දරුවන් බය කරන “හෝම්වර්ක්” භීතිකාව | Page 2 | සිළුමිණ

දරුවන් බය කරන “හෝම්වර්ක්” භීතිකාව

"පුදුම වැඩක්නෙ මේක, පොතක් අතට ගන්නෙම මට බැහැයි කියාගෙන!"  අම්මාගේ ගෝරනාඩුව ගේ ඇතුළෙන් ඇසුණි.

"ඉතින් මං හෝම්වර්ක් කළේ ?" කොල්ලා උත්තර දුන්නේ එතැනින් පැනගන්නට පොටක් හොයමිනි.

"තිබුණා;තිබුණා! ඔය එහෙන් මෙහෙන් ගහලා දාලා තිබුණේ. මොනවද ඒ අකුරු? උඹලට කියලා අපි වෙන රාජකාරියක් කර ගන්නවද, අපි මේ නැහැන්නේ උඹලට උගන්නගන්න නේද?..." සුපුරුදු දේශනාව වාදනය වන්නට විය.

මේ වූ කලී බොහෝ ගෙවල්වල හැන්දෑ යාමයේ සිට නින්දට වැටෙන රාත්‍රිය දක්වාම අසන්නට ලැබෙන නෝක්කාඩුවලින් එකකි. ගෙවල් දහයක් ගතහොත් ඉන් හයකවත් මේ" හෝම්වර්ක් "  ගෝරි දැක ගන්නට ලැබේ යැයි කීම බොරුවක් නොවේ. දරුවන්ගේ පැත්තෙන් ඊට නිදහසට කාරණාවක් නැතිද? බොහෝ මවුපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද චෝදනාව වන්නේ කම්මැළිකම නිසා  දරුවන් මෙසේ ගෙදර වැඩ මගහරින බවය. එහෙත් මේ හෝම්වර්ක් ප්‍රශ්නයට ඇති එකම හේතුව කම්මැළිකම පමණක්මද?

බොහෝ දරුවන් පාසලෙන් බැහැර වූ මොහොතේ පටන් ආශා කරන්නේ ක්‍රීඩාවක හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල හෝ යෙදෙමින් කාලය ගෙවා දමන්නටය. එහෙත් මුළු මහත් කාලයම එසේ කෙළිදෙළෙන් ගෙවා දමන්නට දරුවන්ට පුළුවන්කමක් නැතද  ඔවුන් කල්පනා කරන්නේ දරුවන් ලෙසය. එබැවින් ඔවුන් සිතන්නේ ඔවුන් බෙහෙවින් ආදරය කරන, ආශා කරන අර නිදහස් කාලය උදුරා ගන්නා සතුරා " හෝම්වර්ක් " බවය. එබැවින් ඔහු හෝ ඇය ටිකෙන් ටික එය පිළිකෙව් කරන්නට පටන් ගනී. ගෙදර වැඩ කියූ සැණින් යම් පීඩාවක් දැනෙන්නට පටන් ගනී. මෙන්න මේ තත්ත්වය අප හඳුන්වන්නේ Homework anxiety යනුවෙනි. එය කිසි විටෙකත් ගෙදර වැඩ කරන්නට ඇති කම්මැළිකම සමඟ වරදවා වටහා නොගත යුතුය.

ගෙදර වැඩ කිරීම හා බැඳුණු මේ කාංසා තත්ත්වය කුමක්ද ? සරලව පැවසුවහොත් homework anxiety යන පදවලින් හැඳින් වෙන්නේ ගෙදර වැඩ කී සැණින් මතුවන ආතති තත්ත්වය හා ගෙදර වැඩ පිළිබඳ ඇති වන බියයි. බොහෝ විට මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිදු වන්නේ ගෙදර වැඩ කල් දමන්නට හුරු වීමයි. මෙය නුරුස්නා බව හා කෝපය ඉස්මතු කරන්නට මුල් වන හේතුවක් වන්නේ මෙසේ ගෙදර වැඩ කිරීම කල් දමත්ම එන්න එන්නම ඒවා සම්පූර්ණ කර ගැනීමට ඇති කාලය අඩු වන බැවින් මොහොතින් මොහොතම අර කී සාංකා තත්ත්වය ටිකෙන් ටික ප්‍රබලව දැනෙන්නට පටන් ගන්නා නිසාය. මෙය අවාසනාවන්ත තත්ත්වයක් ලෙස සැලකෙන්නේ ඇතැම් විටෙක පාසලේදී ඉතා ඉහළින් තම කටයුතු ඉටු කරන දරුවකු පවා මේ කාංසා තත්ත්වයේ ගොදුරක් වන්නට ඉඩ තිබෙන නිසයි.

