2022 ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් නිර්දේශිත කෘති 12
කෘතිය - සන්ධ්‍යානන්දය
කර්තෘ - කීර්ති වැලිසරගේ
සරසවි ප්රකාශනයකි
විමසීම් - 077 039 0052
මේ කෘතිය සැටවිය පිරුණ විශ්‍රාමික චරිතයක් වටා ගෙතුණකි. කතුවරයාගේ සෙසු නවකතා සමඟ සසඳන විට මෙය අත්දැකීමක් වශයෙන් මෙන්ම ආඛ්‍යාන රීතිය අතින් ද වෙනස් තැනක පිහිටි නිර්මාණයකි.
මෙතෙක් ඔහු විසින් ප්රස්තුත නොකර ගන්නා ලද වස්තු විෂයක් මත මෙය නිර්මාණය වී තිබීම ඊට හේතුවයි. නවකතාවක් යනු පවත්නා සමාජයේ කාබන් කොපියක් නොව ඉතිහාසයේ ප්‍රතිකථනයක් බව කතුවරයාගේ අදහසයි.
කෘතිය - නිල් කට්රොල්
කර්තෘ - මොහාන් රාජ් මඩවල
බිසෝ ප්රකාශනයකි
විමසීම් - 070 434 4000
කතුවරයා මේ කෘතිය සඳහා පාදක කරගත් පරිකල්පනීය විමසීම වන්නේ ජීවිතය සහ කාලය නම් අවිනිශ්චිතයයි. උපුලි නම් කුල හීන පවුලක උපන් රුවැති ගැහැනිය රජ බිසවක වූ පසුබිමේත් සිය උත්පත්තිය හේතු කොට ගෙන මුහුණපාන සමාජ ගැටලු දේශපාලන බලය මත තබා වුව පරාජය කළ නොහැකි තරම් ඒවාය. කෘතියේ විශේෂත්වය වන්නේ මේ සෑම ප්රතිනිරූපණයක්ම කතුවරයා සිය පරිකල්පනයෙන්ම උපදවා ගත් දෑ වීමයි. ඒ පරිකල්පනය ද ඔහුටම විශේෂ වූවකි.
කෘතිය – සී +
කර්තෘ – සුරත් ද මැල්
සරසවි ප්රකාශනයකි
විමසීම්- 077 312 4505
නවකතාවට පාදක වන්නේ 2000 දශකය ආරම්භයේ සිටම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති වෙමින් තිබූ පරමාදර්ශ රහිත සමාජ සංස්කෘතිය බව පැහැදිලිය. එහි ප්‍රධාන චරිතය වන දිල් හෙවත් දිල්හානිගේ ඛේදවාචකය පෙන්වාදීමට ඔහුට පැහැදිලි අවශ්‍යතාවක් තිබුණු බවක් පෙනේ. විශ්වවිද්‍යාල ඉතිහාසයට අයත් වන දිල් හෙවත් දිල්හානිගේ ඉරණම හුදු පුද්ගල ඛේදවාචකයකින් අවසන් වී ඇති අතර ඒ නිසාම දිල්හානිගේ මරණය කතාවේ අවසානය බවටද පත්ව ඇත.
කෘතිය - ප්‍රේමානිශංස
කර්තෘ - චන්ද්‍රරත්න බණ්ඩාර
සරසවි ප්රකාශනයකි
විමසීම් - 1 416 994 2393
‘ප්‍රේමානිශංස’ යනු සිය වියපත් වීමට සාපේක්ෂව ලැබුණු ලෝකාවබෝධය අනුසාරයෙන් වත්මන් තාරුණ්‍යය විමසීමක් බව කතුවරයාගේ අදහසයි. තමාට විෂය වූ චරිත, සම්භාෂණ, සමාජ දේශපාලන පර්යේෂණ හා දෙස් විදෙස් කලා කෘති රාශියක් සමඟ වසර පහකට වැඩි කාලයක් සංස්පර්ෂය විඳිමින් ප්‍රේමානිශංසයේ කලලය නිර්මාණය කර ගත් බවත් ඒ කලලය දරුවකු දක්වා විකාශනය වූයේ කලලයක් දරුවකු දක්වා වැඩෙන සම්බන්ධයක් ලෙස බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
කෘතිය - හින්දොස් මාලේ
කර්තෘ - සේපාලි මායාදුන්නේ
මියුසස් බුක්ස් ප්රකාශනයකි
විමසීම් - 077 741 5912
ජනශ්‍රැතියේත්, වංසකථාවලත් වංශවතුන් වෙනුවෙන් ලියැවුණ මාල කාව්‍යයක් සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ලියා තබන්නේ කෙසේද යන්න මේ කෘතියෙන් මතුකර දක්වන්නට කතුවරයා උත්සාහ දරා ඇත. ඒ අනුව බොහෝ දෙනා සඟවා තැබූ සැබෑව තුළ ගිලෙන මනුෂ්‍යත්වය නිරාවරණය කරන්නට ඔහු මේ නවකතාව උපයෝගි කරගෙන ඇත. මේ ශෝකාත්මක කතාව මධ්‍යස්ථව පර්යේෂණාත්මක නවකතාවකට ගොනු කරන්නට කතුවරයා වෑයම් කර තිබේ.
