වැඩියෙන්ම ලණු දුන්නෙ මිස්ටර් පීරිස්! | Page 4 | සිළුමිණ

වැඩියෙන්ම ලණු දුන්නෙ මිස්ටර් පීරිස්!

 මෙරට රිදීතිරය හැඩ කළ පුරෝගාමි කලාකරුවන් බොහෝ දෙනකු අද අප අතර නැත. එහෙත් ඔවුන් මැවූ සිහින සිත්තම් අදත් අපගේ මතකයෙහි ශේෂව පවතී. එවන් නිර්මාණ දායාද කළ අධ්‍යක්ෂවරුන්, නළු-නිළියන්, ගායක-ගායිකාවන් ගැන තොරතුරු බිඳක් හෝ දැනගැනීමට ඇත් නම්, කොයිතරම් නම් අගේද? සිය අතීත මතක පෙළින් පෙළ අමුණමින් ඒ සිහින මතක ගෙත්තම් කරන ඈ අග්‍රගණ්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකාය. ඕ රිදීතිරයට නිධානයක් බඳු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පිළිබඳ මෙසේ හඬ අවදි කළාය...

 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා දිවියේ මට මුණගැසුණ ශ්‍රේෂ්ටතම අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ජීවිතය දිහා බලන්නේ අමුතුම ඇහැකින්. ඔහුගේ තරුණ අවධිය වැඩි වශයෙන් ගෙවා ඇත්තේ රටින් බැහැරවයි. ඒ නිසා ඔහුට ලෝක භාෂා පිළිබඳ හොඳ දැනීමක් තිබුණා. ඔහු බෙහෙවින් පතපොත කියවන පුද්ගලයෙක්. ඔහු ඉංග්‍රීසි භෂාව මැනවින් හසුරුවන, ඒ විදියට හිතන-පතන කෙනෙක්. ඔහු ආහාර ගත්තේ බොහෝම සුදට. කොටින්ම මිරිස් කෑල්ලක්, ගම්මිරිස් ඇටයක් ඔහුගේ කෑමවල තියෙන්න බැහැ. එහෙම තිබුණොත් ඉතිං එදාට ඉවරයි. ඒත් ඔහු ඇතුළෙ හිටියේ තනිකරම ගැමි මනුෂ්‍යයෙක්. වෙලාවකට පුදුමත් හිතෙනව, මිය යන තුරු මෙරට ම ජීවත් වූ අයෙකුට වඩා ඔහු සැබෑ ලාංකිකයෙක්.

‘රේඛාව’ පටන් ගන්නෙ ගැමි පරිසරය වටා ගෙතුණ කතාවක් ආශ්‍රයෙන්. ඇත්තෙන්ම ලෝක සිනමාවේ ශ්‍රී ලාංකික අනන්‍යතාව සලකුණු කරන්නේ එතුමා. සෙසු ලෝකයා පවා අපට සිනමාවක් තියෙනව කියලා හඳුනාගන්නෙ ආචාර්ය පීරිස් නිසා. මම වුණත් සිනමා නිළියක් ලෙස අන්තර්ජාතික ඇගයීමට ලක් වන්නේ එතුමා අධ්‍යක්ෂණය කළ ‘නිධානය’ සිනමා පටය හරහා. ඒ නිසා අන්තර්ජාතික චිත්‍රපට උලෙළ ගණනාවකට සහභාගි වන්නත් මට වාසනාව ලැබුණා. අන්තර්ජාතික සිනමාව තුළ අදටත් ‘ශ්‍රී ලංකාව’ කිව්ව ගමන් ඔවුන්ට මතක් වෙන්නේ ආචර්ය පීරිස්ව. කෙනෙක් කියන්න පුළුවන් ඔහුගේ සිනමාව තුළ තිබුණේ මේ ග්‍රාමීය පරිසරය පාදක කරගෙන නිර්මාණය වුණු කතා තේමා පමණයි කියලා. එතනින් එහාට ඔහු සිනමාකරුවකු ලෙස සාර්ථක වුණේ නැහැයි කියලා. ලංකාවේ කෙනෙකුට ඒ විදියට ඒ දිහා අවතක්සේරුවෙන් බලලා කියන්න පුළුවන් වුණත්, සෙසු ලෝකයට අපේ රටේ ජන ජීවිතය, සංස්කෘතිය, සිරිත්-විරිත්, ආචාරධර්ම ආදි මේ හැමදෙයක්ම හඳුනගන්නේ ආචාර්ය පීරිස්ගේ සිනමාව හරහා. ඒ බව ලෝකයට ගියාම අපට දැනෙනවා. පසු කාලීනව අපේ රටේ බොහෝම දක්ෂ නිර්මාණශීලී සිනමාකරුවන් අන්තර්ජාතික ඇගයීමට පාත්‍ර වුණා. ඒත් අදටත් අන්තර්ජාතික සිනමාව තුළ ශ්‍රී ලාං‍කික සිනමා සංකේතය ලෙස නිබඳවම පිළිගැනෙන්නේ ආචාර්ය පීරිස්වයි. එය හරියට ‘අකිර කුරසාවා’ කිව්ව ගමන් ජපානය මතක් වෙනව වගේ. ‘ලංකාව’ කිව්ව ගමන් මතක් වෙන්නේ ආචාර්ය පීරිස්වයි.