ගෙදර වැඩ හා සම්බන්ධ එබඳු කාංසා තත්ත්වයකින් පසුවන දරුවකු හඳුනා ගන්නට අපට පිළිවන්ද? සියයට සියයක්  ලෙස හෝ කිසියම් නිශ්චිත රේඛාවක්  අඳිමින්  හෝ අපට මේ ලක්ෂණ හඳුනාගන්නට නුපුළුවන. එනමුත් පැහැදිලි අදහසක් ලබාගත හැකි ලක්ෂණ ගණනාවක් ගෙදර වැඩ හා සම්බන්ධ කාංසා තත්ත්වයෙන් පෙළෙන  දරුවකුගෙන් හඳුනා ගත හැකිය.

එබඳු දරුවකුගෙන් දකින්නට ලැබෙන ලක්ෂණ අතරින් ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ ඔහු හෝ ඇය නිතරම පාහේ ගෙදර වැඩ නොකර සිටීම සඳහා නිදහසට කාරණා සොයන්නට උත්සාහ කිරීමයි. මෙහිදී තවත් දරුවකු තමා දැනටමත් ගෙදර වැඩ සියල්ල සම්පූර්ණ කර ඇතැයි නිතරම පාහේ මවුපියන්ට බොරු කියන්නට පුරුදු වී සිටින්නට ඉඩ තිබේ. ගෙදර වැඩ හා සම්බන්ධ කාංසා තත්ත්වයෙන් පෙළෙන දරුවන් බොහෝ විටම පාහේ පාසලේ සිට පෙරළා නිවෙසට පැමිණෙන්නේ බුම්මාගත් මුහුණින් යුතුව ය. ඕනෑම දරුවකුට යම් අප්‍රසන්න දවසක් දෙකක් ඔහුගේ පාසල තුළ අත්විඳින්නට සිදු වීම සාමාන්‍ය දෙයකි. එහෙම දවස් නැතුවා නොවේ. මේ කියන්නේ එබඳු දරුවන්ගේ ස්ථිරසාර , එසේත් නැතිනම් බහුතරයක් දිනවල දකින්නට ලැබිය හැකි තත්ත්වයකි.

බොරු ලෙඩ  ගැනීම පාසල් සංකල්පය පටන් ගත් දා සිටම තිබෙන්නට ඇතැයි කීම බොරුවක් නොවේ.   එහෙත් මෙහිදී දැකිය හැකි විශේෂ තත්ත්වය වන්නේ ගෙදර වැඩ ගැන මතක් කළ හැටියේ දාහක් ඔළුවෙ කැක්කුම් හා බඩේ අමාරු ගැන කංකෙඳිරි ගාන්නට පටන් ගැනීමය. ගෙදර වැඩ සම්බන්ධයෙන් කාංසා තත්ත්වය ඇති දරුවන් මේ ලෙඩ ගැනීම එක දවසක් නොව දිනපතා ම පාහේ කරන්නට පුරුදු වී සිටින බව දැකිය හැකිය. ඔවුන් පුරුදු වී ඉන්නේ  අසනීපයක් , අමාරුවක් කියාගෙනම  ගෙදර එන්නටය.

