
තිරිඟු යනු ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ප්‍රධාන ආහාරයකි. සහල් සහ බඩඉරිඟු ලොව පුරා තුන්වනුව වැඩිපුරම නිෂ්පාදනය කරන ධාන්‍ය වර්ගය වේ. එසේම එය මිනිස් පරිභෝජනය සඳහා යොදා ගන්නා දෙවන නිෂ්පාදනය ද වේ. ගෝලීය ආහාර පද්ධතිය තුළ තිරිඟුවල වැදගත්කම සලකා බැලීමේදී, නියඟ, යුද්ධ හෝ වෙනත් සිදුවීම් හේතුවෙන් ප්‍රධාන නිෂ්පාදකයන් කෙරෙහි බලපෑමක් ඇති කිරීම මඟින් මුළු ලෝකයටම බලපෑම් කළ හැකිය.
රුසියාව හා යුක්‍රේනය අතර පැවති ධාන්‍ය සම්මුතිය පිළිබඳ අවධානය යොමු කරන විට ලොව පුරා සාගතයක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ආහාරවල මිල ස්ථාවරව පවත්වා ගැනීමට එය අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් වී තිබුණි. නමුත් ඉකුත් ජූලි 17 වැනිදා රුසියාව මේ සම්මුතියෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමඟ ලොව පුරා ආහාර සැපයුමට විශාල බලපෑමක් එල්ල විය. එපමණක් නොව මෙම අර්බුදය වඩාත් තීව්‍ර කරමින් රුසියාව විසින් කළු මුහුද ආශ්‍රිතව පිහිටි යුක්‍රේන ධාන්‍ය අපනයන කරන ප්‍රධාන වරායක්වන ඔඩෙසා වරායට ප්‍රහාරයක් එල්ල කළේය. ඊට හේතුව ලෙස රුසියාව විසින් සඳහන් කර තිබුණේ ධාන්‍ය මුවාවෙන් බටහිර රටවල සිට රුසියාවට පහර දීම සඳහා අවි ආයුධ ගෙන ඒමට යුක්‍රේනය කටයුතු කරමින් ඇති බවය. මෙම ප්‍රහාරයෙන් ධාන්‍ය ටොන් 60,000 ක් පමණ වීනාශ වූ බව යුක්‍රේනය විසින් හෙළිකර තිබුණි. ඉකුත් ජූලි 23 දා නැවතත් ඔඩෙසා වරාය වෙත ප්‍රහාරයක් එල්ල වූ අතර මේ ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යමින් පවතී. මේ වන විට තිරිඟු, ඉරුඟු, සෝයා බෝංචි, බාර්ලි වැනි ධාන්‍ය වර්ගවල මිල ගණන් යුරෝපය, මැදපෙරදිග හා අනෙකුත් කලාපවල විශාල වශයෙන් ඉහළ යාමක් පිළිබඳ වාර්තා වේ.
සාමාන්‍යයෙන් යුක්‍රේනය සැලකෙන්නේ යුරෝපයේ බ්‍රෙඩ් බාස්කට් එක ලෙසය. එනිසා යුරෝපයේ ධාන්‍ය නිෂ්පාදනය හා සම්බන්ධව අවධානය යොමු කිරීමේදී අතිශයින්ම වැදගත් මධ්‍යස්ථානයක් ලෙස යුක්‍රේනය සැලකේ. යුක්‍රේනය මඟින් තිරුඟු, ඉරිඟු, බාර්ලි, සන්ෆ්ලවර් නිෂ්පාදන යුරෝපය, මැදපෙරදිග, උතුරු අප්‍රිකාව හා චීනය ඇතුළු රටවලට විශාල වශයෙන් අපනයනය කරයි.
