සුදු කුකුළාගේ හැඬලීමත් උද්ඝෝෂණයක් ද? | Page 4 | සිළුමිණ

සුදු කුකුළාගේ හැඬලීමත් උද්ඝෝෂණයක් ද?

 පසුගිය දිනක මම දෙමටගොඩ පොදු වෙළෙඳපොළට ගොඩවැදුණෙමි. එළවළු ගොඩවල් දෙස බලමින්, පොළොස්ගැට සොයමින් එහා මෙහා සැරිසැරූ මට කලාතුරකින් නෑසූ එහෙත් හුරුපුරුදු හඬක් ඇසුණේ ය. අතීත මතක අවදි කරවමින් එසේ හඬනඟා හඬලමින් සිටියේ කුකුළු මස් කඩයක කූඩුවක් තුළ සිර වී සිටි කුකුළා ය. රතු කරමලයක් සහිත ඒ සුදුපාට කුකුළා තරුණ ය. ශක්තිමත් ය. හඳුනාගත නොහැකි, වචනයට නැඟීමට අසීරු හැඟීමක් මා තුළ නැගුණේ ය. ආසන්න වශයෙන් එය හැඳින්විය හැකිවන්නේ ‘කම්පනය’ ලෙස ය. මම වෙළෙඳපොළ තුළ සිටි මිනිසුන් දෙස බැලූවෙමි. වගේ වගක් නැතුව ඔවුන් පසු වූයේ එළවළු විකුණමින් හා මිල දී ගනිමිනි.

මා තුළ හටගත් මේ ආගන්තුක හැඟීමේ හැඩතල හඳුනාගන්නට උත්සාහ කිරීමේ දී මට සිතුණේ විවිධ තිරිසන් සතුන් බුරුතු පිටින් ඝාතනය වන රටක, ලෝකයක මෙවැනි හැඟුම් පහළවීම විකාරරූපී නොවන්නේ දැයි කියා ය. අතුරු ප්‍රශ්නයක් මතුවූයේ නිති පන්සිල්, පෝය අටසිල් රකින සියලූ සත්ත්වයෝ නිදුක් වෙත්වා.., නිරෝගී වෙත්වා..., සුවපත් වෙත්වා... යනා දී වශයෙන් පැතුම් පතමින් මෙත් වඩන මේ බෞද්ධ රටේ බෞද්ධයනට නොහැඟෙන නොදැනෙන ඇතැම් දේ අබෞද්ධ විදේශිකයනට, විදේශීය ලේඛකයනට දැනෙන්නේ කෙසේ දැයි කියා ය. විශ්ව සාහිත්‍යය කියවීමේ දී බොහෝ විට මට හමුවී ඇති එවැනි විදේශීය ලේඛකයන්ගේ අවධාරණ අතරේ වූ එක ම එක අවධාරණයකි මේ.

‘යනාෂා අංගනයට ඇතුළු වූ අපි මස් කඩේට ගියෙමු. ලේ තැවරුණු බිත්ති එලෙසම ය. අවසාන නිමේෂයට මුහුණ දෙන කුකුළන්ගේ මර ළතෝනි කිසි වෙනසක් නැත. ‘මේ වගේ හෙණගහන අපරාධයක් කරන්න මං කරපු වැරැද්ද මොකද්ද මිනීමරුවෝ?’ යි උන් ප්‍රශ්න කරන සෙයකි. ලාම්පුවේ පොට්ට එළිය සත්ත්ව ඝාතකයාගේ පිහිතලයෙන් පරාවර්තනය වේ. ... මේ නරකාදිය මිනිසත් බව පිළිබඳ දෙසන සකළ ධර්ම දේශනා සරදමක් බවට පත්කරයි. ශාක භක්ෂණය පිළිපැදීමට බොහෝ විට සිතාසිටි මම මින් මතුවට මස් මාළුවලට අත නොතබමි යි ඒ මොහොතේ දී ශපථ කර ගත්තෙමි.

