අපේ රෝස් පාන් ඇමෙරිකාවට යවා ඩොලර් මවන සුසිකෝ | සිළුමිණ

අපේ රෝස් පාන් ඇමෙරිකාවට යවා ඩොලර් මවන සුසිකෝ

ද අප ඔබට හඳුන්වා දෙන්නට යන්නේ ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව ආදී රටවලට සැකසූ ආහාර හා බේකරි නිෂ්පාදන අපනයනය කරමින් ඩොලර් උපයන ව්‍යවසායකයකු පිළිබඳවය. මෙම ව්‍යාපාරයේ ඇති විශේෂත්වය වන්නේ බේකරි නිෂ්පාදනවල ආරම්භය සිදු වූ රටවලට බේකරි නිෂ්පාදන අලෙවි කිරීමට සමත් වීම මෙන්ම මෙරට සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන එම රටවලට හඳුන්වාදීමට සමත් වීමය.

මෙම ව්‍යාපාරය මඟින් මේ වන විට ආහාරමය නිෂ්පාදන 80ට වැඩි ප්‍රමාණයක් අපනයනය කරන අතර ඉන් වැඩි ප්‍රමාණයක් අලෙවි කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයටය. මේ ඔහුගේ කතාවය.

සුප්‍රකට ව්‍යාපාරික විමල් රූපසිංහ හා සමන්තා රූපසිංහට දාව 1991 මැයි 09 වැනිදා කළුබෝවිලදී උපන් සුවිමල් රූපසිංහ කුඩා කාලයේ පටන් දුටුවේ සිය පියා ව්‍යාපාර ක්‍ෂේත්‍රය වෙනුවෙන් කටයුතු කරන ආකාරයයි. කොළඹ ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලැබූ සුවිමල් 2009 වසරේදී උසස් පෙළ හදාරා ඉන් පිට විය. සිය වැඩිමහල් සොහොයුරා විශේෂඥ වෛද්‍යවරයකුව එංගලන්තය බලා පිටව යාමත් සමඟ පවුලේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට කරගෙන යාමේ වගකීම පැවරෙන්නේ සුවිමල්ටය. 2009 වසරේ එංගලන්තය බලා පිටත්ව යන හෙතෙම එහිදී බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී අලෙවි කළමනාකරණ (විශේෂ) උපාධිය 2012 වසරේදී හිමි කරගන්නේය. නැවත ලංකාවට පැමිණෙන සුවිමල් සුසිකෝ බේකර්ස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා ලෙස පත්වන්නේ වයස අවුරුදු 21ක තරුණයකුව සිටියදීය. 

මේ භාරධුර වගකීම තරුණයකු ලෙස සුවිමල් භාරගන්නේ තමන්ට ලැබුණු අභියෝගාත්මක කඩඉමක් ලෙසය. ඒ වන විට සුසිකෝ බේකරි නිෂ්පාදන අලෙවිසල් 25ක් පමණ ඔවුන් සතු වූ අතර සේවකයන් 220ක් පමණ එහි සේවයේ නිරතව සිටියේය. මෙම අලෙවි සැල්වලින් ලැබෙන ආදායමෙන් සාමාන්‍ය පරිදි ව්‍යාපාරය පවත්වා ගෙන ගිය අතර සුවිමල්ට අවශ්‍ය වූයේ පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගෙන එය නූතනයට ගැළපෙන පරිදි නැවත සකස් කිරීමටය. ඒ අනුව ඔහු උගත් දෑ ව්‍යාපාරයට හඳුන්වාදීමට කටයුතු කළේය. නමුත් එංගලන්තයේදී උගත් දෑ මෙහිදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යෑමේදී විවිධ අභියෝග ඔහු ඉදිරියට ආවේය. ඒ අතර සේවක ගැටලු විශේෂ විය. මේනිසා ඔහු ඊට විසඳුමක් සෙවීමට උත්සාහ කළේය. 2016 ඔහු දකුණු කොරියාව බලා පිටත් වූයේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය විෂය දැනුම මෙන්ම ප්‍රායෝගික දැනුම ද උකහා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ අනුව දකුණු කොරියාවේ සෝල් ජාතික විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඉන් 2018 වසරේදී ආයතනික උපායමාර්ග (MBA) පිළිබඳ උපාධිය ලබා ගත්තේය. ඔය අතරතුර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය තාක්ෂණික උපකරණ ගෙන්වීමටද සුවිමල් කටයුත කළේය. එයද ව්‍යාපාරයක් වශයෙන් සාර්ථක වූ අතර මේනිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය නව තාක්ෂණික උපකරණ පිළිබඳ දැනුම්වත් වීමක් ද සිදු විය. පෙරළා ලංකාවට පැමිණි සුවිමල් සිය දැනුම සුසිකෝ ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යොදාගත් අතර එවර ඔහු සාර්ථක විය. සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ උගත් බොහෝ දෑ මෙරටදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පහසු විය. එලෙස කටයුතු කරමින් සිටියදි 2019 වසරේ දී එල්ල වූ පාස්කු ප්‍රහාරය ව්‍යාපාරයට තදින්ම බලපෑවේය. ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීමත් සමඟ වෙළෙඳසැල් වසා දැමීමට ඔවුන්ට සිදු විය. කිසිදු නිෂ්පාදනයක් අලෙවි නොකර සේවකයන්ට වැටුප් ගෙවීමට හා අනෙකුත් වියපැහැදම් දැරීමට සිදු වූයෙන් එය ව්‍යාපාරය පැත්තෙන් දැරිය නොහැකි පාඩුවක් විය. නමුත් සුවිමල් මේ අභියෝගයට කෙසේ හෝ මුහුණ දිය යුතු යැයි අධිෂ්ඨාන කරගත්තේය.

