ශ්‍රී ලංකාවටත් දියුණු කොටස් වෙළෙඳපොළක් | සිළුමිණ

ශ්‍රී ලංකාවටත් දියුණු කොටස් වෙළෙඳපොළක්

ශ්‍රී ලංකාව සාක්ෂරතාව අතින් ඉහළ රටක් බව පිළිගැනුණත්, මීට වසර තුන හතරකට පෙර මූල්‍ය සාක්ෂරතාව පැවතියේ 35%ක් වැනි පහළ අගයක ය. දැන් එය 55% දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත්, කලාපීය රටවල් හා සසඳන විට එය ද ඉතා පහළ අගයකි. තවත් විදියකට කීවොත්, අප තවමත් පහළ මූල්‍ය සාක්ෂරතාවක් සහිත රටකි.

මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම්, පොදු ජනතාව තුළ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කළ යුතුය. ප්‍රචලිත කළ යුතු ය. එය ආරම්භ විය යුත්තේ, පාසල් අවධියෙනි. ඒ සඳහා මූලික පියවර තබමින්, පාසල් සිසුන්ට කොටස් වෙළෙඳපොළ සුරැකුම්පත් පිළිබඳ දැනුම දීම සඳහා නව වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙන්නට යෙදුණේ, පසුගිය දා මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවති ඊට අදාළ සමාරම්භක උත්සවයේ දී ය.

ඒ අනුව පළමු පියවරේ දී, තෝරා ගත් පාසල් 100ක 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්' පිහිටුවා, ඒ මඟින් සිසුන්ට කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුම සහ අවබෝධය ලබා දෙයි. ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 10ක් වෙන් කරන බව ජනාධිපතිවරයා පවසා සිටියේ එම සමාරම්භක උත්සවයේ දී ම ය.

පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණු ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ආයතන හතර එකට එක්ව ය.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. රණසිංහ, විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් බණ්ඩාරනායක යන නිලධාරීන් අත්සන් තැබූ අතර, නුගවෙල මධ්‍ය විද්‍යාලයේ 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමය' පිහිටුවීමට අදාළ වරලත් සහතික පත්‍ර ජනාධිපතිවරයා විසින් විදුහල්පති ධම්මික බණ්ඩාර වෙත ලබා දුන්නේ ය.

"නව ආර්ථික ක්‍රමවේද සමඟ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් කරා යෑමට නව ක්‍රමවේද සමඟ අප ඉදිරියට යා යුතුයි. ලබන වසරේ සිට මහ බැංකු වාර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා ගුරුවරුන්ට සහ ශිෂ්‍ය නායකයින්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබා දීමට අප නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මොකද, රටක් දියුණු කරන්නට නම් ආයෝජනය ඉතා වැදගත්..." එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත්, කොටස් වෙළෙඳපොළ ඇතුළු මෙරට සමස්ත ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනය සිදු කරන රාජ්‍ය ආයතනය වන්නේ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවයි. පවතින තත්ත්වයට වඩා දියුණු කොටස් වෙළෙඳපොළ ආර්ථිකයක් කරා යෑමට රටක් ලෙස අප කළ යුතු දෑ පිළිබඳ විමසීම උදෙසා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න සම්බන්ධ කර ගතිමු.

