සාක්ෂරතාව ලබා දුන් පමණින් නිර්මාණශීලි උගතුන් බිහි වෙන්නේ නැහැ | Page 2 | සිළුමිණ

සාක්ෂරතාව ලබා දුන් පමණින් නිර්මාණශීලි උගතුන් බිහි වෙන්නේ නැහැ

පුවත්පත් ඇසුරෙන් ආ කෙටි කතාකරුවකු හැටියට ඔබේ අත්දැකීම් විස්තර කරනවා නම්?

අපේ කාලය 80 දශකයයි. එදාට සාපේක්ෂව අද කාලය හුඟක් වෙනස්. එදා පත්තරේක කෙටි කතාවක් පළවීම කියන්නේ විශාල පාඨක ග්‍රහණයකට ලක්වීමක්. මගේ කෙටිකතාවක් මුලින්ම පළවුණේ ශ්‍රී සඟරාවේ. පසුව දිවයින, රාවය වැනි පුවත්පත්වලටත් මම කෙටිකතා ලිව්වා. එදා කෙටිකතාවක් ලියන්න පෙළඹුන ලාලසාව ඒ ආස්වාදය ඒ වගේම කෙටි කතාව වෙනුවෙන් එදා තිබුණු සමාජ ඉල්ලුම හුඟක්ම ඉහළයි. එහෙම තත්ත්වයක් අද නෑ. එදා ඒ කාලයේ කෙටිකතා පොතක් පළවුණාම එය මිලදී ගැනීමට සැලකිය යුතු පාඨක පිරිසක් හිටියා. අත මිට මුදල් හිඟ වුණත් රු. 90ක්, 150ක් වගේ මුදලකට මමත් කෙටිකතා පොත් මිලදී ගෙන තියෙනවා. නමුත් අද එහෙම තත්වයක් නෑ. 

පහුගිය දිනවල මම මගේ මුල්ම කෙටිකතා සංග්‍රහය පළ කරන්න ගත්ත උත්සාහය අසාර්ථක වූ තැනක ඉඳගෙනයි මම මේ කතාව කියන්නේ. කෙටිකතා පොත් පළකිරීම ගැන කිසි උනන්දුවක් අද ප්‍රකාශකයින්ට නෑ. ඔවුන් ඒ දිහා බලන්නේ හරිම උදාසීන විදිහකට. සමහර විට පවතින ආර්ථික පීඩනය ඊට බලපානවා විය හැකියි. නමුත් අමතක කරන්න හොඳ නැහැ මේ හා සමානම සමාජ ආර්ථික පීඩනයක් වගේම දේශපාලන ප්‍රතිගාමිත්වයක් තිබුණු කාලයක තමයි රුසියානු කෙටිකතාව ඉහළටම වර්ධනය වුණේ කියන කාරණය. අද අප මුහුණ පා සිටින තත්ත්වයත් එදා ඒ තත්ත්වයත් අතර යම් යම් වෙනස්කම් තිබිය හැකියි. නමුත් මිනිසුන්ගේ බැරි අමාරුකම්වල සමස්තය එකයි.

ඔබ පවසන්නේ වර්තමාන කෙටිකතාවේ නිර්මාණශීලි හීනතාවක් තිබෙන බවද?

කෙටිකතා කරුවාගේ නිර්මාණශීලි අඩුපාඩුවක් මා දකින්නෙ නෑ. මෙතන තියෙන ප්‍රශ්නය අද කෙටිකතාවට සමාජගතව ඉල්ලුමක් නැහැ කියන එකයි. අද කෙටිකතා සමාජ මාධ්‍ය ජාලයේත් පළවෙනවා. එහෙම පළවුණාම යාළුවෝ විවිධ කමෙන්ට්ස් දානවා හැර ඒ වෙනුවෙන් සාහිත්‍යමය සංවාදයක් මතු කරන්නේ නෑ. එවැනි සාහිත්‍ය විචාර සංස්කෘතියක් අද නැහැ. ඒ වගේම නිවාඩුපාඩුවෙ නිර්මාණ කියවන, ඒවා රස විඳින සහෘදයන් යැයි හඳුන්වන පිරිස්වල අඩුවක් අද තියෙනවා. පාසල් මට්ටමේ සිටම කෙටිකතා ලිවීම අද සමාජ ගතවෙලා තියෙනවා. මම කියන්නෙ මේවා නිසි පරිදි විමර්ශනය නොවීම හේතු කොට ගෙන නිසි පරිදි සංස්කරණය වෙන්නෙ නැහැ. එහෙම වුණාම නිර්මාණ ශක්තිය ඉදිරියට තල්ලු වෙන්නෙ නැහැ. නොපසුබට උත්සාහයෙන් තමන්ගේ නිර්මාණ ශක්තිය මුවහත් කරගනිමින් ලියන පිරිස අඩුවීමට එය හේතුවක් වෙනවා. එහෙම පසුබිමක වුණත් අත් නොහැර නිර්මාණකරණයේ යෙදෙන්නට කෙනෙකුට ලොකු උණක් තියෙන්නත් ඕනෙ. අනෙක් අතට එහෙම තියෙන්නත් තමන් ලියන දේ සම්බන්ධයෙන් පසු විමර්ශනයක් වුවමනායි කියන කාරණයයි මම මෙහිදී මතු කරන්නේ.