පොඩ්ඩ ඇත්නම් අඬන්නට ලෑස්ති වී ඉන්නා ගතිය ද ඔවුන්ගෙන් දැක ගන්නට ලැබේ. වෙනදා නුදුටු තරමේ සංවේදී බවක් ඔවුන්ගෙන් දිස් වන්නේ නම් එය නොසලකා නොහැරිය යුතු කරුණකි. ගෙදර වැඩ හා සම්බන්ධ සාංකා තත්ත්වයෙන් පීඩා විඳින දරුවකු හඳුනා ගන්නට හැකි තවත් ලක්ෂණයක් වන්නේ තමා අතින් ඉතා කුඩා වරදක් හෝ සිදු වනවාට බිය වීමය. මේ බිය නිසාම ඔවුන් හැමවිටම ගෙදර වැඩ කිරීමට යොමු වන්නේ අප්‍රසන්න බව හා බියමුසු හැඟීමෙන් යුතුවය. මේ සියල්ලටත් වඩා වැඩියෙන් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඕනෑම දෙයක් පාහේ " මට බැහැ"යි කියා පටන් ගැනීමය.

මෙය කොහේ කොතැනදී පටන් ගන්නා දෙයක් දැයි සොයා බලන්නට බොහෝ දෙනා උනන්දු වන බව ඇත්තකි. එය නිශ්චිතවම කිව හැකි නොවන නමුත් එය හටගන්නට මුල් විය හැකි කාරණා දෙක තුනක් අපට හඳුනා ගත හැකිය. ඉන් එකක් වන්නේ සංසන්දනයයි. බොහෝ විට මේ කාරණයේදී දරුවන්ට වඩා එම වගකීම ගන්නට සිදු වන්නේ මවුපියන්ටය. බොහෝ විට මවුපියන් පුරුදු වී සිටින්නේ වඩා හොඳින් වැඩ කරන දරුවකු හා සංසන්දනය කරමින් තරවටු කරන්නටය. එසේ දරුවා උනන්දු කරන්නටය. මෙය සමහර තැන්වලදී හරිහැටි ක්‍රියාත්මක වන්නට ඉඩ තිබෙන නමුත් බොහෝමයක් අවස්ථාවලදී සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. නිතර නිතර මෙසේ සෘණාත්මකව සංසන්දනය කිරීම නිසා තමා  පිළිබඳ විශ්වාසය කෙමෙන්  අඩුවී යන්නට ඉඩ තිබේ. අපේ අධ්‍යාපන ක්‍රමය ගෙදර වැඩ සංකල්පය සමඟ බද්ධ වී තිබෙන නිසා අන්තිමේදී අර තිබෙන පීඩනය ගෙදර වැඩ පිටින් යන්නට පටන් ගනී. පරාජය වන්නට ඇති බිය මෙන්ම නිසි ඇගයුමක් නොලැබීම ද දරුවන් තුළ අධ්‍යාපනය සම්බන්ධ කාංසා තත්ත්වය ඇති වන්නට හේතුවකි.

අද දවසේ ලංකාවේ අධ්‍යාපනය හුදෙක්ම තරගකාරී බව එසේත් නැත්නම් ලකුණු මට්ටම් අතර තරගය මත පදනම් වී තිබෙන්නකි. ඇතැම් රටවල මේ ලකුණු තරගය දකින්නටම නැත. තවත් රටවල්වල පවත්නා  අධ්‍යාපන ක්‍රමවල ඇති ලක්ෂණයක් වන්නේ එක් එක් දරුවන් ලබා ගන්නා ලකුණු හෝ ප්‍රවීණතා පුද්ගලික කාරණයක් ලෙස සලකා ප්‍රසිද්ධ නොකර සිටීමය. ඒ ගැන  දන්නේ දරුවා, දරුවාගේ මවුපියන් හා ගුරුවරුන්  පමණකි. කෙසේ හෝ වේවා දැඩි තරගකාරී ( වාර විභාග පවා ) , ලකුණු මත බොහෝවිට ඉරණම හා හොඳ නම තීරණය වන, මේ විභාග දරුවන් තුළ මහත් පීඩනයක් ඇති කරන්නට සමත්ව තිබෙන බව අප කවුරුත් දන්නා කාරණයකි. මේ තත්ත්වය දිගින් දිගටම පැවතීමෙන් ගෙදර වැඩ කිරීම මෙන්ම ඔහුගේ සමස්ත අධ්‍යාපන කටයුතුවලට ම බලපාන අන්දමේ කාංසා  තත්ත්වයක් උපදින්නට පුළුවන.

