
“ලොකු මාමණ්ඩී, වෙසක් කූඩුව අළවලා ඉවරයි. දැන් හුඟක් කියනවා... ඔක්කෝම එල්ලමු දෝතුරු ගස් අස්සේ...” මං එක්ක, වෙසක් පහන් සූදානම් කළ මාමණ්ඩී (අම්මාගේ මල්ලී) මම ඇමතුවෙමි.
“ඔව්... ඔව්... ගෙනෙන්ඩ... හඳ පායන්ඩත් කිට්ටුයි” තුරු වදුලු අතරින් මෝරන වෙසක් සඳ අප දෙස බලා සිනාසෙයි.
“මාමණ්ඩී, ලොකු අප්පච්චී, ගේ ඇතුළේ හඳුන් කූරු යි, කට්ට කුමංජලුයි අල්ලනවා. හරි සුවඳයි. අපි පන්සල් යන්ඩත් ඕනෑ නේ...”
“අටපට්ටං කූඩු ටික වද මල් ගස්වල අතු වල එල්ලමු. පැටව් එක්ක තියන ලොකු කූඩුව පාර හරහා එල්ලන්නට මං ලණුවකුත් බැන්දා....” ලොකු මාමා මට අඬ ගැසුවේ ය.
“කිරි අම්මා සිල් මුදන්නේ හෙට උදේ. උන්දෑට ගිලන් පස ගෙනියන්ඩත් ඕනෑ... යහපත් අයියාට කියන්ඩ ගිලන් පස හදන්ඩ කියලා” ලොකු මාමා මිදුලේ වෙසක් පහන් එල්වා, දල්වමින් මා ඇමතුවේ ය.
“ලොකු අප්පච්චී.... ගිලන් පස හදන්ඩලු...” ශබ්ද නගා පවසමින් මම ද මිදුලට දිව්වේ ය.
සුදුපාට කූඩු අතරින් සුදු එළියක් ද, රතු කූඩුවලින් රතු එළියක් ද නිල් කූඩු අතරින් නිල් එළියක් ද කහ කූඩු අතරින් කහ එළියක් ද ආදී වශයෙන්, නීල, පීත, ලෝහිත, අවදාත, මාංජේෂ්ඨ වර්ණයන් මිදුල පුරා පැතිරෙයි.
“අනේ පුතේ... හරි ලස්සනයි... මාමණ්ඩියයි... බෑණන්ඩියි එකතුවෙලා හදලා තියෙන කූඩු...” දෙවට දිගේ වෑ බැම්ම දෙසට හා පන්සල් යෑමට ඇදෙන ගමේ නෑයෝ අප දෙස බලා ඔවුන්ගේ සතුට පළ කරති.
“කිරි අත්තත්... සිල් ඇත්තන්ට ජාතක පොතේ බණ කියන්ඩ ගිහින් හින්ද උන්දෑටත් බොන්ඩ දෙයක් හදාගෙන යන්ඩ ඕනෑ... ලොකු මාමා කුස්සියේ සිටින ලොකු අප්පච්චීට ඇසෙන සේ කීවේය.
“හා... හා... ඔක්කෝම හදනවා... මල්ලිත් යනවා නේද... මේ පූජා බඩුත් අරගෙන....” ලොකු අප්පච්චී කුස්සියේ සිට කීවේ ය.
මහ පාරත්, පන්සලත් යා කෙරෙන, දෙවැටත්, පන්සලත්, එක් කරන වෑ බැම්මක්, දෙපස, පහන් කූඩු එල්ලා ඇත්තේ අති චමත්කාරයක් පරිසරයට එක් කරමිනි.
මාස් වැස්සත් එක්ක වැපිරූ කුඹුරුවල දැන් කොළ පැහැයට ළපැටි ගොයම් ය. ඒ පිස එන වෙසක් සුළඟ, පන්සලට ඇදෙන ගමේ අයගේ, නෑයන්ගේ සුදු සිල් ඇඳුම් පිසගෙන වැව දෙසට හමා ගියේය.
