
- A9 සාමාර්ථ 76ක්
- A8 සාමාර්ථ 36ක්
- A7 සාමාර්ථ 36ක්
නිදහස් අධ්‍යාපනයේ පුරෝගාමියා වන ආචාර්ය සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ මූලිකත්වයෙන් 1946 ජූනි 17 වැනිදා ආරම්භ කරන ලද මෙම විද්‍යාලය මුලින්ම හඳුන්වනු ලැබුවේ ‘රජයේ ඉංග්‍රීසි පාසල‘ යනුවෙනි. ග්ලැඩිස් පෙරේරා විදුහල්පතිනිය සමඟ ගුරුවරියන් තිදෙනකුගෙන් සහ සිසුන් 15 දෙනෙකු ඊට පදනම විය. 1956 වසරේදී ඉංග්‍රීසි බාලිකා විදුහල බවට පත්ව පසුකාලීනව ගෝතමී බාලිකා විද්‍යාලය ලෙස නම් කෙරිණ. අගනුවර ජනප්‍රිය බාලිකා පාසලක් ලෙස ප්‍රකට ගෝතමී බාලිකාව 2021 වසරේදී සිය හැත්තෑපස් වැනි ඡන්ම සංවත්සරය අභිමානයෙන් සමරනු ලැබීය. මේ වන විට 77 වසරක කීර්තිමත් ඉතිහාසයක් හිමි ගෝතමී විද්‍යාලයට නායකත්වය දෙනු ලබන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවැනි ශ්‍රේණියේ විදුහල්පතිනියක වන ඩී. ඒ. සුභාෂිණී දෙමටගොඩ ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක සහ නියෝජ්‍ය විදුහල්පතිනියක ලෙස ද කටයුතු කර ඇති ඇයගේ වෘත්තීය ජීවිතය වසර 18කි.
ගෝතමී විදුහල් සෙවණේ සිසුවියන් 3,200ක් සිප්සතර හදාරන අතර, ඔවුන් ගුණ නැණෙන් පෝෂණය කරන්නේ 123ක් වන ආචාර්ය මණ්ඩලයයි. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 37කි. හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යයන කටයුතු සිදුවන අතර, "ප්‍රඥාව ලොව බබළයි" යන බුදු වදන ආදර්ශ පාඨය කරගත් ගෝතමීයෝ ජාතික මට්ටමේ විභාගවලදී කැපී පෙනෙන දක්ෂතා දක්වති.
2021/2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ජයග්‍රහණ ප්‍රමුඛ වේ. එම විභාගයට සිසුන් 360ක් ඉදිරිපත් වූ අතර, එයින් සිසුන් 351ක් එනම්, 98%ක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුස්සෝ වූහ. එම ප්‍රතිඵලයට A9 සාමාර්ථ 76ක්, A8 සාමාර්ථ 36ක් සහ A7 සාමාර්ථ 36ක් ඇතුළත් වන අතර, බොහෝ විෂයන්ගෙන් සමත්වීමේ ප්‍රතිශත ද ඉතා ඉහළ අගයක් ගනී. බුද්ධ ධර්මය, සිංහල සමත්වීමේ ප්‍රතිශතය 99%කි. ගණිතය (සිංහල මාධ්‍ය) 93%ක් සහ ගණිතය (ඉංග්‍රීසි මාධ්‍ය) 100%කි. ඉංග්‍රීසි සහ විද්‍යාව (ඉංග්‍රීසි මාධ්‍ය) සමත් වීමේ ප්‍රතිශතය 97%කි. කලා, වාණිජ, විද්‍යා සහ තාක්ෂණ අංශ යටතේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 2021 වසරේ උසස්පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුවියන් 531න් සිසුවියන් 371දෙනකුම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අතර, සමත් වීමේ ප්‍රතිශතය 69.86%කි.
