
- හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විශේෂත්වය නම් ගැහැනු සහ පිරිමි දරුවන් දෙපාර්ශ්වයම ඉගෙනුම ලබන මිශ්‍ර පාසැලක් වීමයි
- 2021 වන විට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළට ඉදිරිපත් වූ දරුවන් 763ම සමත්වීම විශේෂත්වයක්
පසුගිය 24වන සඳුදා මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විශේෂ කඩඉමක් සටහන් කළ දිනයකි. එය, මීට පෙර අධ්‍යාපන අමාත්‍යව සිටි වර්තමානයෙහි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ වර්තමාන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය, නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත් එකමුතුවෙන් එකම වේදිකාවක සිට පාසලෙන් ඉවත්ව යන විදුහල්පතුවරයකු සහ පාසල භාර ගන්නා නව විදුහල්පතිවරයකු හමු වූ සුවිශේෂී මොහොතකි. දේශපාලනය ඉවතලා රටේ දරුවන්ගේ සුන්දර අනාගතය පමණක් සිතා බැලූ කල එය ඇත්තව ශයෙන්ම මනරම් ඉදිරි කාලයකට වූ හමුවකැයි පාසලේ මවුපියන් සහ දරුවන්ට සිතෙන්නට ඇත. ඒ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නව විදුහල්පති සරත් බන්දු ගුණසේකරට අභියෝගයක් ලබාදෙමින් පිරිනැමූ විදුහල්පතිත්වය සිදු වූ දවසයි.
නව ලෝකයට යන දරුවා පොත් බලා කරන පාඩම් වෙනුවට ප්‍රායෝගික දරුවෙක් බිහි කරන්නට එලෝන් මාස්ක් අමෙරිකාවේ නව ආරකට පාසලක් තැනුවේ ලොව දිනවන කුසලතාව ඉස්මතු කරන දරුවකු බිහි කිරීමේ තමාගේ පරමාර්ථයක් ඉටු කර ගන්නට වුවද එයට තමා ජීවත් වෙන රට දිනවන අභිලාශය පෙරදැරිව තිබෙන්නට ඇත. හෝමාගම පුරන් වූ ඉඩමට මුල්ගල තබා තැනූ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අද ලක්දිව ගුණ නැණ බලෙන් යුතු පුතුන් තනනා අගනා පාසලක් කරමින් සුවිසල් මෙහෙයක් කිරීමේ හැකියාව උදා වී ඇත. උගත්කමේ අගය දත් නිසාදෝ ආචාර්ය බන්දුල ගුණවර්ධන එවකට වෙළඳ විෂය භාර අමාත්‍යවරයාව සිටිය ද දීර්ඝ කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන කමිටුවේ සභාපතීත්වය දරන අවදියෙහි හෝමාගමට ජාතික පාසලක අවශ්‍යතාව තේරුම් ගෙන තමාට භාර දී තිබූ මහපොළ භාරකාර අරමුදලෙන් මුදල් වෙන්කොට ආනන්දයෙන් ප්‍රඥාව කරා යන්නට දැයේ දරුවන් මෙහෙයවන්නට මඟක් තැනීය. එවකට අධ්‍යාපන අමාත්‍ය ධුරයේ කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත සමඟ එකතු වී පාසල ගොඩනංවන්නට ශක්තිමත් පදනමක් දැමීමෙන් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ වෙනත් ආරක අත්දැකීමක් ලබා දෙන නව්‍ය තිළිණයක් ලාංකේය දරුවන්ට ඉතිරි විය. එම අවදියෙහි මෙම පාසල ගොඩනඟන්නට උපකාර කළ සියල්ලන් මෙන්ම 2011 ජනවාරි මස 20 වැනිදා එවකට අග්‍රාමාත්‍ය දිවංගත දි.මු.ජයරත්න මැතිතුමාගේ ආශිර්වාදයෙන් පාසලට පළමු දරුවා ඇතුළත් කිරීම ද මෙහිදී ස්මරණය කරමි.
