ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අපූර්වත්වය එක් කළ වෙසෙස් මිනිසා | Page 2 | සිළුමිණ

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අපූර්වත්වය එක් කළ වෙසෙස් මිනිසා

සිත්තරුවාගේ තෙලිතුඩත් සංගීතඥයාගේ සුමදුර වාදනයත් අප අප්‍රමාණ වූ ආස්වාදයකින් පුරවාලයි. ඒවා විචාරය කිරීමට නොයෙක් මිනුම් දඬු උපයෝගී කර ගත්තද ඒවායේ දිළිඳු බව පසක් කරමින් එකී නිර්මාණයෝ නැඟී සිටිති. ශ්‍රී ලාංකේය ධරණීතලයේ උපන් එවන් වූ මහා ගාන්ධර්වයකු මීට වසර දාහතරකට ප්‍රථම සදහටම දෙනෙත් පියා ගත්තේය. ඔහු මැවූ නේක ස්වර වර්ණයෝ මනෝනන්දනීය කන්කලු රස ගුලාවක් බඳුය. එවන් වූ අපූර්වත්වයක් මේ ධරණීතලය මත මැවූ හේ වෙනකකු නොව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය.

ඉකුත් 23 වැනිදා ජාතික රූපවාහිණියේ ‘ඉරිදා ආයුබෝවන්’ වැඩසටහන වෙන් වූයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වෙනුවෙනි. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි සමන් ආතවුදහෙට්ටිගේ මෙහෙය වීමෙන් පැවති එම වැඩසටහන තුළ නැවතත් එම උත්තුංග නිර්මාණකාය ජීවමාන වනු දැක ඇසග කඳුළක් රැඳිණි. එහි අපූර්වත්ව පාඨක ඔබට ද සමීප කරනු වස් එකී මතකාවර්ජනාව මෙලෙස දක්වමු.

ආචාර්ය කේමදාසයන්ගේ ස්වර වර්ණයෙන් ගෙත්තම් වූ ටී.එම් ජයරත්නයන්ගේ සුගායනයෙන් ඔපවත් වූ ‘අඳුරු කුටිය තුළ දොරගුළු ලා ගෙන’ ගීතයෙන් වැඩසටහන ආරම්භ වූ අතර අනතුරුව සමන් ආතාවුදයන් තම සුලලිත හඬ අවදි කරමින් කතිකාව ආරම්භ කළේය.

“ලංකේය සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් කරන්නට වෙහෙසුණු, කැපවුණු හිතුවක්කාර සංගීතවේදියා... ගීතයට කොටුවෙලා තිබුණු ලාංකේය සංගීතය එතනින් එහාට ඔසවා තබමින් සංගීතය රස විඳින්නට පරිචයක් ඇති පසුබිමක්, සමාජයක් තනන්නට උත්සාහ ගත් හිතුවක්කාර සංගීතවේදියා, මාස්ටර්; කේමදාස මාස්ටර්; ආචාර්ය ප්‍රේමසිරි කේමදාස.”

“අද අපි බලාපොරොත්තු වෙන්නේ කේමදාස මාස්ටර් ගැන ඔහු හා ඇසුරු කළ ඔහු හා සමීපව කටයුතු කළ සහෘදයන් කිහිප දෙනකු එක් රැස් කරගෙන කතාබහ කරන්න. මෙවැනි කතාබහකින් කේමදාස මාස්ටර් පිළිබඳව අපිට ඔබේ සිතේ අඳින්නට පුළුවන් වන්නේ ඉතාමත් සරල කටු සටහනක් විතරයි. අපිට වචනවලින් කවදාවත් කේමදාස මාස්ටර්ගේ සම්පූර්ණ මෙහෙ‍ය, සම්පූර්ණ චිත්‍රය අඳින්න බෑ. කියලා නිම කරන්න බෑ. කොහොම වුණත් අපි පුංචි උත්සාහයක් දරමු අලුත් පරපුරට එතුමා ගැන නොදන්නා අයට සහ දන්නා අයට කේමදාස මාස්ටර් පිළිබඳව රස මතක අවදි කරමින් මාස්ටර් අපේ සංගීත ක්ෂේත්‍රයට සිදු කළා වූ අප්‍රමාණ මෙහෙය සිහිපත් කරමින් මේ හමුව වඩාත් අර්ථවත් කරගන්න.” යැයි කියමින් හෙතෙම මහාචාර්ය සමන්ත හේරත්ට අදහස් දැක්වීමට ආරාධනා කළේය.

