
ජේමිස් කුඩා සිරුරක් හිමි අයෙකු වුවද ඉතා කාර්යශූර පුද්ගලයෙකි. මට ඔහු සමඟ කතාබහ කරන්නට ලැබෙන්නේ පාසල් නිවාඩු දිනවල ගමට පැමිණෙන අවස්ථාවලදීය. ඉණේ හිස් මුට්ටිය එල්ලාගෙන ජේමිස් මල කැපීමට වෙල අසබඩ කිතුල් ගහට ගොඩවන ආකාරය ගෙමිදුලේ සිට මම බලා සිටින්නෙමි. තෙලිදිය පිරුණු මුට්ටිය බිමට බා, මල කපා, හිස් මුට්ටිය එල්ලා බිමට බට ඔහු මා දෙස බලා සිනාසුණේය.
"පුංචි මහත්තයා... ගොඩ දවසකින්නෙ දැක්කෙ. කොයි වෙලාවෙයි ගෙදර ආවෙ?"
"ඊයේ ටිකක් රෑ වුණා ගෙදර එනකොට."
"ඇ....ත්තෙයි!... ජෝගුවක් අරන් එන්නකො තෙලිජ්ජ ටිකක් බොන්න දෙන්න"
ජෝගුවක් අතින් ගෙන මම කිතුල් ගහ මුලට ගියේ වටපිට බලමිනි. සබන් දියර වැනි දියරයක් මුට්ටියෙන් මගේ ජෝගුවට වත්කළ ඔහු, "මේවා හරි රහයි. ඒ වගේම ඇඟට ගුණයි. බීලා බලන්නකො." යැයි කීවේය.
මුට්ටියේ මීමැස්සන් සහ වෙනත් කෘමීන් කීපදෙනෙකු පාවෙනවා දුටු මට කිසියම් පිළිකුලක් දැනුණ නමුදු උගුරු දෙක තුනක් බීවෙමි. ජේමිස් පැවසූ පරිදි තෙලිදිය මිහිරි පානයක් බව මට තහවුරු වුවද කළින් ඇතිවූ පිළිකුල දැඩි වූයෙන් ජෝගුව නැවත ඔහු අතට දුනිමි.
"තෙලිජ්ජ ඌෂ්ණ බීමක් නෙවෙයි. ඇඟ සිසිල් කරන බීමක්" ඔහු කීවේ ජෝගුවේ ඉතිරිවූ දියරය මුට්ටියට හලා ගනිමිනි.
"ඕවා බීලා වෙරි වුණොත්?"
"තෙලිජ්ජ බීවට වෙරි වෙන්නෙ නෑ. මේවට රා මණ්ඩි ටිකක් දාලා පැහෙන්න තිබ්බම රා හැදෙනවා. රා බිව්වම තමයි වෙරි වෙන්නෙ"
"මේ කිතුල අපේ ලොකු අම්මලාගෙනේ. ඔයා මොකද තෙලිජ්ජ මුට්ටිය ඔයාලගෙ ගෙදර ගෙනියන්නෙ?"
"ඒක මෙහෙමයි මහත්තයො. උදේට බාන මුට්ටිය මට. හවහට බාන මුට්ටිය එහාට"
"ඉතින් ලොකු අම්ම රා විකුණන්නෙ නෑනේ"
"නෑ. නෑ. එහෙ රා හදන්නෙ නෑ. එයාලා තෙලිජ්ජ උණු කරලා පැණියි හකුරුයි හදලා විකුණනවා"
"ඔයා මේ කිතුල විතරද මදින්නෙ?"