ගෙදර වැඩ පිළිබඳ කාංසාව ඇති වීම සඳහා හේතු විය හැකි තවත් කාරණයක් වන්නේ " සර්ව සම්පූර්ණ වීමට " (perfectionism ) දරුවන් උනන්දු කිරීමයි. ඉලක්ක කරා යන්නට දරුවන් පසුපස සිටිමින් උනන්දු කිරීම මවුපියන් අතින් සිදු විය යුතු කරුණක් වන නමුදු කොපමණ කළත් "හොඳ"යැයි වචනයක් හෝ නොකියන තල්ලු කිරීමක් දරුවා ගෙන යන්නේ මානසික ආතතියක් වෙතටය. එහිදී දරුවන්ට  සිදු වන්නේ තමාට හැකි ප්‍රමාණය මත උත්සාහ කිරීම අතහැර දමා මහත් පීඩාවකින් යුතුව, මවුපියන් පෙන්වන සුපිරි ඉලක්කය කරා දුවන්නටය.

ගෙදර වැඩ හා සම්බන්ධ කාංසා තත්ත්වයට දරුවන් තුළ තිබෙන සාමාන්‍ය කාංසා තත්ත්ව මෙන්ම මානසික ආතතිය ද හේතු වේ.  දරුවන් යනු ඉතා ඉක්මනින් චිත්තවේගවලින් සැලෙන, බොහෝ සංවේදී කොටසක් බව අප අමතක නොකළ යුතුය. මෙකී චිත්තවේග කළමනාකරණය කර ගැනීමට ඔවුන්ට වැඩිහිටියන්ගේ සහාය අත්‍යවශ්‍යය. එබඳු වේලාවක ඔවුනට ඒ සහාය නොලැබුණහොත් එහි සෘජු බලපෑම සිදු වන්නේ ඔවුන්ගේ අධ්‍යාපනයටයි.

ගෙදර වැඩ මුළුමනින්ම අමතක කොට කටයුතු කරන්නට අප දැනට පවත්වාගෙන යන අධ්‍යාපන ක්‍රමය තුළ අපට නුපුළුවන. විශේෂයෙන්ම කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ වැඩි කාලයක් වසා දමා තිබුණු අධ්‍යාපන පද්ධතිය යළි ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ සෑහෙන ප්‍රමාදයකින් පසුවය. එබැවින් ගුරුවරුන් බොහෝවිට මේ විශාල පරතරය අඩු කර ගැනීම සඳහා යොදාගනු ලබන විකල්පවලින් එකක් වන්නේ ගෙදර වැඩයි. මෙන්න මේ අධික ගෙදර වැඩ, එනම් රෑ බෝ වන  තෙක්  කළද අවසන් කරගත නොහැකි අන්දමේ ගෙදර වැඩ  දරුවන් තුළ මානසික ආතතිය හා කාංසාව ඇති කරන්නට හේතු වන බව පැහැදිලිය.

මේ තත්ත්වයෙන් දරුවන්ට සහනයක් ලබා දෙන්නටත් හැකි වන්නේ කෙසේද ? අපට  ගෙදර වැඩ මුළුමනින්ම අමතක කර දැමිය හැකිද ? අධ්‍යාපන මට්ටම පවත්වා ගෙන යෑම සඳහා ගෙදර වැඩ අත්‍යවශ්‍යම නම් ඉතා සුළු  ප්‍රමාණවලින් ලබා දීම සිදු කළ නොහැකිද ? මේ සියලු කාරණාවලට පළමුව අපේ අවධානය යොමු විය යුත්තේ දරුවන් පීඩා විඳින මේ මානසික තත්ත්ව, කාංසා තත්ත්ව අවම මට්ටමකට ගෙන යන පිළිවෙළ සොයා බැලීම සඳහාය.