"ඇත්තටම කොටස් වෙළෙඳපොළ කියන්නේ රටක ආයෝජන අවස්ථා දියුණු කිරීමේ හොඳ ක්‍රමවේදයක්. නමුත් කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීම සඳහා හැදෑරීමක් අවශ්‍යයයි. පාසල්වල ප්‍රාග්ධන වෙළෙඳ සංගම් පිහිටුවා ඒ ඔස්සේ මේ ප්‍රායෝගික දැනුම සිසුන්ට ලබා දෙන්නේ ඔවුන් සමාජයට ප්‍රවිෂ්ට වන විට ඒ පිළිබඳ දැනුවත්භාවයකින් කටයුතු කිරීම සඳහා යි. පාසල් අධ්‍යාපනයේ දී වාණිජ විෂය හදාරන සිසුන්ට කොටස් වෙළෙඳපොළ පිළිබඳ යම් දැනුමක් ලැබුණත්, විද්‍යා, කලා, ගණිතය වැනි විෂයයන් හදාරන සිසුන්ට පාසල් අවධියේ දී මෙම දැනුම ලැබෙන්නේ නැහැ. මෙම ප්‍රාග්ධන සංගම් හරහා මේ පිළිබඳ උනන්දු ඕනෑම සිසුවකුට අවශ්‍ය දැනුම ලබා ගැනීමට මේ මඟින් හැකියාව ලැබෙනවා. ඒ හරහා ඔවුන් වෘත්තියෙන් කුමන ක්ෂේත්‍රයකට පිවිසියත්, යම් දිනෙක කොටස් වෙළෙඳපොළට ප්‍රවිෂ්ට වුවහොත් ඔවුන් ගනුදෙනු කරන්නේ දැනුවත්භාවයෙන්.

මෙම පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්වලට රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂයක මුදල ඔවුන් ආයෝජනය කර වසරකට පසු, අප ඒ පිළිබඳ සමාලෝචනයක් සිදු කරනවා. එම ආයෝජනයෙන් වැඩිම ප්‍රතිලාභයක් ලබා ගෙන තිබෙන පාසල් සංගමය තෝරාගෙන, එම සංගමයේ සිසුන් දහ දෙනකුට සහ එම විෂය භාර ගුරුවරයාට සිංගප්පූරු කොටස් වෙළෙඳපොළ නිරීක්ෂණ චාරිකාවක් සඳහා, සිංගප්පූරුවට යෑමට රජය විසින් වැඩපිළිවෙළක් ද සකස් කර තිබෙනවා. මෙයින් බලාපොරොත්තු වන්නේ, දියුණු කොටස් වෙළෙඳපොළක හැසිරීම පිළිබඳ පාසල් අධ්‍යාපනයට ප්‍රායෝගික අත්දැකීම් එකතු කර දීමයි. ඒ ඔස්සේ කොටස් වෙළෙඳපොළ සමඟ සාර්ථකව ගනුදෙනු කළ හැකි ප්‍රායෝගික මිනිසුන් සමාජගත කිරීමයි.

මේ කාරණාවට අමතරව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ප්‍රධාන කාරණා දෙකක් ඉෂ්ට සිද්ධ වනවා. එනම්, කොටස් වෙළෙඳපොළ ඇතුළු සමස්ත ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනය කරන්නේ අප ආයතනය විසින්. එහි දී කොටස් තැරැව්කාර ආයතන, ආයෝජන අරමුදල් කළමනාකරුවන් වැනි කොටස් වෙළෙඳපොළ සම්බන්ධ සෑම අංශයක්ම සහ ආයතනයක්ම අපගේ නියාමනයට යටත් වනවා. විශේෂයෙන් කොටස් තැරැව්කාර ආයතන පිළිබඳ අප ලොකු අවධානයක් දී තිබෙනවා. ඒ වගේම, කොටස් තැරැව්කාර ආයතන සඳහා බලපත්‍ර ලබා දීම සිදු කරන්නේත් අප ආයතනය විසින්.

ඒ වගේම, කොටස් මිලදී ගැනීමේදී සහ විකිණීමේදී කිසිවකු හෝ අක්‍රමිකතාවක් සිදු කරන්නට හදනවා ද යන වග හෝ කෘත්‍රිමව මිල ඉහළ දැමීමට උත්සාහ කරනවා ද, යන වග පිළිබඳවත් අප දිනපතා අධීක්ෂණයට ලක් කර, එසේ වනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

ඒ වගේම, ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ සංවර්ධනය කිරීමේ වගකීම පැවරෙන්නේත් අප ආයතනයට යි. ඒ අනුව, කොටස් වෙළෙඳපොළ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීම යටතේ, කොටස් වෙළෙඳපොළේ දියුණු කළ යුතු අංශ කිහිපයක් හඳුනා ගෙන තිබෙනවා.