"තව ගස් තුනක් මදිනවා. යහලමුල්ලේ ජෝන් මහත්තයලයි වත්තෙ ගස් දෙකයි දෙනියෙගෙදර එකයි"
"කිතුල් මලක් කිව්වට ගහේ හැදෙන්නෙ ඇත් දළයක් වගේ එකක් නේ"
"අන්න ඒකට තමයි අපි බෙහෙත් ඇතුල් කරලා, සීරුවෙන් තළලා, පට්ටවලින් ඔතලා, මල ඉදෙන්න ඇරලා, අග්ගිස්සෙ ඉඳල පෙත්තෙන් පෙත්ත කපන්න ගන්නෙ. සමහරක් ගස්වල තෙලිජ්ජ කඳුළ හොඳට වෑහෙනවා. එහෙම වෙලාවට දවසකට තුන් පාරක්ම මුට්ටිය බාන්න පුළුවන්"
"ගස් හතරක්ම මදින නිසා නේද රෑ වෙනකොට සිංදුවක් කියාගෙන වේල්ල දිගේ ගෙදර යන්නෙ?" තෙලිජ්ජ මුට්ටිය අතේ එල්ලාගත් ඔහු සිනාසී යන්නට ගියේය.
ජේමිස් ඉතා සරල ජීවිතයක් ගත කළ අයෙකි. විනෝදකාමියෙකි. දරු පවුලක් සිටියද ඔහුට වගේ වගක් නැත. උදේ හවහ කිතුල් ගස් කීපයක් මදින ඔහු දහවල් කාලය ගත කළේ අත්තුඩාව වෙල්යායේ ඇළ අසබඩය. සවස තුන හතර පමණ වනවිට කාවයියා, හුංගා, පෙතියා වැනි මාළු දහයක් පමණ එක වැලකට අසුවනසේ ඉරටුවල වැල් වශයෙන් අමුණාගෙන කඩපොළට ගෙනැවිත් එක වැලක් ශත පනහ ගාණේ විකුණා අමතර මුදලක් උපයා ගනී. ඔහුගේ බිරිය කඩපොළේදී එම මුදල්වලින් කොටහ ඉල්ලාගෙන ගෙදර අඩුපාඩු පිරිමසා ගැනීම සිරිත විය. ඔහුට මිතුරන් රෑනක්ම සිටියහ. මැදියම් රැය දක්වාම විනෝදයෙන් මිතුරන් සමඟ ගතකිරීම ඔහුගේ දවසේ අනර්ඝ පැය කිහිපය විය යුතුය.
"ඔයාට රා ජේමිස් කියලා මිනිස්සු කතා කළාම තරහ යන්නෙ නැද්ද?" වරක් මම ඔහුගෙන් ඇසීමි.
"මේ ගමේ ගොඩාක් අයගෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ වෙනම නමක්. හැබැයි කවුරුත් ඒ නමින් කතා කළාට තරහ වෙන්නෙ නෑ. මට රා ජේමිස් කියන්නෙ මගේ රස්සාව නිසානෙ. දැන් බලන්න පුංචි මහත්තයගෙ ලොකු තාත්තගෙ නම 'ඩාර්ලිස්', එයා හොඳටම කළුයි. ඒ වුණාට එයා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ 'සුදු අයියා' කියලයි. බටතුඹේ කඩපොළේ වින්කලේ මුදලාලිගෙ නම හරමානිස්. මිනිහා කතාවට ගියාම ලස්ස ගණන් වලින් තමයි කතාව. ගමේ මිනිස්සු එයාට නම දාලා තියෙන්නෙ 'ලස්ස මුදලාලි' කියල. ඒ වගේම වඩුමඩුවෙ වඩුමහත්තයත් කතාවට ගියාම පරක් තෙරක් නැතිවයි කතා කරන්නෙ. එයාට නම දාලා තියෙන්නෙ 'පරතර වඩුමහත්තයා'.... "
ඔහුට කතා කරන්නට තවත් විස්තර ඇතැයි මට හැඟී ගියෙන් මම ඔහුට බාධා නොකළෙමි.
"පුංචි මහත්තයා දන්නවද කඩපොළට එහායින් තියෙන උඩ කම්මල... ඒකෙ බාසුන්නැහේ නියම වැඩකාරයා. මිනිහට නම දාලා තියෙන්නෙ 'අමු යකඩයා...."