(ෂෝෂා - 112 පිටුව)

මෙය සඳහන් වන්නේ ඉෂාක් බෂෙවිස් සින්ගර් (Ishaac Bashevis Singer) නම් වූ අපට හුරුපුරදු යුදෙව් ජාතික ලේඛකයාගේ Shosha කෘතියේ ය. (මෙය ‘ෂෝෂා’ නමින් ම සිංහලට පරිවර්තනය කර ඇත්තේ ගාමිණි වියන්ගොඩ ය.)

මා තුළ පැනනැඟුණ දරුණු ප්‍රහේළිකාව සිංගර් ලියූ මේ ඡේදය පිළිබඳ මතකයත් සමඟ මුසු වූ නිසා සුදු කුකුළා දෙස හැරී බලන්නට වත් යොමු නොවූ මම පසුහැරුණෙමි. පවතින තත්ත්වයනට අනුගත වීම වෙනුවට මෙවැනි විකාර අදහස්වලින් සිත දූෂ්‍ය කරගැනීම එක්තරා අඥානකමකි යි සිතුණ ද මට මා ජය ගත හැකි වූයේ නැත.

තිරිසන් සතුන් කෙරෙහි පතළ වූ අසීමිත දයාවකින්, කරුණාවකින් යුතුව නවකතා ලියූ ලෝක සාහිත්‍යයේ විශිෂ්ට ලේඛකයන්ගේ කෘති ගණනාවක් මගේ සිතට ගලා එන්නට වූයේ ය. ඒ පෙරමුණෙහි ම සිටි එක් ලේඛකයකු වූයේ චිංගිස් අයිත්මාතොව් ය. අසීමිත වූ සත්ත්ව කරුණාව කරළියට නගන අයිත්මාතොව්ගේ කෘති දෙකක් (‘සමුගනිමු ගුල්සාරි’ සහ ‘දංගෙඩිය’ නමින්) සිය පරිවර්තන කාර්යය සඳහා තෝරාගැනීම සම්බන්ධයෙන් චූලානන්ද සමරනායක නම් වූ ප්‍රවීණ පරිවර්තකයාට කෘතඥ විය යුතු යැයි මට සිතිණි. තිරිසන් සතුන්ට සිදු වූ ඓතිහාසික අසාධාරණය හඳුනාගනිමින්, ඔවුන් දෙස සානුකම්පිකව නෙත් යොමු කළ මේ රටේ නවකතාකරුවන් මතක් කරගන්නට මා උත්සාහ කළේ ඉනික්බිතිව ය. මානව දයාව, මානව හිමිකම් ගැඹුරින් නිරූපණය කරන්නට උත්සාහ කළ ද තිරිසන් සතුන් කෙරෙහි විමසිලිමත්වීමට යොමුවූවන් මේ බෞද්ධ රට තුළ බොහෝදුරට විරළ වන බව ය, එහි දී මට පෙනී ගියේ.

මගේ පෞද්ගලික අදහසට අනුව නම් තමා දියුණු යැයි මිනිසාට කටපුරා කිව හැකි වන්නේ සත්ත්ව ඝාතනයෙන්, මාංශ භක්ෂණයෙන් තොර වූ දාට ය. ම්ලේච්ඡ යුගය, දඩයම් යුගය ආදී වශයෙන් යුග ගණනාවක් පසුකරමින් ඉදිරියට ආ ගමන් මඟ අතර තුර මිනිසා අතහැර දැමූ, හළා දැමූ සියලූ නි‍ෙෂ්ධනීය තත්ත්වයන් අතරේ තවමත් ඔහුට මග හැර ගන්නට නොහැකි වූයේ සත්ත්ව ඝාතනය හා මාංශ භක්ෂණය ය. මේ අදහස මට පමණක් ඇතිවූ මගේ ම පිස්සු කල්පනාවකැයි විටෙක සිතුණ ද එය එසේ නොවන බවට සාධක හමු වූයේ ද පතපොතින් ම ය.

