ජ්‍යොතිෂ තාරකා විද්‍යාවේ අතීත පියසටහන් | Page 4 | සිළුමිණ

ජ්‍යොතිෂ තාරකා විද්‍යාවේ අතීත පියසටහන්

තාරකා විද්‍යාව යනු ලොව ඉපැරණිතම විද්‍යාවයි.නමුත් එතරම් පෞරාණික වූ තාරකා විද්‍යාව පිලිබඳ ඇල්මක් ඇති අප මොහොතක්වත් මෙය ආරම්භ වූයේ කෙසේ දැයි සොයා බැලුවාද? එසේනම් අපි තාරකා විද්‍යාවේ ප්‍රවර්ධනය හා එහි ඉතිහාසයට යමු. තාරකා නිරීක්ෂණය පිලිබඳ තොරතුරු මැටි ඵලක තුළ සටහන් කරමින් ක්‍රී.පූ 1500 දී පමණ කාලයේ සිට බැබිලෝනියාවෙන් තාරකා විද්‍යාව ආරම්භවී ඇතැයි සැලකේ. බැබිලෝනියානු ශිෂ්ටාචාරය විසින් බටහිර ලෝකය වෙත කරන ලද මහත්ම බලපැමක් ලෙස තාරකා විද්‍යාව සැලකිය හැකිය.කාලය මණින පැය-දින-සති-මාස ක්‍රමය අප අතරට ලැබුනේ බැබිලොනියාවෙනි. ග්‍රහලෝකවල නමින් දිනයන් නම් කිරීම බැබිලෝනියාවේ තාරකා විද්‍යා දැනුම පිලිබඳ හොඳම නිදසුනයි.බැබිලෝනියානුවෝ චන්ද්‍රයාට මුල් තැනක් දුන්හ.ඔවුන්ගේ වර්ෂය දින තිහක චන්ද්‍ර මාස දොළහකින් යුත් දින 360 කින් සමන්විත විය.

බැබිලෝනියානු තාරකා විද්‍යාව ජ්‍යොතිෂමය ස්වරූපයක් ගත්තකි. ක්‍රි.පූ 668 - 625 දී පමණ ඇසිරියාවේ විසූ අසුර්ඛනිපාල් රජු විසින් රචනා කරන ලද තාරකා විද්‍යා පුවරු විශාල සංඛ්‍යාවක් තැන්පත් කර තිබූබව වාර්තාවේ.තවද මෙසේ තැන්පත් කර තිබූ තවත් ලේඛනයක් ක්‍රී.පූ 3800 විසූ පළවන සාර්ගෝන් රජුගේ කාලයට අයත් බව වාර්තාවේ.මේ අයුරින් ඇසිරියානුවෝ දිනපතා ග්‍රහලෝකයන්හි හැසිරීම් රටාව නිරීක්ෂණයකර ඒවා ගණනය කොට ඒවායේ වාර්තාවන් සාදා ඇතිබවට කියවේ.මෙම වාර්තාවන් අසුර්ඛනිපාල් රජු විසින් අනෙකුත් නගර වලට බෙදාදී ඇතිබවත් පසු කලෙක මේ වාර්තා මගින් අනාවැකි පළ කළ බවත් එම අනාවැකි පළ කිරීමේ කාර්යය පූජකවරුන්ගේ කාරයක් බවට පත් වූ බවත් ඉතිහාසයේ සඳහන්වේ.පූජ්‍යස්ථානවල විශාල ගල් කුලුණු ඉදිකොට ගෙන සරල උපකරණ මගින් අහස නිරීක්ෂණය කර අනාවැකි පළ කළහ.බැබිලෝනියාවේ බාබල්ගේ කුලුණ මෙයට සාක්ෂි දරයි.එවකට හඳුනාගෙන තිබූනේ ග්‍රහලෝක පහක් පමණි.මෙම ග්‍රහලෝක පහ සහ හිරු ,සඳු පිළිබඳ ඔවුන්ගේ විමසිල්ලට ලක්විය.තවද මෙම යුගයෙහි ඔවුන් සතුව කාලය මනින ඔරලෝසුවක් වැනි යමක් තිබී ඇති බව පුරාවිද්‍යා ග්‍රන්ථවල සඳහන්ව ඇත. නමුත් විශ්වය පිළිබඳ ඔවුන් තුළ වූයේ නො පැහැදිලි සංකල්පයකි.මන්දයත් ඔවුන් පෘථිවිය කවාකාර භූමියක් බවද ඒ වටා විශාල ගඟක් ගලායන බවද ගඟ මහ සයුරට ඔබ්බෙන් පිහිටා ඇති බවද අහස රැදී ඇත්තේ උස් කදු මුදුන්වල බවද විශ්වාසය විය.