මෙවැනි විපත් ඉදිරියේදී සිදු වුවහොත් ව්‍යාපාරයත් සේවකයනුත් බේරාගෙන ඊට මුහුණ දිය හැක්කේ කෙසේදැයි ඔහු කල්පනා කළේය. ඒ අනුව තම නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් සොයාගත යුතු යැයි ඔහු කල්පනා කළේය. හෙතෙම ඇමෙරිකාව බලා පිටත් වූයේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමේ අරමුණ ඇතිවය.

මෙම අභියෝගාත්මක ගමන පිළිබඳ සුවිමල් සිළුමිණට පැවසුවේ මෙවැන්නකි.

“ඇමෙරිකාව කියන්නේ අපේ රටේ අය ගොඩක් ඉන්න යුරෝපීය රටක්. ඒ නිසා සුසිකෝ නිෂ්පාදනවලට ඇමරිකාවේ වෙ‍ෙළඳපොළක් නිර්මාණය කරගත්තොත් එය ව්‍යාපාරය පැත්තෙනුත් ශ්‍රී ලංකාවේ ආහාර ලෝකයට ගෙනියන්නත් හොඳ අවස්ථාවක් කියල මම හිතුවා. මම ඇමෙරිකාවේ නිව්යෝක්වලට ගිහින් ලංකාවේ මං දන්න කිහිපදෙනකු මාර්ගයෙන් ගැණුම්කරුවන් පිළිබඳ තොරතුරු හොයාගෙන ඔවුන් හොයාගන්න ඇවිද්දා. මම එහෙම හෙයමින් යද්දි මේ ව්‍යාපාරය ගැන අවබෝධයක් තියෙන දැනටත් ලංකාවෙන් විවිධ දෑ ගෙන්වා අලෙවි කරන නිවුජර්සිවල ඉන්න ගැනුම්කරුවකු මුණ ගැහුණා. ඔහු උතුරු ඇමෙරිකාව පැත්තේ බෙදාහැරීම් කටයුතු ඉතාම සාර්ථකව සිදුකරන කෙනෙක්. ඒ වගේම ලංකාවේ, ඉන්දියාවේ, නේපාලයේ වෙළෙඳපොළ එක්ක හොඳ සබඳතාවක් පවත්වා ගෙන යන අයෙක්. මං ඔහු හමුවී කතා කළාම මගේ යෝජනාව ගැන ඔහු ඉතාම සතුටු වුණා. නමුත් ආහාර එවැනි රටකට යවද්දී අනුගමනය කළ යුතු ලොකු ක්‍රියාදාමයක් තිබෙනවා. ඒවා පිරිසිදු සෞඛ්‍යාරක්ෂිත හා කල්තබාගත හැකි ආකාරයට යැවිය යුතු වෙනවා. මුලින්ම මම බේකරි නිෂ්පාදන යවන්න පටන් ගත්තා. රෝස්පාන්, මාළුපාන්, ටී බනිස්, ක්‍රීම් බනිස්, කිඹුලා බනිස්, පැටිස්, එළවළු රොටී, මාළු රොටී, වණ්ඩු ආප්ප, හැලප, පොල් කේක්, කැවුම්, මුං කැවුම්, ආස්මි, මස්කට් ... වගේ දේවල් යැව්වා. ගොඩක්ම ලොකු ඉල්ලුමක් රොස්පාන්වලට ලැබුණා. නමුත් මේ ආහාර කල්තබා ගන්නා ආකාරයට සකස් කරන්නේ කොහොමද කියල දැනුම්වත්භාවයක් ඒ වෙද්දී මට තිබුණේ නැහැ. මගේ ගැනුම්කරුවා