රුසියාව විසින් යුක්‍රේනයට පහරදීමට ප්‍රථම යුක්‍රේනයෙන් ලැබෙන ධාන්‍ය ලෝකයේ මිලියන 400ක පමණ ජනකායක් මත රඳා පැවතිණි. මීට බලපා ඇති ප්‍රධානම හේතුවක් වන්නේ ලොව වගා කළ හැකි භූමි අතරෙන් වඩා සාරවත් කළු පසක් යුක්‍රේනයට හිමිව තිබීමය. ලොව සාරවත්ම පස් ඇති භූමිවලින් තුනෙන් එකක් පමණ යුක්‍රේනය සතුය. මේ අර්බුදය ආරම්භ වීමට ප්‍රථම කළු මුහුද ඔස්සේ ලෝක වෙළෙඳපොළට ධාන්‍ය අපනයනය කර ඩොලර් බිලියන ගණනින් ඉපයීමට යුක්‍රේනයට හැකියාව සැලසිණි. විශේෂයෙන්ම මැද පෙරදිග හා අප්‍රිකානු කලාපයේ රටවල් බොහොමයක් යුක්‍රේනයෙන් ලැබෙන ධාන්‍ය මත රඳා පවති.
මෙනිසා ඉකුත් 27 වැනිදා රුසියාවේ පැවති අප්‍රිකානු සමුළුවේදී රුසියානු ජනපති පුටින් පවසා සිටියේ අප්‍රිකානු කලාපයට අවශ්‍ය ධාන්‍ය නොමිලේ ලබා දීමට තමන් කටයුතු කරන බවයි.
මේ වන විට ලොව පුරා රටවල් 80 කට වඩා තිරිඟු නිෂ්පාදනය කරන අතර, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO)දත්තවලට අනුව ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් බහුතරය පැමිණෙන්නේ රටවල් අතළොස්සකින් පමණි. 2000 සිට 2020 දක්වා මුළු අස්වැන්න මත පදනම්ව ලොව පුරා තිරිඟු නිෂ්පාදනවල ඉහළම ශක්‍යතාවක් පෙන්නූ රටවල් ගණන දහයකි.
චීනය තිරිඟු මෙට්‍රික් ටොන් බිලියන 2.4 ක් නිෂ්පාදනය කරන අතර එය ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 17% කි. ඉන්දියාව තිරිඟු මෙට්‍රික් ටොන් බිලියන 1.8 ක් නිෂ්පාදනය කරන අතර එය ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 12.5%කි. රුසියාව තිරිඟු මෙට්‍රික් ටොන් බිලියන 1.2 ක් නිෂ්පාදනය කරන අතර එය ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 8.4% කි. ඇෙමරිකාව තිරිඟු මෙට්‍රික් ටොන් බිලියන 1.2 ක් නිෂ්පාදනය කරන අතර එය ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 8.4% කි. ප්‍රංශය තිරිඟු මෙට්‍රික් ටොන් මිලියන 767 ක් නිෂ්පාදනය කරන අතර එය ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 5.4% කි. කැනඩාව තිරිඟු මෙට්‍රික් ටොන් මිලියන 571 ක් නිෂ්පාදනය කරන අතර එය ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 4.0% කි. ජර්මනිය තිරිඟු මෙට්‍රික් ටොන් මිලියන 491 ක් නිෂ්පාදනය කරන අතර එය ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 3.5% කි. පාකිස්තානය තිරිඟු මෙට්‍රික් ටොන් මිලියන 491 නිෂ්පාදනය කරන අතර එය ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 3.5% කි. ඔස්ට්‍රේලියාව තිරිඟු මෙට්‍රික් ටොන් මිලියන 456 නිෂ්පාදනය කරන අතර එය ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 3.2% කි. යුක්‍රේනය තිරිඟු මෙට්‍රික් ටොන් මිලියන 433 නිෂ්පාදනය කරන අතර එය ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 3.1% කි.