කිරි අම්මාත්, කිරි අත්තාත්, ලොකු අප්පච්චීත් ලොකු මාමණ්ඩීත් පමණි මේ නිවසේ විසුවේ. ගමේ ආගමික වැඩකටයුතු ඇතුළු සමාජ සුබසාධනය කරන, කිරි අත්තාත්, කිරි අම්මාත් ගමේ හාමුදුරුවන් ගේ පටන් අනෙක් සියලුම නෑදෑයන්ගේ ගෞරවයට පාත්‍ර වූ අය වූහ. ලොකු මාමණ්ඩී ඒ දෙදෙනාගේ සැපදුක් බලා කියාගෙන, ගමේ පාසලේ ම උගන්වන දක්ෂ ගුරුවරයෙක් වී ය. ලොකු අප්පච්චී ද අපේ ම පවුලක, තරමක තලතුනා කෙෙනකු වූ අතර තනිකඩ දිවියක් ගත කළ අයෙක්ු විය.
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු වූ කිරි අත්තා විශ්‍රාම ගෙන වුවද ගමේ රටේ සුබ සිද්ධියට කටයුතු කරන්නෙක් වීය.
වෙසක් පහන් දැල්වීමෙන් පසු, ලොකු මාමණ්ඩීත් මමත් දෙවැට දිගේ ගොස්, වෑ බැම්මට වැටී, පන්සලට ගමන් කළෙමු. අවට පහන් කූඩුවල සේයා වැව් ජලයේ වැටී අලංකාර දර්ශනයක් එක් කළේ ය. කන්ද කපා එන පිරුණු වෙසක් සඳ ද දියමතුපිට ලෙළ දිණි. මල් පහන් හා කිරි අම්මාටත්, කිරි අත්තටත් ගිලන් පස අපි රැගෙන ගියෙමු. මල් වට්ටිය මා අතේ ය.
“ලොකු මාමණ්ඩී... අම්මයි අප්පච්චියි අද ........... පන්සලට යනවා ඇති, කිරි අම්මා ද සිල් අරගෙන ඇති... කිරි අත්තටත් පිං පිණිස” මම ලොකු මාමාට කියමි.
“ඔව් පුතේ... අද කවුරුත් වෙසක් එකට සිල් ගන්නවා, පන්සල් යනවා එහෙම නේ...”
“ලොකු මාමණ්ඩී, මල්වානේ අපේ ගුරුතුමා අපට කියා දුන්නා බුදු හාමුදුරුවෝ උපන්නේ සිද්ධාර්ථ නමින්ලු. පස්සේ ගිහි බව අත් ඇරල ගියාලු මහණ වෙන්ඩ. පුතෙක් ඉපදුණාට පස්සේ පුතා තමයිලු රාහුල කියන්නේ...” එදාට ගියා ම රාහුල පුතා ලොකු උණාම එයාට දුක හිතෙන්ඩ ඇති නේද?” මම ලොකු මාමණ්ඩිගේ කමිසය අතින් ඇද ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි.
“ඒ වුණාට පුතේ... රාහුල කුමාරයා පස්සේ මහණ වුණානේ...
එතකොට යසෝදරා දේවියට තනි හිතෙන්ඩ ඇති නේද...”
“ඒකනෙ පුතේ. අපේ බුදු හාමුදුරුවෝ ඒ අයටත් නිවන් සොයා දෙන්ඩ නේ ඒ ඔක්කෝම කළේ...” යසෝදරා දේවියත් මහණ වෙලා රහත් වුණානේ...” මං කතාව හොඳට කියලා දෙන්නම් අද මගේ පුතාට...”
“පන්සලේ පොඩි හාමුදුරුවන්ඩත්, අම්මා අප්පච්චී මතක් වෙනවා ඇති නේද... ඉරිදා ඉස්පිරිතාලේ... මගේ පන්තියේ ම නේ ඉගෙන ගත්තේ... පුංචි කාලෙම මහණ වුණාම ගෙදර මතක් වෙනවා ඇති නේද මාමණ්ඩී...”
