පීඩාව ගැටලුව හරිහැටි දකින්න මනස නමැති කූඩුවෙන් එළියට එන්න | Page 4 | සිළුමිණ

පීඩාව ගැටලුව හරිහැටි දකින්න මනස නමැති කූඩුවෙන් එළියට එන්න

 මනස පිළිබඳව මිනිසා දැක්වූ උනන්දුව මානව ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වා දිව යන්නකි. ආදි මානවයා තමන්ට තේරුම් ගත නො හැකි ස්වභාවධර්මයේ වස්තූන් දේවත්වයෙහිලා සලකමින් විවිධ පූජාවිධි අභිචාර ක‍්‍රම පවත්වමින් තමා තුළ වූ මනෝභාවයන් ප්‍රකාශ කළ අවස්ථා මෙහි මූලාරම්භය ලෙස සැලකිය හැකිය. ඊට මානවයා පොලඹවනු ලැබූ මූලික උත්තේජනය වන්නේ ස්වාභාවික ක්‍රියාකාරිත්වයන් මඟින් ඔවුන් තුළ ජනිත කළ මරණය හා බිය මුසු හැඟීම වේ. මෙලෙස ඔවුන් තුළ ඇති කළා වූ මානසික කම්පනයෙන් මිදීම සඳහා ඉර, හඳ, තාරකා, අකුණු (අග්නි), වැස්ස, සුළඟ, මහා රූස්ස ගස්, පර්වත වන්දනාමාන කිරීමට යොමු වී යැයි සිතිය හැකිය. මේ අභිචාර ක්‍රමයෙන් ආගම් නිර්මාණය වීම දක්වා බලපැවැත්වීයැයි සිතීම හේතු සහිතය. එහෙත් ක‍්‍රමයෙන් සංස්කෘතික වශයෙන් හා සමාජීය වශයෙන් ජන ජීවිතය ගොඩනැඟීමත් සමඟ පුද්ගල මනෝභාවයන් පවා වෙනසකට ලක් වූ අතර, මෙතෙක් කලක් දේවත්වයෙහිලා සැලකූ ස්වභාවධර්මයා සමඟ ගැටෙමින් තම අවශ්‍යතා එමගින් සපුරාගැනීමට ඔවුහු පෙලඹුණහ. ස්වභාවධර්මයා මත දේවත්වය ආරෝපණය කිරීම වෙනුවට ස්වභාවධර්මය සොයා යන්නට ගත් උත්සාහයන්ගේ ප්‍රතිඵලය සමඟ විශ්වය පිළිබඳ විවිධ අදහස් උදහස් ඇති වන්නට විය. මේ අනුව විවිධ ක්ෂේත්‍ර තුළ සිතිවිලි මෙහෙයවමින් විශ්වය පිළිබඳත් තමන් පිළිබඳත් විවිධ දෘෂ්ටීන් ගොඩනැඟිණි. මේ අදහස් මුළුමහත් මානව ශිෂ්ටාචාරය පුරාද විද්‍යමාන වේ.