මම මුලින්ම එතුමා එක්ක වැඩ කළේ ‘අක්කර පහ’ චිත්‍රපටයේදීයි. රූගත කිරීම්වලදී සමහර අධ්‍යක්ෂකවරු ‘ඇක්ෂන් - කට්’ කියන්නේ බෙහෝම ආවේගශීලීව හිතට අරගෙනයි. ඒත් ආචාර්ය පීරිස් ඒව කියන්නේ හරිම සරලව, ඉතා හෙමින්. වෙලාවකට එයා කියන දේ අපිට ඇහෙන්නෙත් නැහැ. කිසිම කලබලයක් නැහැ; බොහෝම නිවිච්ච ගති ස්වභාවයක් තමයි එතුමා තුළ තිබෙන්නේ. වේලාසනින් සෙට්-එකට ඇවිල්ලා පිටපත අතට දීලා සියලු දේ සාකච්ඡා කරනවා. සමහර අවස්ථාවල බොහොම විහිළුවෙන් තහළුවෙන් දේවල් අපිට කියල දෙනවා. එතුමා ‘නිධානයට’ මාව තෝරගන්න කොට හුඟක්ම රඟපාල තිබුණෙ ජනප්‍රිය ධාහරාවේ චිත්‍රපට. ගාමිණි අයියත් එහෙමයි. එවැනි තත්ත්වයක හිටපු මාවත්, ගාමිණි අයියවත් අරගෙන ඔපමට්ටම් කරලා, දිදුලන මැණික් කැටදෙකක් බවට පත් කරන්නෙ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මායි. ඒ වෙන කොට අපි දෙන්න ලෙනින් මොරායස් එක්කයි, සෙල්වරත්නම් එක්කයි බොහෝම සෙල්ලක්කාර චරිත නිරූපණය කරන චිත්‍රපට දෙකක වැඩ කරමින් හිටියේ. උදේ වරුවේ ඒ චිත්‍රපටවල රඟපාල හවස එනවා නිධානයේ රූගත කිරීම්වලට. එතනදි එතුමා අපිව වෙනම ලෝකයකට ගෙනල්ලා බොහෝම නිවිච්ච තැන්පත් සංවර වෙනමම චරිත දෙකක් බවට පත් කරනවා. ‘නිධානය’ සඳහා තෝරගත්ත ඒ මහ වලව්ව ඇතුළට අඩිය තියන කොටම ඒ චරිතයට ඉබේම ඇතුළු වෙනවා. ගාමිණි අයියා කොරිඩෝවෙ තියෙන හාන්සි පුටුව උඩ රැවුළ දාලා වෙනස්ම විදියකට පයිප්පයක් උර උර ඉන්න කොට, විලී අබේනායකට එන බය පක්ෂපාති බව, අයරින්ගෙ තියෙන අහිංසකකම, යටහත්පහත්කම ඉබේටම ඇඟට එනවා.

