දරුවන්ගේ හිත් තුවාල නොකර ප්‍රශ්න විසඳන හරි විදිහ | Page 2 | සිළුමිණ

දරුවන්ගේ හිත් තුවාල නොකර ප්‍රශ්න විසඳන හරි විදිහ

 

“මොකද කනස්සල්ලෙන් වාගෙ? ”

“ අපේ ළමයි දැන් අමුතු වෙලා වාගෙ කියලා මට හිතෙනවා.”

“ ඒ කිව්වෙ? ”

“ එයාලගෙ පිළිවෙළ වෙනස්. උපදෙසක් දුන්නත් ගාණකට ගන්නෙ නැති තරම්. අනෙක ආශ්‍රය කරන යාළුවො... අනේ මන්දා!”

මේ ගැටලුව බොහෝ සෙයින්ම නව යොවුන් වියට පිවිසෙන දරුවන්ගේ මවුපියන්ට අත් විඳින්නට සිදුවන්නකි. ඔවුන්ගේ හැසිරීම් රටා, ඔවුන් යමකට ප්‍රතිචාර දක්වන ආකාරය මවුපියන්ගේ මානසික සැනසිල්ල සිඳබිඳ දමන්නක් වී ඇත. අනෙක් අතට එය හරි අතට හරවා ගන්නට නොහැකි වුවහොත් එය දෙපාර්ශ්වයේම මානසික සුවතාවට දැඩි බලපෑමක් සිදු කරනු ඇත. කෙටියෙන් පවසතොත් සියලු මනෝ මන්දිර සිඳ බිඳ දමන්නට හේතු වනු ඇත.

දෙපාර්ශ්වයේ මේ අනවබෝධය ඉතා ඉක්මනින් විසඳා ගත යුතු ගැටලුවකි. එසේ කරන්නට නම් මුලින්ම සෙවිය යුත්තේ එසේ සිදු වන්නට මුල් විය හැකි කාරණා මොනවාද යන්නයි. බොහෝ විටම මේ සම්බන්ධයෙන් මවුපියන් නඟන එක් චෝදනාවක් වන්නේ තම දරුවන් මුරණ්ඩු වී ඇති බවයි. "අපි මොන දේකින් අඩුවක් කරනවාද, ඒත් ඇයි ළමයි මෙහෙම කැත්තට පොල්ල වාගෙ ඉන්නෙ? "ඒ, බොහෝ මවුපියන්ගේ චෝදනාවකි.

මා කල්පනා කරන අන්දමට “ඔවුන්ට මොන අඩුවක්දැයි ඇසීම හැම විටම සාධාරණ නොවේ. ළමාවිය හා නව යොවුන් විය දරුවන්ට ගැටලු ඇති බව මවුපියන් නොදැන සිටීමද ඒ හා සමානම බරපතළ තත්ත්වයකි. එමෙන්ම ඔවුන් ද යම් යම් මානසික හා පෞරුෂ ගැටලුවලට මුහුණ දෙන බව වැඩිහිටියන් වටහා ගත යුතුය. ඒ අවස්ථාවලදී ඔවුන්ට අවශ්‍ය වන්නේ අපේ සහායයි. එහෙත් ඒ වෙනුවට අපෙන් ලැබෙන්නේ තරවටුව හෝ දඬුවම නම් අර කී ගැටුම් ඇතිවනු වැළකිය නොහැකිය.

සාමාජයීය වශයෙන් දරුවන්ට ගැටලු රැසකට මුහුණ දෙන්නට ඉඩ ඇත. සම වයස් කණ්ඩායම්වල නොසැලකිල්ලට ලක්වීම, හුදෙකලාව, ආත්ම විශ්වාසය හීනවීම, කාංසාව, ආතතිය ඒ අතුරින් කිහිපයකි. පාසලේදී හෝ සමාජයේදී කායික, මානසික වද හිංසාවලට ලක්වීම, ඉගෙනුම හා මතකය පිළිබඳ ගැටලු , මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීහ ආදිය ඊට තරමක් බරපතළ ගැටලු ය. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය ලෙස දරුවකු ප්‍රචණ්ඩත්වයට හුරු වීම, සොරකම ආදී අපරාධවලට යොමුවීම පමණක් නොව කිසියම් පිළිසරණක් නැතිව සියදිවි නසා ගන්නට කල්පනා කරන තැනට පවා වැටෙන්නට ද ඉඩ ඇත. බාගවිට යම් දරුවකු අර වෙනස්කම, දරදඬුකම පෙන්වන්නේ අර කී පීඩාවක් නිසා වන්නට පුළුවන. එබැවින් ඊට ප්‍රතිචාර දැක්වීමේදී වැඩිහිටියන්ට මගහැර යා නොහැකි වගකීමක් තිබේ.