බැබිලෝනියානුවන් සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇත. සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ පිළිබඳ වාර්තා තැබීම බැබිලෝනියානුවන්ගෙන් තාරකා විද්‍යාවට සිදුවූ අමිල සේවයකි.පසු කලෙක මෙම වාර්තා ක්ලෝඩියස් ටොලමි විසින් නිරීක්ෂ්ණයට යොදාගෙන ඇත.

මේ කාලයේදී ඊජීප්තුව ද තරකා විද්‍යාව අතින් දියුණුවක් ලබා සිටියේය. ඒ බව පැරණි ඊජීප්තු පිරමීඩ වලින් හමුවූ චිත්‍ර හා අක්ෂරවලින් පැහැදිලිවේ. මෙවන් දැවැන්ත පිරිමීඩ සෑදිමට හා විශාල ඇළ වේලි ඉදිකිරීමට ඔවුන් තාරකා ජ්‍යාමිතිය උපයෝගීකර ගත් බව සදහන් ය..ඔවුන්ගේ වසරක් දින 360 කට සීමාවිය.එහෙත් පසුව එම ගණනයන් අවුල් සහගත නිසා වසරකට දින 5ක මාසයක් එකතු කෙළේය..තවද දින 1/4ක් එකතුකර එය අධික වර්ෂයක් ලෙස නම් කොට ඇත. මෙලෙස අධික වසර හදුන්වා දීඇත්තේ ටොලමිගේ යුගයේ ඇලෙක්සැන්ඩ්‍රියානු නක්ෂත්‍ර විද්‍යාඥයන්වූ ග්‍රීකයන් විසිනි. ඊජිප්තුවරුන් විසින් දවස කොටස් දෙකකට වෙන්කර ඇත. එනම් දහවල පැය 12 ක් සහ රාත්‍රීය පැය 12 ක් වන ලෙසයි. ඔවුන් කාලය මැන ගැනීමට හිරු තැටිය හා ජල ඔරලෝසුව භාවිතාකර ඇතිබව සඳහ න්වේ.

 

හිරු තැටිය

බැබිලෝනියානුවන් මෙන්ම ඊජීප්තුවරුන්ද විශ්වය පිළිබඳ විශේෂ මතයක් දැරූහ.ඔවුන්ගේ මතය වුයේ අහස යනු පොළොව වසා සිටින වහලයක් බවත් ආයත චතුරස්‍රකාර පෙට්ටියක් බඳු කොන් හතරකින් ඉහළට නැගුණ කණු සතරකට අහස සවිවී ඇති බවත් ය. ඒ අනුව පොළෝ තලය මදක් වක්‍රවූ අතර ඒ මැද නයිල් ගංඟාව වූයේය. හිරු දෙවියෝ දිනපතා යෝධ අහසේ සිට ඇද හැලෙන ගංඟාවකින් ඔරුවක නැගී පැමිණ සිය දෛනික චාරිකාවේ යෙදෙන අතර ගංඟාවේ පළල නිසා හිරු දෙවියන් එක් එක් සෘතු වලදී පොළොවෙන් ඈතින් වූ ඟං ඉවුරට ළංව ගමන් කිරීම සිදුකරන්නේ යැයි ඔවුහු සිතුවෝය. සෘතු බිහිවූයේ මේ ආකාරයටය.ඔවුන්ද සූර්‍යා හා චන්ද්‍රයා පිලිබඳ අනාවැකි පළ කර ඇති බවට සාක්ෂි හමුවී තිබේ.

අහසේ ඇති නොයෙක් වස්තූන් පිළිබඳව බැබිලෝනියානුවන් දේවත්වයෙහිලා සැලකුවද ග්‍රීකයෝ ඒවා සොබාදාමේ දායාදයන් ලෙස සැලකූහ. බැබිලෝනියානුවන් මෙන් නොව මොවුන් විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ විශ්වය හා ග්‍රහවස්තු වෙත බව පෙනේ. ග්‍රීකයන්ද ග්‍රහවස්තු පිළිබඳ විවිධ මත දරා ඇත.ඇනෙක්ෂිමැන්ඩර් ගේ මතය වූයේ පෘථිවිය යනු අහසෙහි පාවෙමින් ඇති තැටියක් බවත්, සූර්යයා හා චන්ද්‍රයා ඇතුලු ග්‍රහවස්තූන් විනිවිද පෙනෙන ගෝලයක් තුළ පිහිටා ඇති බවත්ය.පෘථිවිය මේ ගෝලයේ කේන්ද්‍රය බව ඔහුගේ මතය වීය.තේල්ස් පවසා ඇත්තේ පෘථිවිය සමතලයක් මත පාවෙමින් ඇති තැටියක් බවයි.මේ අවධි අතර තාරකා විද්‍යාව විශාල ලෙස වර්ධනය විය.