“සිංහල භාෂාවේ අතුල්‍ය, අසාහය, අද්විතීය, අසම සම ආදී වචන අපි නොයෙක් අවස්ථාවලදී භාවිතා කරනවා. ප්‍රේමසිරි කේමදාසයන් ඒ සෑම ආකාරයකටම අපේ සංගීත ක්ෂේත්‍රයට අසහාය අද්විතීය මෙහෙවරක් ඉෂ්ඨ කරපු සංගීතඥයෙක්. ලෝක ඉතිහාසයේ හුදු නිර්මාණ කරුවන් පමණක් නොවන ඉන් ඊට එහා ගිය කලාකරුවන් සිටිනවා. යුගයෙන් යුගය ඒ ඒ රටවල් වල ඒ ඒ සමාජවල සංස්කෘතික ජීවිතය පෝෂණය කරන, ඒ වගේම තමන්ගේ අනන්‍යතාව කලාකරුවකු හැටියට තිරසරව සලකුණු කරන ඔවුන්ගේ ඒ අතිවිශිෂ්ට; අද්විතීය සම්ප්‍රධානය යම් විදියකින් අපි ඒ සංස්කෘතික සිතියමෙන් ඉවත් කළොත්; ඒ ඇති වන රික්තය මොනම විදියටවත් සපුරාලන්න බැහැ. ඒ වගේම ඒ අනන්‍යතාව කවර නිර්ණායක යටතේවත් නිශ්ප්‍රභ කරන්න නිෂේධනය කරන්න බැහැ. ප්‍රේමසිරි කේමදාස කියන්නේ එවැනි සංගීතවේදියෙක්.

ඔහු විසින් නිර්මාණය කරපු ගීත සම්භාරය; සංගීත අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට සම්භාරය; ඒ වගේම ඔහු නිර්මාණය කරපු ඔපෙරා කැන්ටාටා ආදී ව්‍යවහාරික සංගීත නිර්මාණ සම්භාරය ආදී වූ මේ සියලුම නිර්මාණ අරගෙන බැලුවොත් විවිධ පර්යාලෝක ඔස්සේ අපට කේමදාසයන් හඳුනා ගන්න පුළුවන්. අපි දන්නවා සෑහෙන කාලයක් තිස්සේ කර්ණ රසායන මදුර ගීතාවලියක් අපි ශ්‍රවණය කළා. හැබැයි කේමදාසයන්ගේ නිර්මාණ අපි අහන සෑම සරල ගීතයකටම වඩා වෙනස් අනන්‍යතාවක් සහිතව මතුවී පෙනෙනවා. ඒකට හේතුව තමයි ඔහු සංගීතඥයකු හැටියට සංගීතඥයාගේ භූමිකාව ගීත නිර්මාණය තුළ තිරසරව සලකුණු කිරීම.”