මේ නව චින්තනයට මුල් වූ හේතු සාධකය ‘මනස’යැයි සිතමින් එය ඉතා වැදගත් කොට සලකමින් විවිධ අධ්‍යයනයන්හි නිරතව ඇති බව දැකගත හැකිය. මානව ශිෂ්ටාචාරය තුළ මේ පිළිබඳ ඇති වූ මුල්ම අදහස් අපට පෙනෙන්නේ දර්ශන ක්ෂේත්‍රය තුළය. මනෝවිද්‍යාව ලොව පහළ වන්නටත් ප්‍රථම පෙරදිග හා බටහිර දර්ශන ද්වය තුළම මේ සාකච්ඡාව ආරම්භ වී තිබිණි. බටහිර දර්ශනවාදයේ ආරම්භකයා ලෙස හමු වන ‘තේලිස්’ නමැති දාර්ශනිකයාගේ (ක්‍රිපූ 624-550) පටන් ඇරිස්ටෝටල් දක්වා පුරාතනම ග්‍රීක දාර්ශනිකයන්ගේ ප්‍රවාද දෙස බලන කල පෙනී යන්නේ මොවුන්ගේ අභිප්‍රාය වී ඇත්තේ ඍජු ලෙස ‘මනස’ පිළිබඳ සෙවීම නොව, විශ්වයේ ‘ආරම්භය’ කෙසේ වීද යන්න සෙවීම බවය. ග්‍රීක දර්ශනවාදයේ සමාරම්භකයා ලෙස තේලිස් විසින් ගොනු කරන ලද ප්‍රස්තුතය වන්නේ ‘විශ්ව සාධාරණ වූ අප්‍රමාණව පැතිර පවත්නා වූ හැඩයෙන් තොර කිසියම් ද්‍රව්‍යයක් සෑම දෙයකම උපතට හේතු වන අතර, යමක් විනාශ වීමෙන් පසු එය නැවතත් අප්‍රමාණ තත්ත්වයට එක් වේ’යන්නය. ඒ මතය පදනම් කරගනිමින් ‘තේලිස්’ගේ සිට ‘සොක්‍රටීස්’ දක්වා වූ බොහෝ දාර්ශනකියින් අදහස් දක්වා තිබේ.‘පයිතගරස්’ නමැති දාර්ශනිකයා ගේ ප්‍රවාදය වූයේ ‘පරිශුද්ධභාවය හා බුද්ධිය එක් ව ගමන් කරන අතර, විද්‍යාව හා ගණිතය ඉගෙනමු ආත්මය පිරිසිදු කරන වටිනා ඖෂධයක් බවයි.’ පසු කලෙක ප්ලේටෝ පවා මේ මඟ ගිය බව පෙනේ.

‘දර්ශනවාද’ යන වචනයේ නිර්මිත ව්‍යවහාරකයා ‘පයිතගරස්’ය. ‘දර්ශනවාදය උසස්ම සංගීතය’ යැයි හේ කීවේය. පූර්වේනිවාසානුස්මෘති ඥනය ගැනද හෙතෙම විශ්වාස කළේය. ‘ආත්මය මිනිස් සිරුර තුළ සිර කර ඇතැයි’ එකල සමාජය තුළ විශ්වාසයක් විය. අපේ ඉන්ද්‍රියයන් මඟින් අපට යම් යම් දේ දැනුණු විට ‘ආත්මය පිටත තිබියදී දැන සිටි දෙය ගැන එයට මතක් වේ.’ යැයි ඔහු විශ්වාස කළේය. එය හරියට සම්පූර්ණයෙන්ම එකිනෙකට සමාන කෝටු කෑලි දෙකක් හෝ ගල් කැට දෙකක් හෝ මෙලොවදී හමු නොවන විලසය. එහෙත් මෙවැනි එක සමාන දේ ගැන අපි කතා කරමු. අප එවැනි දේ ගැන දැනගන්නේ හා පූර්ණ සමානත්ත්වය පිළිබඳ අදහසක් අප තුළ ඇති වන්නේ ඉන්ද්‍රියන් තුළින් අපට පෙන්වා දෙන ලෝකය නිසා නොව, ඊට වඩා සත්‍ය වූ ලෝකයක් පිළිබඳ දැනීම අප සතු නිසාය. සූර්ය, චන්ද්‍ර ග්‍රහණ පිළිබඳ ඇත්ත වටහාගත් විට පෘථිවිය ගෝලාකාර බව කාට වුව වැටහේ. පෘථිවිය ගෝලාකාර බව වටහාගත් පළමු වැන්නාද මොහුය. ‘අසීමිතව පැතිර පවතින මූලද්‍රව්‍යයන්ගෙන් ඇති වන වස්තූන්ට හැඩය ලැබෙන්නේ ‘සීමාසහිත බව’ නැති නම් සීමිත තත්ත්වය නිසාය. ද්‍රව්‍යය යන්නට ‘හැඩය’යන අදහස එකතු කළේද පයිතගරස්ය.