දරුවන් හා මවුපියන් එක් කරන මේ පාලම අබලන් වන්නට හේතු මොනවාද? බොහෝ විටම ඊට හේතු වන්නේ තේරුම් ගැනීමේ හා ප්‍රතිචාර දැක්වීමේ පරස්පරතාවයි. වඩාත් හොඳ කාරණය නම් එසේ වරදින්නට ඇති ඉඩකඩ මොනවාදැයි අපේ පැත්තෙන් කල්පනා කර බැලීමයි.

වැඩිහිටි දරුවකු යම් ගැටලුවක් සමඟ පැමිණි විට ඇතැම් මවුපියන් කරන්නේ වහාම තම පිළියම, නිගමනය ප්‍රකාශ කර ඊට කළ යුත්ත නියෝගයක් ලෙස ප්‍රකාශ කිරීමයි. ඇතැම් දරුවකු සම්බන්ධයෙන් මේ ක්‍රමය සාර්ථක වෙතත් , තවත් දරුවෙකුට එය අතෘප්තිකර ප්‍රතිචාරයක් වන්නට පුළුවන. බාගවිට ඔහු හෝ ඇය එන්නේ ඊට විසඳුමක් ලබා ගන්නට වඩා ඒ ගැටලුව ගැන වැඩිහිටියකුට පවසා සිත හෑල්ලු කර ගන්නට විය හැකිය. දරුවාගේ ගැටලුව හෝ පීඩනය අප තේරුම් ගත් බව හැඟී යාම පවා ඔහුට හෝ ඇයට සහනයකි.

බොහෝ දරුවන් පවසන අන්දමට ඔවුන්ට එබඳු අවස්ථාවකදී උපදේශ හෝ නියෝගවලට වඩා වැදගත් වන්නේ ඔවුන් හඳුනාගැනීමයි; තේරුම් ගැනීමයි. එබැවින් ප්‍රශ්නය ඔවුන් සමඟ සාකච්ඡා කර හරිහැටි තේරුම් ගන්නටවත් කල් වෙලාවක් නොගෙන වහා විසඳුමක් දෙන්නට යෑමෙන් සිදු වන්නේ එක්කෝ නව යොවුන් වියේ දරුවන් ඊළඟ වතාවකදී එබඳු ගැටලුවක් වැඩිහිටියා ළඟට ගෙන නොඒමය. එක්කෝ තමාට අභිමත අයුරින් මුරණ්ඩු ලෙස උත්තර සෙවීමට යෑමය. ඒ වෙනුවට " ඔයාට ඕනෑ ඒකට මගෙන් උත්තරයක්ද, එහෙමත් නැත්නම් ඔයාට ඕනෑ මං ඔයාගේ කතාව අහගෙන ඉන්න එකද ?" අසමින් ඔහුට හෝ ඇයට සමීප වන්නට හැකිනම් ප්‍රශ්නයෙන් භාගයක්ම වාගේ අහවරය. අප අතින් සිදුවන තවත් වරදක් වන්නේ දරුවන්ට ඉවසිල්ලෙන් සවන් දෙන්නට සූදානම් නොවීමයි. ඊට කාරණා කීපයක් හේතු වෙයි. මවුපියන් ගත කරන අධික කාර්යබහුල ජීවන රටාව තුළ දරුවන් සමඟ සමඟ කතාබහ කරන්නට විනාඩි පහක් දහයක් සොයා ගැනීම පවා ඇතැමුන්ට අසීරුය. අනෙක් කාරණය නම් දරුවන් ඉදිරියේ නම්‍යශීලී වන්නට ඔවුන්ට ඇති නොහැකියාව හෝ නොකැමැති බවය. එබඳු මවුපියන් වඩාත් කැමති තරවටුවකින්, අනතුරු ඇඟවීමකින් හෝ කඩිමුඩි උපදෙසකින් කතාබහ අවසන් කරන්නටය.