ලොව විශාලතම තිරිඟු නිෂ්පාදකයා වන චීනය, පසුගිය දශක දෙක තුළ තිරිඟු ටොන් බිලියන 2.4කට වඩා ලබා දී ඇති අතර, එය 2000-2020 දක්වා මුළු නිෂ්පාදනයෙන් දළ වශයෙන් 17%කි. චීනයේ තිරිඟුවලින් බහුතරයක් දේශීය වශයෙන් භාවිත කරනුයේ රටේ ඉහළ යන ආහාර ඉල්ලුම සපුරාලීම සඳහා ය. එසේම චීනය ලොව විශාලතම තිරිඟු පාරිභෝගිකයා ද වේ. 2020/2021 දී එරට ගෝලීය තිරිඟු පරිභෝජනයෙන් දළ වශයෙන් 19% සඳහා දායක විය.
දෙවන විශාලතම තිරිඟු නිෂ්පාදනය කරන රට ඉන්දියාවයි. පසුගිය දශක දෙක තුළ, ඉන්දියාව ලෝක තිරිඟුවලින් 12.5%ක් නිෂ්පාදනය කර ඇත. චීනය මෙන්ම ඉන්දියාව ද සිය තිරිඟු බොහොමයක් තම රට තුළ රඳවා ගන්නේ රට පුරා සැලකිය යුතු ආහාර ඉල්ලුමක් පවතින බැවිනි. ලොව තුන්වන විශාලතම තිරිඟු නිෂ්පාදකයා වන රුසියාව, විශාලතම ගෝලීය තිරිඟු අපනයනකරු ද වේ. එරට 2021 දී ඩොලර් බිලියන 7.3කට වඩා වටිනා තිරිඟු අපනයනය කර ඇති අතර, එය එම වසරේ මුළු තිරිඟු අපනයනයෙන් දළ වශයෙන් 13.1% කි.
රුසියාව සහ යුක්‍රේනය සැලකිය යුතු ගෝලීය තිරිඟු නිෂ්පාදකයන් වන බැවින්, දෙරට අතර පවතින ගැටුම ගෝලීය තිරිඟු වෙෙළඳපොළට දැවැන්ත බාධා එල්ල කර තිබේ. එමෙන්ම මෙම ගැටුම වෙනත් කර්මාන්තවලට ද බලපා ඇත. නිදසුනක් වශයෙන්, රුසියාව ලෝකයේ ප්‍රධාන පොහොර සැපයුම්කරුවන්ගෙන් කෙනකු වන අතර මෙම ගැටුම ගෝලීය පොහොර හිඟයකට හේතු වී ඇත. මේ වන විට පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් දාමයන්ට බාධා එල්ල වෙමින් තිබේ. මේ තත්ත්වය භාණ්ඩ මිල ඉහළ යෑමට, වෙළෙඳාම මන්දගාමී කිරීමට හා ජනතාවගේ ආදායම් මාර්ග අහුරාලීමට හේතුවී ඇත.
රුසියාව සහ යුක්‍රේනය යන රටවල් දෙක එකට ගත් විට ගෝලීය තිරිඟු සහ බාර්ලි අපනයනයෙන් 30% කට, සහ ඉරිඟු සැපයුමෙන් 14% කට දායකත්වය දක්වයි. එසේ ම යුක්‍රේනය ලොව සූර්යකාන්ත තෙල්වලින් අඩක් පමණ නිපදවන අතර, රුසියාව ලෝකයේ ප්‍රමුඛතම ඉන්ධන සැපයුම්කරුවකු ද වේ. කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශය ලෝකයේ රසායනික පොහොර අපනයනය හා සම්බන්ධව තීරණාත්මක වශයෙන් වැදගත් කලාපයක් වීම නිසා ඇති වන පොහොර හිඟය සහ මිල ඉහළ යාම ලොව බොහෝ කලාපවල භෝග අස්වැන්න කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරනු ඇතැයි ඉතාලියේ රෝම අගනුවර මූලස්ථාන කොටගත් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මේ වන විට අනතුරු අඟවා තිබේ.
