ඒ දරුවොත් දැන් මගේ දරුවෝ | Page 4 | සිළුමිණ

 ඒ දරුවොත් දැන් මගේ දරුවෝ

 පසුගියදා ඉතාම අවාසනාවන්ත සිදු වීමක් වර්තා විය. ඒ යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චේලියන් මහතා නල්ලූර් ප්‍රදේශයේ සිය නිල රථයේ ගමන් කරමින් සිටියදී සිදු වූ වෙඩිතැබීමකින් ඔහුගේ ආරක්ෂකයකුව සිටි උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතා මිය යාමය. එමෙන්ම එතුමාගේ අනෙක් ආරක්ෂක නිළධාරියාද තුවාල ලබා රෝහල්ගත කෙරිණි. මේ අවසානාවන්ත සිද්ධිය මුල් කරගනිමින් නොයෙකුත් පාර්ශ්ව අතින් විවිධ ප්‍රකාශ නිකුත් වූ අතර ඉන් ඇතැම් ප්‍රකාශ ජාතිවාදය අවුලන සුලු ප්‍රකාශ බව පෙනෙන්නට තිබේ.

යාපනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතුවලට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මෙසේ කීවේය. "අද (2017.07.26) මම ඇත්තක් කියන්නම්, මට පුතාල දෙන්නෙක් ඉන්නවා. මට දුවල නැහැ. අද මට තවත් දුවෙකුත් පුතෙකුත් ලැබුණා. අද ඉඳළ මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. මම සම්පූර්ණයෙන්ම මේ ළමයි හතරදෙනාගෙ වගකීම් එක විදියට ඉටු කරනවා. ඒ අයගෙ ජීවත් වීමේ පහසුව හා අධ්‍යාපනය ගැන මම සොයා බලනවා. මගේ ජීවිතය තිබෙන තුරු ප්‍රේමචන්ද්‍ර මහත්තයගෙ දරුවො දෙන්නව හොඳින් බලාගන්නවා. මම ඒක අද පෙරොන්දුවක් විදියට ප්‍රකාශ කරනවා."

"මේ දරුවන් දෙන්නා මගේම දරුවන් වගේ මම බලා ගන්නවා. මේ දුවගේ අධ්‍යාපනය විතරක් නෙවෙයි, අනාගතයේ දී විවාහයට පවා අවශ්‍ය මුදල් මම දෙනවා." යනුවෙන් ද ඒ අවස්ථවේදී ඔහු ප්‍රකාශ කර සිටියේය.

මේ සිද්ධියෙන් අනතුරුව යාපනය සරසවියේ සිසු සිසුවියන් හා ආචාර්ය මණ්ඩලය යාපනය සරසවියේ මිය ගිය අය වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාරකය අසලදී මල් පහන් දල්වා යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයෙකු වශයෙන් සිට වෙඩි ප්‍රහාරයකින් මිය ගිය හිටපු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ ආත්මයට ශාන්ති පැමිණවීම ඔවුන්ගේ සංස්කෘතියට අනුව සිදු කර තිබේ. මේ සඳහා සිසුසිසුවියන් 300කට අධික පිරිසක් සහභාගි වී ඇත. යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින්ද සඳහන් කොට ඇත්තේ ජාති ආගම් භේදයකින් තොරව තවත් පුද්ගලයෙකුගේ දිවි රැකීමට දිවිදුන් පොලිස් නිලධාරියා සැබෑ වීරයෙකු බවත් අදාළ වෙඩි ප්‍රහාරය හෙලා දකින බවත් සිද්ධියට අදාළ සැකකරු වහාම අත්අඩංගුවට ගත යුතු බවත්ය.

එසේම මහ ඇමති විග්නේශ්වරන් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ ආරක්ෂක නිළධාරීන්ද සිංහල පුරවැසියන් බවත්, තමන්ට ඔවුන්ව විශ්වාස බවත්, ඔවුන් දිවිහිමියෙන් කරන සේවය අගේ කරන බවත්ය. මෙම සිද්ධිය ඔහු තරයේ හෙලා දකින අතර මීට වගකිව යුත්තන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙසද පවසා සිටියේය.