කලාතුරකින් දැකිය හැකි තවත් තත්ත්වයක් වන්නේ ඊර්ෂ්‍යා කටයුතු හෝ තරහ පිරිමහන අන්දමින් ප්‍රතිචාර දැක්වීමය. දරුවන්ට ඊර්ෂ්‍යා කිරීම කී සැණින් එහි යම් අමුත්තක් තිබෙන බව කවරකුට වුවත් සිතිය හැකිය. එහෙත් ඇතැම් විට චිත්තාභ්‍යන්තරයෙහි එබඳු හැඟීම් මතුවන්නට පුළුවන. යම් දරුවකු තමා තෝරාගත් කටයුත්තක තනිව යෙදෙමින් සාර්ථක අසාර්ථක බව සම සමව අත්විඳිමින් සිටින මොහොතක හදිසියේ මුහුණ දෙන්නට සිදු වූ ගැටලුවක් ගැන එබඳු මවුපියකුට පැවසූ විට " ඇද්ද උඹට ? හෝ " ඔහොම වෙලා මදි." යයි කියන්නට ඉඩ නැතුවා නොවේ. එහෙත් ඒ පුරුද්දකට ගන්නට හොඳ ප්‍රතිචාරයක් නම් නොවේ. එයින් දරුවා තුළ වැඩිහිටියා කෙරේ ඇති වන්නේ අප්‍රසාදජනක හැඟීමකි.

තවත් එක කාරණයක් වන්නේ යම් තරුණ දරුවකු සිය මවුපියන්ට යම් ගැටලුවක් ඉදිරිපත් කළ විට " අපි නම් අපේ තරුණ කාලේ මෙහෙමයි ..." තාලයේ පිළිතුරු සපයන්නට යෑමය. එය අසාර්ථක ප්‍රතිචාරයකි. මවුපියන්ගේ කාලයට වඩා අද දරුවන් ජීවත් වන කාලයත් සමාජයත් වෙනස්ය. එබැවින් ඔවුන් මුහුණ දෙන ගැටලු හැම එකක්ම පාහේ අපේ කාලය හා සංසන්දනය කරමින් උත්තරය හොයන්නට නොහැකිය. මෙය ඇත්තටම දරුවාට පිළිතුරක් දීමක් නොව එක්තරා ආකාරයක පාරම්බෑමකි. එයින් දරුවාට සෙතක් අත්විය හැකි නම් ඒ ඉතාමත් යන්තමිනි.

ඇතැම් මවුපියන් දරුවන්ගේ ගැටලුවලට ප්‍රතිචාර දක්වන්නේ ඔහු හෝ ඇය සිනහවට ලක් කරමිනි. ඒ අය සියයට සියයට අනූවකදීම අත් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව කිව යුතුය. එය ද දරුවාගේ චිත්තවේග හඳුනා ගන්නට වැඩිහිටියා අසමත් බව පෙන්වන එක්තරා ලක්ෂණයකි. හාස්‍යය වෙනත් බොහෝ අවස්ථාවලදී කදිම ඔසුවක් වුවද දරුවන්ගේ ගැටලුවලට ප්‍රතිචාර දැක්වීමේදී අසාර්ථක උත්සාහයකි. මෙයින් අදහස් වන්නේ කිසිවිටෙකත් හාස්‍යය භාවිත නොකළ යුතු බවක් නම් නොවේ. එය අවස්ථාව අනුව පාවිච්චි කළ යුත්තකි. දරුවාද කොයි මොහොතක හෝ හාස්‍යය බෙදාහදා ගන්නට සුදුසු මානසික තත්ත්වයක සිටී නම් පමණක් විහිළු තහළු පාවිච්චි කළාට වරදක් නොවේ.