රුසියාව පැත්තෙන් සලකන විට මේ සංග්‍රාමයට පිළිතුරු වශයෙන් බටහිර බලවත් රාජ්‍ය මොස්කව් පාලනයට එරෙහිව පනවා ඇති සම්බාධක කෘෂිකාර්මික සහ ඉන්ධන සැපයුම්දාම කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ. රුසියාවේ සිට යුරෝපය බලා දිවෙන ගෑස් සැපයුම් මාර්ග ද කඩාකප්පල්කාරීන් විසින් පුපුරුවා හැරීම මේ තත්ත්වය වඩාත් තීව්‍ර කර ඇත. එසේ ම යුක්‍රේනය සහ රුසියාව අතර මේ අර්බුදය පැන නැඟී ඇත්තේ ආන්තික කාලගුණ රටාවන්ගෙන් ලොව පුරා විවිධ කලාපවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අවදියකය. මේ වසරේ පමණක්, හෝන් ඔෆ් ඇෆ්‍රිකා ප්‍රදේශයට දැඩි නියං සායක්, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාවට ගංවතුර, වගේම යුරෝපයට, අමෙරිකා එක්සත් ජනපදය, මොංගෝලියාවට සහ දකුණු අමෙරිකාවට උෂ්ණ තරංග ඇතුළු විනාශකාරී ආපදා රැසකට මුහුණදීමට සිදුව තිබේ.
මෙකී භූ-දේශපාලනික සංග්‍රාමය ගෝලීය වෙළෙඳාමට හා ලෝක ආර්ථිකයේ අභිවෘද්ධියට මෙන් ම පවත්නා ලෝක පර්යායට කෙසේ බලපා ඇති ද යන්න විමසා බැලීම වැදගත් ය.
දෙවැනි ලෝක සංග්‍රාමයෙන් මතු වූ විවෘත වෙළෙඳපොළ සහ නිදහස් වෙළෙඳාම අන්තර්ජාතික පර්යායේ මූලික ඇදහීමක් බවට පත්වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට අර්බුද රැසක් නිර්මාණය වී තිබේ. එම කාලවකවානුව තුළ, අඩු වෙළෙඳ පිරිවැය සහ වෙළෙඳාමෙන් ලැබෙන ප්‍රතිලාභ මුල් කරගනිමින් අන්තර්ජාතික වෙළෙඳාමේ ගැඹුරු වර්ධනයක් අඛණ්ඩවම පාහේ සිදු වුවත්, නිරායු යුද්ධය අවසන් වීමත් සමඟ, මේ සම්මුතිවාදී වෙළෙඳ පර්යාය නැඟෙනහිර දෙසට ගමන් කළේය. යුරෝපා සංගමය නැඟෙනහිර දෙසට ප්‍රසාරණය වූ අතරම රුසියාව, චීනය ඇතුළු රටවල් ගණනාවක් ලෝක වෙළෙඳ සංවිධානයට එක් විය.
පසුගිය දශකය ගෝලීය වෙළෙඳ අනුකලනයට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල වූ සමයකි. ලොව පවතින අධිරාජ්‍යවාදී බලවත් රාජ්‍යය වන අමෙරිකා එක්සත් ජනපදයට අභියෝග කරමින් චීනය නව සුපිරි බලවතකු ලෙස නැඟී ඒම මේ රටවල් දෙක අතර මූලෝපායික තරගකාරීත්වයකට මුල් විය. අන්තර්ජාතික වෙළෙඳ සහයෝගිතාව තුළ රට රටවලට අන්‍යෝන්‍ය වශයෙන් අත්වන ප්‍රතිලාභ මත පදනම් වූ පරායත්ථතාව සීමා කිරීමට ඇති අභිලාෂ භූ දේශපාලනික ගැටුම් වඩ වඩාත් තීව්‍ර කළේය.
