අගෝස්තු 07 චන්ද්‍ර­ග්‍ර­හ­ණ­යෙන් ආසි­යා­වත් යුරෝ­ප­යත් ජලයේ ගිලෙයි? | Page 4 | සිළුමිණ

අගෝස්තු 07 චන්ද්‍ර­ග්‍ර­හ­ණ­යෙන් ආසි­යා­වත් යුරෝ­ප­යත් ජලයේ ගිලෙයි?

කලෙකට පසුව ලෝකයේ බොහෝ දෙනකුට එකවර අත්දකින්නට ලැබෙන දරුණු වර්ෂාපතනයක් සහ ජල ගැලීම් ආශ්‍රිත හදිසි ආපදා තත්ත්වයක් සැප්තැම්බර් 27 දා සිට උදාවෙයි. මේ සඳහා මූලික හේතුව වන්නේ හිරු සහ සඳු අතර සිදුවන ශක්ති හුවමාරුවකි. ''සැප්තැම්බර්- ඔක්තෝබර් කොහොමටත් වහිනවා නේ ' යි කියන අයටත් මෙයින් කැමැති නම් පාඩමක් උගත හැකිය.

මෙහි මතුවට නිශ්චිත දින සහිත පුරෝකථනයන් සිදු කරන්නේ සංවහන වර්ෂාව කවදා උදාවේ දැයි නිශ්චිත දිනයක් කිව නොහැකි 'කාලගුණ විද්‍යා දත්ත ' මත පදනම් වීමෙන් හෝ කොහොමටත් සැප්තැම්බර්-ඔක්තෝබර් වහිනවානේ යන විශ්වාසය මත පදනම් වීමෙන් හෝ නොවේ.

වර්ෂා කාලය උදාවන්නේ දින දසුනේ සැප්තැම්බර්- ඔක්තෝබර් උදා වූ නිසා නොව වර්ෂාව සඳහා උචිත ජ්‍යාමිතික ජෛව රසායනය අහසේ නිර්මාණය වුවහොත් පමණි. ඒ එසේ නිර්මාණය නොවුණොත් වර්ෂා කාලය වෙනුවට ඉඩෝරය රජකරනු ඇත.

එසේ නිර්මාණය වන සාධක පිළිබඳව කල්තබා දැන ගැනීමටත් එහි පරිමාව තීව්‍රතාව සහ කාලය නිශ්චිතව දැන ගැනීමට ටොලමියානු ජ්‍යොතිෂය විශ්වසනීය දැනුම් පද්ධතියකි.

කෙසේ වුවත් අගෝස්තු 07 සිට 18 දක්වා තරමක වර්ෂාපතනයක් ඇද හැලෙන අතර සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 10 දක්වා ආසියාවත් යුරෝපයත් ගිලෙන තරමට අඛණ්ඩව දැඩි වර්ෂාපතනයක් හටගනී. එවැනි වර්ෂාවක් සඳහා යෝග්‍ය ජ්‍යාමිතික ජෛව රසායනය අහසේ නිර්මාණය වන්නා සේම හෙට එනම් අගෝස්තු 07 දා සිදුවන හිරු සහ සඳු අතර ප්‍රතිපෝෂක ශක්ති හුවමාරුව නිසා එකී වර්ෂාපතනය දරුණු තත්ත්වයකට පරිවර්තනය කරයි.

අගෝස්තු 07 දා සඳුදා 2017 වසරේ අවසන් අර්ධ චන්ද්‍රග්‍රහණය හටගනී.

මෙදින රාත්‍රී 09.20 ට සඳු ආශ්‍රිත ද්විත්වාකාර ග්‍රහණයක ජායා අවස්ථාව උදාවන අතර රාත්‍රී 10.53 ට අර්ධ චන්ද්‍ර ග්‍රහණය ආරම්භ වෙයි. එහි උපරිම අවස්ථාව රාත්‍රී 11.50 ට සිදුවෙයි. මධ්‍යම රාත්‍රී 12.48 ට අර්ධ චන්ද්‍ර ග්‍රහණය අවසන් වෙයි. අලුයම 02.20 ට එහි ඡායා අවස්ථාවද අවසන් වෙයි. කෙසේ වුවත් මෙයින් විශේෂිත වන අර්ධ චන්ද්‍ර ග්‍රහණය පැය 01 යි මිනිත්තු 55 ක කාලයක් පවතින අතර සමස්ත ග්‍රහණ කාලය පැය 05 ක් පුරා පවතී. ඉහත කී අවස්ථා සියල්ල ම ශ්‍රී ලංකාවට ඉතා හොඳින් දර්ශනය වෙයි.