"තව එක්කෙනෙක් තමයි 'උඩ බලන හින්නි අප්පුහාමි'. එයා කතාබහ කරනකෙට නිතරම ඔලුව උඩට හරවනවා... තව එක්කෙනෙක් තමයි 'කෙළබේරිස්'. එයා කතාබහ කරනකොට කටින් කෙළ බේරෙනවා. තවත් එක්කෙනෙක් හිටියා මෑතක් වෙනකං. මිනිහ කළේ වාහන බ්‍රෝකර් වැඩ. 'අයියෝඩා' කියල එයාට නම දැම්මෙ ඇයිද කියලනං මාත් දන්නෙ නෑ."
දිනක් ඇඳිරි වැටීගෙන එද්දි ඔහුගේ සුපුරුදු ගීතය ගයමින් මහ නියරට ගොඩවන්නට පෙර මම ඔහුට කතා කළෙමි.
"ඔය සින්දුව චිත්‍රපටි සින්දුවක් ද?" මම ඇසීමි.
"මහත්තයො... මේක ටීටර් සින්දුවක්... රබර් සිලිං පහට ගියා කසාද බැන්දා// මම කසාද බැන්දා//... මම මහත්තයො කොල්ලා කාලෙ බටතුඹේ කඩපළේ ටීටර් එකක ඇට් කළා. ඔන්න ඔය සින්දුව කිය කිය මම ඇට් කළේ. අරනෝලිස් මාස්ටර් තමයි සර්පිනා එක ගහ ගහ සින්දුව කිව්වෙ. මට තිබුණෙ ඇක්ටිං පාර දාන්න විතරයි."
"ඉතින් මොකක්ද ඔය සින්දුවෙ තේරුම?"
"එක කාලයක් තිබුණා රබර් මිල හොඳට නැගලම ගිය. ඒ කාලෙ රබර් වවපු මිනිස්සුන්ට හරියට වාසිවුණා. සමහරු හොඳ තැන්වලින් කසාද බැන්දා. කාලයක් ගියාට පස්සෙ, ඒ කියන්නෙ යුද්ධ කාලෙ රබර් විකුණගන්න බැරිවෙලා උන් නට්ටං වුණා. අන්තිමට ගෑනීටම කන්න දෙන්න විදියක් නැතිව ගියාම... කොට කොට රබර්ම කැව්වා//..... කොට කොට රබර්ම කැව්වා///..." ඔහු වැනි වැනි අන්ධකාරේම වේල්ලට ගොඩවිය.
තවත් දිනෙක කොලු නඩයක් පිරිවරාගෙන ඔහු මහපාරේ වංගුවෙන් මතුවනු දුටු මා පාර අද්දරට දිව ගියෙමි. තරමක නාගයකු බෙල්ලේ ඔතාගෙන පෙණ ගොබය අත්ලට හිර කරගෙන ඔහු මා අසලට පැමිණි විට මම තරමක් පසුපසට වීමි. මුළු ගමටම ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නාගයා කැළයට මුදා හැරිය බව පසුව මට දැනගන්නට ලැබිණ.
එතෙක් 'රා ජේමිස්' යනුවෙන් හැඳින්වූ ඔහු 'නයි ජේමිස්' බවට පත්විය.
අහල පහල නිවෙසක මළ ගෙයක් වූ විට ජේමිස් අනිවාර්යයෙන්ම එහිදී දැකගන්නට ලැබෙන්නේ මාළු රස්සාවට නිවාඩු දෙමිනි. බර වැඩ සියල්ලක්ම ඉටුවන්නේ ඔහු අතිනි. සූදු පිටියේ ආවතේව ඉටුවන්නේ ඔහු අතින් වුවද කිසිදා ඔහු පිටියේ වාඩිවූයේ නැත.
ගමේ තොවිල්පලට අත්‍යවශ්‍ය පුද්ගලයා වූයේ ද ජේමිස්ය. මඩුපුරයා වශයෙන් තොවිල්කරුවන්ගේ වතාවත්වලට සහාය දෙන්නේ ඔහුය.
ඇදුරා විලක්කුව අතට ගෙන පිටිය පුරා දුවමින් දුම්මල කීරි ගසනවිට ඔහු දුම්මල හට්ටිය අතින් ගෙන ඒ මේ අත කැරකැවෙමින් නැට්ටුවා පසු පස දිවයන ආකාරය සිනා උපදවන සුලුය.