එමෙන්ම බස් රථ ධාවනය පවා නතර කර යාපනයේ ජනතාව මීට විරෝධය ඵල කළේය.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට ආරක්ෂක අංශ සාමාජිකයකු වෙනුවෙන් යාපනයේ ජනතාව මෙලෙස පෙළ ගැසීම වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන සංහිඳියාව පිළිබඳ ප්‍රතිපත්තිය ඇගයීමක් මෙන්ම මෙරට ජනතාව තුළ පවතින අ‍ෙන්‍යාන්‍ය බැඳීම සහෝදරත්වය ඥාතීත්වය ලෝකයටම හඬගා කියන්නකි.

තම මිය ගිය දූදරුවන් සිහිකර ඉටිපහනක් දැල්වීම පවා බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පවසමින් රට කුපිත කරන මෙරට මුග්ධ ජාතිවාදීන් පිරිසට මෙමගින් කදිම පාඩමක් යාපනයේ සිසුසිසුවියන් හා ගුරුවරුන් කියා දී ඇත.

එසේම නීතිඥයින්ද මේ සම්බන්ධයෙන් කළු පටි පැළඳ විරෝධය පළ කළ අතර එහිදී, වව්නියා නීතිඥවරුන්ගේ සංගමයේ නායක, නීතිඥ එම්. සිට්‍රම්පලම්,

"මේ සිද්ධිය අපි තරයේ හෙළා දකිනවා. මෙය අවසන් සිදු වීම විය යුතුයි. අධිකරණ ක්ෂේත්‍රයට මැදිහත් වීම නීතිඥවරු හැටියට අපි හෙළා දකිනවා. මේ සිදුවීම සමස්ත අධිකරණ ක්ෂේත්‍රයටම සිදු වූ තර්ජනයක්. රජය ඉක්මනින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතුයි. විනිසුරුවරුන්ට ආරක්ෂාව ලබා දියි යුතුයි" යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

නීතීඥ එස්. කාරියවසම්, මහතා ප්‍රකාශ කර සිටියේ, "මෙය අපි තරයේ හෙළා දකිනවා අධිකරණයේ ස්වාධීනතාවයට ඉතාම තර්ජනයක්. මීට ප්‍රථමව මෙම රටේ මෙවැනි සිද්ධින් ඇති වුණා. තවදුරටත් මෙවැනි සිද්ධින් ඇතිවුනොත් නීතිඥවරුන් හැටියට නීතියේ සක්‍රීය දායක වන්නවුන් හැටියට මේ රටේ සියලුම දෙනාට මතක් කරන්න කැමතියි මීට වඩා දැඩි ක්‍රියාමාර්ගවලට යන්න සිදුවන බව. කීර්තිමත් විනිශ්චකාරවරයෙකුවන කොළඹ මහාධිකරණ විනිශ්චකාරතුමා, සරත් අඹේපිටිය මැතිතුමා ඉතාම කෲර අධම ලෙස ඝාතනයට ලක් කළා. මේ වගේ නීච අධම ක්‍රියාවලින් මතුවට සිදුවෙනවා නම් දකු‍ණේ හෝ වේවා උතුරේ හෝ වේවා ලංකාවේ කිසියම් තැනක ‍හෝ වෙවා ඒ සම්බන්ධයෙන් අපි නීතීඥවරුන් හැටියට දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා." යනුවෙනි.

මෙවන් අවස්ථාවක පවා තම පටු දේශපාලන ආකල්ප සමාජ ගත කරමින් හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ, "නඩුකාරයා කියන දේ නෙමෙයි පොලීසියෙන් ඇහුව්වම කියන්නේ. මං දන්නේ නැහැ මොකක්ද මේ දෙකෙන් හරි කියලා. මෙතන තියෙන භයානක තත්ත්වය තමයි, පෙලිස් නිළධාරියකුට වෙඩි තියලා. ඒ තරම් අද රටේ නීතිය දුර්වලවෙලා. කොළඹ මේ වගේ සිද්ධියක් වුණා. බන්ධනාගාර නිළධාරීන් මැරුවා. දැන් යාපනේ වෙනවා. යාපනේ වෙනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන මීට වඩා. යාපනේ පාතාලයට වඩා දරුණු දෙයක් සිදුවෙමින් පවතිනවා කියන එක අපිට කියන්න පුලුවන්. එල්.ටී.ටී.ඊ එක ආරම්භ කරන කාලෙත් මේ වගේ සිදුවීම් තමයි සිදු වුණේ ඒනිසා රජය මීට වඩා මේ ගැන ගැඹුරට හිතල කටයුතු කරන්න ඕන." යනුවෙනි.