මෙකී ග්‍රහණය සමස්ත ඉන්දීය සාගරයට සහ ආසියාවට ද පැසිපික් අත්ලාන්තික් ඇන්ටාටික් යන කලාපයන් සහ යුරෝපය ඔස්ට්‍රේලියාව අප්‍රිකාව ඇතුළු ලෝකයේ තවත් ප්‍රදේශ කිහිපයක් පුරා පැතිරෙයි. එයින් ද ග්‍රහණයට නතුවන ප්‍රදේශ අතරින් ආසියාව සහ යුරෝපය ද සාගර කලාපයන් ද කැපී පෙනෙයි.

ටොලමියානු ජ්‍යොතිෂ්‍ය මූලධර්ම අනුව ගත්විට ග්‍රහණයේ උපරිම අවස්ථාවේ මේෂ ලග්නය උදා වී පවතින අතර අර්ධ චන්ද්‍ර ග්‍රහණය සිදුවන්නේ එයින් 10 වැන්න වූ දෘඪ ශක්තියට අයත් මකර රාශියේ ජල ශක්තියට අයත් ක්ෂූද්‍ර සූක්ෂ්ම කලාපයකය.

මකරයේ ප්‍රතිපෝෂක රාශිය වූ ජල ශක්තියට අයත් කටකයේ දෘඪ ශක්තියට අයත් ක්ෂූද්‍ර සූක්ෂ්ම කලාපයේ තැන්පත් හිරු මේ අනුව සඳු සමඟ ශක්ති පරිවර්තනයක යෙදෙයි. මේ කාලගුණ සහ සමාජ දේශපාලන විපර්යාසයක් පිළිබඳ ප්‍රබල නිමිත්තකි.

මේ ග්‍රහණය සිදුවන අවස්ථාවේ පවා ඔබට එහි සේයාවන් අත්දකින්නට ලැබෙනු ඇත. එහි බලපෑම ඉදිරි මාස පහක කාලයක් පුරා විහිදෙයි.

ආසියාව සහ යුරෝපය ආශ්‍රිත ආරක්ෂක - ආර්ථික සහ කාර්මික නොසන්සුන්තාවන් තියුණු කෙරෙන අතර විශේෂයෙන්ම ඉන්දියාව මෙක්සිකෝ එක්සත් රාජධානිය ඇල්බේනියා බොස්නියා ඇෆ්ගනිස්තානය ලිතුවේනියා යන රටවලට සහ බ්‍රෙන්ඩන්බර්ග් බ්‍රසල්ස් ඔක්ස්ෆර්ඩ් දිල්ලිය පෝට්සෙඩ් යන නගර කෙරෙහි ආරක්ෂක අවදානම ඉහළ යන බැව් පෙන්නුම් කරයි.

ඒ හැරෙන්නට ග්‍රහණ භූමිය අගහරු සහ සෙනසුරුගෙන් දැඩි ලෙස දෘෂ්ටි පීඩනයකට ගොදුරු වෙයි. මේ වනාහී ලේ සෙලවීම් සහ ඉතා උද්වේගකර අවස්ථාවන් තීව්‍ර කරන පිහිටීමකි. එය සමස්ත ආසියා යුරෝපා සහ අප්‍රිකා රටවලට මෙන්ම ඉන්දීය පැසිපික් අත්ලාන්තික් යන සාගර කලාපයන්ට ද ඇන්ටාටිකාව කෙරෙහි ද ඇති කරනු ලබන්නේ බිහිසුණු විපත් මාලාවකි.

සාගතය යුද්ධ සහ බොහෝ රටවල ආණ්ඩු පාලනයන් සමඟ ඒවායේ නායකයන් ද විපතට පත්වන බැව් පෙන්වයි. එවැනි කෙටි කාලීන විපත්තිකර සිදුවීම් මතු කරනු ලැබුවත් ආසියාව සහ යුරෝපය ආශ්‍රිතව නව රාජ්‍ය පාලනයන් බිහිවීමත් ඒවා සාපේක්ෂව වඩා යහපත් ආකාරයකින් ඉස්මතුවීමත් පෙන්නුම් කරයි. ප්‍රජාපීඩක පාලන තන්ත්‍රයන් එක පිට එක බිඳී යෑමේ සිද්ධි මාලාවක් ද ඒ සමඟ ම ආරම්භ වෙයි.

ග්‍රහණ භූමියේ සිට විහිදෙන දුෂ්ට අක්ෂ පිරික්සීමේදී ප්‍රංශය ඉතාලිය මැසිඩෝනියා රුමේනියා සිසිලි මැඩගස්කර් සෙන්සිබාර් යන රටවල් සහ බාත් බ්‍රිස්ටල් බොම්බාය චිකාගෝ මැඩ්රිඩ් ලොස් ඇන්ජලීස් රෝම් පිලඩෙල්පියා යන නගර දැඩි පීඩනයකට ලක්වෙයි.

