කුමාරතුංග මුනිදාස සිසුවරමින් පිදුම් ලැබූ හපන්නු කියන කතා | සිළුමිණ

කුමාරතුංග මුනිදාස සිසුවරමින් පිදුම් ලැබූ හපන්නු කියන කතා

ශ්‍රී  ලාංකේය බස රැස දෙස නගා සිටුවනු වස් සිය අප්‍රමාණ බහුශ්‍රැත ඥානය කැප කළ කුමරතුඟුවන්ගේ 136 වන ජන්ම දින සමරුව ඉකුත් 25 වැනිදාට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් කුමාරතුංග මුනිදාස පදනම විසින් පිරිනමන ‘කුමාරතුංග මුනිදාස සිසුවරම’අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය එදින සාහිත්‍යසූරී ආචාර්ය ගුණදාස අමරසේකරගේ ප්‍රධානත්වයෙන් හා කලාකීර්ති ආචාර්ය ලීල් ගුණසේකරගේ සහභාගිත්වයෙන් ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රයේ ලයිට් හවුස් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මෙම උත්සවයේ මුලසුන කුමාරතුංග මුනිදාස පදනමේ නයු අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමිපාණන් විසින් හෙබවූ අතර වෙසෙසි දෙසුම කොළඹ සරසවියේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා විසින් සිදු කෙරිණි.

කුමාරතුංග මුනිදාස පදනම විසින් 2012 වසරේදී ආරම්භ කළ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය මේ දක්වා අඛණ්ඩව සිදු කරනු ලබන අතර එය පසුගිය 2019-20 වසරවල රට තුළ පැවති කොවිඩ් අර්බුදය සමඟ පැවැත්වීමට නොහැකි විය. එම වසරවල අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘සිංහල භාෂාව හා සාහිත්‍යය’ විෂයයට මුළු දිවයිනෙන් ම වැඩිම වැඩිම ලකුණු ලැබූ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම මෙහිදී සිදු විය.

2019 වසරේ ‘කුමාරතුංග මුනිදාස සිසුවරම ’අනුස්මරණ ශිෂ්‍යත්වය, දිනාගත් නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ සනුජි බිනාරා රණවීර පවසා සිටියේ “කුමාරතුංග මුනිදාසයන් අපේ භාෂාව පෝෂණය කිරීමට මහත් උද්යෝගයෙන් කටයුතු කළා. එතුමා හෙළ හවුල නිර්මාණය කර ඊට අවශ්‍ය පසුබිම සකස් කළා. එතුමාගේ සාහිත්‍ය මෙහෙවර මෙතෙකැයි කිව නොහැකි තරම්. ඔහු ළමයින් ගැන විශේෂ අවධානයක් යොමු කළ සාහිත්‍යවේදියෙක්. මඟුල්කෑම, හත් පණ හීන්සැරය, හාහා හරි හාවා, ... ඊට හොඳම උදාහරණ. මම සාහිත්‍යට ඇල්මක් දක්වන්නත් එතුමා ලියූ පත පොත ඉවහල් වුණා..”

රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මහියංගනයේ සිට පැමිණි සුපිපි කවින්ද්‍යා දුනුසිංහ පවසා සිටියේ “කුමාරතුංග මුනිදාසයන්ගේ හත් පණ, මඟුල් කෑම, හීන්සැරය, ප්‍රබන්ධ සංග්‍රහය වගේ පොත් මං පුංචිකාලේ ඉඳලම ආශාවෙන් කියෙව්වා. පුංචි කාලේ කියවපු ඒ පොත්වල තිබුණු දේවල් අමතක වෙන්නෙ නැහැ. එතුමා ලියූ ‘රෝස කුසුම‘ වගේ කවි අපේ ජීවිතයට හොඳ ආදර්ශයන් ලබාදෙනවා. ඒ නිසා සිංහල විෂයට මං කුඩා කාලයේ සිටම ආස වුණා. විශේෂයෙන්ම සිංහල සාහිත්‍යයට. ” ඇය මේ වන විට විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නීය.

