ලට්ටලොට්ට එකතු කිරීමත් මානසික රෝගයක් | Page 2 | සිළුමිණ

ලට්ටලොට්ට එකතු කිරීමත් මානසික රෝගයක්

 

"ඔය කාඩ්බෝඩ් පෙට්ටි, ප්ලාස්ටික් කප් ඔතැනට ගොඩ ගැහුවෙ ගිනි තියා දාන්න. නිකම් කහලගොඩවල් හැදෙනවා විතරයි."

" අපොයි ! ඔය කිසි දෙයක් විනාශ කරලා දාන්න එපා. ඕවා ඕනැ වෙනවා. මෙන්න, කැඩිච්ච රේඩියෝවෙ කෑලිත් මෙතන දාලා."

මේ දෙබස් බොහෝ විට ඔබේ කනට වැටී ඇතුවාට සැක නැත. ගේදොර මිදුල් අස්පස් කර ගනිද්දී නිතරම පාහේ ඇහෙන සුපුරුදු දෙබස් ඛණ්ඩයක් ලෙස මෙය බොහෝ දෙනාට හුරුය. එක් තැනැත්තකු විනාශ කර දැමිය යුතු අබිලි ද්‍රව්‍ය හෝ ඉවතලන දේ එක තැනකට ගොඩ ගසද්දී අනෙකකු ඊට එරෙහි වන්නේ මහාර්ඝ සම්පතක් කාබාසිනියා කර දමන්නට සැරසෙනු දුටු කලෙක මෙනි.

මෙය සාමාන්‍ය තත්ත්වයකැයි යමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් එය ක්‍රමක්‍රමයෙන් බරපතළ අඩියකට වැටුණහොත් එය සාමාන්‍ය තත්ත්වය අභිබවා මහා කරදරයක් වන තැනට පත් වන්නට ද ඉඩ තිබේ. එය හඳුන්වනු ලබන්නේ Holdling disorder යනුවෙනි. සරලව මේ තත්ත්වය පැහැදිලි කරන්නේ නම් යළි වුවමනා වේයැයි මවාගත් අවශ්‍යතාවකින් බඩු බාහිරාදිය ගොඩ ගසා ගැනීමය. ඒවා ඉවතලන්නට හෝ විනාශ කර දමන්නට මැළි වීමය. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ මේ ගොඩ ගසා ගන්නා දේවල්වල කිසිදු වටිනාකමක් හෝ ප්‍රයෝජනයක් නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබීමය.

එහෙත් මෙය සකසුරුවම හා එකතුකිරීමේ විනෝදාංශ සමඟ පටලවා ගත යුතු නැත. ගම්බද මහගෙදරක හදිසි අවශ්‍යතාවක් පිණිස කොපමණ දේවල් රැස් කර තිබෙනවාද ? ඒවා සැබැවින්ම අවශ්‍ය වූ හැටි අප දැක තිබෙනවා නොවේද ? මුළුතැන්ගෙයින් පිට බිත්තියක කොහොල්ලෑ තලියක් එකතුකොට තිබුණු ආකාරය මට තවමත් මතකය. පැංචකුව සිටි මා එකල ඒ ගැන ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු ලැබුණේ යම් පිළියම් කිරීමක් කරනු පිණිස එය එසේ එකතු කර ඇති බවය. ඒ කාරණය මෙකී Hording Disorder යටතට ගැනෙන්නේ නැත.