ගෙදර වැඩ හා සම්බන්ධ කාංසා  තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීම සඳහා අපට උත්සාහ කර බැලිය හැකි මූලික උපක්‍රම ගණනාවක් තිබේ. ඉන් එකක් වන්නේ කාලය කළමනාකරණය කර දීමයි. මේ කාරණයේදී විශේෂයෙන්ම මවුපියන්ගේ හෝ වැඩිහිටියකුගේ මැදිහත් වීම අනිවාර්ය ය. මෙහිදී දරුවන්ට අවශ්‍ය ප්‍රමාණයට විවේකයක් ලැබෙන පරිදි ගෙදර වැඩ සඳහා කාල රාමුවක් සකසා ගත යුතුය. මෙයින් දෙයාකාරයක ප්‍රයෝජන ලැබේ. එකක් ගෙදර වැඩ කල් දැමීම මගහැරී යෑමයි. ඔවුනට ගෙදර වැඩ ආරම්භ කිරීම සඳහා නිශ්චිත වේලාවක් තිබෙන අතර, නියමිත  කාලය අවසන් වූ පසු ඔවුනට විවේකය ලැබෙයි. විවේකයක් ලැබෙන බව දන්නා නිසා එහෙන් මෙහෙන් ගසා බසා දමා අපිළිවෙළට වැඩ කරන්නට ද  වුවමනාවක් නැති බව දරුවන්ට ක්‍රමයෙන් වැටහෙනු ඇත.

මේ තරගකාරී වටාපිටාව හමුවේ දරුවන්ගේ ගෙදර වැඩට එකතු වන්නට මවුපියන්ට ඇත්තේ සීමිත වේලාවක් නිසා ඒ ගැන ඔවුන්ට වරද පටවන්නට ද නොහැකිය. එහෙත් දරුවන් පාසලෙන් ලබා දෙන ගෙදර වැඩ සම්පූර්ණ කරන වේලාවේදී ඔවුන් සමඟ ඉතා කෙටි කාලයක් හෝ ගත කරන්නට හැකි නම් දරුවන්ගේ මානසික තත්ත්වය වඩා යහපත් අතට හැරෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. වරක් මේ පිළිබඳ දැනුම්වත් කිරීමකදී එක් මවක් පැවසූයේ දරුවන්ගේ ගෙදර වැඩ කියා දෙන්නට තමන්ට දැනුමක් නැති බවය. එය ඇත්තකි. විෂය මාලාව මුළුමනින් අවබෝධ කරගත්  මවුපියන් ඇත් නම් ඒ ඉතා කලාතුරකිනි. මෙහිදී අප බලාපොරොත්තු වන්නේ ගෙදර වැඩ කියා දීම නොවේ. ඔවුන් සමඟ තනියට සිටීමය. ගෙදර වැඩ මොනවා දැයි ඇසීමය. ඔවුන්ගේ විශ්වාසය ගොඩනැංවීමය.

අප මීට කලිනුත් කතා කළ පරිදි දරුවන්ට කාලය කළමනාකරණය කර දීම ආතතියෙන් හා කාංසාවෙන් ඔවුන් මුදවා ගන්නට හැකි අත්‍යවශ්‍ය පියවර ලෙස සැලකිය හැකිය. නිසි කාල සටහනක් අනුව ගෙදර වැඩ කරවීම, ඒ කාල සටහන නිසි පරිදි ක්‍රියාත්මක වනවා දැයි සොයා බැලීම එකම කාසියේ දෙපැත්තක් මෙනි. බොහෝ මවුපියන්  කාලසටහනක් නිර්මාණය කර දෙන දුන්නද අභාග්‍යයට කාරණය නම් ඒ කාලසටහන  දවසකින්, දෙකකින් හෝ සතියකින්  අක්‍රීය වී යාමය. කෙසේ හෝ වේවා , යම් කාලයක් කළමනාකරණය කරගෙන දරුවන්ගේ ගෙදර වැඩ සඳහා වෙන් කළා යැයි සිතමු. මේ කාල රාමු සැකසීමේදී කෙටි විවේක ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. විනාඩි විසි පහකට හෝ  තිහකට  වතාවක් විනාඩි පහක විවේකයක් ලබා දීම ප්‍රයෝජනවත්ය.