කෘතිය - නකුල මුනි
කර්තෘ - එරික් ඉලයප්ආරච්චි
ඇස්. ගොඩගේ ප්රකාශනයකි
විමසීම් - 071 681 2949
සංස්කෘතික අධිෂ්ඨානයක් මුල් කර ගනිමින් ජීවිතය පවත්වා ගෙන යන චරිත රැසක් ඔස්සේ වර්තමාන සංස්කෘතික දේශපාලනයේ අඳුරු අවිඥානක තලය විවෘත කර පෙන්වන නවකතාවක් ලෙස සමකාලීන ලාංකේය සමාජය පිළිබඳ විවාදාත්මක කියවීමකි. සමකාලීන සමාජයේ අති විසකුරු සමාජ සංගීතය ශ්‍රාවක සවනට යොමු කිරීමට දේවාර් සූර්යසේන යුගයේ සිට අද දවස දක්වා පැතිරෙන සිංහල සංගීතය රූපකයක් ලෙස යොදා ගැනීමට කතුවරයා සමත් වී ඇත.
කෘතිය - චක්‍රවර්ති
කර්තෘ - චූලාභය ශාන්ත කුමාර හේරත්
ෆාස්ට් පබ්ලිෂින් ප්රකාශනයකි
විමසීම් - 071 421 7532
ඉතිහාසයත් වර්තමානයත් යාකරමින් කළ ප්රබන්ධමය අත්හදා බැලීමක වන මේ නවකතාවට තේමා වන්නේ දීර්ඝ ඉතිහාසයක් තුළ රාජකීයන් අතර තිබුණා යැයි සැලකෙන කිසියම් රහසක් පිළිබඳ කල්පිතයකි. එය සීතාවක රාජසිංහ රජ සමයේ සිට වර්තමානය දක්වාම දිග හැරෙන ප්රබන්ධයකි. බලය, බලය පවත්වා ගැනීම සඳහා කරන උපක්‍රම, ඇදහිලි සහ විශ්වාස මෙන්ම රට ජාතිය සහ ආගම පිළිබඳ සාමාන්‍ය රට වැසියන් තුළ ඇති භක්තිමත් බව සහ කැපවීම මේ කෘතියට පාදක වී ඇත.
කෘතිය - මගේ චිකාගෝ හදවත
කර්තෘ - ශාමෙල් ජයකොඩි
සරසවි ප්රකාශනයකි
විමසීම් - 1 437 776 0725
විටක කළු ඇමෙරිකානු මිතුරන් හා ගැටෙමින්, වෙළෙමින්, පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකු ලෙසත්, විටක උන්මාදනීය කල්පිතයක දිවි ගෙවන සෙල්ලක්කාර යෞවනයකු ලෙසත්, විටක තම මවුපියන් හා බැඳුණු ලාංකික චින්තනය මැදින් අපූර්වත්වය සොයා ඇදෙන මානවකයකු ලෙසත් මෙම නවකතාව ගැන කතුවරයා අපට පවසයි. අප්‍රිකා- අමෙරිකානු ජීවන රටාව තුළ සිටින ලාංකික පවුලක් සතු නොපසුබට වීර්ය, වේදනාත්මක අතීත සැමරුම් ගැන කියවෙන අතරම මෙය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදෙකලාව හා අධ්‍යාත්මික විමුක්තිය ගැන සමාජ සංවාදයක්ද වේ.