ක්‍රිස්තු පූර්ව 3000

එංගලන්තයේ පිහිටි ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ ස්ටෝන්හෙජ් ගල්කුලුණු වේ. මෙය ඉතා සංකීර්ණ තාරකා විද්‍යා දින දර්ශනයකි.මේ ගල් කුලුණු හිරුට මෙන්ම චන්ද්‍රයාටද දිශානතව පිහිටයි.මේ මගින් කාලය මෙන්ම දිනයන්ද සඳන් කරගෙන ඇත.මෙය තාරකා විද්‍යාවේ විශේෂී වූ එක් වැදගත් සලකුණකි. තවද මේ වකවානුවේම ඊජීප්තුවේ නිර්මාණය වූ පිරිමීඩද වැදගත් තැනක් ගනී.

ක්‍රිස්තු පූර්ව 700

බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින් විසින් චන්ද්‍ර චක්‍රය නිර්මාණය කිරීම සුවිශේෂී සිද්ධියකි.මෙම චන්ද්‍ර චක්‍රය වසර 18.6 කින් සමන්විත වේ.මෙය “ප්‍රථම තරු ලිත” ලෙසද ඉතිහාසයේ සඳහන්වේ.මෙය චන්ද්‍ර ග්‍රහණ පුරෝකථනයට විශේෂයෙන් යොදා ගනී.

ක්‍රිස්තු පූර්ව 380

ග්‍රීක ජාතික ප්ලේටෝගේ ගණිතමය තාරකා විද්‍යාව කෙරෙහි ඇති ඇල්ම සුළු පටු නොවීය.ග්‍රහලෝක කක්ෂවල ගමන් කිරීමේදී ඇතිවන වෙනස්කම් පිළිබඳ ඔහු වැඩිපුර අවධානය යොමුකර ඇත.ඔහු ඉර හඳ මෙන්ම අනෙක් ග්‍රහලෝක පෘථිවිය වටා වෘත්තාකාර පථවල නිදහසේ ගමන්කරන බව එනම් පෘථිවිය කේන්ද්‍රකොට ගෙන ගමන් කරන බව ලෝකයට පැවසිය.මෙය භූකේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.

ක්‍රිස්තු පූර්ව 270

සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පැහැදිලි මතයක් ඉදිරිපත් කර ඇත්තේ මේ වකවානුවේය.සමෝස් හි වැසියකු වූ ඇරිස්ටාකස් ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණ ගුරුවරයෙකු වශයෙන් සේවය කර ඇතිබව කියවේ.මොහු ආකිමිඩිස්ගේ සමකාලීනයකු වන අතර ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන්ව නොමැත.කෙසේ වූවද, සූර්ය ග්‍රහ මණ්ඩලය පිළිබඳ මොහු ඉදිරිපත්කර ඇත්තේ මෙවැනි මතයකි, සූර්යයා නිසලව පවතින අතර ඒ වටා පෘථිවිය ඇතුලු අනෙක් සෙසු ග්‍රහලෝක ගමන් ගන්නා බවයි.මෙය සූර්යය කේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.නමුත් මේ වකවානුවේ ජනතාව විසින් පිළිගෙන තිබුනේ පෘථිවිය කේන්ද්‍රකර ගත් සෞරග්‍රහමණ්ඩලයක් ඇති බවයි.මේ හේතුවෙන් මොහුගේ මෙම ප්‍රකාශය පිළිබඳව තරමක් දුරට ගැටලු මතුවීය.

ක්‍රිස්තු පූර්ව 164

හැලීගේ ධූමකේතුව පිළිබඳ ප්‍රථම වරට වාර්තා වන්නේ බැබිලෝනියාවෙනි. ඔවුන් වාර්තා කළ ධූමකේතුවේ ගමන්මග පිළිබඳ දත්ත සියවස් ගණනාවක් පුරා ධූමකේතුවේ ගමන් මාර්ගයේ වෙනස්වීම් පුරෝකථනය කිරීමට 20 වන සියවසයේ විද්‍යාඥයින්ට ඉතා වැදගත් වීය.