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විශේෂත්වය නම් ගැහැනු සහ පිරිමි දරුවන් දෙපාර්ශ්වයම ඉගෙනුම ලබන මිශ්‍ර පාසැලක් වීමයි. දරුවාගේ මනසත් දක්ෂතාවත් ඔප දමන්නට අධ්‍යාපනයත්, ශාරීරිකව ගොඩ නැඟෙන්නට පෝෂණයත් අරමුණු කොට බිහි කළ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අද වනවිට දරුවන් 7000ක් පමණ අධ්‍යාපනය හදාරති. ගුරුවර ගුරුවරියන් 300ක් අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවී සිටිති. මෙය දකුණු ආසියාවේ විශාලතම ද්විතීයික පාසලයි. සිසුන් විභාග සමත්වීම යහපත් දරුවකු ලොවට බිහිවීමේ ගුණවත් ලක්ෂණයක් නොවන නමුත් විභාග කේන්ද්‍ර අධ්‍යාපනයේ සීමාව ඉක්මවමින් 2021 වන විට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළට ඉදිරිපත් වූ දරුවන් 763ම සමත් වීම විශේෂත්වයකි.
2011 වසරේ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ආරම්භක විදුහල්පතිවරයා ලෙස එච්. එන්. ද සිල්වා කටයුතු කළ අතර, ඔහු තම පාසලේ දරුවන් නව මානයෙන් ගොඩනංවන්නට තම ඥානයත් කැපවීමත් එක ලෙසම කැප කළ අයකු විය. 2015 වසරේදී පාසලේ විදුහල්පති වූයේ කසුන් ගුණරත්නයි. ඔහු පරිපූර්ණ තාක්ෂණයෙන් යුතු අංගසම්පූණ මනරම් පුස්තකාලයක් පාසලේ ගොඩනැංවූයේය. 2023 වසරේ මහින්ද රාජපක්ෂ විද්‍යාලය නඟා සිටුවීමේ අභියෝගය භාර ගත්තේ සරත් බන්දු ගුණසේකරයි.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන ආකාරයට ලොව කිසිදු රටක නැති ඔළු ඔද්දල් කරන විභාග ක්‍රමය බැහැර කොට, හැදූ වැඩූ මවුපියන්ට නමස්කාර ගෞරව කරන, ගුරුපරපුරට අභිමානය කැඳවන, රටට විශ්වයට සම්පතක් වන දරුවකු පාසල් පද්ධතිය ඔස්සේ බිහි විය යුතුව තිබේ. කිනම් බාධා ආවද දරුවාගේ අධ්‍යාපනය ඇපයක් බවට පත් නොකොට අධ්‍යාපනය පිළබඳව රජය දකින ලද දර්ශනය සපල කරමින් 2013 පෙබරවාරි මස 17 වන දින මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය බිහි කළාක් මෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි පාසල් තනා කටපාඩම් අධ්‍යාපනයෙන් බැහැර අධ්‍යාපනයක් සහිත කුලසතාව ශක්‍යතාවක් ලෙස උපදින දරුවන් තනන පාසල් පද්ධතියක් නංවන්නට හැකියාව රටේ වගකිව ඇත්තන්ට සිත් පහළ විය යුතු බව අපේ අදහසයි.
රට නංවන්නට දැනුමෙන් පොහොසත් මිනිසුන් අවශ්‍යව ඇත. එවිට කුසලත්වය සහ දක්ෂතා ඇත්තෝ මතුකොට රටට සේවය කරනු ඇත. එසේ නම් රට ගොඩනඟන්නට බාරගත් ඉහළ පුටු හොබවන පුද්ගලයනුත්, දේශපාලනඥයාත්, රටෙන් නැඟෙන්නට වෙර දරන දරුවනුත් ආදී මේ සියල්ලෝ එකතු වී රට ගොඩනැඟිය යුතුව ඇත. රටට දිරියක් දිය යුතුව ඇත. ලොව සමබර වූ සොබාදම් සම්පතින් සහ සැබෑ ගුණවත් මිනිසුන්ගෙන් පිරි ලංකාව අප උපන්දා සිට සංවර්ධනය වෙමින් පවතින රටකි යන්න බැහැර කොට උදාවන නුදුරු අනාගතය සංවර්ධිත රටක් වන්නට අතදිය හැක්කේ ආත්මාර්ථයෙන් මිදුණ මිනිසුන් සිටින විට පමණි. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය වැනි විදුහල්වලින් බිහිවන දරුවන් හෙට දින වෙනස් කරනු ඇති බව අපේ විශ්වාසයයි. මේ ඒ වෙනුවෙන් පෙරට ආ යුතු කාලයයි.
නාමලී මාකලන්දාව