කෘතිය - දෙවැනි ගැහැනිය
කර්තෘ - මංජුල සේනාරත්න
විමසීම් - 00 33 6 23 75 8083
කතුවරයාගේ හයවැනි නවකතාව වන මෙය ආදර කතාවකි. කිසි දිනක හෙළි නොකරන ලද රහසක් සිතේ තබාගෙන සිටි අඹු සැමි යුවළකගේ කතාවකි. පැරිස් නගරයේ ජීවත් වන ලාංකික ප්‍රජාව අනියම් ප්‍රේමය දෙස හෙළන බැල්ම ගැන ගෙවුණු කතාවකි. දෙවැනි ගැහැනියක් වෙත යන්නට ඇය කෙරෙහි වන ආදරය පමණක් නොව සිරුරේ සෑම අංශුවක කැටිවුණු ධෛර්යය ද එක්තැන් කර ගත යුතු සංකීර්ණ සංග්රාමයකි.
කෘතිය - සංසක්කාරී
කර්තෘ - මනෝහරි ජයලත්
විදර්ශන ප්රකාශනයකි
විමසීම් - 071 731 7171
“උත්තර සළුවක් ගලවා පපුවට වීසිකිරීම හැමෝටම කළ හැක්කක් නොවේ. එමෙන්ම හැම උත්තර සළුවම වටිනා වස්තු ආරක්ෂා කරන්නේත් නැත. එහෙයින්ම අතුරු පද ලියන අතරතුර ඩිංගිත්ති මුල්ගම්පොල පෙලවහේ යවා කොහොමදැයි මටත් හිතුනා. කා එක්ක පෙලවහේ ගියත්, නොගියත් ඩිංගිත්ති සංසක්කාරියක්.“ මේ කතාවේ අවසාන අකුර දක්වාම සිය පෑන, ඩිංගිත්ති ස්වයං වරයට ඔසවා ඇති කතුවරියගේ මේ නවකතාව හුදෙක් ඉතිහාස කතාවක් නොව ගැඹුරු වර්තමාන කියවීමක් ද සහිතය.
කෘතිය - කලල් දිය
කර්තෘ - දීප්ති මංගලා රාජපක්ෂ
ඇස්. ගොඩගේ ප්රකාශනයකි
විමසීම් - 071 420 5993
මේ නවකතාවට වස්තු විෂය සපයන්නේ කතුවරිය විසි වසරක් ගුරු සේවයේ නියළුණ කිඹුලාපිටිය ප්‍රදේශයේ දරුවන්ගේ දිවි පෙවෙතයි. කලල් දියේ ඉපිද එහි ඇලී ගැලී නොසිටම පිටව යන තාරුණ්‍යය ගැනත් ඒ දියේම එරී ජීවිත අයහපත කරා ඇදී ගිය පිරිස් තාරුණ්‍යය පොදු ගැටලු රැසකට මුහුණපාන අයුරුත්, ශ්‍රම සූරාකෑමට ලක්වන අයුරුත්, සිහින හඹා යන තාරුණ්‍යයේ ස්වභාවයත් කලල් දියේ ගැබ්ව ඇත. ඒ අතරින් සෙමින් හිස ඔසවා ලෝකය දකින නෙළුමක් බඳු තරුණියකගේ අප්‍රතිහත ධෛර්යයත් මෙයට වස්තු බීජ වී ඇත.
කෘතිය - කැන්ඩි මහල්
කර්තෘ - සුනේත්‍රා රාජකරුණානායක
සරසවි ප්රකාශනයකි
විමසීම් - 077 629 4262
මෙම කෘතිය විනිශ්චය කිරීමට අදාළව විරෝධතාවක් මතු කර තිබීම හේතුවෙන් මේ ගැන සටහනක් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියෙමු.