යම් යම් දේ එකතු කිරීම ජනප්‍රිය විනෝදාංශයකි. එය ද මේ ගොඩ ගසා ගැනීමේ වුවමනාවෙන් ( Hording Disorder ) වෙනස් බව පැවසිය යුතුමය. මුද්දර, සත්ත්ව අනුරූ , පිහාටු ආදී වශයෙන් විශාල පරාසයක විහිද තිබෙන බොහෝ දේ එකතු වශයෙන් තබා ගන්නට මිනිස්සු හුරු වී සිටිති. මේ එකතු විශාල ප්‍රමාණයේ ඒවා වේවා, කුඩා ප්‍රමාණයේ ඒවා වේවා මනසට වදයක් දෙන්නේ හෝ අනෙකෙකුට හිසරදයක් වන්නේ හෝ නොවේ. එකී සීමාව පනින තැන ගොඩ ගසා ගැනීමේ මානසික ව්‍යාධිය ඇරඹෙන තැනයි. මේ මානසික ව්‍යාධිය මට්ටම් කීපයකින් දකින්නට ලැබේ. එය එසේ සිදු කරන්නාට, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හෝ ඇසුරු කරන්නන්ට කිසියම් බාධාවක් නොවන අන්දමේ පහළ මට්ටමක සිට එදිනෙදා ජීවිතයම අප්‍රසන්න කරන අන්දමේ ඉහළ මට්ටමක් දක්වා මේ තත්ත්වය පවතින අයුරු දකින්නට පුළුවන.

මෙහි ඇති විශේෂත්වය වන්නේ අනෙකුත් බොහෝ මානසික ව්‍යාධීන්වලදී දකින්නට ලැබෙන්නාක් මෙන් මෙසේ කරන්නට පුරුදු වී සිටින තැනැත්තන් එය ගැටලුවක් ලෙස දකින්නට කොයියම්ම ආකාරයකින් හෝ සූදානම් නොවීමය. ඔවුන් මේ තත්ත්වය නිසා විඳින්නේ බරපතළ මානසික වදයකි. අපිළිවෙලකි; කටුක බවකි. එමෙන්ම එකී පරිසරයක ජීවත්වන අනෙකුත් තැනැත්තන්ට ද එය එසේමය. මේ තත්ත්වය වටහාගෙන ඊට ප්‍රතිකාර ලද බොහෝ දෙනා ඉන්පසුව ජීවිතය වඩාත් සුන්දර ලෙස විඳින්නට පටන් ගත් බව පෙන්වන සාක්ෂි රාශියක් විවිධ අධ්‍යයන හරහා ඉදිරිපත් වී ඇත.

ගොඩ ගසා ගැනීමේ මානසික ව්‍යාධිය යමකුට ගෙන එන්නේ ඉතා අපිළිවෙළ හා තදබද ජීවිතයකි. එය ප්‍රායෝගිකව ඔහු හෝ ඇය ජීවත් වන නිවෙස, වටපිටාව, මිදුල ගෙවත්ත ආදිය හුස්මක් කටක් ගන්නට බැරි අන්දමෙන් පුරවා දමන අතර, නිතර දකින්නට ලැබෙන මේ අප්‍රසන්න අපිළිවෙළ වක්‍රාකාරව මනසට අයහපත් බලපෑම් ඇති කරයි. පළමුව මේ අනවශ්‍ය දේ ගෙදර කාමරවල, එතැනින් මේස යට , ඉන්පසු ගරාජය , ගේ පිටුපස ආදී වශයෙන් ක්‍රමයෙන් හැමතැන පැතිරෙන්නට පටන් ගනී.

මෙසේ ඔවුන් එකතු කරන්නේ මොනවාද ? කඩදාසි, කාඩ්බෝඩ්, ප්ලාස්ටික්, ලී හා ලෝහ ඇලුමිනියම්වලින් කළ ඕනෑම දෙයක ඉවතලන කොටසක් , පාවිච්චියෙන් බැහැර කළ ඕනෑම දෙයක් , කැඩී බිඳී යළි පාවිච්චියට ගත නොහැකි තත්ත්වයට පත්වූ ඕනෑ දෙයක් මේ ආකාරයෙන් එබඳු තැනැත්තන් ගේ වටපිටාවේ එක්රැස් වී තිබේ.

සත්ත්ව විශේෂ ඇති කරන්නන් තුළද මෙබඳුම නිරර්ථක එකතු කිරීම් එසේත් නැත්නම් ගොඩගසා ගැනීම් දැකගන්නට පුළුවන. එකී සුරතල් සතුන් ඉන්නා නිවෙසට හෝ වටපිටාවට නොගැළපෙන ප්‍රමාණවලින් ඇති කරන්නට පටන් ගැනීම ද මෙහි එක්තරා ලක්ෂණයකි. එසේ විශාල ප්‍රමාණවලින් එබඳු සුරතල් සතුන් එක් රැස් කිරීම ඒ සතුන්ට ද හිංසාවකි. අනෙක් අතට නිවැසියන්ට ද මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය තර්ජන ඇති කරන්නකි.