ඔබ කවියකු හැටියට මතු වන්නේ පුවත්පත් කවි පිටු ඇසුරිනුයි. මේ ගැන ඔබට අදහසක් තියෙනවද? 

මම මුලින්ම කවි ලියුවේ නවලිය පුවත්පතටයි. සතියට කවි දෙක තුනක්වත් ශත දහයේ මුද්දරයක් ඇලවූ ලියුම් කවරයක දමා මම තැපැල් කරලා තියෙනවා. කොහොම වුණත් එහෙම යවපු කවි හැම එකක්ම පළවුණේ නැහැ. පළවූ ගණනට වඩා නොපළවූ ගණන වැඩියි. මගේ මුල්ම කවි පොත තමයි “බොල් පොළොව.” දෙවැනි කාව්‍යය සංග්‍රහය “මඟ වැරදුනු මිනිසා” නමින් එළි දැක්වුවා. ඔය කාලයේදීම මම ගුවන්විදුලි වැඩ සටහන්වලටත් සම්බන්ධ වුණා. ගුණදාස කපුගේ මහතා වෙනුවෙන් මම ලියූ ගීත රචනා රාශියක් අතරින් ඔහු ගායනා කළ පළමු ගීතය “අහස උසට නැඟ ගියාට නැහැනෙ අහසෙ රැඳෙන්නේ.” ඒ හැර තවත් ගායකයන් කිහිප දෙනකුටම මම ගීත රචනා කර තිබෙනවා.

දශක හතරක කාලයක් කෙටිකතා කරුවෙකු හැටියට කටයුතු කළ ඔබ වර්තමානය දකින්නේ කොහොම ද?

මම අනාගතය දකින්නේ සුභවාදි විදිහටයි. නමුත් පරිවර්තන කෘති ඇසුරෙන් විදේශ සාහිත්‍ය කෘති කියවද්දි ඒවායේ එන මනුෂ්‍ය සංවේදිතාව ගැඹුරු සමාජ දැක්ම වශයෙන් බලන කොට අපේ සාහිත්‍ය කෘති පවතින්නේ එතරම් උසස් තැනක නොවේය කියලා මට හිතෙනවා. මගේ මේ විවේචනය කෙටිකතාවට මෙන්ම කවියට අදාළ කර ගැනීම වඩා සුදුසුයි.

අපේ රටේ වෘත්තීය මට්ටමින් ලේඛන කලාවේ යෙදෙන අය ඉන්නවා නම් ඒ ඉන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් වෙන්න ඕන. අනිත් එක අපේ පාඨක පිරිස ඉතාමත්ම අඩුයි. කියවීමේ උනන්දුවක් හෝ තියෙන පිරිසුත් දිනෙන් දිනම අඩුවෙනවා. බොහෝ ලේඛකයන් ලේඛන කාර්යයේ යෙදෙන්නේ ‘පාට් ටයිම්’ කටයුත්තක් හැටියටයි. මේ නිසාත් උනන්දුවක් ඇති සහ අවශ්‍ය කටයුත්තක් වශයෙන් සලකාත් පොත් කියවන පිරිස් අඩුවීම නිසාත් සාහිත්‍යයේ වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපට තියෙනවා. හුදෙක් සාක්ෂරතාවය ලබා දුන් පමණින් නිර්මාණශීලි උගතුන් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරිහානිය සක්ක ගහලා පොඩි පොඩි දේවල් කරලා කෙළින් කරගන්න බැරි තැනකයි අද පවතින්නේ. අපිට සිද්ධ වෙනවා මුල ඉඳලම හිතන්න.

Comments