දැනට ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ සමස්ත ආයෝජකයන් සිටින්නේ ලක්ෂ 8ක් වැනි ප්‍රමාණයක්. එයින් ක්‍රියාකාරීව සිටින්නේ ඊටත් වඩා අඩු ප්‍රමාණයක්. මේ තත්ත්වය දියුණු කරන්නට නම් ආයෝජකයන් ප්‍රමාණය තව තවත් වර්ධනය කළ යුතුයි. ඒ සඳහා අප ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා.

එනම්, දැනට කොටස් වෙළෙඳපොළ තුළ සිටින සහ කොටස් වෙළෙඳපොළට ප්‍රවිෂ්ට වීමට කැමැත්තෙන් සිටින අය සඳහා දැනුම ලබා දීම සඳහා අවශ්‍ය සම්මන්ත්‍රණ, වැඩමුළු, වැඩසටහන්, දේශන සහ සාකච්ඡා වැනි ක්‍රමවේද ඔස්සේ ආයතනික මට්ටමින් සහ විශ්වවිද්‍යාල මට්ටමින් දැනුම ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

කොටස් වෙළෙඳපොළ තුළ කොහොමද හරියට ආයෝජනය කරන්නේ, කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමේ දී කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ තිබෙනවා. ඒ නිසා පොදු මහජනතාවට වෙනමත්, විශ්වවිද්‍යාල සිසුන්ට වෙනම සහ පාසල් දරුවන්ට වෙනමත් වශයෙන් මෙම වැඩසටහන් අප ආයතනය මඟින් ක්‍රියාත්මක කරනවා. ඒ දැනුම්වත් කිරීම් හරහා අප බලාපොරොත්තු වන්නේ, දැනුම්වත් ආයෝජකයන් වැඩි කර ගැනීමයි. අපේ රටේ සමාගම් 2,000කට වැඩි ප්‍රමාණයක් තිබුණත් දැනට කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තු ගතව සිටින්නේ සමාගම් 290ක් පමණයි. කොටස් වෙළෙඳපොළේ මුළු පිරිවැටුමෙන් 10%ක ප්‍රමාණයක් පමණයි, විදේශීය ආයෝජකයන් සිටින්නේ. ලංකාවේ ආයෝජන දියුණු වන්නට නම්, විදෙස් ආයෝජකයින් වැඩි විය යුතුයි. ඒ නිසා, අපේ රට දැනට කොටස් වෙළෙඳපොළේ තිබෙන සමාගම් 290 හෝ දෙස් විදෙස් ආයෝජකයන් ප්‍රමාණය පිළිබඳ රටක් ලෙස කිසි සේත් සෑහීමකට පත්වන්නට බැහැ.

අපේ රටේ කොටස් වෙළෙඳපොළ සඳහා, මීට වඩා සමාගම් ප්‍රවිෂ්ට විය යුතුයි. නමුත් ඔවුන් කොටස් වෙළෙඳපොළට ප්‍රවිෂ්ට නොවන්නේ ඇයි කියන කාරණය විශ්ලේෂණය කිරීමේ දී හෙළි වූ ප්‍රධානතම කරුණ තමයි, ලංකාවේ දැවැන්ත සමාගම් බොහෝමයක් තවමත් පවතින්නේ පවුලේ ව්‍යාපාර ලෙසයි. එම සමාගම් කැමැති නැහැ, මහජනතාවට කොටස් නිකුත් කර හවුල්කරුවන් හදා ගන්නට. ඒ අය කැමැති පවුල් ව්‍යාපාරයක් ලෙසම සිය සමාගම් ඉදිරියට ගෙන යන්නටයි. අනික තමයි, කොටස් වෙළෙඳපොළට සමාගමක් ආ විට ඒ සමාගමේ කටයුතුවල පාරදෘශ්‍ය භාවයක් තිබිය යුතුයි. ලාභ අලාභ නිකුත් කළ යුතුයි. මිලට සංවේදී තොරතුරු ඒ අවස්ථාවේදීම නිකුත් කළ යුතුයි.