මෙබඳු මානසික තත්ත්වවලින් පෙළෙන පුද්ගලයන් කල්පනා කරන්නේ ඒ ඒ දේවල් බොහෝ වටිනා හා සුවිශේෂ බවත් අනාගතයේ යම් දවසක ඒවා වුවමනා විය හැකි බවත්ය. ඒවා ලබා දුන් හෝ ගෙනා තැනැත්තා , ඒවා ලැබුණු කාල සීමාව ආදී වශයෙන් බොහෝ මතක පටලවා ගැනීමත් මේ අසීමිත ගොඩ ගසා ගැනීම්වලට තවත් හේතුවකි. ඒවා තමා වටා තිබෙද්දී යම් ආරක්ෂිතබව දැනේ යැයි ඔවුහු පවසති. අනෙක් කාරණාව ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ අරපරෙස්සමය. නාස්තිකාරකමේ ආදීනවය.

අවාසනාවකට මෙන් මේ ගොඩගසාගැනීමේ ව්‍යාධිය සම්බන්ධව කාරණාවලදී ක්‍රියාත්මක වන්නේද සැලසුම්කරණය, ගැටලු විසඳාගැනීම හා සමථකරණය ආදී හැකියාවන් තීරණය කිරීමේදී ක්‍රියාත්මක වන මොළයේ ප්‍රදේශමය. ඒවා මතකය, සංවිධානය හා අවධානය යොමු කිරීම ආදිය සම්බන්ධයෙන් කටයුතු කරයි. සැලසුම් කිරීමේ හා තීරණ ගැනීමේ ක්‍රියාකාරීත්ව මට්ටම මේ අනවශ්‍ය ගොඩගසා ගැනීම්වලට බලපාන බව සිතිය හැකිය. ළඟ තබා ගත යුත්තේ මොනවාද? ඉවත් කළ යුත්තේ මොනවාදැයි හරි තීරණයකට එන්න එන්නට ඔවුනට නො පුළුවන් වෙයි. අනෙක් අතට තමාගේ එබඳු හැසිරීම් හා හුරු හුරු පුරුදු රටාවල ගැබ්ව ඇති අනතුර තේරුම් ගන්නට ද ඔවුන් අසමත්ය.

එම තත්ත්වය ඉතාම අඩු මට්ටමක සිට ඉහළ මට්ටමක් දක්වා වූ විශාල පරාසයක විහිද යන බැවින් එවැනි තැනැත්තන් හඳුනා ගැනීම තරමක් අපහසු කාර්යයකි. තමනට අවශ්‍ය නොවන භාණ්ඩ ආදිය ඉතා විශාල ප්‍රමාණයෙන් එක් රැස් කරන්නට පුරුදු වී සිටීම එක්තරා ලක්ෂණයකි. ගබඩා කරන්නට ඉඩක් කඩක් නැති වුව ද මේ එකතු කිරීම් අත්හරින්නට ඔවුන් සූදානම් නැත. එමෙන්ම කිසිම වැදගැම්මකට නැති දෙයක් පවා ලේසියෙන් විසි කර දමන්නට ඔවුන් සූදානම් නැත. ඒවා විසි කර හෝ විනාශ කර දමන්නට සිතීම පවා ඔවුන්ගේ මහත් කනස්සල්ලට, කනගාටුවට හේතු වේ. ඇතැම් විට කාමර කට ළඟට එන තෙක් විවිධ දෙයින් පිරී ගොසිනි. යම් තීරණයක් ගැනීමේදී හෝ යමක් සැලසුම් කිරීමේ දී බොහෝවිට අවිනිශ්චිත හා සැලෙන ගතියක් ඔවුන් තුළින් නිතරම පාහේ දකින්නට ලැබේ.