ක්‍රිස්තු වර්ෂ 150

ලොව ප්‍රථම වරට තරු සිතියමක් හඳුන්වා දීම මේ වසරේදී සිදුවිය.ටොලමි විසින් හඳුන්වාදී ඇති මෙම තරු සිතියමට තාරකා රාශි 48 ක් ඇතුළත්ව ඇත. “භූකේන්ද්‍රවාදය” හිසමුදුනින් පිළිගත් ටොලමිගේ සියලු මත හා දාර්ශනික අදහස් එකතුව “අල්මාගෙස්ට්” (The Almagest) නම් ග්‍රන්ථය ලියන ලදී. මෙය පසු කාලීනව මධ්‍යම යුරෝපයේ සහ අරාබියේ ඉතාම ප්‍රසිද්ධියට පත් විය. එසේම ටොලමි ගේ අදහස් වසර 1500ක් යන තුරුත් නොවෙනස්ව පිළිගැනීමට බඳුන් විය.

ක්‍රිස්තු වර්ෂ 928

මේ වකවානුව විශේෂී වන්නේ තාරකා විද්‍යා නිරීක්ෂණ උපකරණයක් නිපදවීමයි. මෙය ඇස්ට්‍රෝලේබේ (Astrolabe) උපකරණය ලෙස නම් කර ඇති මෙය නිර්මාණය කොට ඇත්තේ ඉස්ලාම් ජාතික වඩු කාර්මිකයෙකු විසින් බව සැලකේ.මෙය තාරකා සහ ග්‍රහලෝකවල පිහිටීම නිවැරදිව හඳුනා ගැනීමට බෙහෙවින් යොදා ගෙන ඇත.මෙම උපකරණය පසු කාලීන අරාබි විද්‍යාඥයින්ට ඉතාමත් ප්‍රයෝජනවත් වීය.

ක්‍රිස්තු වර්ෂ 1050

මේ අවදියේ සිදුවූ සිදුවීම නම් අහස නිරික්ෂණය කරමින් සිටි චීන තාරකා විද්‍යාඥයින් අහසේ ක්ෂණි කව විශාල දීප්තියක් දැකීමයි. මෙය තරුවක් මිය යන අවස්ථාවක තරුවේ ශක්තිය මුදා හරිනා සුපර් නෝවා පිපිරුමක් ලෙස නම් කෙරිණි. ඇමරිකාවේ මුල් ජනපදිකයින්ගේ ගල් සිතියමක මේ තරුව සටහන් වී තිබිණ. මෙය කකුළුවා එනම් ක්‍රැබ් තාරකා රටාව ආශ්‍රිතව වාර්තාවූ සුපර් නෝවාවකි.

ක්‍රිස්තු වර්ෂ 1540

නිකලස් කොපර්නිකස් නම් විද්‍යාඥයා විසින් විශ්වය පිළිබඳ නව අදහසක් ඉදිරිපත් කෙළේය..පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බව පැවසූ ඔහු ග්‍රහලෝක වල ප්‍රතිගාමී චලිතය පැහැදිලි කෙළේය.

ක්‍රිස්තු වර්ෂ 1608

ඕලන්ද ජාතික ඇස් කන්නාඩි නිපදවන්නකු වූ හැන්ස් ලිපර්ෂේ දිනක් තම මේසය මත තිබු කාච දෙකක් අතට ගෙන ඒ කාච ඈත් මෑත් කරමින් ඈත ඇති දේවස්ථානයක මුදුනක් දෙස බලමින් සිටියදී ඔහු විශ්මය ජනක දෙයක් දුටුවේය. ඈත ඇති දෙවස්ථානයේ මුදුන කාච ඇත් කරන විට ළංව පෙනන බවත් ළංකල විට දුරස්ව පෙනෙන බවත් නිගමනය කෙළේය..මේ ක්‍රියාකාරකම හේතුවෙන් ලොව ප්‍රථම දුරේක්ෂය නිර්මාණය විය.මේ සොයා ගැනීම තාරකා විද්‍යාවේ නවතම පෙරළියක් ඇති කෙළේය.මේ ආරංචියෙන් මුලු යුරෝපයම මහත් ආන්දෝලනයකට ලක් වීය.

ක්‍රිස්තු වර්ෂ 1609

ජර්මන් ජාතික ජොහැන්නස් කෙප්ලර් විසින් ග්‍රන්ථයක් එළිදැක්වීය. එය “නව තාරකා විද්‍යාව” (New Astronomy) නම් විය.මෙමගින් ඔහු විසින් නියම තුනක් එළිදක්වනු ලැබීය..ඒවා ග්‍රහචලිත පිළිබඳ කෙප්ලර් නියම ලෙස හැදින්වේ. ග්‍රහලෝක චලනය වන්නේ වෘත්තාකාර මාර්ගයක නොව ඉලිප්සීය මාර්ගයක බව මොහු ප්‍රථම වරට ලොවට පැවසීය.

 

මූලාශ්‍රය - skylk .com

Comments