මට ඒ පිළිබඳව ලොකු අවබෝධයක් ලබා දුන්නා. විශේෂයෙන්ම ආහාර කල්තබා ගන්නා ආකාරය පිළිබඳව. ඒ අනුව වසර දෙකක් කල්තබා ගන්නා ආකාරයට ආහාර සකස් කරන්න මම දැනුම්වත් වුණා. ඇත්තටම වසර දෙකක් නෙමෙයි ඊටත් වඩා කල් තබාගෙන දැන් හදපු කෑමක් වගේ කන්න පුළුවන් වන විදියට අප ආහාර සකස් කළා. මට ඒ ගැන වගකීමෙන් කියන්න පුළුවන්. අපි වසර තුනකට පෙර ලම්ප් රයිස් ඒ විදියට ඇමෙරිකාවට යැව්වා. ඒ යවන කෑමවල සාම්පල් අපි තියා ගන්නවා. මොකද මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක අපේ ප්‍රශ්නයක්ද ඒ අයගේ ප්‍රශ්නයක්ද කියලා අපිට දැන ගන්න අවශ්‍ය වන නිසා. ඉතින් මේ ළඟකදි අපි ඒ කෑම එකක් කෑමට ගත්තා. හරි පුදුමයි ඒක මේ දැන් හදපු ආහාරයක් වගේ නැවුම්ව තිබුණා. මේවිදියට ආහාර කල්තබා ගන්න පුළුවන් ෆ්‍රීසිං මෙතර්ඩ් එක මගේ යාළුවකුගේ මාර්ගයෙන් තමයි මම දියුණු කර ගත්තේ. එයා ඒ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළට ගිය ඒ ව්‍යාපාරයේ දැවැන්තයෙක්. ඔහු කියා දුන් ආකාරයට මේ විදියට ශීත කළ ආහාරයක් එකක් වසර තුනක් නෙමෙයි දහයක් වුණත් තියා ගන්න පුළුවන්. නමුත් අපි ආහාර නිසා ඒ තරම් කාලයක් යොදන්නේ නැහැ. මේ විදියට අපි ‘කැන්ඩි ෆුඩ්ස්’කියන නව වෙළඳ නාමය යටතේ පළමු ඇණවුම ලෙස කිලෝ 12,000ක් පමණ නිව්යෝර්ක්වලට යැව්වා. ඒක ඉතාම සාර්ථක වුණා. ඒ වගේම අපේ නව වෙළෙඳ නාමයට ලොකු පිළිගැනීමක් ඇමරිකානු වෙළෙඳ පළේ ලැබුණා.

ඒකට ගොඩක්ම හේතු වුණේ අපේ ගැනුම්කරුවාගේ ශක්තිමත් වෙළෙඳ ජාලයයි. අපි මේ වෙද්දි බේකරි නිෂ්පාදන හා පෙර සැකසූ ආහාර ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සුපර් මාර්කට්වලට පමණක් කන්ටේනර් පහළොවක් පමණ මාස එකහමාරකට සැරයක් යවනවා. ඒකට කොවිඩි වසංගතය ගොඩක් දුරට බලපෑවා. මොකද ඒ කාලේ බොහෝ අයට එළියට බැහැලා නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන් වටපිටාවක් නෙමෙයි තිබුණේ. ඒ නිසා අපට විශාල ඇණවුමක් ලැබුණා.