විලී අබේනායක අයරින්ව (මා) කැන්දගෙන ආවට පස්සේ මහා ප්‍රශ්න ගොඩක ඉන්නවා වගේ දැනෙන්නේ. ඒක ගැන අයිරින්ට තේරුමක් නැහැ. ඇය ඉන්නේ මහත් ස්වාමි භක්තියකින්. සමහර දවස්වලට නිඳාගෙන නැඟිටල බලද්දි විලී අබේනායක ඇඳේ නැහැ. ඉතිං හොයාගෙන යනව. ඒ එනකොට පේනවා එයා සාලේ මැද්දට වෙලා ලොකු කල්පනාවක ඉන්නවා. ඉතින් මම ඉටිපන්දමක් පත්තු කරන් ළඟට ඇවිත් අහනවා “ඇයි, නිදාගන්නෙ නැද්ද?” කියලා. ඔහු මුකුත් කියන්නෙ නැහැ. ඊට පස්සෙ මම කියනවා, “මොනවහරි ප්‍රශ්නයක් තියෙනව නම් මට කියන්න.” “මොකක්ද තියෙන ප්‍රශ්නෙ?” මම පණ්ඩිතකමට අහනවා. එතනදි ගාමිණි අයියට තිබු‍ෙණ් “යන්න මට කරදර නොකර..”, “ඔයා ගිහින් නිඳාගන්න..” වගේ උත්තරයක්. ඉතිං දෙතුන් ගමනක් රිහර්සල් කළා. ඊට පස්සේ “හරි මාලනි, ඔක්කොම රෙඩි. අපි දැන් ෂූට් කරනව. ඔයා අර දොරෙන් ඇතුළු වෙලා එන්න” කියලා ආචාර්ය පීරිස් කිවිවා. “ඇක්ෂන්,” කිව්වම මමත් ඉතිං රිහර්සල් කරපු විදියට ඇවිල්ලා ගාමිණි අයියා ගාව හිටගත්තා. අර විදියටම ප්‍රශ්නය ඇහැව්වා, ආයිත් ඇහුව්වා “ඇයි මට කියන්න බැරි”, “ඇයි ඉතිං මට කියන්න බැරි දෙයක් තියනවද?” කියලා කිව්වා විතරයි, “යනවද නැද්ද මෙතනින්!” කියලා බෙරිහන් දීලා ගේ උඩ යන්න කෑගැහුව්වා. මං බය වෙලා ගැස්සිලා හිටියා. ඉටිපන්දම් කිරිත් අතේ වැටුණා, මට අද වගේ මතකයි. මං කල්පනා කළා මොකක් හරි වැරදි දෙයක් මගේ අතින් කියවුණාද දන්නේ නැහැ කියලා. මොකද එහෙම රිහර්සල් කරලා තිබුණෙ නැහැ නෙ... පස්සෙ මං මිස්ට පීරිස් දිහාවත් වෙනකා දිහාවත් නෙබලම හිමින් ෆ්‍රේම්-එකෙන් අයින් වුණා. ඊට පස්සෙ ගාමිණි අයියා වාඩි වුණා. මිස්ට පීරිස් “කට්” කිව්වා. මුළු සෙට් එකම හිනා වෙන්න ගත්තා. මම ඇර අනිත් ඔක්කොමලා මේක ප්ලෑන් කරලා. මට අදත් ඒ අවස්ථාව දකින කොට ඒ සිදු වීම මතක් වෙනවා. අපේ ඉරියව් බොහෝම ස්වාභාවික විදියට ඉස්මතු කරගන්න මිස්ටර් පීරිස් ඒ වගේ විවිධ උපක්‍රම භාවිතා කළා. මේ චිත්‍රපටය ආචාර්ය තිස්ස අබේසේකර මහත්මාගේ විශිෂ්ටතම තිරපිටපත් රචනාවලින් එකක්. ඔහු අපට හිටපු මහාර්ඝ සම්පතක්. (අපි වෙනත් දවසක ඔහු ගැනත් කතා කරමු).