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පිළිතුරු වශයෙන් බටහිර රටවල් කණ්ඩායමක් විසින් මොස්කව් පාලනයට එරෙහිව පනවන ලද සම්බාධක ලෝකයේ විවිධ කලාප මුල් කරගත් ආර්ථික සන්ධාන එකිනෙකාගෙන් වෙන් කිරීමට අදාළ සංවාදය යළිත් තහවුරු කොට ඇති බවක් දකින්නට ලැබිණි. මේ සම්බාධකවල මූලික අවධානය තවමත් රුසියාව සහ බෙලරුසියාව කෙරෙහි පමණක් යොමුව පැවතියත් මේ ගැටුම තවදුරටත් පුළුල් කරමින් භූ දේශපාලනික වුවමනා එපාකම් මත මෙහෙයවනු ලබන ප්‍රතිපත්ති තහවුරු වීමට ඇති ඉඩකඩ බොහෝය. අසල්වැසි ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ද මෙකී අර්බුදය දැන් ක්‍රමයෙන් කරළියට පැමිණෙමින් ඇත.
ඉදිරියේදී රට රටවලට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සලසන අන්තර්ජාතික වෙළෙඳ සහයෝගිතාව අත්හැර දමමින් ගෝලීය ආර්ථිකයේ බැඳීම් ගිලිහී ගොස් පෙරදිග කඳවුර සහ බටහිර කඳවුර හැටියට කඳවුරු දෙකක් නිර්මාණය වුණොත් ලෝක ආර්ථිකයට කොපමණ ආදායමක් අහිමි වේවි ද යන්න පිළිබඳ ආර්ථික විශ්ලේෂකයෝ දැන් සාකච්ඡා කරමින් සිටිති.
මෙනිසා එය ලොව පුරා ආහාර නිෂ්පාදනයට බලපා ඇති අතර ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟයට එය ඍජුවම බලපානු ඇත.
මේ වන විට යුරෝපය පුරා ඇති වෙමින් පවතින ආහාර අර්බුදය හා මිල ඉහළ යාම කෙරෙහි බලපා ඇති ප්‍රධාන කාරණය රුසියානු යුක්‍රේන අර්බුදය පමණක්ම නොවේ. මීට අමතරව තවත් කරුණු ගණනාවක් බලපා තිබේ. එක්සත් ජාතින්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව යුද්ධය ආරම්භ වීමට ප්‍රථම 2019 සිට 2022 දක්වා ලොව පුරා මිලියන 122 පමණ පිරිසක් සාගතයට ඇද දැමීමට තවත් හේතු ගණනාවක් බලපා තිබේ. කොවිඩ් 19 වසංගතය, දේශගුණික විපර්යාසය සහ යුක්‍රේන යුද්ධය. එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට 2000 සිය 2010 දශකය තුළ පැවති තත්ත්වයට වඩා ලොව සාගතය ඉහළම ගිය කාලය මෙය බවයි. 2022 පෙබරවාරි සිට ජූනි මාසය දක්වා පමණක් මිලියන 25කට පමණ යුක්‍රේනයේ ආහාර සැපයුම අඩාළ වීම නිසා විපතට පත්ව ඇති බව මත පළව තිබේ. ඒ නිසා මෙම ධාන්‍ය සම්මුතිය අතිශයින්ම වැදගත් වන හෙයින් එක්සත් ජාතීන්ගේ සම්මුතිය විසින් මෙම ගැටලුව සමතයකට පත් කිරීමට පියවර ගත්ත ද රුසියාව මෙම සම්මුතියෙන් ඉවත් වීමට කටයුතු කළේය. එලෙස රුසියාව මෙම සම්මුතියෙන් ඉවත් වීමට හේතු ගණනාවක් බලපා තිබුණි. ඒ ස්විස්ට් අන්තර්ජාතික ගනුදෙනු ක්‍රමයෙන් රුසියානු බැංකු බැහැර කිරීමට කටයුතු කිරීමත් සමඟ රුසියාවේ ධාන්‍ය අපනයනය සම්බන්ධයෙන් ලැබෙන රක්ෂණාවරණය ඉවත් වී ඊට බලපෑම් එල්ල වීමය. අනෙක් අතට මේවන විට පැන නැඟී තිබෙන දරුණුම ගැටලුව වී ඇත්තේ නැඟෙනහිර හා දකුණු යුරෝපය පුරා පැතිර යන අයහපත් කාලගුණික තත්ත්වයයි. මේ හේතු වර්තමාන තත්ත්වය වඩා තීව්‍ර කර ඇත. මේ නිසා දකුණු යුරෝපයේ ධාන්‍ය නිෂ්පාදනය සියයට 60න් පමණ අඩුවිය හැකි බවට පුරෝකථනය කර තිබේ. එනිසා යුරෝපය ඉදිරියේදී බරපතළ ධාන්‍ය හිඟයකට මුහුණ දීමට නියමිතය.