වියතකු මතු නොව සංවේ දී මනුෂ්‍යයකු වශයෙන් ද බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක් ව සිටි ආතර් සී. ක්ලාක් නම් වූ විද්‍යාඥයාගේ පරිකල්පනයට අනුව අනාගත ලෝකයෙහි සත්ත්ව ඝාතකයන් නොසිටී. ඔහුගේ The food of the Gods නම් වූ කෙටිකතාව සිංහලට පරිවර්තනය වී ඇත්තේ ‘දෙවියන්ගේ ආහාරය’ ලෙස ය. ඉන් කියැවෙන්නේ තව සියවස් ගණනාවකින් බිහිවන ශිෂ්ට සම්පන්න, දියුණු මිනිසුන් හමුවේ මාංශ භක්ෂණය ලෝකයෙන් තුරන් වන ආකාරය ය. ජලයේ, වාතයේ මෙන් ම පාෂාණවල ද අඩංගු මූලික අමුද්‍රව්‍ය යොදාගනිමින් කැමති ඕනෑම ආහාරයක් සංස්ලේෂණය කරගන්නා ආකාරය ඒ යුගයේ දී ජීවරසාඥයන් විසින් සොයාගනු ලැබෙයි. ඒ අතරේ සිටින එක් සංවේ දී මනුෂ්‍යයෙක් තමන්ගේ මුතුන්මිත්තන් ජීවත් වූ ඒ අතීතය නැතහොත් අප ජීවත්වන මේ යුගය ගැන මතකය අවදි කරන්නේ මෙසේ ය.

මහත්වරුණි! ඔබ සහ මම පැවත ගෙන එන්නේ මාංශ භක්ෂකයන්ගේ පරම්පරාවකින්. ඔබලා වැඩි දෙනා ඒ වචනෙ තේරුම නොදන්නා බව පිළිගත හැකියි. සියවස් ගණනාවකට පෙර බොහොමයක්ම මිනිසුන්ගේ ප්‍රියතම ආහාරයක් වුණේ මස්. වෙනස් විදිහකට කියනව නං වරක් ජීවත් ව සිටි සතුන්ගේ මාංශය. මේ තොරතුරු මං මේ සරලව ඉදිරිපත් කරන්නේ ඔබලාට ඔක්කාරය හදවන්න නෙවෙයි. ... අපි ලබාගෙන තියන සදාචාරවත් දියුණුවත් ඒ වගේමයි. අපි තවදුරටත් පණ තියෙන සතුන්ව මරණයට‍ෙකැප කරන්නේ නෑ. මස්මඩුව, සත්ත්ව වධකාගාරය වැනි පිළිකුල දනවන ආයතන පොළොවෙන් තුරන්වෙලා ගිහින්.

මේ කෙටිකතාව පුවත්පතකින් කියවාගෙන යද් දී මා තුළ නැඟුණේ ගමන් සගයකු හමුවූවාක් වැනි හෘදයංගම හැඟීමකි. ප්‍රසන්න හැඟුමක් සිතට දැනුණේ මේ පටිසෝතගාමී පියසැරියට එක්කරගත හැකි තවත් කිහිප දෙනකු හෝ සිටීම පිළිබඳව ය.

මහා බ්‍රහ්මයා විසින් හෝ දෙවියන් වහන්සේ විසින් හෝ සොබාදහම විසින් හෝ තිරිසත් සත්ත්වයා මවන ලද්දේ, මිනිසාගේ ආහාරය සඳහා දැයි හරියට ම කියන්නට මා දන්නේ නැත. ඇතැමුන් කියන්නේ කුඩා දරුවකුගේ මොළයේ වර්ධනය සඳහා සත්ත්ව මාංශ අත්‍යාවශ්‍ය යැයි කියා ය.

මෙහි විද්‍යාත්මක සත්‍යයක් තිබිය හැකි වෙතත් අනුන්ගේ ලේ මස්වලින් තමන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාගැනීමට කල්පනා කිරීම මිනිසත් බවට තරම් නොවන නිර්ලජ්ජි කල්පනාවක් ලෙසිනි, අපට නම් හැඟී යන්නේ. ජීවත්වන සතුන්ගේ ශරීර ස්පර්ශ කිරීමෙන් අනතුරුව විෂබීජනාශක සබන් යොදා අත් සෝදාගන්නා ඇතැමුන් මළ සතුන්ගේ පිළිකුල දනවන ශරීර කොටස්, අතුණුබහන් මහත් අභිරුචියකින් යුතුව කෑමට ගන්නේ කෙසේ ද යන්න ද එවැනිම වූ උභතෝකෝටිකයකි.