තවත් අවස්ථාවක ගාමිණි අයියට ෆිට්-එක හැදෙනවා. මාපා ගුණරත්න තමයි, එයාගේ වෛද්‍යවරයා විදියට හිටියේ. විලී “අරමයි මෙහෙමයි” කිය-කිය කතා කරකර ඉන්න කොට ගාමිණී අයියට එකපාරටම ෆිට්-එක හැදෙනවා. එයාගේ ඇහේ කළු ඉංගිරියාව යටයනවා. සුදු ඉංගිරියාව විතරයි පේන්නේ. මාපා ගුණරත්න මහත්තයා බය වෙලා දහදිය දාගෙන දුවල ගිහින් “ලෙස්ටර් ලෙස්ටර්! ඉක්මනට ඩොක්ටර් කෙනෙක් ගෙන්නන්න. ගාමිණිට ඇත්තටම ෆිට්එක හැදිලා.” ඔක්කොම හිනා වුණා. මිස්ටර් පීරිස් ඔක්කොම දැනගෙන හිටියේ. මාපා මහත්තය බය කරන්න තමයි මේ වැඩේ කළේ. ඉතිං එතුමා එක්ක අපි වැඩ කළේ හරිම විනෝදයෙන්. ටෝනි රණසිංහ මහත්තයට පස්සේ මං දැක්ක වැඩියෙන්ම ලණු දෙන එක්කෙනා මිස්ටර් පීරිස්.

මට මතක්වෙනවා මිස්ටර් පීරිස්ගෙ ‘පුරන් අප්පු’ චිත්‍රපටයෙදි සිදු වෙච්ච දෙයක්. ඒ චිත්‍රපටයෙ මට තියෙන්නේ ඔසරිය අඳින්න. ඒත් මේක ඓතිහාසික කතාවක් නිසා ඒ යුගයෙ හිටපු කාන්තාවන් විදයට උඩු කය වැහෙන්න හැට්ටය විතරයි අඳින්න පුළුවන්; තන පට අඳින්න බැහැ. එක අවස්ථාවක් තියෙනවා මං පිදුරු මඩුවක් ළඟ ඉද්දි රවි (පුරන්අප්පු: රවීන්ද්‍ර රන්දෙණිය) හැංගිලා ඉඳල එළියට එනවා. මං බය වෙලා ගෙට දුවනවා. ඒ දුවන ගමන් මං දන්නෙම නැතුව පපුව අතින් වහගෙන දුවන්නේ. “කට් කට්” කියලා මිස්ටර් පීරිස් රූගත කිරීම නැවැත්තුව. ආපහු ගිහින් එන්න කියනව. ඔහොම විසි-තිස් වතාවක් විතර කළා. මට එහෙම තන පට නැතුව ඉඳලා හුරු නැති නිසා, අත ඉබේම පපුවට එනවා. ඒ පාර ෂූට් කරන-එක නවත්තලා මිස්ටර් පීරිස් කියනවා, “ළමයෝ! නිදහසේ දුවන්න. ඕවා ලස්සනට තියෙන කාලේ පුළුවන් විදයට පෙන්නන-එක ගැන එච්චර හිතන්න එපා!” කියලා. මට නේද! කට උත්තර නැතිව ගියා...

පුදුම විදිහෙ දැනුමක් අපිට එතුමගෙන් ලැබුණේ. අන්තර්ජාතික චිත්‍රපට, රංගනය වගේම සාහිත්‍ය පිළිබඳවත් ඔහු අපව දැනුවත් කළා. අනූ අටයි මේ වෙද්දි එතුමගෙ වයස. අදත් ගිහින් ඇහුව්වොත් චාලි චැප්ලින් ගැන හරි, අකිර කුරසෝව ගැන හරි පටන්ගත්තේ කොහොමද? ඔහුගෙ හොඳම චිත්‍රපටය මොකක්ද? දුර්වලතා මොනවද? කුමන සාහිත්‍යක ආභාසය ඒ සිනමා කෘතිය තුළ තිබුණද? ඔහු ගැන ලියවෙච්ච හොඳම විචාරය කාගෙද? මේ හැම දෙයක්ම මතකයෙන් කියන්න පුළුවන්. එතුමා ඇඩ්වයිස් කරද්දි සෙට්-එකේ කවුරුවත් “හුම්” කියන්නෙ නැහැ. කාර්මික ශිල්පියගෙ ඉඳලා පුදුම විනයක් තිබුණෙ. ඒ කාට වත් මෙහෙම කරන්න ඕන කියල කවුරුවත් කියල දීල නෙමෙයි එහෙම කළේ. එතුමට දක්වපු ගෞරවය නිසයි එහෙම වුණේ.