ඔහුගේ අදහස් දැක්වීමෙන් පසු ආචාර්ය කේමදාසයන්ගේ පටිගත කළ දර්ශනයක් විකාශනය විය. එහි කේමදාසයන් මෙසේ කීවේය.“ බ්‍රටෝල් බ්‍රෙෂ්ට් හිට්ලර්ට විරුද්ධව කවි දාහක් ලිව්වා. ඒ කවි දාහ ලිව්වට පස්සේ බ්‍රෙෂ්ව හිට්ලර් විසින් ඒ රටින් පිටුවහල් කළා. හිට්ලර්ට එරෙහිව; යුද්ධයට විරුද්ධව බ්‍රෙෂ්ට් ලියපු කවි දාහෙන් කොටසක් මේ ගායනා කරන්න යන්නේ. මීට පෙර මේ කවි පෙළ 1982දී විතර මං ඉදිරිපත් කළේ. ඒ ඉදිරිපත් කරපු වෙලාවේ එයට සහභාගි වුණු ශිල්පීන් කිහිප දෙනකුට තමන්ගෙ රස්සාවල් අතහැරලා යන්න වුණා. මේ රූපවාහිණියත් මට තහනම් ප්‍රදේශයක් වුණා. මේ ගීතයෙන් බ්‍රෙෂ්ට් කියනවා, ලෝකයේ හැම ඒකාධිපතිවාදියෙක්ම බලය ලබාගන්න ඕන වුණාම ජනතාව ළඟට ගිහිල්ලා කකුල් දෙක අල්ලල වැඳල සේරම කරලයි බලය ලබා ගන්නේ. බලය ලබා ගත්තට පස්සේ ඒකාධිපතිත්වය රැකගන්න ජනතාවට කියනව වඳින්න කියලා. ජනතාවට තමයි කියන්නෙ වන්දිභට්ඨකම් කරන්න කියලා. බ්‍රෙෂ්ට් මෙහෙම කියනවා. “ ලෝකයේ කොන්ද කෙළින් තියාගෙන ඉන්න පුළුවන් කලාකරුවන්ට මං මේ කියන්නේ. උඹලා කීපදෙනෙක් හරි ඉන්නව නම් ජනතාව දැනුම්වත් කරපල්ලා. ජනතාවට වඳින්න දෙන්න එපා. වැන්දා ඇති. ජනතාව දැනුම්වත් කරන්න” ඔහු මේ කවි පෙළ අවසන් කරනවා ඕනෑම කාලයකට හරියන විදියට.

“මිනිසා කවුද යන වග
මිනිසකු ලෙසින් දැක
පල්හොරු අමනයින් එක්කර එකට බැඳ
වනසා දැමිය යුතු කාලය එළඹ ඇත.”

කේමදාස මාස්ටර් සංධ්වනි, ඔපෙරා හා කැන්ටාටා ඔස්සේ ගීතයෙන් ඔබ්බට සංගීතය ගෙනයන්නට බොහෝ සේ වෙහෙසුණි. හේ විවිධ පර්යේෂණාත්මක සංගීත නිර්මාණ මඟින් ඒ සඳහා යොමු විය. කේමදාස මාස්ටර්ගේ ඔපෙරා ගණනාවකට පෙළ රචනයෙන් සම්මාදම් වූ එරික් ඉලයප් ආරච්චි දැක්වු අදහස් සැකෙවින් මෙසේය. “කේමදාසගේ සංගීත බුද්ධියත් සංගීත පෞර්ෂයත් දෙකම රැඳිලා තියෙන්නේ සංගීත සංරචකයෙක් හැටියටයි. නැතිනම් මියුසික් කොම්පෝස කෙනෙක් හැටියටයි.

මොකද ලෝකයේ සංගීතය තියෙන්නේ කොම්පොසින් තුළයි. එය පෙර අපර දෙදිග තුළ පවතින්නේ ඒ ආකාරයටයි. මේ සංගීත සංරචනය සම්බන්ධයෙන් කේමදාස ශූරීන් දක්වන ලද අතිමහත් හැකියාව තුළ තමයි සංගීතඥයෙක් හැටියට සංගීත බුද්ධිය සහ සංගීත පෞර්ෂය ප්‍රකට වෙන්නේ. තමන්ගේ සංගීතය කොතරම් අපූර්ව වුණත් ඔහු තේරුම් ගෙන තිබුණා; අපේ වාදකයන්ට සහ වාදක මණ්ඩලවලට ඒ වැඩේ කරන්න පුළුවන් බව. සමහර අවස්ථා තිබුණා අපේ සංගීතඥයන් වාදකයන් සහ බටහිර වාදකයන් සමඟ පවා සසඳලා වාදකයන්ගේ අපූර්වත්වය සහ සුළු බලපෑමකින් ඔවුන් වෙනස් කළ හැකි ප්‍රමාණය තක්සේරු කර ගන්න. මෙහිදී අපට පෙනී යන කාරණයක් තමයි මේ සංගීතය එකතු කිරීම බටහිරටත් අලුත්; පෙරදිගටත් අලුත්. මෙහෙම දෙයක් වාර්තා වෙන්නෙ මධ්‍යකාලීන යුගයේ සංගීතය තුළයි.