ලංකාවේ සමහර සමාගම් කොටස් වෙළෙඳපොළට එන්නට කැමැති වුවත් මේ තත්ත්වයට ලෑස්ති නැහැ. ඔවුන්ගේ වාර්ෂික වාර්තා නිකුත් කරන්නේ නැහැ. යම් සමාගමක් කොටස් වෙළෙඳපොළට ප්‍රවිෂ්ට වනවා නම් ඒ නීති රීති පද්ධතියට අනුකූල ව කටයුතු කළ යුතුයි.

ඒ කියන්නේ, කොටස් වෙළෙඳපොළට එනවා නම් සපුරාලිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මූලික කරුණු සපුරාලන්නට සමහර සමාගම් අකමැති අතර, සමහර සමාගම් එම කරුණු සපුරාලීමට තරම් පොඩි වැඩියි.

තවත් දෙයක් තමයි, සමහර සමාගම් තමන්ගේ ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා බැංකු ණය ගන්නවා. හැබැයි කොටස් වෙළෙඳපොළට කොටස් නිකුත් කරන්නට කැමැත්තක් නැහැ. නමුත් මේ අය, ඒ ලබා ගන්නා බැංකු ණයට පොලියක් ගෙවිය යුතුයි.

ඔවුන් හිතන්නෙ නැති වුණාට හොඳම දේ තමයි, කොටස් වෙළෙඳපොළට ප්‍රවිෂ්ට වීම. එවිට මහජනතාවට කොටස් නිකුත් කර, සමාගමේ සංවර්ධනය සඳහා ඒ මුදල් යොදවන්නට හැකියාව ලැබෙනවා. පිරිවැය අවම වනවා. හැබැයි, පාරදෘශ්‍ය භාවය අනිවාර්යයි. එය පවත්වා ගෙන යන්නට සමාගම කැමැති විය යුතුයි. ඉතින් බොහෝ අය නොදන්නවාට, යම් සමාගමක් ඉදිරියට ගෙන යන්නට හොඳම ක්‍රමවේදය තමයි කොටස් වෙළෙඳපොළට ප්‍රවිෂ්ට වීම. ඒ සඳහා ඕනෑම සමාගමක් මූලික සුදුසුකම් කිහිපයක් සපුරාලිය යුතුයි.

යම් සමාගමක් කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් ලෙස සලකන්නේ, එහි නිර්ණායකය ලෙස සලකන පුවරු අනුවයි. එනම්, යම් සමාගමක් ප්‍රධාන පුවරුවට ඇතුළත් වන්නට නම් එම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 500ක් විය යුතුයි. ඊළඟට තිබෙන 'දිරි සවි' පුවරුවට ඇතුළත් වන්නට නම්, එම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 100ක් විය යුතුයි.

ඊට අමතරව, අප මෑතක දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සමාගම් වෙනුවෙන් හඳුන්වා දුන් Empower Board පුවරුවට ඇතුළත්වීම සඳහා, එම කුඩා හා මධ්‍ය පරිමාණ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 25ක් වීම ප්‍රමාණවත්. මේ හරහා කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වලට කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ වීම සඳහා ඉඩ හසර උදාකර දී තිබෙනවා. ඒ මඟින් එම ව්‍යාපාර සමාගම් තවත් වර්ධනය කර ගැනීමටත්, කොටස්කරුවන්ට තමන්ගේ හැකියාව පරිදි සුළු හා මධ්‍ය පරිමාණයෙන් කොටස් මිල දී ගෙන ආයෝජනය කරන්නටත් හැකියාව උදා වී තිබෙනවා.