මොස්කව් සිනමා උලෙළකට සහභාගි වෙන්න ගිහින් අපි හෝටලයක නවාතැන් ගත්තා. එතන ඉඳන් මට සිනමා ශාලාව වෙත යන්න වුණේ තනියම. ඒ යන අතරතුර බස්-එකේ මගේ එහා පැත්තේ බොහොම තැම්පත් ලෙස වාඩි වී සිටි මගියෙක් ඔහුව මට හඳුන්වා දෙමින් මා සමඟ කතාවට වැටුණා. ඔහු මගෙන් ඇහුව්වා “ඔබ මොන රටේද?” කියලා. මං කිව්වා “මම ලංකාවේ” කියලා. “ආ.. එහෙමද? ඔයා ඩොක්ටර් පීරිස්ව දන්නවද?” අහලා ඔහු හොඳට මං දිහා බලල අහනවා “ඕ.. ඔයා නිධනයේ හිටිය නේද?” කියලා. මං ඇහුව්වා “ඔයා කොහෙමද දැනගත්තේ?” කියලා. එතකොට ඔහු මගේ උපන් ලප පෙන්නලා කියනවා, ඒවයින් තමයි අඳුනගත්තේ කියලා.මට හරිම සතුටක් දැනුණා.

අපි හිතමු ඩොක්ටර් පීරිස් වගේ කෙනෙක් මේ රටේ හිටියෙ නැහැ කියලා. නිකමට හිතල බලන්න, අපේ සිනමාවට මොකක් වේවිද? ඒ වගේ කාලෙක ඔහු කොච්චර අරගලයක් කරන්න ඕනද ලෝකයට යන්න. එතුමා වයෝවෘද්ධව සිටියත් අදත් සිතන්නේ සිනමාව ගැන. මහණ දම් පුරණ මුනිවරයෙක් තමන්ගේ විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගැනීමට දිවි හිමියෙන් කැප වී සිටිනව වගේ, එතුමා සිනමාව වෙනුවෙන්ම පේවී සිටින මුනිවරයෙක්. ඔහුගේ සිනමාත්මක ජීවන ගමනේ ප්‍රබලතම සලකුණ ලෙස ‘නිධානය’ චිත්‍රපටයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්. මේ සිනමා පටය ලෝකයම පිළිගත් සිනමා පට විසිපහෙන් එකක් හැටියට සම්මානයට පාත්‍ර වී තිබෙනව. එවැනි සිනමා පටයකට දායක වෙන්න ලැබීමම මා ලැබූ භාග්‍යයක්.

ඒ වගේම ඩොක්ටර් පීරිස් කියන්නේ සිනමා රංගන ශිල්පීන් ශිල්පිනියන්ට විතරක් නෙමෙයි, සිනමා අධ්‍යක්ෂකවරුන්ටත් විශාල දොරටුවක් විවර කරපු පුද්ගලයෙක්. එතුමා එක්ක වැඩ කරපු ඒ අතීතය මතක් වෙන කොටත් පුදුමාකර තෘප්තියක් දැනෙනනවා. මගේ සිනමා ජීවිතය දිහා ආපහු හැරිල බලද්දි, මට අද හිතෙන්නේ ඒක නම් ඇත්තෙන්ම ආශ්චර්යයක් කියලයි. මේ අවස්ථාවේ එතුමාගේ බිරිය සුමිත්‍රා පීරිස් මහත්මියවත් ආදරෙන් සිහිපත් කරන්න ඕන. මහා පුරුෂයකුට බිරියක් වී ඇය විශාල ශක්තියක් එතුමාට ලබා දෙනවා. මවක් ‍ෙමන් එතුමා හොඳින් රැකබලාගනිමින් ඒ මහාර්ඝ සම්පත ජීවමානව ආරක්ෂා කර දීම ගැන එතුමියට ස්තුතිවන්ත වෙනවා.

රසික කොටුදුරගේ 

Comments