මෙහි දී අප කතාකරන්නේ මාංශභක්ෂණයේ ආදීනව පිළිබඳව පමණක් නොවේ. නොපෙනෙන සත්ත්වයන්ටත්, නූපන් සත්ත්වයන්ටත් මෙත් වඩමින් මෙසේ කිරීමේ ඇති පරස්පරවිරෝධී ස්වභාවය පිළිබඳව ය.

මේ රටේ කවර දිබ්බාගයක හෝ සර්වඥධාතු ප්‍රදර්ශනයක් වේ නම් මහසෙනග සේනාවක් බැතිසිත් පෙරදැරිව තෙරපෙමින්, තල්ලූවෙමින්, පොරකමින් ඉදිරියට ඇදෙන ආකාරය විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ අප දැක තිබේ. මේ මහ සෙනග සේනාවෙන් අඩක් හෝ බුදුන් වහන්සේගේ මහාකරුණාවට යාවූ සත්ත්ව කරුණාව කෙරෙහි ද මතකය අවදි කරන්නේ නම් යැයි අපට සිතෙන අවස්ථා බොහෝ ය. අපි බෞද්ධ උරුමය ගැන කොතෙකුත් කතා කරමු. බුදුසසුන රැකදෙන්නැයි ඉල්ලා වීදි බසිමු. අපගේ රාජ්‍ය ආගම බුද්ධාගම ය. අපට බුද්ධශාසන අමාත්‍යාංශයක් ද තිබේ. බුද්ධ ශාසන අමාත්‍යවරයකු ද සිටී. ඊට අමතරව මේ රටේ ධීවර අමාත්‍යාංශයක් ද තිබේ. ධීවර ඇමතිවරයකු ද සිටී. ධීවර අමාත්‍යාංශය මිස සත්ත්ව ඝාතන අමාත්‍යාංශය ලෙස නම් කළ අමාත්‍යාංශයක් අපට ඇත්තේ නැත. එහෙත් මේ රට තුළ මිනිස් පරිභෝජනය සඳහා දෛනිකව සිය දහස් ගණනින් ඝාතනයට ලක්වන්නේ මත්ස්‍යයින් පමණක් ම නොවේ. ගවයින්, කුකුලන්, ඌරන් ඇතුළු විවිධ සත්තු, විවිධ මට්ටමින් දුක්වේදනා අනුභව කරමින් දිනපතාම මුවහත් අවියකට හෝ දංගෙඩියට ගෙල දෙති.

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට ඌරුමස් තහනමක් පැනවුණේ ඉස්ලාම් භක්තිකයන් වන මැතිඇමතිවරුන් වෙනුවෙනි යි ද හරක්මස් තහනම් කෙරුණේ හින්දු ආගමික මැතිඇමතිවරුන් උදෙසා යැයි ද අප අසා තිබේ. එහෙත් පරම අවිහිංසාව ගැන කතාකරන බෞද්ධ මැතිඇමතිවරුන් වෙනුවෙන් කිසිදු මාංශයක් තහනමට ලක් වී ඇති බවක් දැනගන්නට නැත.

අප ජීවත්වන්නේ උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වෙමින් ඇති යුගයක ය. සටන්පාඨවලින් අපේ කන්සිදුරු පිරීයමින් තිබේ. පාලක පක්ෂය කියන්නේ මේ බොහෝ උදඝෝෂණ පිටුපස ඇත්තේ දේශපාලන හස්තයකි යි කියා ය. කෙසේ වුව ද වැඩකට ඇති හා වැඩකට නැති ලෙස අපට සිතෙන ඇතැම් කරුණු-කාරණා ඉස්මත්තට ගෙන එමින් මේ උද්ඝෝෂණ රැල්ල දිගින් දිගට ම ක්‍රියාත්මක වෙයි. ඒ සියල්ලෙහි ම හේතුව ලෙස දැක්වෙන්නේ කුමන වූ හෝ අසාධාරණයකි. එහෙත් මිහිපිට ඇති බරපතළම අසාධරණය ක්‍රියාත්මක වන්නේ තිරිසන් සත්ත්වයින් ඝාතනයයේ දී වන බව ය, අපගේ ඒකාන්ත වැටහීම වන්නේ. එහෙත් ඒ ගැන කියන්නට, ලියන්නට හෝ උද්ඝෝෂණය කරන්නට කිසිවකුගේ කිසිදු සූදානමක් නොපෙනෙයි. හේතුව පැහැදිලි ය. තිරිසන් සතුන් වෙනුවෙන් යමක් කළ යුතු වන්නේ නිස්සරණාධ්‍යාෂීව ය. ඒ සඳහා ප්‍රතිලාභ හිමි නොවෙයි.