ඉහත සඳහාන් ප්‍රකාශය අනුව ඔහුට විනිසුරුවරයා කියූ දෙයවත්, මනුෂ්‍යයකු ලෙස ඔහු ක්‍රියා කළ ආකාරයවත් හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ සඳහන් කිරීමවත් අදාළ නැත. ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ පටු අරමුණ කුමණ හෝ ආකාරයකින් ඉටු කර ගැනීමට පමණය. කුමණ හෝ සිද්ධියක් මගින් ඔහුට අවශ්‍ය ඊට උත්තේජනයක් පමණි. එනිසා ඔහු ඉහත පර්ශ්ව දෙකේම කතා ප්‍රතික්ෂේප කරන්නේ "මං දන්නේ නැහැ. මොකක්ද මේ දෙකෙන් හරි කියලා" යනුවෙන් පවසමිනි. ඉන් අදහස් වන්නේ ඔහුට ඉන් ඵලක් නොවන බවය.

ඇත්තෙන්ම භයානක සිදුවීම වන්නේ මේ ඇති වූ සිදු වීම නොව, තමන් වගකිව යුතු රටට ජනතාවට ආදරය කරන නායකයකු යැයි කියන ගමන් සිදු කරන මේ බරපතල බෙදුම්වාදී ප්‍රකාශයන්ය. ඉනුදු නොනැවතී තමන්ගේ කාලයේ ඇස්පනා පිටම සිදුවූ මනුෂ්‍ය ඝාතන මේ මත තබා සාධාරණීකරණය කිරීමට ද ඔහු උත්සාහ කර තිබේ. එනිසා මෙරට දේශපාලන බලය ඉල්ලා සිටින මේ පිරිස පිළිබඳව ජනතාව ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතුය.

හිටපු ජනාධිපතිවරයා තම පටු අරමුණු වෙනුවෙන් කුමක් පැවසුවද මේ වන විට යාපනයේ පාතල කල්ලි ක්‍රියාත්මක වෙමින් පවතින බව කාහටත් නොරහසකි. එය දකුණේද පවතී. මේවා යට සිටින්නේ ජාතිවාදී දේශපාලන කණ්ඩායම් බව තොරතුරු අණාවරණය වෙමින් තිබේ.

වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා උතුරු පළාත භාර ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ලියුම් කරු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේ මෙවැනි අදහසකි.

ප්‍රශ්නය : අපට මෙහි එනවිට දැනගන්නට ලැබුණා ‘පිහියා’ කල්ලියක් ක්‍රියාත්මක වී සිටින බව. මේ අය කවුද?

අපි මෙම දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රතිශතයක් වශයෙන් අරගෙන බැලුවොත් ලක්ෂ 7කට අඩු සංඛ්‍යාවක් තමයි ජීවත් වෙන්නේ. මේ අයගේ ඥාතීන් බොහෝ දෙනෙක් යුරෝපීය රටවල්වල තමයි ඉන්නේ. ඔවුන් මෙහෙ ඉන්න තම ඥාතීන්ට ඩොලර් 100ක් විතර මාසෙකට එවනවා. මේ මුදල් ලැබෙන වැඩි පිරිසක් තුන්වෙනි පරම්පරාවේ අය. ඉතින් මින් වැඩි පිරිසක් තරුණ අය. මේ අයට සල්ලි ලැබුණම, මේ අය කරන්නේ මෝටර් සයිකල් , ස්මාට් ෆෝන් එහෙම අරගෙන පොඩි කල්ලියක් හදාගෙන හෙරොයින් වගේ දේවල් පාවිච්චි කරන එක. මේ රස්තියාදුකාර තරුණයන් දකුණු ඉන්දීය චිත්‍රපට වල දකින මන්න පිහි අරගත්ත අය වගේ හැසිරෙන්න පටන් අරන් තියෙනවා. මේ අය වළක්වන්න යුද හමුදාවට බලයක් නෑ. එය භාරවෙන්නේ පොලිසියට. අපට කැඳවීමක් ලැබුණොත් පමණයි අපි ඊට මැදිහත් වෙන්නේ. ඒ නිසා සිවිල් සමාජය ආරක්ෂා කිරීම පොලීසිය සතු වගකීමක්.