එයින් ඇති වන්නාවූ අගතිය විවිධ ආකාරයෙන් අපට දකින්නට පුළුවන. පළමුවෙන්ම ඉඩකඩක් නැති වන තෙක් ලට්ටලොට්ට ගොඩ ගසා ගැනීම නිසා ශාරීරික වශයෙන් සිදු වන්නට ඉඩ තිබෙන අනතුරුය. අනෙක් අතට සර්පයන් හා කෘමීන්ගෙන් වන අනතුරු හා හානි, මදුරුවන් බෝ වීම වැනි තර්ජන ද නොසලකා හැරිය නොහැකිය. එය නිරන්තර මානසික වදයකට මුලපුරයි. එම ගැටලුවට හේතුව තමාගේ මේ අසීමාන්තික ගොඩගසා ගැනීම බව සිතන්නට ඔහු හෝ ඇය නොපෙළඹෙයි. ඒවා ගැන උපදෙස් දෙන්නට හෝ ඒවා ඉවත් කරන්නට උත්සාහ කරන්නවුන් හා ගැටුම් ඇති කර ගනී. මේ අනවශ්‍ය දෑ බොහෝ දෑ ගොඩ ගසා ගැනීම හේතුවෙන් අවශ්‍ය මොහොතක උවමනා දෙයක් සොයා ගන්නට පවා හෝරා ගණන් ගත ගත කරන්නට සිදුවෙයි. ගිනි උවදුරු ඇති වීමේ අන්තරායකට ද , ඇතැම්විට අසල්වැසියන් සමඟ ඇතිකරගන්නා විරසකවලට ද එය මඟ පෑදෙන්නට ඉඩ තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් හුදෙකලාව , තනිකම අත්විඳින්නට ඔහුට හෝ ඇයට සිදු වෙයි. ආතතිය, කාංසාව මෙන්ම Obsessive - compulsive Disorder (OCD) , Attention - deficit /hyperactivity disorder ( ADHD) වැනි මානසික රෝග තත්ත්වයනට ද එය මූල හේතුවක් වන්නට ඉඩ තිබේ.

මේ තත්ත්වය යම් පුද්ගලයකු තුළ මුල්බැස ගන්නට හේතු විය හැකි ප්‍රධාන කාරණා තුන අතරින් පළමුවැන්න, අවිනිශ්චිතතාවය වැනි පුද්ගලික චරිත ලක්ෂණ ඉස්මතු වෙමින් ගොඩනැඟෙන ඔහුගේ හෝ ඇයගේ පෞරුෂ තත්ත්වයයි. දෙවැන්න , එය පවුලේ ආරෙන් හුරුවීමයි. තුන් වැන්න, පෞද්ගලික ජීවිතයේදී අත්විඳින්නට ලැබෙන අතිශය පීඩාකාරී අත්දැකීම් හේතුවෙන් මෙබඳු තත්ත්වයන්ට කෙමෙන් ගොදුරු වීමයි.

එබඳු තැනැත්තකු ඒ මඟට වැටී ඇත්නම් වහා ඒ වෙනස් කරන්නට උපකාර විය හැකි පියවර අතර පළමුවැන්න වන්නේ කුණු කන්දල් හෝ අනවශ්‍ය යයි සිතන සියල්ල වහා වර්ග කර ඉවත් කර දැමීමයි. මෙය මසකට වරක් හෝ සිදු කරන්නට හුරු වී තිබීම අපට වාසියක් විය හැකිය. මාසිකව ක්‍රියාත්මක නොවන්නේ නම් ඊට වඩා පහසු කාර්යය වන්නේ දිනකට විනාඩි පහළොවක් වෙන්කොට අනවශ්‍ය දේ එමෙන්ම එම ස්ථානයට අදාළ නොවන දේ ඉවත් කිරීම හෝ අදාළ තැන්වලට යොමු කිරීමයි. ඊට අමතරව එක් දිනකට නිවෙසේ එක් කොටසක් තෝරාගෙන එසේ පිරිසුදු කරන්නට හුරු කරන්නට හුරුවීමය.