ඒක පෙර අපරදිග සම්ප්‍රදායන් දෙකේදිම එහෙමයි. මේ ෆියුෂන් කිරීම වෙන්නේ ඒ දෙකටම ආගන්තුකවෙලා ඒ දෙකේම සම්ප්‍රදායන් එකතු කරමින්. මේ එකතු කිරීම කොයිතරම් අපූර්ව දෙයක්ද කියනව නම් මෙවැනි දෙයක් සංගීත ඉතිහාසය තුළ සිද්ධ වෙන්නේ අප්‍රිකානු සංගීතය හා කැරීබියානු සංගීතය සම්බන්ධයෙන් පමණයි. කේමදාසත් ඒ විදියේ අලුත් සොයා ගැනීමක් කරනවා. එය පැහැදිලිව සටහන් වෙච්ච තැනක් තමයි අග්නි ඔපෙරාවේ ශ්‍රියා ආර්යාව. එය නැවත වියට්නාමයෙදී ගායනා කළා. එතකොට එක් විචාරකයෙක් අදහස් දකවල තිබුණා. ඔහු කිව්වා; මෙවැනි සංගීත අභිලාශයන් ආසියාවේ ඇති බව දැනගත්තේ ඒ මොහොතේ කියලා. ඉන් පෙනී යන්නේ කේමදාසයන්ගේ සංගීතය තුළ තිබූ අපූර්වත්වයයි.”

අනතුරුව අදහස් දැක් වූ ගයාත්‍රී කේමදාස සිය පියාගේ සංගීත ඥානය දකින ආකාරය මෙසේ විස්තර කළාය. “මෙවැනි සංධ්වනි කරන්න, ඔපෙරා කරන්න, කැන්ටාටා කරන්න පසුබිම තාත්තට කොහෙමද ආවේ කියන කාරණය අදටත් මට දැනෙන්නේ විස්මයක් විදියට. පිටරට ගිහින් ඉගෙනගන්නකොට පේනවා, මේ වගේ කොන්සර්ට් එකක් ඔපෙරා එකක් හැමදාම ඒ වටේ තියෙන දේවල්. හැමදාම මේ වගේ කොන්සර්ට් එකක් ඔපෙරා එකක් බලන්න යන්න පහසුකම් ඒ රටවල තියෙනවා. අනෙක් අතින් ඉතිහාසය පුරාම ඒගොල්ලන්ගේ සංගීතය හැඩගැහිලා තියෙන්නේ ඒ විදියේ නිර්මාණ කරන්න. ඉතින් එහෙම දේවල් නැති රටක මේ වගේ දේවල් තාත්තා රසිකයන්ට ජනතාවට හඳුන්වා දුන්නේ කොහොමද? ඊට මුල පෑදුනේ කොහොමද කියන එක ගැන මට අදටත් තියෙන්නේ විස්මයක්. ”

කේමදාස මාස්ටර්ගේ නිර්මාණ චාරිකාව මෙනෙහි කරද්දි සිනමා සංගීතය සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ සිනමා සංගීතය ඒකාකාරී තලයකට පත්ව තිබූ අවස්ථාවක ඒ තත්ත්වය වෙනස් කිරීමට වෙහෙසුණු ලාංකේය සංගීතඥයන් අතර පෙරමුණේ සිටින සංගීතඥයා ප්‍රේමසිරි කේමදාසය. මාස්ටර් සහ සිනමා සංගීතය පිළිබඳව අදහස් දක්වමින් මහචාර්ය සමන්ත හේරත් පැවසුවේ