ප්‍රශ්නය: දකුණේ ඇතැම් දේශපාලන කණ්ඩායම් කියනවා නැවතත් ත්‍රස්තවාදය හිස ඔසවමින් තිබෙනවා කියලා. ඒක ඇත්තද?

ලෝක ඉතිහාසය දිහා බැලුවොත් ත්‍රස්තවාදී ක්‍රියා වලින් පසුව පුනරුත්තාපනය වෙච්ච ත්‍රස්තවාදීන් හෝ සටන්කාමීන් 1%ක් පමණයි නැවතත් අවි අතට ගෙන තිබෙන්නේ. නමුත් අපි නිකමට වගේ සුවර් නෑ කියලා හිතලා 10%ක් ඒ පැත්තට තියමු. අපි මේ වෙද්දී පුනරුත්තාපනය කරලා තියෙනවා 12000ක පමණ පිරිසක්. එතකොට මේකෙන් 10%ක්, ප්‍රතිශතයක් විදියට අරගෙන බැලුවොත් නැගෙනහිරට 1200ක් විතර ඉඳීවී. පුනරුත්ථාපනය වෙච්ච 2500කට ආසන්න ප්‍රමාණයක් මගේ ප්‍රදේශයේ ඉන්නවා. මේ අතර පුනරුත්ථාපනය නොවෙච්ච හඳුනා ගත්ත තවත් 500ක් විතර ඉන්නවා. මේ 3000න් 506 දෙනෙක් ගැහැණු ළමයි. මේ අයව අපට ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකියි. හැබැයි මේ අය නැවත අවි අතට ගනීවිද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද නිදහසත් එක්ක ඔවුන්ට විවිධ දේ සඳහා යොමුවෙන්න තියෙන ඉඩ කඩ පුළුල්වෙලා තියෙනවා. ඉස්සර එහෙම නෑ. එක අවස්ථාවයි ඔවුන්ට තිබුණේ. ඒ නිසා ඔය කියන විදියේ ත්‍රස්තවාදයක් ඇතිවෙන්න මෙහේ ඉඩක් නෑ. ඒ නිසා එවැනි තත්වයන් ඇති වුණේ කොහොමද කියලා සොයා බලමින්, නැවත එවැනි තත්වයක් ඇති නොවෙන්නයි කටයුතු කළ යුත්තේ.

දකුණේ අවස්ථාවාදී දේශපාලන නායකයින් මතු කරන්නේ හුඹස් බියක් බව වත්මන් යුද හමුදා පතිවරයා කලකට ඉහතදී කර ඇති ප්‍රකාශයෙන් මනාව තහවුරු වේ.

2015 වසරේ මැයි 13 වන දින යාපනයේදී ශිවයෝගනාදන් විද්‍යා පාසැල් සිසුවිය අමානුශික ලෙස සමූහ දුෂණයකට ලක්කර ඝාතන කිරීමේ සිද්දියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන ස්විස් කුමාර් නමැත්තා ගම්වාසීන් විසින් අල්ලාගෙන විදුලි කණුවක බැද දමා තිබියදී ඔහු පොලිසියට භාර නොදී උතුරේ දේශපාලන මැදිහත්වීමක් ඇතිව බේරී යන්නට ඉඩ සැලසූ බව ප්‍රකාශ වේ. එසේම ඉලන්චෙලියන් විනිසුරුවරයා මෙම සිද්ධිය සිදු වූ අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ, මෑත කාලයේ සිදු වූ ප්‍රබල පරාධ රැසක් සම්බන්ධයෙන් තමා කටයුතු කරමින් සිටින බවත්, එනිසා මෙය තමන් ඉලක්ක කර ගනිමින් සිදු වූ ප්‍රහාරයක් ලෙස මෙය සැක කරන බවත් ය. ඒ එක් අපරාධ නඩුවක් ශිවයෝගනාදන් විද්‍යා පාසැල් සිසුවිය සම්බන්ධයෙන් වන නඩුවක් බව අප අමකත නොකළ යුතුය.

