයක් ලෙස වගා කරනවා.

• නව ව්‍යාපෘතියේ අරමුණු මොනවාද?

සාම්ප්‍රදායික නොවන ප්‍ර ෙද්ශවල ගොවීන්ගේ ආර්ථිකය ඉහළ නැංවිය හැකි තිරසර රබර් වගාවන් ආරම්භ කිරීම.

ගොවීන්ගේ රබර් වගාවල ඵදදායීත්වය වැඩි කිරීම.

ඖෂධ බෝග තිරසර ලෙස වගා කිරීම, සංරක්ෂණය හා භාවිතා කිරීම.

ගොවීන්ට අමතර ආදායමක් ලැබීමට මාර්ය සැලැස්වීම සහ ඒ මඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.

මෙහිදී තවත් දෙයක් විශේෂයෙන් කිව යුතුයි. අපි අතුරු බෝගයක් ලෙස මුරුංගා බෝගය වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ගොවීන්ට ආර්ථික වාසියක් සලසන බොග්යක්. එමෙන්ම මෙහි කොළවල ඉස්ම රබර් පැළ සඳහා යොදාගෙන රබර් පැළවල වර්ධනයේ සහ අහිතකර තත්ත්වලට එනම් නියඟයට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කර ගැනීමට අවශ්‍ය පර්යේෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ නිසා මුරුංගා බහුකාර්යය බෝගයක් ලෙස අපි හඳුන්වා දෙනවා.

මේ ව්‍යාපෘතිය සාර්ථක කිරීමට ඉටු කරන කාර්යය මොනවාද?

මේ වෙනුවෙන් මූලික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.

අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය පිළියෙල කිරීම.

පටක රෝපණය මඟින් විවිධ ඖෂධ බෝග සහ පලතුරු බොග නිෂ්පාදනය කිරීම.

ජල සම්පාදනයට අවශ්‍ය පහසුකම් සැලැසීම.

නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීමට වැඩමුළු පැවැත්වීම.

• නව ව්‍යාපෘතිය මඟින් පරිසරයට මෙන්ම රබර් ගොවියාට අත්වන වාසි මොනවාද?

මේ ව්‍යාපෘතිය මඟින් ජෛව විවිධත්වය ආරක්ෂා වෙනවා.

පාංශු සංරක්ෂණය ඇති වෙනවා.

පරිසර සෞන්දර්ය ඇති වෙනවා.

ගොවීන්ගේ ආදායම් තත්ත්වය වැඩි වෙනවා.

• මේ ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය සපයන විශේෂ ආයතන තිබෙනවාද?

ඔව්. මේ වෙනුවෙන් දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව, ගන්නෝරුව උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, ඔසු උයන්, හොරණ පලතුරු බෝග පර්යේෂණ ආයතනය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව වැනි ආයතනවල දායකත්වය ලබා ගැනීමට කටයුතු කරනවා. මේ දායකත්වය අපට ලොකු ශක්තියක්.

 

රූපාන්ති බුලත්සිංහල

Comments