" හංවඩු ගැහීම " සිදු කරන්නේ ගවයන් හඳුනා ගන්නට ය. එහෙත් සදාකාලිකවම යමකු යම් තත්ත්වයක කොටු කර දමන්නට දරන වෑයම ද අපි හඳුන්වන්නේ හංවඩු ගැහිල්ලක් ලෙසිනි. " ඔයා ඉතින් කවදත් ඔහොම නේ ", " ඇයි ආයෙම රණ්ඩුවක පැටලුණාද ? ඔයාට අලුත් දෙයක් නෙවෙයි නේ. " ආදී වශයෙන් දක්වන ප්‍රතිචාර දරුවාත් මවුපියනුත් අතර බැඳීම සවිමත් කරන්නට කොයි ලෙසකින් හෝ උදවු නොවේ. සමහරවිට ඔබ අලවන්නට යන ඒ ලේබලයෙන් දරුවා මිදී බොහෝ දවසක් වන්නට ඉඩ තිබේ. එබැවින් පරණ වැරදිවලට ලේබල් ඇලවීමේදී ද වැඩිහිටියන් පරෙස්සම් විය යුතුය.

ඇතැම් විට මවුපියන් දරුවන් ඉදිරියේ අධිකතර ලෙස කම්පාවට හා තිගැස්මට ලක්වූ විට ඔවුන් එතැනින් යථා තත්ත්වයට ගෙන එන්නට සිදුවන්නේ ද දරුවන්ට ය. වේදනාවක් හෝ ආවේගයක් දරා ගන්නා අයුරු දරුවන්ට උගන්වන්නට සිටින වැඩිහිටියන් දිගින් දිගටම එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන්ගේ ගැටලුවක් හෝ අත්දැකීම් බෙදා හදා ගැනීමක් ආදී කවරකට වුව ඔවුන් මවුපියන් ඉදිරියේ මුව විවර නොකරනු ඇත.

හැකි සෑම විටකම මවුපියන් උත්සාහ කළ යුත්තේ තමා දරුවන්ගේ ගැටලුවලදී උපකාරී ලෙස මැදිහත් වන බව අඟවන්නටය. බාගවිට වචන සියයකින් පවසන්නට යන දෙය එක බැල්මකින් ඒත්තු ගන්වන්නට සමහර මවුපියන් සමත්ය. දෙපාර්ශ්වය අතර අනවබෝධය හා දුරස්ථ බව අඩු කරගත හැකි කරගත හැකි හොඳම ක්‍රමයක් වන්නේ ක්‍රියාකාරී සවන්දීම ප්‍රගුණ කිරීමයි. එසේත් නැතහොත් ඒ ගැන යම් පමණක අවබෝධයකින් පසු වීමයි.

දරුවකුට සවන් දිය යුත්තේ කෙසේද ? අර්බුදකාරී වටපිටාව තුළ ඇතැම් මවුපියන්ට දරුවන් සමඟ කතා කරන්නට විනාඩි කිහිපයක් සොයා ගැනීම පවා ඉතා අපහසුය. හොඳ සවන් දෙන්නකු ලෙස දරුවන්ට කිට්ටු වන්නට නම් ඔවුන්ට සවන් දෙන සෑම මොහොතකම අප අපේ පූර්ණ අවධානය ඔවුන් වෙත ලබාදිය යුතුය. යෙදී සිටින්නේ කවර වැඩක වුවද වුවද එය මඳකට නතර කර ඔවුන් වෙත දෑස් යොමුකර තමා සවන් දෙන්නට සූදානම් බව ඒත්තු ගැන්විය යුතුය. එසේ දරුවාට පූර්ණ අවධානය ලබාදී සවන්දීම ඔහුගේ සතුටට ද විශ්වාසයට ද හේතු විය හැකිය.

දරුවන්ගේ චිත්ත වේග ස්වරූප හඳුනා ගැනීම ද වැදගත්ය. දරුවන් ද එක්තරා මිනිස් කොට්ඨාසයක් බැවින්, ඔවුන් තුළ කෝපය, ශෝකය, කනස්සල්ල ආදී මේ සෑම දෙයක්ම තිබෙන්නට පුළුවන. ඇතැම් මවුපියන් කල්පනා කරන්නේ දරුවන්ට කේන්ති ගන්නට අවසරයක් නැති බවය. එය අතාර්කික සිතුවිල්ලකි. එබැවින් එය වරදක් කොට සලකා කඩා පැනීම විශේෂයෙන්ම යොවුන් වියේ දරුවන් සම්බන්ධයෙන් අසාර්ථක උත්සාහයකි. ඔවුන්ගේ මානසික ස්වභාවය හැසිරීම් සහ මුහුණෙන් හඳුනාගන්නට හැකි නම් ඊට ගැළපෙන පරිදි ප්‍රතිචාර දක්වමින් කතාබහ ආරම්භ කරන්නට අපට පුළුවන.