විනාශ කරන්නේ කවරක්ද තබාගන්නේ කවරක් ද යන්න තීරණය කිරීම තරමක් අපහසු කාරණයක් විය හැකිය. පළමු තර්කය ලෙස මෙහිදී ගැනෙන්නේ ගෙවුණු වසර තුන හතරක් තුළදීම පාවිච්චි නොකළ යමක් ඇත්නම් ඒවා වහාම විනාශ කර දැමීම හෝ ප්‍රතිචක්‍රීකරණය පිණිස යොමු කර හැරීමයි. පාවිච්චි කළ ඇඳුම්, මුළුතැන්ගේ භාවිතයෙන් පසු ඉවත දමන ලද දේ, කැඩුණු ඉලෙක්ට්‍රොනික උපාංග, කැඩී බිඳී ගිය බිඳීගිය සෙල්ලම් බඩු නිවෙසක ගොඩ ගැසෙන්නට ඉඩ තිබෙන අනවශ්‍ය අබිලි දෑ අතර ඉදිරියෙන්ම දැකිය හැකිය.

ඔබේ පරිගණකයේ ගබඩා කර ඇති දේ මෙන්ම ඔබේ ඊමේල් ගිණුම ද මේ ආකාරයෙන් ගොඩ ගසා ගන්නට හුරු වී තිබෙනවා වන්නට පුළුවන. ඇතැම් චිත්‍රපට, ගීත, වීඩියෝ හෝ ඡායාරූප සැබවින්ම අපට අනවශ්‍ය ඒවාය. එහෙත් ඒවා මකා දමන්නට අප අකමැතිය. එතැන ඇත්තේ ද එකතු කර ගැනීමේ මනෝ ව්‍යාධියයි. මෙයින් බොහෝමයක් OHIO ක්‍රමයට ඉවත් කර දැමිය හැකි ඒවායි. OHIO යනුවෙන් අදහස් කරන්නේ Only Handle It Once යන සංකල්පයයි.

පවුලේ සාමාජිකයන්ගේ හා මිතුරන්ගේ සහාය ලබා ගැනීම හා ඔවුන් සමඟ මේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම ද මේ ලට්ට ලොට්ට ගොඩ ගසා ගැනීමේ උන්මාදය පාලනය කරන්නට හොඳ උදවුවකි. එහෙත් එය දෙපාර්ශ්වයම දෙපාර්ශවයම අවබෝධයෙන් හා පියවරෙන් පියවර සිදුකළ යුත්තකි. විශේෂයෙන්ම එකතු කර ගන්නට හුරු වී සිටින තැනැත්තාගේ අදහස් එක හෙලා පිළිකෙව් කරන්නට හෝ විවේචනය කරන්නට උපකාරය පිණිස එන තැනැත්තා ඉක්මන් නොවිය යුතුය. එමෙන්ම ඔබ එවන් තත්ත්වයකදී යමකුගේ උදවු පතන්නේ නම් ඔහුට හෝ ඇයට අනවශ්‍ය නීති දමන්නට යෑම ද නොකළ යුත්තකි.

මේ සියල්ල අකුරුවලට පමණක් සීමා වන තැන, ප්‍රායෝගිකව අපට ලබාගත හැකි පිළිතුර වන්නේ ඊට වෘත්තීයමය උපදේශනයක් හා ප්‍රතිකාර ලබා ගැනීමයි. එහිදී ඔවුන් මෙබඳු තත්ත්වයකට මුල් වූ මූල බීජ සොයා ඊට ගැලපෙන ප්‍රතිකාර සැලැස්මක් (treatment plan) නිර්මාණය කර දෙනු ඇත.

ලෝක ජනගහනයෙන් 2.6% ක ප්‍රමාණයක් මේ අපහසුතාවෙන් පීඩා විඳින බව ගණනය කොට ඇත. සියලු දෙනාම සංගණනවලට එක් කරගත නොහැකි බැවින් සැබෑ සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් ඉහළ යන්නට ඉඩ තිබේ. ඒ කොයි හැටි වෙතත් වටපිට පිරිසිදුවට පිළිවෙලට තබා ගැනීම කාට කාටත් වාසියක් මිස අවාසියක් ගෙන ගෙනදෙන්නක් නොවන බව නම් නිසැකය.

Comments