යුද හමුදාවට අසිරි ‍ගෙන ආ ධජ පූජාව | Page 11 | සිළුමිණ

යුද හමුදාවට අසිරි ‍ගෙන ආ ධජ පූජාව

 රටත් ජාතියත් ආගමත් රැකගන්නට දුටුගැමුණු රජතුමාගේ කාලයටත් පෙර සිටම අපේ රටේ රජවරුන් කටයුතු කළ බවට අපේ ඉතිහාසය සාක්ෂ්‍ය දරන්නේය. තම දිවි දෙවැනි කොට ආරක්ෂා කරන ලද රාජ්‍ය පරසතුරන්ගෙන් බේරාගැන්මට රජවරුන් විසින් මහ සෙනෙවි සහ සේනා නායකයන් සමඟ එකතුව උපරිම වශයෙන් කටයුතු කළ බව අපේ ඉතිහාසය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේත් මීට වසර 68කට පෙර යුද හමුදාව පිහිටුවන්නට කටයුතු කළේ ඒ කාර්යය සඳහා උර දී ඇප කැප වී කටයුතු කිරීමටයි. ඒ අනුව ඇරැඹූ යුද හමුදාවේ ‘යුද හමුදා දිනය’ යෙදී ඇත්තේ ඔක්තෝබර් 10 වැනිදාට වන අතර, ඊට සමගාමීව සෑම වසරකම සිදු කරනු ලබන ආගමික කටයුතු අතර ප්‍රධානත්වයක් ගන්නා ආගමික උත්සව 3ක් තිබේ. එයින් මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ධජ පූජාවට වැදගත් තැනක් හිමි වේ. තවත් වැදගත්ම තැනක් ගන්නා ආගමික උත්සවය වන්නේ කතරගම කිරිවෙහෙර අබියස සිදු කරනු ලබන ධජ පූජාවයි. මෙහිලා වැදගත්ම පින්කම් උත්සවය වන්නේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස සිදු කරනු ලබන යුද හමුදා ධජ පූජාවයි.

යුද හමුදාවේ සියලු බළකායන්ට අයත් ධජ ජය ශ්‍රී මහා බෝසමිඳුන්ට පුජා කර ආශීර්වාද ලබාගැනීම මෙහි අරමුණ වේ. එමඟින් රටට සහ ජනතාවට සෙත් ශාන්තිය පතන අතර, රටේ ආරක්ෂාවටද ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම සිදු වේ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජය ශ්‍රී මහා බෝ මළුවට පැමිණිමත් සමඟ යුද හමුදා ධජ පින්කම් උත්සව කටයුතු ආරම්භ වූ අතර, ඊට ප්‍රථම අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක හිමිපාණන් බැහැ දුටු හමුදාපතිවරයා සාම්ප්‍රදායිකව අටපිරිකර සහ පලතුරු පූජා කරමින් නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට යුද්ධ හමුදාවට සෙත් පැතීමට ආරාධනා කර සිටියේය.

සියලු රෙජිමේන්තු සහ හමුදා ආයතන නියෝජනය කෙරෙන විචිත්‍ර ඇඳුමින් සැරසුණු යුද්ධ හමුදා ධජ රැගත් හමුදා සෙබළුන් ශ්‍රී මහා බෝධිය පහළ වැලි මළුවේ අද පෙරවරුවේ උදෑසන පෙළ ගැසුණු අතර, ඉන් අනතුරුව ධජයන්ට සෙත් පැතීම සඳහා ඉහළ මළුවට ගමන් ගන්නා ලදී. පසුව, සාම්ප්‍රදායික හේවිසි හඬ, මඟුල් බෙර පෙරටු කරගත් සාම්ප්‍රදායික පිරිවර ගෞරවනීය මහා සංඝයා වහන්සේ උඩමළුව වෙත වැඩම කරවූහ.

ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් පැවැති මේ උත්සවයේදී එක් එක් හමුදා සේනාංක හා බළ ඇණියන්ට අයත් ධජ 456ක් ඒවා භාර රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් විසින් කොඩි කණුවේ රඳවාගෙන සරඹ පෙළපාළියකින් පැමිණ ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ප්‍රධාන දෙරටුව අබියසදී එකම අවස්ථාවක ධජය හමුදා සිරිත් විරිත් හා චාරිත්‍රානුකූලව නවා අදාළ රෙජිමේන්තුවේ හෝ බළ ඇණියේ හෝ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට බාර දෙන ලදී.