ඒකාලේ අපේ ආහාර මිලදී ගත්ත පාරිභෝගිකයන් තවමත් අපේ ආහාර ගන්නවා. ඒ නිසා මේ වෙද්දි ඇමෙරිකාවේ ස්ථාවර වෙළෙඳපොළක් අපට තියෙනවා. මං එදා පාස්කු ප්‍රහාරයත් එක්ක මේ දේ කල්පනා නොකරන්න අපේ ව්‍යාපාරයට සිදුවන දේ හිතාගන්නවත් බැහැ. මොකද රටම ලොක්ඩවුන් කරලයි තිබුණේ. මේ දේ නොකර සිටිය නම් ව්‍යාපාරයත් වැටිලා සේවකයන්ටත් යන එනමං නැති වෙනවා. අද අපේ සේවකයන්ට ඕනතරම් වැඩ තියෙනවා.”

ඇත්තෙන්ම ව්‍යාපාරිකයකුට එවැනි සූක්ෂ්ම දැක්මක් තිබිය යුතුය. එසේ නොවන්නට ඕනෑම ව්‍යාපාරයකට අත්වන ඉරණම සිතා ගැනීමටවත් නොහැකිය.

සුවිමල් පවසන ආකාරයට ආහාර කල්තබාගැනිම ආවට ගියාට කළ නොහැකි කටයුත්තකි. එකී ක්‍රමවේදය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීමකින් හා අවබෝධයකින් යුතුව සිදු කළ යුතු කාර්යයකි. ඒ සඳහා සැකසූ සැණින් ආහාර නිෂ්පාදන වීදුරු ශීතකරණවල බහා ඍණ 30 දක්වා උණුසුම පහත හෙළිය යුතුය. එමඟින් සියලු බැක්ටීරියාවන් විනාශ වන අතර ආහාරයේ ජීව කාලය ඒ මොහොතේ සිට නතර වේ. එය නැවත සක්‍රිය වන්නේ එය රත් කළ විටය. මේ ආකාරයට පෙර සැකසූ ආහාරයක් වසර දහයක් වුවත් නැවත රත් කරන තුරු මේ ආකාරයට තබා ආහාරයට ගත හැකි බවත්, එසේ වුවත් ඒ පිළිබඳ පාරිභෝගිකයා දැනුම්වත් නොකරන්නේ නැව්ගත කිරීමේ සිට අදාළ රටට ගොස් එහි තත්ත්වය පරික්ෂා කර බලා වෙළෙඳසැල් වෙත යනතෙක් මාස දෙකක් හෝ තුනක කාලයක් ගතවීමයි. එසේම දීර්ඝ කාලයක් යෙදීමෙන් පාරිභෝගිකයා තුළ ද සැකයක් මතුවිය හැකිය. එය වෙළෙඳාමට ඍජුව බලපායි. මේනිසා වසර දෙකක ජීව කාලයක් අදාළ නිෂ්පාදනයේ සටහන් කිරීමට පියවර ගන්නා බව හෙතෙම පවසයි.

මේ වන විට සුසිකෝ අායතනය මඟින් නිෂ්පාදනය කරන ‘කැන්ඩි ෆුඩ්ස්’නිෂ්පාදන ඔස්ට්‍රේලියාවට ද අපනයනය කරයි. එය ද ඉතාම අභියෝගාත්මක කාර්යයකි. 

මන්දයත් මේ වන විට බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්ව සිටින අතර ඔවුන් විසින් ද නොයෙකුත් අවන්හල් පවත්වා ගෙන යයි. එනිසා ඒ මොහොතේම උණු උණුවේ ආහාර ලබා ගැනීමට හැකියාව තිබේ. එසේ තරඟකාරී පසුබිමක් තිබියදී පවා සුවිමල් සිය නිෂ්පාදන ඔස්ට්‍රේලියානු වෙළෙඳපළට අපනයනය කිරීමට සමත්ව තිබේ. ඔහුගේ ගැනුම්කරුවා විසින් වේගයෙන් මෙම නිෂ්පාදන සිය වෙළෙඳපොළට හඳුන්වා දෙමින් තිබේ. මෙහි පවතින ස්වභාවික රසය හා ගුණය ඒ සඳහා ඔහුට විශාල පිටිවහලක් වි තිබේ. ඉදිරියේදී ‘කැන්ඩි ෆුඩ්ස්’නිෂ්පාදන එංගලන්තය හා ඉතාලිය යන රටවලදී ද ලබා ගැනීමට හැකිවන බවත් මේ වන විටත් ඊට අවශ්‍ය නෛතික ක්‍රියාදාමයන් සකස් වෙමින් ඇති බවත් හෙතෙම පවසයි.