දිනක් අප්පච්චී සමඟ අසල්වැසි නිවෙසක තොවිලයක් බලන්නට යන්නට මට අවස්ථාව ලැබිණ. අප එහි යනවිට ඇදුරකු කිසියම් පුවරුවක් අසල මතුරමින් සිටි අතර ජේමිස් ගිනි කබලක් අතැ'තිව ඔහු පසුපසින් සිටිනු දුටු මම එම ස්ථානයට ගියෙමි.
"මොකක්ද මේ පින්තූරේ?"
"මේ තමයි මහසොහොන් යකාගෙ බලිය" ඔහු පිළිතුරු දුන්නේ මගේ සිතට කිසියම් බියක් ආරෝපණය වන පරිද්දෙනි.
"සිමෙන්තියෙන් ද හදල තියෙන්නෙ?" ක්ෂණිකව මගෙන් කියවුණේ මීට පෙර එවැන්නක් මා දැක නොතිබූ නිසාවෙනි.
"නෑ.. නෑ... ලී කෝටුවලින් රාමුව හදල කෙහෙල් පතුරුවලින් හදපු තට්ටුවක් උඩ තමයි හුඹස් මැට්ටෙන් බලිය අඹලා තියෙන්නෙ"
"මේකගේ ඔලුව බල්ලෙකුගෙ ඔලුවක් වගේ"
"ඒක දිග කථාවක්... මහසොහොන් යකා ගෝඨයිම්බර යෝධයත් එක්ක ගහගෙන තියෙනව. යෝධය පයින් ගහපු පාර මෙයාගෙ ඔලුව ගැලවිලා කැලේට විසිවෙලා තියෙනව හොයාගන්න බැරි වෙන්න. මෙයාගෙ ලොක්කා වෙසමුණි යක්ෂයා ඇවිත් බලල කට්ටියට කිව්වලු පුළුවන් තරං ඉක්මනට මිනිහෙකුගෙ හරි සතෙකුගෙ හරි ඔලුවක් අරන් එන්න කියල. එයාල ගෙනත් තිබුණෙ වලහෙකුගෙ ඔලුවක්. වෙසමුණි යක්ෂයා කලබලේට වලස් ඔලුව වැරදි විදිහට තමයි හයි කළේ."
ගෝඨයිම්බර යෝධයා ගැන මම ඊට පෙර අසා තිබුණෙන් ජේමිස්ගේ කතාව පැකිළීමකින් තොරව පිළිගත්තෙමි.
ඇදුරා බලිය පේ කරමින් සිටි නිසා එහි බලන්නට විශේෂයක් නොවූයෙන් ආපසු යාමට අප්පච්චි සූදානම් වූ විට මට දිගටම තොවිල් පළේ රඳන්නට අවශ්‍ය විය. අප්පච්චි ජේමිස්ට කතාකොට මට නිදිමත ඇතිවූ විට නිවෙසට ඇරලවන ලෙස දන්වා යන්නට ගියේය. තරමක වේලාවකට පසු මහසමයම ඇරඹිණ. ඇදුරන් දෙතුන් දෙනෙකු ගොක්කොළවලින් හැඩගන්වන ලද ඔටුනු වැනි හිස් ආවරණ සහිතව ඉදිරිපත් කළ රංගනය මගේ සිත් ගත්තේය.
"පුංචි මහත්තයා... අපි දැන් ගෙදර යමු. මහත්තයට නිදිමත වගෙයි" ජේමිස් කී නමුත් මම ඔහුගේ අදහසට විරුද්ධ වීමි.
"නෑ.. නෑ.. මට දහඅට පාලිය බලන්නයි ඕනෙ. මට නිදිමත නෑ. පස්සෙ යමු"
"දහඅට පාලිය තියෙන්නෙ එළිවෙන යාමෙට. ඒකට තව ගොඩාක් වෙලා තියෙනව"
"ඒකට කමක් නෑ"
"එහෙනං මෙහෙම කරමු. ඒ වෙලාවට මම මහත්තයව එක්ක යන්න එන්නං. අපි දැන් ගෙදර යමු"
"ෂුවර් එකටම දහඅට පාලිය බලන්න ආපසු මාව එක්ක යන්න එන්න ඕනෙ. හරිද?"