ශ්‍රී ලංකාව ඉරානය රුසියාව ස්වීඩනය සිරියා ඉතියෝපියාව යන රටවල් සහ බ්‍රෙමන් බ්‍රිටන් හැම්බර්ග් හෙල්සින්කි මොස්කව් සල්ස්බර්ග් ශාන්ත පීටර්ස්බර්ග් යන නගරයේ උද්වේගකර සිදුවීම් වාර්තා වීමත් සිදුවෙයි.

තෙවනුව බෙල්ජියම අයිස්ලන්තය සාර්ඩිනියා මොරොක්කෝ වේල්ස් ටියුනිසියා යන රටවල් සහ කාඩිෆ් ලන්ඩන් නියුරම්බර්ග් ට්‍රිපොලි සැන් ෆ්රැන්සිස්කෝ මෙල්බර්න් ප්ල්යිමව්ත් යන නගර ආශ්‍රිතව කැලඹීම්කාරී සිද්ධි වාර්තා වෙයි.

සමස්තයක් වශයෙන් ලෝකයට මෙයින් ඇති කරනු ලබන බලපෑම තක්සේරු කරන්නේ නම් ග්‍රහණ තත්කාල කේන්ද්‍ර ශීර්ෂයේ වක්‍රව ගමන් ගන්නා යුරේනස් අටවැන්නේ වක්‍රව යන සෙනසුරු සහ හතරවැන්නේ දෘඪ ශක්ති කලාපයක ගමන් ගන්නා හිරු සහ අගහරු යන ග්‍රහයන්ගේ පිහිටීම් විසින් ලෝකයේ යුදබිය සහ අස්ථාවර බව පෙන්නුම් කරන්නා සේම පවතින පාලන ක්‍රමයන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී දේශපාලන නැගිටීම් උත්සන්න කිරීම් ද සංඥා කරයි.

කාලගුණික බලපෑම තක්සේරු කළහොත් අගෝස්තු 07 දා සිට 18 දක්වා වර්ෂාව සහ තද සුළං සඳහා උචිත කාලගුණික පසුබිම නිර්මාණය වන අතර එතැන් සිට සැප්තැම්බර් 18 දක්වා වූ කාලය වියළි සුළං සමඟ පරිසරයේ උණුසුම ඉහළ යන බැව් පෙන්නුම් කරයි.

සැප්තැම්බර් 27 සිට එන 28-29-30 යන දින තුනේදී දැඩි වර්ෂාපතනයක් සහ ජල ගැලීම් තත්ත්වයක් හට ගනී.. ඒ සමඟ ම ඔක්තෝබර් 01 - 02 - 03- 04- 05- 06- 07- 08-09-10 යන දින දහය ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු ආසියානු රටවලට ද යුරෝපයට ද ඉතා දරුණු වර්ෂාපතනයක් සහ ජල ගැලීම් ආශ්‍රිත නාය යෑම් ජලාශ පුපුරා යෑම් ආදී මහ ව්‍යසනයන් මාලාවකට මුහුණ දීමට සිදුවෙයි.

මේ අතරින් ඔක්තෝබර් 08 - 06 - 04- 05- 07- යන දින කිහිපය පිළිවෙළින් වඩාත් දරුණු වෙයි. මෙය මෑත ඉතිහාසයේ ආසියාව යුරෝපය ඇතුළු ලෝකයට ම දරුණු වර්ෂාපතනයක් සහ ජල විපත් පිළිබඳ වාර්තාවක් වනු ඇත.

සමස්තයක් වශයෙන් ගත් කළ සැප්තැම්බර් 27 දා සිට ඇරැඹෙන මේ වර්ෂාපතනය සහ ඒ ආශ්‍රිත පීඩාදායක අවදානම් කාලය ඔක්තෝබර් 10 දක්වා පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ද යුරෝපයට ද අනෙක් ප්‍රදේශවලට ද එකී දින දොළොස ජල ආපදා සමයක් වීම නොවැළැක්විය හැකිය.

අගෝස්තු 07 දා සිදුවන මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය නිමාවට පත්වන්නේ අප හැමටම අමතක නොවන සිදුවීම් මාලාවක් ජනිත කරමිනි.

ග්‍රහණය අවස්ථාවේ හිරු සහ සඳු අතර පවතින ප්‍රතිපෝෂක ශක්ති හුවමාරුව මේ සඳහා පාදක වන මූලික හේතුව ලෙස පෙන්නුම් කරයි.

අගෝස්තු 21 දා සූර්ය ග්‍රහණයක් හට ගන්නා අතර එකී ග්‍රහණය පිළිබඳව වෙනම කතා කළ යුතු වන්නේ සියල්ල එකට අනාගෙන ගෙන හදන සාම්බාරු හොදි ජ්‍යොතිෂයට වඩා ටොලමියානු සූත්‍ර වියුක්තව ගන්නා හෙයිනි. 

 

Comments