ප්ලේටෝගේ අදහස අනුව ‘අපි ඇසින් දකිමු, කනින් අසමු’ ආදි වශයෙන් කීමට පුරුදු වී සිටියද, ඇත්ත වශයෙන් ම අප දකින්නේ ඇසින් හෝ අසන්නේ කනින් හෝ නොවේ. ඒ සෑම ඉන්ද්‍රිය ද්වාරයක්ම යම්කිසි දෙයකට උදවු වන උපකරණයක් පමණි. ඒ එක් එක් ඉන්ද්‍රිය ද්වාරයකට දැනෙන්නේ පෙනීම, ඇසීම වැනි එක් දෙයක් පමණි. එහෙත් මේ සියල්ලට පොදු වූ ගුණයන් ගැන සිතීමට මේ එකිනෙකෙහි සම්බන්ධකම් දැකීමට හැකියාව ඇත්තේ ආත්මයට පමණි. පාට දෙකක් එක සමාන නොවේ. එක් ශබ්දයක් තවත් ශබ්දයකට වඩා ගැඹුරු වේ. එක් දෙයක් තවත් දෙයකට වඩා හොඳ වේ. මෙවැනි දෑ කෙළින්ම දැනෙන්නේ ආත්මයට පමණි. ඒ අනුව අපගේ සංවේදනා (දැනීම) දෙකොටසකට බෙදිය හැකි ය. ඒ පාට වැනි ඉන්ද්‍රීය ගෝචර වූ දැනීම ද; සිතීම, ගැළපීම, සමානත්ත්වය, හොඳ, නරක ආදිය පිළිබඳ දැනීම් වශයෙනි. ඉන්ද්‍රිය ගෝචර වූ දැනීම උත්පත්තියේ සිට සෑම සත්ත්වයකුට ම පොදුවේ ලැබේ. එහෙත් දෙවනුව කී දැනුම නොහොත් හැඟීම් සඳහා කාලයත් අධ්‍යාපනයත් අවශ්‍ය වේ. සොක්‍රටීස් ‘ආත්මයේ සදාකාලික බව හා පුනරුත්පත්තිය’ පිළිබඳ විශ්වාස කළේය. යටගියාව දැකීමේ ශක්තිය හා පුනරුත්පත්තිය ගැන වූ ඔහුගේ අදහස් කෙරෙහි පෙර වූ පූජකයන්ගේ (ආගමික) මත බලපා ඇති බව පෙනේ. ඔහුට අනුව ‘ආත්මය ශරීරයේ සිර කර ඇති අතර, එය දෙවියන් විසින් සිරුරෙන් පිටතට ගත් කල දෙවියන් සමඟ හැසිරීමට එයට පුළුවන් වෙයි. මෙලොවදී වුව ආත්මය ගැන භාවනානුයෝගි වූ විට ඥනය ලැබේ.’

‘මනස’ පිළිබඳ නූතන අදහස්වල පුරෝගාමි චින්තකයා වන්නේ ‘සිග්මන් ෆ්‍රොයිඩ්’(Sigmund Freud 1856-1959)ය. මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය බිහි වීමත් සමග විකසිත වූ ‘ෆ්‍රොයිඩියානු’ අදහස් තුළ මිනිස් සිතේ අවස්ථා තුනක් පවතින බව සඳහන් කරයි. එනම්, ‘සවිඥනය’ (Conscious), පුද්ගලයකුගේ මතකයෙහි, අවධානයෙහි හා සංජානනයෙහි පවතින සිතිවිලි හා තොරතුරු මීට අයත් වේ. ‘උපවිඥානය’(Preconscious/ Subconscious) අපහසුවකින් තොරව මතකයට නැංවිය හැකි සිතිවිලි හා තොරතුරු මීට අයත් වේ. ‘අවිඥානය’ Unconscious හෙවත් අවරෝධිත ආවේගයන් සහ සිතුවිලි සහිත සාමාන්‍ය සම්ප්‍රජානනයෙන් එපිට මනසේ නිදන්ගතව ඇති සිතුවිලි, ප්‍රේරණ,ආවේග සහ අපේක්ෂා (Desires)වන්ගෙන් සෑදී තිබේ. මෙය මනසේ විශාලම කොටස ද වේ. එසේම මීට අමතරව සිතේ ක‍්‍රියාකාරිත්වය පෙන්නුම් කිරීම සඳහා අවස්ථා තුනක් පිළිබඳව ද ඔහු විග්‍රහ කරයි. එනම්; ඉඩ් (ID)සංස්කාරය, මනසේ ආදිකල්පිත හැඟීම් සහ අන්ධ ආවේගයන් ක්‍රියාත්මක වන්නා වූ ස්ථානය මෙය වන අතර මෙමඟින් සුඛ වේදනා (වේදයිතයන්) පිළිබඳව ඇති වන සියලු ආවේගයන් ප්‍රකට කරයි. එසේම සිහි කැඳවිය නොහැකි යට ගියාව හා සියලු මානසික ශක්තීන්වල උපත මේ තුළින් ඇති වේ. ඉගෝ (EGO) සංස්කාරය මනසේ සිතන සහ විධානාත්මක කොටස වේ.