2019, 2020, 2021 යන තෙවසර මුළුල්ලේ පැවති කොවිඩ් වසංගත සමයේදී ද ගෝතමී බාලිකාවන්ට ඉගෙනුම් අවස්ථාව අත්නොහැර ලබා දෙන්නට විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය කැප වී කටයුතු කිරීම ඉහත ජයග්‍රහණ සඳහා අතිශයින් මහෝපකාරී විය. විදුහල්පතිනියගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ එවකට නියෝජ්‍ය විදුහල්පතිනි ගයනි මාතරආරච්ච්, සහකාර විදුහල්පතිනියන් වූ නිශාන්ති ගමගේ සහ ලසන්ති මුතුකුඩ විශාල මෙහෙයක් ඉටු කළහ. එහිදී විශේෂ කාලසටහනකට අනුව 6 සිට 13 ශ්‍රේණිය දක්වා සතියේ දින පහේම මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කළ අතර, අපොස සා.පෙළ සිසුවියන්ට සාමාන්‍ය ඉගැන්වීම්වලට අමතරව දිනපතා පැය දෙකක් පුණරීක්ෂණ වැඩසටහන් පැවැත්විණි. එහිදී ලකුණු මට්ටම් තුනකට ශිෂ්‍යාවන් වෙන්කර ඔවුන්ගේ දුර්වලතා, දක්ෂතා හඳුනාගෙන ඒ අනුව සකස් කරන ලද විශේෂ ප්‍රශ්න පත්‍ර ඇසුරෙන් ඉගැන්වීම් සිදු කෙරිණ. මාර්ගගත ඉගැන්වීම් පමණක් නොව මාර්ගගත පරීක්ෂණ ද පවත්වමින් ශිෂ්‍ය විභවතා හඳුනා ගැනීමත් දැනුමින් සිසුවියන් යාවත්කාලීන කිරීමත් සිදු විය.
ඉගෙනුම් වැඩසටහන්වලට අමතරව සාහිත්‍යයෙන් සහ කලාවෙන් දැරියන් පෝෂණය කිරීමේ අරමුණින් ශ්‍රේණි මට්ටමින් සාහිත්‍ය සංගම් ද පැවැත්විණ. දසත විසිරී සිටින ගෝතමියන්ගේ සහභාගීත්වයෙන් 2021 වසරේදී පාසලේ 75 වැනි සංවත්සරය 'ගෝතමී වජ්‍ර ප්‍රභා' නමින් පවත්වනු ලැබුවේ ද මාර්ගගත ක්‍රමයට වීම විශේෂත්වයකි. එහිදී 'සරදාකාශ' සහ 'Splendor' නමින් සිංහල හා ඉංග්‍රීසි බසින් ඩිජිටල් සඟරාවක් නිකුත් කරමින් සිසුවියන්ගේ ලේඛන කුසලතා එළිදක්වනු ලැබිණ. වෙසක් උත්සවය, පරිසර දින සැමරුම ආදිය ද මාර්ගගත ක්‍රමයට පැවැත්වූ අතර, ඒ සියලු වැඩසටහන් සිසුවියන්ගේ විවිධ කුසලතා ඔප් නංවා ගැනීමට කදිම වේදිකාවක් විය. 2022 සමස්ත ලංකා සමූහ ගායනා (රාගධාරී) කලාප සහ පළාත් තරගවල ප්‍රථම ස්ථාන දිනාගනිමින් ගෝතමියෝ සමස්ත ලංකා තරගය සඳහා සුදුසුකම් ලැබූහ. ඒකල ගායනා (රාගධාරී) කලාප අංශයේ ප්‍රථම ස්ථානයත් ගෝතමියන්ට හිමි විය.