විශේෂයෙන්ම කිවයුතු දෙයක් තමයි, අපේ රටේ කොටස් වෙළෙඳපොළේ තවමත් අලෙවි වන්නේ කොටස් පමණයි. එම කොටස්වලට අමතරව ගනුදෙනු කළ හැකි, ආයෝජනය කළ හැකි අලුත් ක්‍රමවේද දියුණු රටවල කොටස් වෙළෙඳපොළවල භාවිත වනවා.

එම නව ආයෝජන ක්‍රමවේද (New products) අපේ රටේ කොටස් වෙළෙඳපොළ සඳහාත් හඳුන්වා දීමට අප කටයුතු සැලසුම් කරමින් සිටිනවා. එහි පළමු පියවරක් ලෙස සුකූක් - Sukuk ආයෝජන ක්‍රමවේදය හඳුන්වන්නට පුළුවන්. එය, ඉස්ලාමික් ආයෝජන ක්‍රමවේදයක්.

ඊට අමතරව, ලෝකයේ දියුණු කොටස් වෙළෙඳපොළ තුළ භාවිත වන පාරිසරික, සමාජයීය හා පාලන හා සම්බන්ධ ආයෝජන ක්‍රමවේද -(ESG Products) (Environmental, Social & Governance) කිහිපයක් තිබෙනවා. එනම්, නිල් බැඳුම්කර -Blue Bonds, හරිත බැඳුම්කර -Green Bonds සහ Short Selling හෙවත් 'හිඟ විකුණුම්' යන අලුත් ගනුදෙනු ක්‍රමවේදයි. ඉදිරියේ දී අපේ රටේ කොටස් වෙළෙඳපොළේත් ගනුදෙනු කළ හැකි මෙම නව සංකල්ප ක්‍රියාත්මක කළ යුතුයි. මොකද, අපේ කොටස් වෙළෙඳපොළ තවමත් ලෝකයේ සෙසු කොටස් වෙළෙඳපොළ තත්ත්ව හා සලකා බලද්දී නීතිමය වශයෙන් ඉතා හොඳ තැනක පවතිනවා. ගිය අවුරුද්දේ මේ කාලය වන විට සමස්ත මිල දර්ශකය 30%කින් පහළ වැටුණා වුණත්, මේ වසරේ පසුගිය සැප්තැම්බර් 4 වැනිදා වන විට කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය 34%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක්.

ඒ වගේම, තවත් දෙයක් කිව යුතුයි. එනම් කොවීඩ් වසංගතයෙන් පස්සේ, කොටස් වෙළෙඳපොළ සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කළා.

ඒ සමඟම විශාල ලෙස වර්ධනයක් අත්පත් වී තිබෙනවා. ඒ කියන්නේ, විශාල වශයෙන් ආයෝජකයින් කොටස් වෙළෙඳපොළට පිවිසෙමින් සිටිනවා. රට තුළ ආයෝජන අවස්ථා නොමැතිව සිටි බහුතරයක් දෙනා කොටස් වෙළෙඳපොළ තෝරා ගෙන තිබෙනවා.

අද වන විට කොටස් වෙළෙඳපොළේ ආයෝජකයන් බහුතරය අවුරුදු 30ට වඩා අඩු අය. ඒ කියන්නේ, අලුත්ම පරම්පරාවක් කොටස් වෙළෙඳපොළට පිවිසී තිබෙනවා වගේම, පිවිසෙමින් පවතිනවා.

ඒ වගේම මේ අයට දෙන්න තිබෙන වැදගත්ම පණිවුඩය තමයි, ඔබ කොටස් වෙළෙඳපොළ ආයෝජනය සඳහා අවශ්‍ය දැනුම සමාජ මාධ්‍ය හරහා ලබා ගැනීමේ දී, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල වෙබ් අඩවි විසින් මුදා හරින තොරතුරු මත පමණක් විශ්වාසය තබන්න කියන එක..."

Comments