කවුරුහරි දෙන තෑග්ගක් ඔබ පිළිගත්තේ නැත්නම් එ්ක අයිති දුන් තැනැත්තාටමයි.
නින්දා අපහාසත් ඒ වගෙයි මේ සම්බන්ධයෙන් වඩාත්ම වටිනා අවියක් ලෙස සැලකෙන්නේ හාස්‍යයයි
මේ නින්දා අපහාස අහල දැන්නම් මට හොඳටම ඇති වෙලා තියෙන්නේ. පාඩමක් උගන්නලා තමයි නවතින්නෙ මම. " ඔහු කීයේ දත් මිටිකමිනි.
" එතකොට උත්තරයක් ලැබෙයි ද ? "
" උත්තරයක් කියන්නේ ? "
" ඔය කේන්තියට විසඳුමක්, එහෙම නැත්තන් හිතට සැනසිල්ලක් ? "
බොහෝ දෙනා කල්පනා කරන්නේ නින්දා අපහාසවලට එරෙහි හොඳම උත්තරය ප්‍රතිප්‍රහාරය බවයි. ප්‍රායෝගිකව පිළිගන්නට අපහසු වෙතත් ඊට වඩා සාර්ථක පිළිතුරු අප සතුව නැතුවා නොවේ. ප්‍රතිප්‍රහාරය යම්තාක් දුරකට ඊට උත්තරයක් වන බව යමෙකුට කිව හැකිය. එහෙත් ඒ ප්‍රතිප්‍රහාරය හරහා බොහෝ විටම සිදු වන්නේ කාරණාව දුරදිග යෑමය. ප්‍රශ්නයේ මෙතෙක් නොතිබූ කෙළවරක් දිගහැරීමය. හිතේ සමගිය හා සහනය තවදුරටත් අහිමි වී යෑමය.
නින්දා අපහාස සමඟ ක්ෂණිකව හිත උපදින කෝප සහගත චිත්තවේග පාලනය කිරීම ඒ හැටි පහසු කටයුත්තක් නොවේ. මනෝ විද්‍යාත්මකව හා ප්‍රායෝගිකව බොහෝ විසඳුම් මේ පිළිබඳ ඉදිරිපත් වී ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීම, අඩුම තරමේ අත්හදා බැලීම ඒ හැටි පහසු කටයුත්තක් නොවන බව පැහැදිලිය.
නින්දා අපහාසවලට මුහුණ දෙන ආකාරය ගැන කියවෙන බොහෝ කතාන්දර අපට අසන්නට ලැබේ. වයෝවෘද්ධ සමුරායිවරයාගේ කතාව ද එබන්දකි. සිය ජීවිත කාලය තුළ කිසිම දවසක සටනකින් පරාජය නොවුණු එක්තරා වයෝවෘද්ධ සමුරායිවරයකු ටෝකියෝ නගරාසන්නයේ ජීවත් විය. මේ අපරාජිත බව නිසාම ඔහුගේ කීර්තිය දසත පැතිර තිබුණු අතර අවසානයේදී විශාල ශිෂ්‍ය පිරිසක් ද ඔහු වටා එක් රැස්වී
සිටියේ ඔහුගෙන් ගුරුහරුකම් ලබා ගනු පිණිසය.
ඔහුගේ කීර්තියටත් ඔහුටත් අභියෝග කරමින් තවත් තරුණ සමුරායිවරයකු නගරයට පැමිණෙන්නේ මේ අතරවාරයේදීය. ප්‍රතිවාදියාගේ වයෝවෘද්ධභාවය ප්‍රයෝජනයට ගෙන ඔහුගේ අපරාජිත වාර්තාව බිඳ දමන්නට තමාට හැකි වෙතයි මේ තරුණයා බලාපොරොත්තු විය. එහෙත් ලෝක සම්මතයට එරෙහිව එකවර සටනකට වැටිය නොහැකිවූ බැවින් වයෝවෘද්ධ සමුරායිවරයාගේ දුර්වලකමක් අල්ලාගෙන එතැනින් සටන අරඹන්නට මේ තරුණයා කල්පනා කළේය. එහිදී ඔහුගේ අවිය වූයේ නින්දාවත් අපහාසයත්ය.