දරුවන්ට ප්‍රතිචාර දැක්වීමේදී ඒ වචනයෙන්ම කළ යුතු යැයි නීතියක් නැත. ඇතැම් විට ඔබ ඔවුන්ට අවධානය දක්වන බව ඔබගේ බැල්මෙන් හැසිරීමෙන් ඔවුන්ට දැනගනු හරින්නට පුළුවන. මුහුණේ හැඟීම් පළකිරීමේ සිට ඔවුන්ට ළංවී හිඳගෙන මොහොතක් දෙකක් ගත කිරීමෙන් වුව ඒ අවබෝධය ගොඩනඟා ගන්නට අපට හැකි වෙයි.

වැරදීම් සිදුවීම හෝ වැරදි කිරීම ලෝකයේ පළමු වතාවට සිදු වූ දෙයක් ලෙස දෝෂාරෝපණය කිරීම අසාර්ථක වෑයමකි. කා අතින් අතින් වුව වැරදි සිදුවන්නට හැකි බවත් එය නිවැරදි කිරීමට උත්සාහ ගැනීම හැමවිටම සිදුකළ යුත්තක් බවත් දරුවන්ට ඒත්තු ගන්වන්නට හැකිනම් බොහෝ විට එකම වරද විටින් විට කිරීමේ කරදරයෙන් ඔබටත් ඔවුන්ටත් මිදෙන්නට හැකි වනු ඇත.

දරුවන් තමන්ගේ වචනයට වලංගු නැතැයි චෝදනා කරන බොහෝ මවුපියන්ට යළිත් වරක් උත්සාහ කර බැලීමේ අවස්ථාව නැතුවා නොවේ. දරුවන් වෙනුවෙන් කවර වතාවක් හෝ උත්සාහ කර ඔවුන් තේරුම් ගැනීම කිසිකලෙකත් පාඩු ලබන්නක් නොවේ. එය අනාගත ආයෝජනයකි. විශේෂයෙන්ම වයසින් වැඩි දරුවන් සම්බන්ධයෙන් මවුපියන් කටයුතු කළ යුතුයැයි අප කතා බහ කළ ඇතැම් ක්‍රමවේද ඒ ඒ මවුපියන්ට හා පවුල් පරිසරවලට ගැළපෙන පරිදි වෙනස් කර ගන්නට පුළුවන. මන්ද යත් බොහෝ විටම වාගේ දරුවන් තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්නේද එසේම ඒවාට තමාම මුහුණ දෙන්නේ ද තම මවුපියන් ආදර්ශයට ගනිමිනි. එබැවින් දරුවන්ගේ ප්‍රශ්නයක් මතු නොව, වෙනත් ගැටලුවකදී ඔබ ඊට මුහුණ දෙන අන්දමත් පිළිතුරු සොයන අන්දමත් නිතරම පාහේ නිරීක්ෂණාක්ෂියෙන් යුතුව බලා සිටින බව අප තේරුම් ගත යුතුය. දරුවන් ද ඒ ක්‍රමවේද ආදර්ශ කොට ගැනීමට ඇති ඉඩකඩ ඉහළ බව අමතක නොකළ යුතුය.

දරුවන්ගේ මුරණ්ඩු ප්‍රතිචාර ගැන කලබලයට හෝ කම්පාවට පත් නොවූ මවුපියන් ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙනි.එහෙත් එය කලකිරීමකින් හෝ කෝපාවිෂ්ටවීමකින් හෝ අතහැර දැමිය හැකි නොවේ. ඒ එය දෙපාර්ශ්වයේම මන සුව තීන්දු කරන කාරණයක් බැවිනි. අනෙක් කොයි කාරණයකදී මෙන්ම දරුවන් හා මවුපියන් අතර කතා බහේදී අදහස් හුවමාරුවේදී ඉවසිල්ලත්, සවන්දීමත්, තේරුම් ගැනීමත් තීරණාත්මක සාධක බවට පත් වන බව තේරුම් ගත යුතුමය.

Comments