සුභාෂිණී දෙමටගොඩ 2016 වසරේ ජනවාරි 21 වැනිදා ගෝතමී විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත් වීමත් සමඟ විද්‍යාලය අත්කරගත් භෞතික සහ ගුණාත්මක දියුණුව බොහෝය. 2018දී 13 වසරක අඛණ්ඩ වෘත්තීය පුහුණු අංශය ද ආරම්භ වූ අතර, අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීමෙන් පාසල හැරයන සිසුවියන්ට ඵලදායී පුහුණුවක් සහිතව අනාගත ලෝකයට පියවර තැබීමට ඉඩ ප්‍රස්ථා විවර කෙරිණි. ගෝතමී දියණියන්ට ආකර්ෂණීය ලෙස ඉගෙනුම් අවස්ථාව සැලසීම වෙනුවෙන් සුහුරු පාසල් සංකල්පය යොදාගනිමින් පන්ති කාමර සඳහා සුහුරු පුවරු සවි කිරීමට සැලසුම් කර ඇති අතර, මේ වන විට තාක්ෂණික අංශය මුළුමනින්ම සුහුරු පුවරු සවිකර ඇත. 6-11 ශ්‍රේණි සඳහා චීන භාෂාව හඳුන්වා දී ඇත්තේ අනාගත ලෝකයට පා නඟන ගෝතමී දියණිවරුන් ජාත්‍යන්තර භාෂාවන්ගෙන් සන්නද්ධ කිරීමේ අරමුණෙනි. අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ කාර්මික ශිල්පීන්ගේ සංගමය මඟින් මෙහෙය වනු ලැබූ 2019 හොඳම වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන තරගාවලියේදී දිවයිනේ ප්‍රථම ස්ථානයට හිමි රන් සම්මානයෙන් පිදුම් ලබන්නට ද ගෝතමී බාලිකා විද්‍යාලයට හැකි විය.
ක්‍රීඩා 15ක් සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් වෙනුවෙන් සංගම් 35ක් පාසල තුළ ක්‍රියාත්මක වේ. අධ්‍යාපන, කලා සහ සෞන්දර්ය අංශවලින් විවිධ දස්කම්පාන ගෝතමී දියණියෝ ක්‍රීඩා අංශයෙන් විශිෂ්ට දස්කම් දැක්වීම විශේෂත්වයකි. ඔවුන් විසින් විවිධ ක්‍රීඩා අංශවලින් පාසල් මාතාවට දිනා දී ඇති ජයග්‍රහණ බොහෝය. ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ 2020 සමස්ත ලංකා වෙස් තරගාවලියේ තෙවැනි ස්ථානය ඔනලි ඔමායා විල්ලවආරච්චි විසින් දිනාගත් අතර, 2022 ආසියානු පාසල් චෙස් තරගාවලියේ 15න් පහළ බාලිකා රන් පදක්කම, ශ්‍රී ලංකා ජාතික යොවුන් චෙස් අනුශූරතා රිදී පදක්කම, ශ්‍රී ලංකා ජාතික යොවුන් චෙස් ශූරතා රන් පදක්කමට ද හිමිකම් කියන්නේ ඇයයි. ශ්‍රී ලංකා පාසල් කේවල චෙස් තරගාවලිය 2022 කොළඹ දිස්ත්‍රික් 3 වැනි ස්ථානය සහ ශ්‍රී ලංකා යොවුන් රැපිඩ් චෙස් තරගාවලිය (2022) 18න් පහළ 2වැනි ස්ථානය ජාතික යොවුන් ඔලිම්පික් චෙස් තරගාවලියේ (2023) පළමු ස්ථානයත් ඩී.එම්. සිනලි විසින් දිනාගත්තාය. පාසල් කනිෂ්ඨ කරාතේ පළාත් ශුරතාව (2023)13න් පහළ(කුම්තේ) තෙවැනි ස්ථානය, බස්නාහිර පළාත් ජාතික කරාතේ ශූරතාවලියේදි 21න් පහළ කාන්තා තෙවැනි ස්ථානය, 17න් පහළ පළමු සහ දෙවැනි ස්ථානය, 13න් පහළ පළමු ස්ථානය, 2021 ශ්‍රී ලංකා පාසල් කරාතේදෝ සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ සහ 13න් පහළ තරග ඉසව්වලින් 2වැනි ස්ථාන, 15න් පහළ පළමු ස්ථානය, 11න් පහළ තෙවැනි ස්ථානය, 2022 ශ්‍රී ලංකා පාසල් ජ්‍යේෂ්ඨ කරාතේ ශූරතාවලියේදී 19න් පහළ, 15න් පහළ සහ 16න් පහළ තරග ඉසව්වලින් පළමු ස්ථානත් 18න් පහළ තෙවැනි ස්ථානයත් ගෝතමියන්ට හිමි විය.