නින්දා අපහාස කිරීම හරහා ප්‍රතිවාදියා කෝපයට පත් කර සටන අවුළුවා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. එවක් පටන් ඔහු වයෝවෘද්ධ සමුරායිවරයා ඉලක්ක කරගෙන නින්දා හා අපහාසාත්මක වදන් දොඩන්නට විය. එහෙත් වයෝවෘද්ධයා ඒ කිසිවක් ගණනකට ගත්තේ නොවේ. නින්දා අපහාස හා ආවේගශීලී වචන ද ක්‍රියා ද එන්න එන්නම වැඩි වූ නමුත් වයෝවෘද්ධ සමුරායිවරයා ඒ කිසිවක් නොදුටු- නොඇසූවන්ව සිටියේය.
අන්තයේදී අහංකාර සමුරායි තරුණයා නගරයෙන් පිටව ගියේ පරාජය පිළිගනිමිනි. එහෙත් මෙය වයෝවෘද්ධ සමුරායිවරයාගේ ශිෂ්‍යයන්ට විශාල ගැටලුවක් විය. " එතරම්ම නින්දා අපහාස වදන් දොඩද්දී ඔබේ හිත රිදුනේ නැද්ද ?" ශිෂ්‍යයෝ ඔහුගෙන් ඇසූහ.
" ඔබට කවුරුහරි තෑග්ගක් දෙනවා කියලා හිතන්න. එය ඔබ පිළිගත්තේ නැත්නම් එ්ක කාටද අයිති ?"
" ගෙනා තැනැත්තාටමයි." පිළිතුර ලැබිණ.
බාහිර ලෝකයෙන් අපට අත්විඳින්නට ලැබෙන්නේ විවිධාකාරයේ අත්දැකීම්ය. ඒ සියල්ලක් ම පාහේ අප සිත සනසන ඒවා නොවේ. වැඩිමනත් ඇත්තේ අප සිත ළතැවිල්ලට පත් කරන ඒවායැයි කීම වරදක් නොවේ. එහෙත් මේ කවර චිත්තවේගයක් වුව, කවර අත්දැකීමක් වූහ කියවා ගන්නා සුවිශේෂී රටාවක් මිනිස් මොළය සතුය. නින්දා අපහාස වදන් හමුවේ මිනිස් මොළය කටයුතු කරන ආකාරය පිළිබඳ සිදු කරන ලද අධ්‍යයන ගණනාවක් ඇත. Texas A&M සරසවිය විසින් සිදු කරන ලද පර්යේෂණය ඉන් එකකි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 23ක් හා ශිෂ්‍යාවන් 23ක් වශයෙන් 46 දෙනකු යොදා ගෙන සිදු කරන ලද මේ අධ්‍යයනයේදී ඔවුන් සියලු දෙනා සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික සංවේදක යොදා ගනිමින් අධ්‍යයනය හා සම්බන්ධ කර ගන්නා ලදී. ඉනික්බිති ඔවුන්ට අසන්නට සලස්වන ලද්දේ නින්දා අපහාසවලින් යුතු කටුක වදන්ය.
තවත් අරමුණු කීපයක්ම ඉලක්ක කරගෙන සිදු කළ මේ අධ්‍යයනයේ එක් අතුරුඵලයක් වූයේ එසේ අපහාසාත්මක කටුක වදන් හමුවේ මොළය දක්වන ප්‍රතිචාරය හෙළිදරව් කර ගැනීමයි. මෙහිදී මොළයේ වාම පාර්ශ්වීය ලලාට කොටසේ ඉතා වේගවත් යම් ක්‍රියාකාරකමක් සිදු වූ බව හඳුනා ගන්නට ලැබුණි. අධ්‍යයනය අවසානයේදී සියලු දෙනාගෙන්ම ප්‍රතිපෝෂණ ලබා ගන්නා ලදී. එහිදී සැම සිසුවකුම පාහේ පවසා තිබුණේ එකී කටුක ප්‍රකාශ කන වැකෙත්ම කෝප සහගත හැඟීම් ඉස්මතුවෙමින් සතුටුදායක හැඟීම් කෙමෙන් යටපත් වූ බවය.
එබැවින් නින්දා සහගත හා අපහාසාත්මක ප්‍රකාශ අප පසුබට කරන්නට හේතු වන බැව් අලුතින් කිව යුතු නොවේ. එයට අප දක්වන ප්‍රතිචාර ස්වරූපය අනුව එයින් මිදීම හෝ තව තවත් අසීරුවට පත් වීම තීරණය වේ. එබැවින් එබඳු අත්දැකීම්වලදී අප කටයුතු කළ යුතු ආකාරය ගැන විමසා බැලීම කොයි කාටත් වාසියක් මිස පාඩුවක් නම් නොවේ. එසේනම් අප ඒ කාරිය පටන් ගන්නේ කොතැනකින්ද? පළමු උපක්‍රමය වන්නේ කුමක්ද ?