“කේමදාසයන්ගේ නිර්මාණ සන්ධිස්ථායක් ලෙස දැක්වුවහොත් ‘නිධානය’ ‘ගොළු හදවත’ සිරිමැදුර’ මේ කිසිදු සිනමා පටයක එකදු ගීතයක්වත් නොවූ බවත් නිධානයේ සංගීතය අති විශිෂ්ටතම සංගීතය හැටියට විචාරක බුහුමණට පාත්‍ර වූ බවත්ය. සිනමා ගීත හැටියට ‘බඹරු ඇවිත්’උදුම්බරා ගීතයත්, ‘හංසවිලක්’ චිතපටයේ එන හිමින් සැරේ පියාවිදා ගීතයත් තුළින් කේමදාසයන්ගේ විශිෂ්ටත්වය වටහාගත හැකි බව” ද හෙතෙම පෙන්වා දුන්නේය.

මීළඟ අදහස් දැක්වීමට ප්‍රථම ඔහු හඳුන්වා දෙමින් සමන් ආතාවුදහෙට්ටි මෙසේ පැවසීය.

“1989 විතර ඉතා තදබල විදියට රට පුරාම භීෂණය පැතිරී තිබුණු කාලේ මම රාජ්‍ය උත්සවයක නිවේදන කටයුතු කරමින් එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා හඳුන්වා දීමට කවියක් කිව්වා. උපුටාගත් කවියක්. “කඳු කවුළුවෙන් ළා හිරු එබෙනා පැයට - දැක ගන් යෞවනය ගිනි ගත් ටයර යට” ඒ අවස්ථාවේදී මෙය බොහෝම ආන්දෝලනයට ලක් වූණා. මෙන්න මේ කවිය ලිව්ව රචකයා අද ඉන්නවා අපේ මණ්ඩපයේ. විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ශාමන් රාජෙන්ද්‍රජිත්. ඔබ මේ කවිය ලියන්නේ ‘විනිවිද’ සඟරාවට කේමදාස මාස්ටර් මේ කවිය ගීතයක් බවට පත් කරනවා. කොහෙමද මේ පලහිලව්ව වුණේ.”

“මම කවදාවත් ගීතයක් ලියපු කෙනෙක් නෙමෙයි. කාව්‍ය රචනය කෙරෙහි මට ආසාවක් තිබුණා. 89-90 කාලේ මම වෛද්‍ය ශිෂ්‍යයෙක්. තංගලු වේල්ල පදනම් කරගෙන තමයි ඔය කවිය ලියැවෙන්නේ. තංගල්ල නගරයේ සිට තිස්ස හම්ඹන්තොට පැත්තට යනකොට වෙල වගේ තැනක් හමුවෙනවා. ඒකතමයි මහපාර; ඒ දෙපැත්තේ මාර ගස් දෙකක් තියෙනවා. මේ මාර ගස් යට තරුණයන් දැවිල මිය ගිය කාලයක් තිබුණා. ඒ කාලේ විශ්වවිද්‍යාල තරුණයන්, ග්‍රාමීය තරුණයන් අරගලට මැදිවෙලා සමූහයක් මිය ගියා. මම වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට හරිම සංවේදී වුණා.