මේ වන විට ඉන්දියාව බාස්මතී නොවන සහල් අපනයනය සීමා කිරීමට පියවර ගෙන තිබෙන අතර ඉන්දියාවට පසුගිය කාලයේ එල්ල වූ අයහපත් කාලගුණික බලපෑම් නිසා සිය භුමි ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට පමණ ගංවතුර හා නායයෑම්වලින් තර්ජන එල්ල විය. දේශීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා ආහාර සංචිත පවත්වා ගැනීමේ තීරණයට එළඹි බවයි පැවසෙන්නේ. මේ අතර ආහාර අපනයනය සීමා නොකරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉන්දියාවෙන් ඉල්ලීමක් ද සිදු කර ඇත. ලොව සහල් සැපයුම්කරුවන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව වීම ඊට හේතුවයි.
මේ කාරණා තුනම එනම් යුක්‍රේන රුසියා ධාන්‍ය සම්මුතියෙන් ජූලි මස 17 වැනිදා රුසියාව ඉවත් වීම, යුරෝපය පුරා පැතිර යන අයහපත් කාලගුණික තත්ත්වය හා ජූලි මස 20 වැනිදා ඉන්දියාව බාස්මතී නොවන සහල් අපනයනය සීමා කිරීම මෙම අර්බුදය තීව්‍ර කිරීමට බලපා ඇත.
කළු මුහුද ආශ්‍රිතව ඇතිවිය හැකි අවදානම මේ වනවිට වඩා තීව්‍ර වෙමින් පවතින අතර එවන් තත්ත්වයක් තුළ බොහෝ රටවල් ආහාර පිළිබඳ ආරක්ෂණවාදී පියවර අනුගමනය කිරීමට පියවර ගනිමින් තිබේ. ආහාර මිල ඉහළ යෑමට බොහෝ විට බලපා ඇත්තේ මෙලෙස ආහාර හිඟයක් ඇති විය හැකි යැයි සිතා අනුගමනය කරන ආරක්ෂණ ක්‍රමවේදයන්ය. එහිදී වෙළෙන්දෝ පවා මේ ක්‍රියාදාමයට පෙලඹී සිටිති. මෙනිසා ලොව පුරා ආහාර බෙදී යාමට විශාල බලපෑමක් එල්ල වෙමින් තිබෙන අතර මෙනිසාම මිල ඉහළ යෑම කෙරෙහි විශාල බලපෑමක් එල්ල වී තිබේ.
ඉදිරියේදී තිරිඟු පිටි මිල කෙරෙහි මේ තත්ත්වය කිසියම් බලපෑමක් කළ හැකි වුවද දැනටමත් තොග රැස් කර තිබෙන වෙළෙඳුන් එම තොග සඟවා වෙළෙඳපළ තුළ තිරිඟු පිටි හිඟයක් මවා මිල වැඩි කිරීමේ ප්‍රයත්නයන් අනුගමනය කිරීමට ද සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට ලැබේ. මේ තත්ත්වය දේශීයව ද උද්ගත විය හැකි අතර ඒ පිළිබඳ රජය අවදියෙන් සිටීම මඟින් ජනතාවට බරක් නොවන ආකාරයට මිල පවත්වා ගෙන යාමේ හැකියාව ලැබේ.