“අපේ අම්මයි... අප්පච්චියි ටික දවසකින් මං බලන්ඩ ආවෙ නැත්තේ ඇයි...” කිසියම් දුකක් ඇතිවී නැතිවී යයි.
“වෙන්වීම කාටත් දුකක් තමා පුතේ... “ සසර කෙටි කර ගැනීමට ඒ වෙන්වීම අත් හැරීමි නැතිව බෑ... මගේ පුතේ...” ලොකු මාමණ්ඩී මගේ හිස පිරිමදි යි.
අපි දෙදෙනාම, කතා කරමින්ම පන්සල් වත්තට ඇතුළු වී සිටියෙමු... කිරි අත්තාගේ බණ පොත කියවන හඬ මට හොඳට ඇසේ. මම ඔහු අසලින්ම බිම වාඩිවීමි.
“මං පුතේ අද කියවන්නේ ජාතක පොත... කතාව වෙස්සන්තර ජාතකය...” මගේ ඔළුව අත ගෑ කිරි අත්තා නැවත ජාතක පොත කියවන්ට වීය. අපේ නෑදෑයන් කතාව අසා සිටින අතර සමහර අයගේ ඇස්වලින් කඳුළු බේරෙන සැටි මම දිටිමි. වෙස්සන්තර රජ්ජුරුවෝ ජූතක බමුණාට දරුවන් දෙදෙනා දන් දෙන හැටි මට ද යන්තම් තේරුම් ගියේ ය. ඒ දෙන්නාගේ නම් ජාලිය ක්‍රිෂ්ණජිනා මට මතක හිටියා. කිරි අත්තා කියැවූ ජාතක කතාව අවසන් වූ පසු, බුදු හාමුදුරුවන්ට මල් පහන් පූජා කිරීමට ගාථා කියැවූයේ පන්සලේ ලොකු හාමුදුරුවන් ය. ලොකු මාමණ්ඩීත් මමත් ඔවුන් සමඟම ගාථා කීවෙමු.
“දස මාසෙ උරේ කත්වා” ගාථාවත් “වුද්ධිකාරෝ අලිංගිත්වා” ගාථාවත් කියන කොට මට අම්මත් අප්පච්චීත් මතක් වී ය. පොඩි හාමුදුරුවන්ට, එයාගේ අම්මයි අප්පච්චියි මතක් වෙන්ටැති. දැල්වෙන පහන්වලින් බුදු හාමුදුරුවන්ගේ ලස්සන මුහුණ දිළිසෙන්නට වී ය.
කොච්චර ලස්සන මුහුණක් ද කරුණාව දයාව වෑහෙන බවක්, අප දෙස බලා සිනාෙසන බවක් මම දුටුවෙමි” රාහුල පුතාට ආදරේ නැතිව නොවේලු. එය ඉපදුණු දවසේ ඇත්ත හොයන්ට ගියේ. මහණ වුණේ...” ජාලිය ක්‍රිෂ්ණජිනාට ඇති ආදරේ ලෝකයටම පතුරන්ඩලු, ඒ අය දන් දෙන්නේ. ඒක බෝදිසත්ව පාරමිතාවක් ලු...”
පන්සල් වත්තේ වෙසක් කූඩුයි පහන් වැටයි, අවට හැම තැනම එළිය කරලා... ගාථාවල මිහිරි සද්දෙයි...ඝණ්ටා නාදයයි බෙර වාදන සද්දෙයි මුළු පරිසරයම වෙලාගෙන... හැම මුහුණතක්ම සතුට වැගිරෙනවා...” තම ටිකක් ඉදලා යන්ඩ ඕනෑ... ලොකු මාමණ්ඩී...”
“මගෙ පුතාට බඩගිනිත් ඇතිනේ... වෙසක් කූඩුවල ඉටිපන්දම් නිවල ගිහිල්ලක් ඇතිනේ...” කිරි අම්මාටයි කිරි අත්තාටයි අනික් අපේ නෑයො සිල් ඇත්තන්ටයි වැදලා එන්ඩ... අපි යමු...”