ආහාර වේල ව්‍යායාමය හා නින්ද ඊළඟ වැදගත් කාරණාවයි. ඇත්තෙන්ම මෙම කාරණයදී පමණක් නොව , ශිෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමේ මූලික කුලුනු ලෙස ද මේ තුන හඳුන් වන්නට පුළුවන. දරුවකුගේ අනාගත සාර්ථකත්වය රඳා පවතින්නේ ඔහුගේ ශාරීරික, මානසික  හා සාමාජීය සෞඛ්‍ය තත්ත්වය මතය. ආහාර, ව්‍යායාමය හා නින්ද නිසි පරිදි නොලැබීම දරුවකුගේ පරිපූර්ණ සෞඛ්‍යය අඩාළ  කරන්නට හේතුවකි. ගෙදර වැඩ හා සම්බන්ධ කාංසා තත්ත්වයෙන් පෙළෙන දරුවන්ට  මෙකී කාරණා තුන අන් දරුවන්ටත් වඩා වැදගත්ය. කෙසේ හෝ වේවා අනාගතයේ එබඳු චිත්ත පීඩාවක් හෝ කංසා තත්ත්වයක් ඇති නොවනු පිණිස කවර දරුවකුට වුව නින්ද, ව්‍යායාමය හා පෝෂදායි ආහාර අවශ්‍ය පමණින් ලබා දිය යුතුමය. 

ගෙදර වැඩ කරන්නට ප්‍රියමනාප තැනක් තෝරා ගැනීම මෙන්ම එසේ තෝරා ගන්නා ස්ථානය ගෙදර වැඩ කරන අතරතුර මනස එහි මෙහි දුවන්නට යොමු නොකරන තැනක් ද විය යුතුය. වීදි ලාම්පුවෙන්, කුප්පි ලාම්පුවෙන්, ටකරං වහල යට, ලෑලි මඩු වල පාඩම් කරන, ගෙදර වැඩ කරන  දරුවන් ද අප රටේ ඕනෑතරම් ඉන්නා බැවින් , ගෙදර වැඩ කරන්නට සුදුසු වටපිටාවක් නිර්මාණය කර ගැනීම යන කාරණාව තරමක් අසාධාරණ හා ප්‍රායෝගික නොවන එකක් ලෙස පෙනෙන බව කිව යුතුය. එහෙත් අප මෙහිදී කතා කරන්නේ ගෙදර වැඩ හේතුවෙන්ම කාංසා  තත්ත්වයන්ට මුහුණ දී සිටින දරුවන් ගැන බැවින් ඊට  යම් පමණක හෝ වෙනසක්, මවුපින්ගේ හැකියාවේ තරම අනුව සිදු කළ යුතුමය. අප දන්නා පරිදි බොහෝ දරුවන්ට ගෙදර වැඩ කරන්නට සිදු වන්නේ ගෙදර වැඩිහිටි සාමාජිකයන් වටකරගෙන සිටින රූප පෙට්ටිය ඇහෙන පෙනෙන මානේ සිටමය. එය ගෙදර වැඩ කරන්නට කොහෙත්ම සුදුසු වටපිටාවක් නොවේ.

" හෝම්වර්ක් "යනු ජිවිතය නොවන  නමුත්  ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපට අවශ්‍ය වන ඒවායෙන් එකක් බව දරුවාට වටහා දෙන්නට හැකිනම් එය ඉතාමත් සාධනීය ජයග්‍රහණයකි. දරුවාගේ ආතතිය මෙන්ම කාංසා තත්ත්ව මග හරින අතරම සැහැල්ලු සිතින් යුතුව ඉගෙනීමේ කටයුතු කරන්නට ද ඔහුට හෝ ඇයට ඒ හරහා ඉඩ ලැබේ.

මේ දහංගැට සියල්ල උත්සාහ කර බලා අවසානයේදීත් homework භීතිකාවෙන් දරුවා තවමත් පීඩා විඳින්නේ නම් අප කළ යුත්තේ කුමක්දැයි  අසන්නට පුළුවන. මේ කාරණය හා සම්බන්ධව තමා විසින්  ගත් සියලු උත්සාහ තවදුරටත් ගඟට කැපූ ඉනි ලෙස දැනෙන්නේ නම් අදාළ ගුරුවරුන් මුණගැසී ඒ පිළිබඳව කතාබහ කරන්නට මවුපියන්ට අයිතියක් තිබිය යුතුය. ඒ  අයිතියට ගරු කරන්නට ගුරුවරුන් ද නිහතමානී විය යුතු අතර එබඳු  ගුරුවරුන් තවමත්  ලංකාවේ සිටින බව අපේ විශ්වාසයයි.

Comments