2022 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘති
කෙටිකතා
කෘතිය - සංසාර කමටහන්
කර්තෘ - සුනිල් වික්‍රමසිංහ
ඇස්. ගොඩගේ ප්රකාශනයකි
විමසීම් - 071 222 2986
මෙම කෙටිකතා සංග්‍රහය සඳහා මූලික වශයෙන් විෂය බවට පත් වන්නේ පෙරදිග දර්ශනයෙහි මූලික ඉගැන්වීම වන සංසාරය වන අතර, එහි සිදු විය හැකි හේතු දාමයක ක්‍රියාවලියයි. තෝරාගත් මනුෂ්‍ය හා මනුෂ්‍ය නොවන චරිත ආශ්රයෙන් යථාර්ථවාදී මෙන්ම පශ්චාත් යථාර්ථවාදී ධාරණයකින් මෙම කතා වියමන නිර්මාණය වී ඇත. සාමාන්‍ය පාඨකයන් ඉලක්ක කරගත් රීතියකින් ලියා ඇති අතර, එකටෙක ඇමිණූ මාලයක් සේ සංසාරය යැයි කිව හැකි අර්ථමය පුරුකකින්/ආඛ්‍යාන ප්‍රයෝගයකින් සියලු කතා ගෙතී ඇත. එහෙත් තනි තනිව කතා රසවිඳීමට එයින් කිසිදු බාධාවක් ඇති නොවේ. සයිමන් නවගත්තේගම සූරින් විසින් ඇති කරන ලද දේශජ පශ්චාත් යථාර්ථවාදය නැවත කරළියට ගෙන ඒම මෙන්ම පෙරදිග දර්ශනයෙහි මූලික ඉගැන්වීම වන සංසාරයත්, එහි ස්වභාවයත් මෙහි මූලික ආඛ්‍යාන ප්‍රයෝගය බවට පත්වී ඇත.
කෘතිය - කළු උස මනුස්සයෙක්
කර්තෘ - ප්‍රින්ස් සේනාධිර
විදර්ශන ප්රකාශනයකි
විමසීම් - 077 123 1584
කෙටිකතාකරුවකු වශයෙන් හෘද සංවේදී විඳගැනීම් අභිමුව මිනිස් හැඟීම් සහ හැසිරීම්හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග්‍රහණය කර ගන්නා කතුවරයා, ඒවා කෙටි කතා රචනා ශිල්පයේ සංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඥ්ඥාණයේ ඉසියුම් තැන් මනාව ග්‍රහණය කර ගනිමිනි. නූතන වාණිජ ප්රාග්ධනය හා ඒ අනුසාරයෙන් නිර්මිත දේශපාලන බල අධිකාරය පදනම් කර ගත් මානව හා ආර්ථික සබඳතා තුළ, ස්වකීය පැවැත්ම අර්බුදයට යන සාම්ප්‍රදායික මානව සාර්ධර්ම හා ආකල්ප වල ඛේදනීය ඉරණම මෙහි බොහෝ කෙටිකතා තුළ අන්තර්ගත වෙයි. කෙටි වාක්‍ය නිර්මාණය තුළින් සිද්ධීන්හි ගලායෑමේ වේගය තමන්ට අවශ්‍ය පරිදි උපක්රමිකව පාලනය කරන අතරම ගොඩ නගන සංකේත හා උපමා රූපක, විවිධ දිශානතීන් හරහා පරිකල්පනය මෙහෙයවීමට පාඨකයා පොළඹවන සුළුය.
කෘතිය - වැසිකිළි සෝදන්නාගේ දුව වීම නිසා
කර්තෘ - මහින්ද රත්නායක
සරසවි ප්රකශනයකි
විමසීම් 071 808 6167
ආකෘතියේ අපූර්ව වෙනසක් මුණගස්වන අවස්ථාවක් ලෙස ‘වැසිකිළි සෝදන්නාගේ දුව වීම නිසා’ කතාව හඳුන්වා දිය හැකිය. මෙය එක්තරා ආකාරයකින් පශ්චාත් යථාර්ථවාදී විචාර ප්‍රවණතාවල එන ලේඛකයා කතාවේ චරිතයක් බවට පත්වීම යන ලක්ෂණය තවදුරටත් වෙනස් මානයකින් භාවිත කිරීමක් සේ හඳුන්වා දිය හැකිය. මෙම කෙටිකතාවේ රචකයා වනුයේ එහි සිටින කාන්තා චරිතය වන සුජීවා ය. සැබැවින්ම කෙටිකතාවේ රචිකාව ලෙස කතුවරයා කරළියට නංවන සුජීවා නැටුමට, ගැයුමට බුහුටි, නිර්මාණාත්මක හැකියා සමුදායයක් සහිත තැනැත්තියක වීම එම භාෂායෝජනය සාධාරණීකරණය කිරීම ද කරයි. ගම සහ නාගරික මුඩුක්කු පරිසරය ලේඛකයා පැහැදිලිව වෙනස් කොට මවනුයේ භාෂාවේ ශක්‍යතාව සහ ප්රාස්ථවික බව අපූර්වාකාරයෙන් භාවිත කරමිනි. එය ලේඛකයාගේ “භාෂා, ප්‍රාදේශීය භාෂා, උප භාෂා” යන භාෂා විධීන්ගේ පර්යේෂණාත්මක හැසිරවීම පෙන්වන අවස්ථාවකි.