2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘සිංහල භාෂාව හා සාහිත්‍යය ’විෂයයට මුළු දිවයිනෙන් ඉහළ ම සම ලකුණු ලැබූ සිසු සියුවියන් පස්දෙනෙකු සිටිති. කොළඹ මරදාන සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන අබ්දුල් උමර් සහන් නෙත්මිණ කියා සිටියේ “මට කුමාරතුංග මුණිදාසයන් සිංහල භාෂාව නඟා සිටුවන්න විශාල කැපකිරීමක් කරපු කෙනෙක්. ඔහු සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ හසළ දැනුමක් සහිත කෙනෙක් වගේම දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්ෂයෙක් බවද පැවසෙනවා. ඔහු අතින් ලියැවුණු ශික්ෂා මාර්ගය, මඟුල් කෑම, හීන්සැරය, ප්‍රබන්ධ සංග්‍රහය, පහන් කටුවෙකි, කවි ශික්ෂාව ආදී කෘති ළමයින් වෙනුවෙන්ම ලියූ ඒවා. 2019 වසරේ මං මගේ පළමු කවි පොත ‘තටු සිඳුනු කුරුල්ලා’ නමින් විද්‍යාලීය ප්‍රකාශනයක් ලෙස පළ කළා. මම කවි කෙටිකතා ලියලා පුවත් පත්වලට යැව්වා. ඒවා පුවත්පත්වල පළ වුණා.”

කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ සිසුවියක වන සචින්ත්‍රා සංදීපනී කැප්පෙටිපොළ “කුමාරතුංග මුණිදාස කියන්නේ අපේ භාෂාවට සාහිත්‍යයට අමිල සේවයක් කළ ජාතික වීරයෙක්. ඔහු ලියූ කවි දිහා බලපුවාම ස්වභාවධර්මය පිළිබඳ එතුමා තුළ වූ විද්‍යාත්මක දැනුම් සම්භාරය ඉතා මැනැවින් පෙනෙනවා. එතුමා ඒ දැනුම දරුවන්ට ලබාදීමට යොදාගෙන තිබුණේ ඉතාම සිත්ගන්නා සුළු භාෂාවක්. ඒ වගේ කෙනෙකුගේ නමින් පිදෙන මේවගේ ශිෂ්‍යත්වයක් හිමිවීම ඇත්තෙන්ම වාසනාවක්. ”

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන අරුන්දී නවෝදා සමරතුංග පවසා සිටියේ. “කුමාරතුංග මුනිදාස කියන්නේ සිංහල භාෂාවට විශාල සේවයක් කරපු උතුම් මනුෂ්‍යයෙක්. සිංහල භාෂාව රැක ගැනීම සඳහා එතුමා කළ සේවය අමරණීයයි. ඒවගේ කෙනෙකුගේ ජන්ම දිනය දවසේ මේ වගේ ශිෂ්‍යත්වයක් ලැබීම මහත් භාග්‍යයක්. ” යැයි ඇය පවසන්නීය.

මාතර සුජාතා විද්‍යාලය නියෝජනය කරමින් මෙම ශිෂ්‍යත්වය හිමි කර ගත්තේ අමල්‍යා සචින්දි වීරසිංහ පතිරණෙ “කුමාරතුංග මුනිදාසයන් අධ්‍යාපනය ලබන්නේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන්. එතුමගේ උපන් ගම මාතර. එතුමා තනි පුද්ගලයෙකු වශයෙන් භාෂාව නගා සිටුවීමට ගෙනගිය සටන අද්විතීයයි. මම මාතර ඉපදුණු කෙනෙක් විදියට ලොකු ආම්බරයක්. මම සිංහල විෂයට දහවන වසර දක්වා උපකාරක පන්ති ගියේ නැහැ. මට මේ විෂය පිළිබඳ ඇල්මක් ඇති කළේ මගේ පාසල් ගුරුවරුන්... ”

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ.ටී. ඕධානි ඉන්දීවරී රූපසිංහ මෙහි විය. “කුමාරතුංග මුනිදාස ශූරින් කියන්නේ මේ රටේ භාෂා සාහිත්‍යට විශාල මෙහෙවරක් කරපු කෙනෙක්. විශේෂයෙන්ම සිංහල ව්‍යාකරණයට. එතුමා සුබස සඟරාව, ලක්මිණි පහන පුවත්පත, පිය සමර, සැලළිහිණි සංදේශ විචාරය වගේ පොත් පත් රාශියක් රචනා කර තිබෙනවා. මගේ සාහිත්‍ය දැනුම වවා ගන්න පුස්තක­ාලයෙන් මම ඒ පොත් පත් කියවා තිබෙනවා. ඒ වගේම මම කුඩා කාලයේ සිටම මේ විෂයට මහත්සේ ඇලුම් කළා. ඒ ආශාව නිසා ගොඩක් පොත්පත් කියෙව්වා. ඒකෙන් භාෂා දැනුමට අමතරව ජීවිතය ගැනත් ලොකු අවබෝධයක් ලැබුණා ”.

ඡායාරුප සුදත් නිශාන්ත

Comments