ඒ ප්‍රදේශයේ මගේ යාළුවෙක් ජීවත් වුණා. ඔහුගේ අයියා කෙනෙක් එ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධවෙලා හිටියා. මට හිතුණා මේ මනුස්සය මේ අයට අහුවුණොත් මොනව වේවිද කියලා. ඒක තමයි මේ කවියට නිමිත්ත වුණේ. මං මේක විනිවිද සඟරාවට යොමු කළා. කවිය එහි පළ වුණා. ඒ කතාව එතනින් ඉවරයි. දවසක් මගේ ඥාතියෙක් මට ලියුමක් ගෙනත් දුන්නා. ලිපිය ලියල තියෙන්නේ එවක සරසවි සිසුවකු වුණු ජයන්ත අමරසිංහ. ඔහු කියනවා මේ කවිය හරිම ලස්සනයි. අපි මේක මාස්ටර්ට ලබාදුන්නා. මාස්ටර් ඒක ගීතයක් විදියට නිර්මාණය කළා; ඇවිත් මාස්ටර්ව හමුවෙන්න කියලා. මට ඒ කාලේ ගාල්ලේ ඉඳලා කොළඹ එන එක විශාල තර්ජනයක්. ඒත් මං බොහෝම අමාරුවෙන් මේ උතුම් පුරුෂයා බලන්න ආවා. ඒක මගේ ජීවිතේ ලැබුණු ලොකු භාග්‍යක්. මං ඇවිත් මාස්ටර් හමු වුණා. ගේ ඇතුළේ සින්දුව අහන්න බැහැ. මාස්ටර්ගෙ කාරයේ තිබුණු කැසට් රෙකෝඩරයෙන් සින්දුව ඇහුවා. මාත් පළමු වතාවට ඒ ගීතය එදා අහන්න ගත්තා. මේ ගීතය මාස්ටර්ට ගියේ එහෙමයි.”

මෙම වැඩසටහනේදී ටී.එම් ජයරත්නයන්, ප්‍රදීපා ධර්මදාස, සුලෝචන වික්‍රමසිංහ යන කලාකරුවෝ ද අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල කේමදාසයන් පිළිබඳ සිළුමිණට අදහස් දක්වමින් කියා සිටියේ “ ප්‍රේමසිරි කේමදාස නම් කලකරුවා අපේ රටේ හිටිය ජ්‍යේෂ්ඨ සංගීතඥයන් අතර කැපී පෙනෙන සංගීතඥයෙක්. ඒ කලාකරුවකු හැටියට තම අදහස් ප්‍රකාශ කිරීමේදී එතුමා තුළ තිබුණු එඩිතරකම, නිර්ව්‍යාජකම හා නිර්භීතකම. ඕනෑ තරම් කලාකරුවන් අප අතර සිටියත් ඔහු මෙන් ඕනෑම කෙනෙක් ඉදිරියේ නිර්භයව තම මතය ඍජුව ප්‍රකාශ කරන කෙනෙක් මම දැක නැහැ. එය එතුමා තුළ මා දුටු විශේෂත්වයයි. දෙවැන්න එතුමා සිය සංගීත කාර්යය නිවැරදිව ඉටු කළා. ඒ වගේම සිය ගෝල බාලයන්ට සහ මතු පරපුරට ඒ මඟ යන්න මඟ පෙන්වූවා. සංගීතඥානය හෝ ගායනය හැමෝ තුළම එක ලෙස පිහිටන්නේ නැහැ. එය ඔවුන්ට ලැබෙන මහඟු ධනයක්. නමුත් එය නිවැරදිව ඔපමට්ටම් කර නොගත්තොත් ඉන් ඵලක් නැහැ. කේමදාස මාස්ටර් ඔවුන් තුළ ඇති ඒ මාහර්ග සම්පත ඔපමට්ටම් කරල පවත්වා ගෙන යන ආකාරය විනයානුකූලව තම සිසු පරපුරට දායාද කර දුන්නා. අද ඒ අය ක්ෂේත්‍රයේ කටයුතු කරන ආකාරයෙන් අපට ඒ බව පේනවා. ඒ අනුව එතුමා මේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටු කර තිබෙන මෙහෙය අග්‍රගන්‍යයි.”

එවැනි විස්මය දැනවිය හැකි කලාකරුවන් නැවත නැවතත් මේ බිමේ ඉපදේවා යන්න අපේ පැතුමයි.

 

Comments