"නැතුව. නැතුව"
ඇඳට වැටුණ තත්පරේටම මට තදට නින්ද ගියේය. මා අවදිවන විට ඇදුරන් ගම්බලා පිටත්ව ගොස් තිබිණ.
නැවත මට ගමට එන්නට ලැබුණේ මාස දෙකකට පසුවය. ඒ වනවිට ජේමිස් මිය ගොස් මාසයක් ඉකුත්ව තිබීම මගේ සිතට දැඩි වේදනාවක් ගෙනදුන් පුවතක් විය.
"මොනව වෙලාද අම්මෙ ජේමිස් මැරුණෙ?" මම අම්මාගෙන් ඇසුවේ අහිංසකයා ගැන දැඩි ශෝකයක් හටගත් බැවිනි.
"ඒ මනුස්සයා මාළු අල්ලද්දි කාවයියෙක් කටට තියලා හැපුවලු කොහොමින් කොහොම හරි ඒ මාළුවා කට ඇතුළට ගිහින් තමයි මරණෙ වෙලා තියෙන්නෙ" අම්මා එසේ කී නමුත් එක්වරම එය පිළිගත හැකි දෙයක් නොවන බව මට සිතිණ.
"අම්මෙ.. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ. අල්ල ගත්ත මාළුවා කටේ තියාගන්නෙ පිස්සුවටද? කූඩෙකට හරි මොකක් හරි භාජනේකට දාගන්නෙ නැතුව"
"ඕවා මං දන්නෙ නෑ. මිනිස්සු කිව්වෙ එහෙමයි වෙලා තියෙන්නෙ කියල. ඒ ගොල්ලො කාවයියා මාළුවෙක් බිලි පිත්තට අහුවුණාම බිලි කොක්කෙන් ගලවලා දත්වලට තියලා ටිකක් හපලා ඌව බෙලහීන කරනවලු. නැත්තං කාවයියා කොළපොතින් පනිනවලු වතුරට. කොහොම හරි මාළුවා කට ඇතුළට ලිස්සලා ගිහින් උගුරෙ හිරවෙලා තමයි මැරිලා තියෙන්නෙ."
"හරි පව් අම්මෙ... අම්මා ගියාද මළ ගෙදර?"
"මුළු ගමම ඒ මනුස්සයගෙ මළ ගෙදරට ගියා. ගෙදර මිනිස්සුන්ට කිසිම බරක් දුන්නෙ නැතිව ගමේ කොලු නඩේ තමයි ඔක්කොම කළේ. හැම දෙයක්ම මළ ගෙදරට ඉබේම වගේ පහළ වුණා. වටාපිට ගෙවල්වලින් තමයි කෑම බීම පංගාත්තු කළේ."
"අම්මෙ... එයාගෙන් ගමේ කාටවත් හිරිහැරයක් වුණේ නෑ නේද? ගමේ මිනිස්සුන්ට එයා හරියට උදව් කළා. අපේ අප්පච්චිට එයා හරි හිතවත්ව හිටියා.
ඒ විතරක් නෙවෙයි එයා මට හරි ආදරේ කළා. පව් නේද අම්මෙ...?"
"ඔව්! අප්පච්චිට හරියට දුක හිතුණ නිසයි මිනී පෙට්ටියට සල්ලි ගෙව්වෙ"
කෙසේ වෙතත් මා කුඩා අවදියේ සිට මට වීරවරයෙක් සේ පෙනුණු ජේමිස්, කලක් 'රා ජේමිස්' ලෙසත්, කලක් 'නයි ජේමිස්' ලෙසත් පෙනී සිට, මියගිය පසු 'කාවයියා ජේමිස්' බවට ද පත්වීමේ සිද්ධිය මගේ සිතේ තදින්ම තැන්පත් වූයේ ඇයිදැයි මට තේරුම් ගත නොහැක.
මාලිම්බඩ ටී.කේ. ලයනල්