ආදිකාලීන මානවයා ශිෂ්ටසම්පන්න පරිණාමීය මිනිසා දක්වා පැමිණිමේදී වර්ධනය වූ මානසික ස්වරූපය මෙය වේ. නිරන්තරයෙන් ශරීරයේ ආවේගශීලි ආශා හා බාහිර ලෝකයේ අවශ්‍යතා අතර සමමිතකිව ක්‍රියා කිරීම මෙහි ස්වරූපය (‘ආත්මය’ පිළිබඳ හැඟීමක් මානවයා තුළ ඇති වන්නේ මෙහි ක්‍රියාකාරීත්වය හේතුවෙනියි සිතිය හැකිය) යි. සුපර් ඉගෝ (Super EGO) උත්තරාත්මය - ‘ආත්මය’ තුළ ක්‍රියාත්මක වන බාහිර ලෝකය සමඟ ගැටීමෙන් ඇති කරගත් සම්මුති, නීතිරීති ක්‍රියාත්මක වන ස්ථානය; මෙය ආත්මයේ ක‍්‍රියාශීලිත්වය පිළිබඳව විනිසුරුවකු ලෙස ක‍්‍රියා කරයි. සවිඥානය උඩු සිත යි. අවිඥානය යටි සිතයි. අවිඥානයේ ඇත්තේ අවරෝධිත ඉච්ඡාවන්ය (ඉටු කරගැනීමට නො හැකි වූ ආශාය). පුද්ගලයා මෙහෙයවන්නේ මේ අවිඥානික ඉච්ඡා මඟිනි.

මෙය පැහැදිලි කිරීමට ෆ්‍රොයිඩ් අයිස් කන්දක (Ice Burg) නිදර්ශකයක් ගෙන එයි. මුහුදු පතුලේ ඇති විශාල අයිස් කන්දෙන් ජලයෙන් මතුපිටට පෙනෙන්නේ ඉතා කුඩා කොටසකි. එම කුඩා කොටස ෆ්‍රොයිඩ් සවිඥානය (උඩු සිත) ලෙස හඳුන්වයි. නොගැඹුරු මුහුදේ ඇත්තේ ඇත්තේ උපවිඥානය යි. ඊට යටින් ඇති විශාල එමෙන් ම නොපෙනෙන කොටස අවිඥානය යි.

මේ ආකාරයට මනසේ ස්වභාවය පිළිබඳව ෆ්‍රොයිඩ් දැක්වූ අදහස, බුදුන් වහන්සේ විසින් මනස පිළිබඳව දැක්වූ අදහසට සමීප වීමක් විනා ඒ අදහසට අසමාන වීමක් හෝ එය අබිබවා යෑමක් ලෙස දැකිය නොහැකිය. මනසේ ස්තර කිහිපයක් ඇති බව බෞද්ධ දර්ශනය අපට පැහැදිලිව උගන්වයි. බෞද්ධ ධර්මයේ පෙනෙන සියලු විග්‍රහ‍යන් හා පැහැදිලි කිරීම් සංසාරය හා නිර්වාණය මත පදනම් වී ඇත. ඒ තුළ ‘සංසාරය’ යන්න විමසීමේදී ‘මනස’ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කරුණු දැක්වීමක යෙදේ. ‘නිර්වාණය’ සාක්ෂාත් කරගැනීම සඳහා ‘මනසින්’ඉවත් විය යුතුයැයි අවධාරණය කරයි. ඉන් ගම්‍ය වන්නේ මනසද දැකිය හැකි ස්වභාවක් අප තුළම පවතින බවය. එසේ නම් මේ මනසේ මූලිකයා කවුරුද? මනසට පරිබාහිරව හිඳිමින් මනසේ ක්‍රියාකාරිත්වය දකින මේ ස්වභාවය කුමක්ද? ඒ අනුව ‘මනස ඇති වීම’, ‘මනසේ පැවැත්ම’ මෙන් ම ‘මනසින් නිරුද්ධ වීම’ නැති නම් ‘මනසේ නැවැත්ම’ ගැනද ඉතා ගැඹුරු විග්‍රහයක බුදුන් වහන්සේ නිරත වන බව පෙනේ.

රසික කොටුදුරගේ

Comments