උතුරේ වේවා දකුණේ වේවා ජාතිවාදීන් සිදු කරන්නේ තමන්ගේ බලය පවත්වගෙන යාමේ තිරස්චීන ක්‍රියාවන් හා ප්‍රකාශයන් නිකුත් කිරීම හැර වෙනෙකක් නොවේ. එසේ නොමැතිව මේ බංකොලොත් මුග්ධ දේශපාලකයින්ට වෙනත් ගාමකයක් නොමැති ය. එහෙත් සාමාන්‍ය ජනතාව අතර මේ ජාතිවාදය නැති බව විනිසුරුවරයාට ආරක්ෂාව දුන් පොලිස් නිළධාරියා වෙතින් ද ඔහුගේ මියයාම වෙනුවෙන් කම්පා වෙන විනිසුරු වරයා වෙතින් ද ප්‍රකට වේ.

මිය ගිය පොලිස් කොස්තාපල් හේමචන්ද්‍ර මහතාගේ දේහය දැකගැනීමට පැමිණි විනිසුරුවරයා ඒ මහතාගේ බිරිඳට ආචාර කරමින් හඬන්නට විය. එය ඉතාම සංවේදී අවස්ථාවක් බවට පත් විය. තම ආරක්ෂකයාගේ බිරිය ඉදිරියේ විනිසුරුවරයකු මෙතරම් සංවේදිව ක්‍රියා කළ ප්‍රථම අවස්ථාව මෙය විය හැකිය. එය විනිසුරුවරයකුට තරම් නොවේ යැයි සිතුණද, තම නිළයෙන් ඔළුව උදුම්වාගෙන එහි බලයෙන් අයතා ක්‍රියාවන් සිදු කළ මෙරට ඇතැම් විනිසුරුවන්ට වඩා එය උතුම් වූ ශ්‍රේෂ්ඨ ක්‍රියවකි. කීර්තිමත් ඉන්දියානු විනිසුරුවරයකු වූ වී.ආර්. ක්‍රිෂ්ණ අයියර් මහතා වරක් ප්‍රකාශ කර සිටියේ “කඳුළු සළන්නට නොහැකි විනිසුරෙකු විනිසුරුවරයකු වන්නට තරම් නොවේ ” කියා ය. ඒ කියමන ඉලන්චෙලියන් විනිසුරුතුමා අද ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ. ඒ කුලමල ජාති ආගම් භේද නොතකා මනුෂ්‍යත්වය වෙනුවෙනි. එපමණක් නොව මෙම ක්‍රියාව තුළින් ඉලන්චේලියන් මහතා ඊනියා පුරුෂාධිපත්‍යට ද මරු පහරක් එල්ල කර ඇත. එය වෙනමම කතා කළ යුතු මාතෘකාවකි.

එසේම විනිසුරු ඉලන්චෙලියන් මහතාගේ ජීවිතය ආරක්ෂා කර තම ජීවිතය පරදුවට තැබූ හේමචන්ද්‍ර මහතාද වගකිව යුතු ශ්‍රේෂ්ඨ පොලිස් නිළධාරියෙකි. ඔහුට ද සිය රාජකාරියේදී තම විනිසුරුවරයාගේ ජාතිය ගැටළුවක් වී නොමැති බව අප සියලු දෙනා මතකයේ රඳවා ගත යුතුය.

මෙම සිද්ධිය පාදක කර ගනිමින් බොරදියේ මාළු බෑමට පෙළඹී සිටින අවස්ථාවාදී ජාතිවාදී දේශපාලකයන්ට අනුව නම් මෙය ආණ්ඩුවේ වරදකි. එමෙන්ම තමන් කළ දේම වත්මන් ආණ්ඩුවද කරමින් සිටින බව මේ පරාජිත දේශපාලකයෝ ප්‍රකාශ කරති. එනිසා වත්මන් ආණ්ඩුවටද වග කීමක් තිබේ. ඒ තමන් ඔවුන් මෙන් ක්‍රියා නොකරන බව ජනතාවට ඒත්තු ගැන්වීමය.

කේ.ඩී. රසික

Comments