මේ ආකාරයට අපනයන කරන නිෂ්පාදන අතර රෝස් පාන් වැඩිම පාරිභෝගික ඉල්ලුමක් ඇති ආහාරය බවට පත්ව තිබේ. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට පමණක් මාස එකහමාරකට වරක් රෝස් පාන් කිලෝ 20,000ක් පමණ අපනයනය කරයි. මීට අමතරව මාළුපාන්, චයිනිස් රෝල්, එළවළු රොටි, මාළු රොටි, පැටිස්, කට්ලට්, බිබික්කන්, වණ්ඩු, හැලප, අතිරස, අළුවා, දොදොල්, මස්කට්, දෝසි, වැලිතලප, බිත්තර රෝල්, චිලි (සකස් කළ මාළු මිරිස් කරල්), චොක්ලට් රෝල්, බොම්බේ ස්විට්ස්, පොල්ටොෆි, කිරි ටොෆි, රුලං, පුහුල් දෝසි, මුං අළුවා, තල අළුවා, තලකැරලි, පැණි කජු, පැණි වලලු, ලම්ප් රයිස්, ෆිස් ලම්ප් රයිස්, රයිස් ඇන්ඩ් කරි, වෙජිටබල් රයිස් ඇන්ඩ් කරී, සී ෆුඩ් රයිස් ඇන්ඩ් කරී, ෆිස් රයිස් ඇන්ඩ් කරී සහ සෙට් මෙනු ආදී නිෂ්පාදන වලට අමතරව පොල් සම්බෝල, මුකුණුවැන්න මැල්ලුම්, කොස් මැල්ලුම්, මාළු ඇඹුල්තියල්, උම්බලකඩ සම්බෝල ආදිය ද අපනයනය කරයි.

මේනිසා ව්‍යාපාරික වශයෙන් ඔවුන් දියුණුවෙන් දියුණුවට පත්වන අතරම මෙරටට ඩොලර් ආදායම ඉහළට ගෙන ඒමටද මෙමඟින් හැකියාව ලැබී තිබේ.

මෙම වෙළෙඳපොළ ප්‍රසාරණය කිරීම සඳහා මෙරට බේකරි නිෂ්පාදකයන් යොමු වීමට උත්සාහ ගත්ත ද ඔවුන් බොහෝදෙනා අසාර්ථක වන්නේ කල්තබා ගැනීමේ ක්‍රමවේදය, නිෂ්පාදනවල සෞඛ්‍යාරක්ෂිත බව හා පෝෂණ ගුණය නිසිපරිදි පවත්වා ගැනීමට අවශ්‍ය දැනුම්වත්භාවය නොතිබීම නිසාය. ඒ සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණය ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත්වි මැදපෙරදිග හා යුරෝපීය රටවල පවත්වනු ලබන ෆුඩ් ෆෙස්ටිවල් සඳහා සහභාගි වීමට මෙරට ආහාර නිෂ්පාදකයින්ට පසුබිම සකසන්නේ නම් එය රටේ ආර්ථිකය ඉහළ නැංවීමට මහත් පිටුබලයකි. එසේම තානාපති කාර්යාල මඟින් මේ සඳහා අවශ්‍ය වෙළෙඳපොළ නිර්මාණය කර ගැනීමට විශාල වැඩ කොටසක් කළ හැකිය. එදා තේ, පොල්, රබර් අපනයනය කර ලැබූ ආද­ායම අද මෙවැනි මාර්ග හරහා උපයා ගැනීමට හැකියාව තිබියදී අප තවමත් ඒ පිළිබඳව අවධානය යොමු කර නොමැතිය.

යුක්‍රේන රුසියා යුද්ධය සමඟ කළු මුහුදේ ධාන්‍ය අපනයනය නතර වී තිබේ. ඉදිරියේදී බටහිර රටවල් මුහුණදෙන ආහාර ගැටලුවට අප කල්තියා මේ ආකාරයට ආහාර නිෂ්පාදන අලෙවි කිරීමට කටයුතු කළහොත් ගෘහ සේවයට කාන්තාවන් යවනවාට වඩා වැඩි විදේශ විනිමයක් පහසුවෙන් උපයා ගැනීමට හැකිවනු නොඅනුමානය.



Comments