කවි
කෘතිය - ලියසැව් ලිහී ගිය ගනසාමඩුලු
කර්තෘ - ලක්ශාන්ත අතුකෝරල
විමසීම් - 071 978 2829
80 දශකයේ අවසානයේ සිටම විවිධ සමාජ සංසිද්ධීන් ඇසුරු කරමින් රස සමාහිත වූ කාව්‍ය ආරක් ප්රදානය කළ කවියෙකි. මුල්කාලීනව පුවත්පත් කවි පිටු හරහා සිය කවි ප්‍රකාශයට පත් කළ ඔහු පසුව කැපී පෙනෙන කාව්‍ය ග්රන්ථ කිහිපයකින්ම සිය කවීත්වය පල කිරීමට සමත් විය. විශේෂයෙන්ම රස සමාහිතව සමාජ සංසිද්ධීන් විමසීමට ඔහු දක්වා ඇති සාමාර්ථය නිසා සම්මානිත කවියකු වශයෙන් ක්ෂේත්රය තුළ තහවුරුවීමට සමත් වී ඇති බව පැහැදිලිය. මෙම කෘතිය ද ඊට මනා නිදසුනකි. කවියකු වශයෙන් ඔහු දක්වන විශේෂත්වය වන්නේ සිය කවිත්වය තුළම බහා නිර්මාණශීලි ආරකින් තෝරා ගත් ඒ ප්රස්තුතය විකසනය කරන ආකාරයයි.
කෘතිය - නාරි සූත්‍රය
කර්තෘ - අනුරාධා නිල්මිණි
විමසීම් - 077 300 1543
මෑතකාලීනව මතුවූ කවීන් අතර යම් ස්ථානගත කිරීමක් අත් කර ගත් කිවිඳියකගේ කෘතියක් වශයෙන් නාරි සූත්‍රය හඳුන්වා දිය හැකිය. වර්තමාන සමාජ අත්දැකීම් සමඟ ඇති කරගන්නා ගැළපීම්, විමසීම් තමන්ටම හිමි තැනක සිටිමින් විමසා බලන සැටියකි ඇගේ කවි තුළින් පෙනී යන්නේ. බොහෝ විට නූතනකරණය වී ඇති නාගරික සමාජයේ එදිනෙදා මෙන්ම පොදු සංසිද්ධීන් තමන්ට පෙනෙන ආකාරයට වඩා තමන් දකින්නට කැමැති විලාසයකින් ඉදිරිපත් කරන සැටියක් ඇගේ කවීත්වය තුළ දැකිය හැකිය.
කෘතිය - ගිනි වැදුණු පියාපත්
කර්තෘ - සඳරැසි සුදුසිංහ
විමසීම් - 071 3134783
කතුවරියගේ උපතට වසර කීපයකට පෙර සිදුවුණු මහා ඛේදවාචකයක් වූ යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීම ඇයට මෙන්ම දකුණේ වූ මිනිසුන්ගේ ද හද පෑරු සිදුවීමක් විය. එය කවදාකවත් සමාවක් දිය නොහැකි මෙන්ම සමාවක් අයැදිය නොහැකි වරදක් බවත් ඇයගේ අදහසයි. ඒ දුක පිටකරන්නට කවිය මාධ්‍යයක් කරගත් අතර එය ‘ගිනි වැදුණු පියාපත්’ ලෙස සමාජගත කළ සඳරැසි සුදුසිංහ, සිය කෘතිය සඳහා තොරතුරු සහ සාක්ෂි සොයන්නට දුෂ්කර පර්යේෂණ ක්‍රියාවලියක නිරත වූවාය. කවි එකසිය පනහක් ඉක්මවා ලියැවුණු මේ නිර්මාණ ක්‍රියාවලියේදී ඇතැම් තොරතුරු සොයා ගන්නට ලෝකයේ හතර දිග්භාගයේ විසිරී සිටින මිනිසුන් සම්බන්ධ කර ගැනීමටත් ඔවුන් හඹා යන්නට සිදුවූ බවත් ඒ සියල්ල සිය සතුට බවට පෙරළා ගත් බවත් පැවසුවාය.
2022 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ සැප්තැම්බර් 10 වැනි සෙනසුරාදා පස්වරු 3.00ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත් වීමට නිමිතය.