මලල ක්‍රීඩා අංශයෙන් පළාත් සහ සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් ද ගෝතමියන් සතුවන අතර, 2022 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ 3 වැනි ස්ථානය (මීටර් 400) කේ.ජී. සුදෙව්නි විසින් දිනාගත් අතර, මයිලෝ ජාතික නෙට්බෝල් තරගාවලිය(2022) කොළඹ දිස්ත්‍රික් තරගයේදී 13න් පහළ ඒ කණ්ඩායමේ අනු ශූරතාවත් 19න් පහළ සමස්ත ලංකා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමටත් ගෝතමී විද්‍යාලයට හැකි විය. 2023 සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේදී 14න් පහළ ඩී කාණ්ඩයේ තුන් වැනි ස්ථානය ගෝතමියෝ දිනාගත්හ. ශ්‍රී ලංකා පිහිනුම් සම්මේලනය විසින් වසර 2022 සහ 2023දී සංවිධානය කළ ආධුනික ශූරතාවලියේදී ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට ගෝතමී දියණියෝ සමත් වූහ. ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ සම්මාන දිනූ සිසුවියන්ගේ කුසලතා ඇගයීම සඳහා පාසල වාර්ෂිකව වර්ණ රාත්‍රියක් ද සංවිධානය කරයි. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවේ.
දැනුමෙන් බුද්ධියෙන් මෙන්ම ගුණදම්වලින් ද පොහොසත් සංවේදී චරිත ලෙස ගෝතමී දියණිවරුන් සමාජගත කිරීමේ වගකීමට උරදී සිටින විදුහල්පතිනියට ඒ සඳහා නියෝජ්‍ය විදුහල්පතිනිය කේ. කේ. ඩී. එම්. එස්. එස්. සමරදිවාකර, සහකාර විදුහල්පතිනියන් වන ශ්‍රියන්ති ද සොයිසා, එල්. ඩී. ටෙක්ලා නිෂානි, එච්. ඉන්ද්‍රා දමයන්ති, විද්‍යා අංශ ප්‍රධානි පාලිත වන්නිආරච්චි, කලා අංශ ප්‍රධානි ප්‍රමිලා මුණසිංහ, තාක්ෂණ අංශ ප්‍රධානි අසංක සම්පත්, වෘත්තීය විෂය අංශය ඩබ්ලිව්. එච්. පී. ඩිලානි, 10- 11 අංශ ප්‍රධානි අජන්තා ප්‍රියානි, 8,9 අංශ ප්‍රධානි එන්. එම්. ප්‍රියංකා නිල්මිණි, 6,7 අංශ ප්‍රධානි ඉරෝෂණී වනිගතුංග යන කළමනාකරණ කමිටු සාමාජිකයන්ගෙන් විශාල සහයෝගයක් ලැබේ. ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්, විධායක කමිටුව ඇතුළු සියලු සාමාජිකාවන්ගෙන් සහ පාසල් සංවර්ධන සමිතියෙන් ලැබෙන ධනාත්මක සහයෝගය විද්‍යාලයේ දියුණුවට විශාල රුකුලක් බව විදුහල්පතිනි සුභාෂිණි දෙමටගොඩ කෘතවේදීව සිහිපත් කළාය.
ඡායාරූප- නිශ්ශංක විජේරත්න