එම ධජ බාරව සිටින රෙජිමේන්තු සැරයන් මේජර්වරු සහ ධජ ආරක්ෂක සෙබළු සෙත් පැතීමේ උත්සවයට කාලයක සිට ඇප කැප වී මස්-මාංසයෙන් තොරව ගෞරවාන්විතව ධජයන් ආරක්ෂා කරති.

එසේ ආරක්ෂා කරගෙන නිලධාරීන්ට ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී බාර දුන් ධජ එම නිලධාරීන් විසින් ගෞරවයෙන් බොදු හැඟීම් උද්දීපනය වන පරිදි හඬ නැඟුණු තූර්ය වාදක නාදය මැද්දේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තෙවරක් පැදකුණු කර අවසානයේ රෙජිමේන්තු අධිපතිවරයාට හෝ බළ ඇණියේ අණ දෙන නිලධාරියාට හෝ සේනාංකාධිපතිට හෝ තම රෙජිමේන්තුවේ ධජය පිළිගන්වන ලදී.

එම බළ සේනා ආඥාපතිවරයා හෝ සේනාංකාධිපතිවරයා හෝ විසින් උඩමළුවේ ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත වර්ණ ධජ පිළිගන්වන ලද අතර, යුද්ධ හමුදා ධජය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් පිළිගන්වන ලදී.

මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදු කරන ලද සෙත් පිරිත්වලින් පසුව යුද හමුදා ධජ පෙර පරිදි සේනාංකාධිපතිවරුන් විසින් රැගෙන ඒකකයේ නිලධාරීන්ටත් පසුව රෙජිමේන්තුවේ සැරයන් මේජර්වරුන් වෙත ආපසු ලබා දෙන ලදී. ඊට ප්‍රථම තවත් විශේෂ ආශීර්වාද පූජාවක් හා සෙත් පිරිත් පින්කමක් ජය ශ්‍රී මහා බෝ මළුවේ දී සිදු කරන ලද අතර, එයින් පසු අෂ්ට පරිෂ්කාර මහා පිරිකර පූජාවක්ද සිදු කරන ලදී.

පිරිත් දෙසුමකින් පසු මේ ධජයන්ට සෙත් පැතීමේ ආශීර්වාද පින්කම අවසන් වූ අතර රෙජිමේන්තුවේ ධජ වසරක් ගත වන තුරු ආරක්ෂා කිරීම පිණිස යළිත් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් විසින් තම රෙජිමේන්තුව වෙත රැගෙන යන ලදී. ශ්‍රී මහා බෝ සමිඳු වටා පිච්ච මල් සහ නෙළුම් මල් අතුරා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක රට රකින සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ශුභසිද්ධිය පතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශීර්වාද පැතූහ. නායක හිමිවරුන් විසින් සිදු කරන ලද විශේෂ දේශනාවන්හිදී යුද්ධ හමුදාව විසින් රට වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය සහ කැපවීම මහා සංඝයා පැසසුමට ලක් කරනු ලැබිණි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉදිරි සංවර්ධන වැඩ කටයුතු සඳහා යුද හමුදාපතිවරයා විසින් රුපියල් මිලියනයක විශේෂ ධන පරිත්‍යාගයක්ද මෙහිදී සිදු කරන ලදී. පෙර රජ කළ චතුරාංගිණි සේනාව සිහි ගන්වමින් දිවයිනේ නන් දෙසින් පැමිණි සියලු සේනාංකවලට අයත් රණවිරුවන් ඇප-කැප වීමෙන් සිදු කරන ලද මේ මහා පින්කම එසේ අවසන් කරන ලද්දේ රට දැය වෙනුවෙන් දිවි දුන් හමුදා විරුවන් සමරමින් ඔවුන්ට පින් පමුණුවමින් රටත් ජාතියත් රැකගැන්මට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශීර්වාදය පතමින්ය.

තාරක වික්‍රමසේකර
සේයාරූ - රුක්මාල් ගම‍ගේ

Comments

WELL DONE>>>>> Oyala Hamatama Theruwan Saranai......

පිටු