පළමු පියවර වන්නේ අපහාසය හෝ නින්දා සහගත ප්‍රතිචාරය හරිහැටි හඳුනා ගැනීමයි. එනම් තමා ඉලක්ක කොටගෙන පැහැදිලිවම නින්දා කිරීමේ අරමුණෙන් සිදු කරන ලද්දක් දැයි වටහා ගැනීම පළමුවෙන් කළ යුතුය. මේ සඳහා කාරණා තුනක් පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. පළමුවැන්න, එය සත්‍ය වශයෙන්ම අපහාසයක් දැයි වටහා ගැනීමය. දෙවැන්න, එය සිදු කළ තැනැත්තාගේ තරාතිරම වටපිටාව හඳුනා ගැනීමය. එසේ සිදු කරන්නට හේතු වූ කාරණාව හඳුනාගැනීම තුන්වැනි කොටසයි. මෙසේ යම් විශ්ලේෂණයකට යොමුවීමෙන් පසු ඇතැම් විට එය අපහාසයක් නොව හුදෙක් යම් ප්‍රකාශයක් පමණක් බව වටහා ගන්නට ද අපට ඉඩ ලැබෙනු ඇත. එබැවින් එබඳු ප්‍රකාශයක් වහා භාරගෙන ඊට ප්‍රතිචාර දක්වන්නට යාම කාලයත් මානසික සුවය හා සාමයත් අපතේ යැවීමකි. කෙටියෙන් පවසතොත් ඔබ පාරේ ඇවිද යද්දී බුරන හැම සුනඛයකු කෙරේම කෝප විය යුතු නැත. හිත කලබල කර ගත යුතු නැත.
අප ගැන ඉතාම හොඳින් දන්නා එසේත් නැත්නම් අපගේ සමීපතමයකු අතින් සිදුවන එබඳු ප්‍රකාශයක් හෝ හැසිරීමක් හෝ හැරෙන්නට දුරස්ථ පුද්ගලයකුගේ එවැනි ප්‍රකාශයක් ගැන කලබල වන්නට පෙර දෙවරක් නොව කීප වතාවක්ම සිතා බැලිය යුතුය.
පෙනෙන අන්දමට අපහාසයක් හෝ නින්දාවක් සිදුවී යැයි සිතෙන ප්‍රකාශයක් හමුවේ ඉබේටම පාහේ අප ක්‍රියාකරන ආකාර කීපයක් තිබේ. ඉන් එකක් ලෙස සැලකෙන්නේ කෝපයයි.
කෝපයට පත්වීම අපහාසයක් හමුවේ දැක්විය හැකි ප්‍රතිචාර අතරින් දුර්වල ප්‍රතිචාරය ලෙස සැලකේ. එසේ පවසන්නේ කාරණා තුනක් පදනම් කොටගෙනය. පළමුවැන්න, අප ඒ අපහාසය භාරගත් බව කේන්ති ගැනීම හරහා හෙළිදරව් වීමය. දෙවැන්න, ඒ අපහාසය හෝ නින්දා සහගත ප්‍රකාශයට යම් වලංගු හේතු සාධකයක් ඇති බව අනෙක් පාර්ශ්වයන් කල්පනා කරන්නට ඉඩ තිබීමය. ඉනික්බිති තත්ත්වය තව තවත් අප්‍රසන්න අතට හැරී වාචික ප්‍රහාර පමණක් නොව ගුටිබැට හුවමාරුවලට පවා මඟ පෑදෙන්නට ඉඩ ඇත.
අන්තයේදී ඉතා සුළු කාරණාවක් හේතුවෙන් රෝහල් ඇඳක් උඩ ලගින්නට හෝ හිර කූඩුවක කම්බි කූරු ගණන් කරන්නට හෝ සිදුවීම කෙතරම් අවාසනාවක් ද? එබැවින් එබඳු පුද්ගලයන් හමුවේ කෝප ගැනීමට වඩා ඔවුන්ට අනුකම්පා කරන්නට හුරු වන්නේ නම් අපේ කාලයත් හිතේ සතුටත් නිරපරාදේ නාස්ති වන්නේ නොවේ.