කිරි අම්මා මගේ හිස සිඹ ගත්තා ය. කිරි අත්තා ඔළුව අත ගෑවේ ය. අනෙක් අයට ද වැද, මාමණ්ඩිත් එක්ක අපි ගෙදර ඒමට ඇරැඹුවෙමි.
මාමණ්ඩී.... බුදු හාමුදුවෝ මටත් ආදරේ ද... රාහුල කුමාරයාට වගේ ම...”
“ඔව් පුතේ... ලෝකේ ඉන්න දරු මල්ලන් ඔක්කෝට ම එක වගේ ආදරේ... ඒකනෙ අපි දිහා බලලා හිනාවෙන්නේ...”
“මගෙ අම්මයි අප්පච්චියි තරම්ම... මට ආදරේ ද”
ඔව් පුතේ... සියලු දෙනාටම එක වගේ ආදරෙයි...”
“අපේ ගෙදර පුස් පැටියන්ට යි, වයිටාටයි ඒ වගේ ම ආදරේ ද...
“ඔව් පුතේ...” මාමණ්ඩී මගේ අත තදින් අල්ලා ගත්තේ ය.
වැවෙන්, නෙළුම් මල් ද පිසගෙන එන සුළඟ සිත නළවයි. වැවේ වතුර සමඟ හඳ මාමා පීනමින් සිටියි.
“මාමණ්ඩී... කිටීගේ පැටියො එහෙම කාටවත් දෙන්ඩ එපා... ඒ ගොල්ලන්ට දුක හිතේවි...”
“වයිටත් අපිත් එක්කම ඉන්ඩ ඕනෑ...” මං ඒ ගොල්ලන්ට හරි ආදරෙයි මාමණ්ඩී...”
“නෑ පුතේ... පුතාට අම්මයි අප්පච්චියි මතක් වුණා ද... අපි ඉන්නව නේ...” ඒ ගොල්ලො පුතා බලන්ඩ ඉක්මනට ඒවි...” මගේ ඇස්වල හැඟුණු කඳුළු මාමණ්ඩී දැක්කේ නැත.
රාහුල, ජාලිය, ක්‍රිෂ්ණජිනාගේ, ඒ කාලෙ දුක් වෙන්ඩ ඇති නේද ‘මාමණ්ඩි’...”
“....ඒ ගොල්ලන්ට තේරුණා පස්සේ පුතේ... ඒ ගොල්ලගේ අප්පච්චී ඒ ගොල්ලන්ට හරියට ආදරය කළා කියලා.
“මගෙ පුතාට මං අද හොඳ කතන්දරයක් කියලා දෙන්නම්. අප ගෙදරට ළඟා වීමු. ඇතුෙළන් කට හඬක් මතුවේ... කවුද ඇවිල්ලා මාමණ්ඩී...”
“කෝ මගෙ පුතා... බුදුන් වැන්ද ද...” අප්පච්චී මාව වඩා ගත්තේ ය. අම්මා ද දුවගෙන විත් මගේ හිස පිරිමැද මා තුරුලු කරගත්තා ය.
“දැන් ද අම්මා ආවේ...” මම අම්මාගේ මුහුණ අතක ගාමි.
“ඔව් පුතේ... මේ පාරේ යන අන්තිම බස් එකෙන් ආවා... මගෙ පුතා වෙසක් දවසෙ දකින්ඩ අප්පච්චීටයි මටයි ආසා හිතුණා...” කඳුළු පොදක් අම්මාගේ ඇස්වලින් කඩා වැටෙනු මම දිටිමි.
බුදු හාමුදුරුවො මටත් ආදරේ බව මාමණ්ඩී කීව එක ඇත්ත. ජනේලය අතරින් වෙසක් සඳ කාමරයට පිවිසිණි.
සතරතිලක බණ්ඩා අටුගොඩ
විශ්‍රාමලත් තානාපති