මේ තත්ත්වය දේශපාලනිකව හා නූතනමානීව විග්‍රහ කළ හැකි එක්තරා ආකාරයක් ද තිබේ. තිරිසන් සතුනට ඡන්ද බලය නැත. මිනිසාට ඡන්ද බලය ඇත. ඡන්ද බලය ඇතුළු බොහෝ දේ මිනිසා විසින් දිනාගනු ලැබුවේ දෑතේත්, මොළයේත් ස්වාභාවික ලෙස අනුක්‍රමයෙන් සිදු වූ වර්ධනීය තත්ත්වයන් හේතුකොට ගෙන ය.

යම් හෙයකින් තිරිසන් සතුනටත් ඇඟිලිතුඩු යාන්තමින් ගොනුකරගෙන කතිරයක් ඇඳ ගැනීමේ හැකියාව හිමි වූයේ නම් මිනිසාගේ මාංශලෝලයට බරපතල ගැටලූ පැනනැ‍ෙඟෙන බව නිසැක ය.

කෙසේ වුව ද දියුණු යැයි සම්මත මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට පෙර පැවැති රාජාණ්ඩුවලින් තිරිසන් සතුනට අභයදානය හිමි වූ අවස්ථා කිහිපයක් ඉතිහාසගත ය. රජවරුන් පස්දෙනෙකුන් විසින් සත්ත්ව ඝාතනයට වැටබඳින ‘මාඝාත’ නම් වූ නීතිය පනවනු ලැබූ බවකි, අප අසා ඇත්තේ. 21 වැනි සියවසේ මාඝාත නීතියක් ගැන කතාකිරීම විහිළු සහගත යැයි පෙනී ගිය ද සත්ත්ව ඝාතනය සම්බන්ධයෙන් නව නීතිමාලාවක් සම්පාදනය වීමේ අවශ්‍යතාව ද බරපතල ලෙස පැන නැ‍ඟී ඇති බව පමණක් පෙන්වා දෙන කැමැත්තෙමු. අඩු තරමින් තිරිසන් සතුනට දැඩි වේදනාකාරී නොවන මරණයක් උරුම කරදීමේ වැඩපිළිවෙලක් සඳහා මේ බෞද්ධ රට තුළ පිඹුරුපත් සැකසෙමින් හෝ ඇද්දැයි අප දන්නේ නැත. අප දන්නේ අමෙරිකාව වැනි අබෞද්ධ රටවල නම් ගවඝාතනයේ දී ගවයාට හිංසනයක්, පීඩනයක් සිදුනොවන ආකාරයේ විද්‍යාත්මක ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක වන බව පමණ ය.

දෙමටගොඩ පොදුවෙළෙඳ පොළේ දී සුදු කුකුළා ජවසම්පන්න ලෙස නැඟි සිටිමින් නැගූ එම හඬෙහි මේ ප්‍රශ්න ගැබ් ව තිබුණේ දැයි අපි නොදනිමු. කෙසේ වුව ද ඒ හඬඇසීමෙන්, ඒ රුව දැකීමෙන් හටගත් කම්පනය තවමත් අපට විවිධ බලපෑම් කරයි. ඒ අනුව අපට සිතෙන්නේ ‘තිරිසන් සතුනගේ ඓතිහාසික අසාධාරණයට එරෙහිව’ යන තේමාපාඨය ඉස්මත්තට ගනිමින් උද්ඝෝෂණයක් දියත් කිරීමට පෙරමුණ ගැනීම සඳහා පාලක පක්ෂය හෝ යොමුවන්නේ නම් යෙහෙකැයි කියා ය.

කැත්ලීන් ජයවර්ධන 

Comments