මේ සම්බන්ධයෙන් වඩාත්ම වටිනා අවියක් ලෙස සැලකෙන්නේ හාස්‍යයයි. එබඳු අවස්ථාවක එය හාස්‍යයෙන් යුතුව බාරගැනීම අපහාසය කරන තැනැත්තාත් අපහාසයත් සෑහෙන දුරකට යටපත් කර දමන්නට සමත්වෙයි. තුන්වැනි පාර්ශ්වයක සහාය ලැබෙන්නට ද එය හේතුවක් වෙයි. අනෙක් අතට එබඳු මොහොතක දී හටගන්නා පීඩාකාරී වටපිටාව සමනය කරගන්නට ද හාස්‍ය උපකාරී වෙයි.
එහෙත් යමකු හාස්‍යයේ ඒ සා දක්ෂ නොවේ නම් එබඳු මොහොතක විහිළුවෙන් ප්‍රතිචාර දක්වන්නට නොයා යුතුය. ඒ වෙනුවට කළ හැකි දෙයක් වන්නේ ඊට ප්‍රතිචාර නොදක්වා සිටීමය. ඉතා සුළු වේලාවකට හෝ එබඳු දෙයකට ප්‍රතිචාර නොදක්වා ගණනකට නොගෙන ඉන්නට හැකිනම් එය අපේ ජයග්‍රහණයකි, මානසික ශක්තිය ගොඩ නොවන්නකි. අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන්නාට අධෛර්යකි.
ලෝකයේ ජීවත්වන අප දරන්නේ එකම මතයක් නොවේ. පුද්ගලයන්ගේ අදහස් විවිධාකාරය.
මේ විවිධ ආකාරය අදහස් හේතුවෙන් නැෙඟන මත , කෙරෙන ප්‍රකාශ ඇතැම් විට අපහාසයක් ලෙස දැනෙන්නට පුළුවන. අප ඒවා පුද්ගලිකව භාරගත යුත්තේ නැත. උදාහරණයක් වශයෙන් යම් යම් පොදු කණ්ඩායම් එල්ල කොට සිදු කරන ඇතැම් එබඳු ප්‍රකාශ නිසා අපේ සිත හිටි අඩියේ කෝපයට පත්වෙයි. එහෙත් එය ප්‍රකාශය කළ තැනැත්තාගේ පොදු අදහසක් මිස සියලු දෙනා සම සේ භාරගත යුතු චෝදනාවක් නොවන බව අප වටහා ගත යුතුය.
මෙබඳු ඇතැම් චෝදනා හෝ අපහාසාත්මක ප්‍රකාශවලට පිළිතුරු බඳින්නටම සිදුවන අවස්ථා නැතුවා නොවේ. " ඒකට නම් උත්තරයක් නොදී බැහැ , " ඇතැමකු කියනු අප අසා තිබේ. එහෙත් එය කළ යුතු හොඳම ආකාරය නම් ප්‍රසිද්ධියේ විවාද ඇති කර ගැනීම නොවේ.
චෝදනාව හෝ අපහාස කළ තැනැත්තාට පෞද්ගලිකව අපේ පිළිතුර ලබා දෙන්නට හැකිනම් තුන්වැනි පාර්ශ්වයක් ඇවිළෙන ගින්නට පිදුරු දැමීම වළකා ගන්නට අපට හැකි වෙයි. බාගවිට චෝදනාව හෝ අපහාස කළ තැනැත්තා අපේ ඇත්ත කතාව අසා සිය නිගමනය වෙනස් කරගන්නට ද ඉඩ තිබේ. ඒ නැතත් එතනින් එහාට මතවාදයක් වශයෙන් සටනක් හෝ දික් ගැහෙන අරෝවක් නවතා ගැනීමේ සැහැල්ලුව අපට ලැබෙනු ඇත.
ඒ පිළිබඳව යමක් කළ හැකි , බලපෑමක් කළ හැකි තුන් වැනි පාර්ශ්වයක් සමඟ අපේ ගැටලුව සාකච්ඡා කිරීම තුළින්ද නින්දා අපහාස නිසා අසහනයට පත් අපේ මනස යම්තාක් දුරකට සන්සුන් කර ගන්නට , එය අමතක කර දමනු පිණිස උදවුවක් ලබා ගන්නට හැකිවනු ඇත.
එහෙත් මේ සියලුම ක්‍රමවලට වඩා යහපත්ම ක්‍රමවේදය ලෙස මේ කාරණා සම්බන්ධව විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන් පවසන්නේ ඒ මොහොතේ සිතට නැඟෙන චිත්තවේග හඳුනාගැනීමයි. ඉන් පසු ඒවා වහා ප්‍රතික්ෂේප කරන්නට උත්සාහ නොකොට ඒවා තේරුම් ගැනීම ඊට කදිම පිළිතුරක් බවයි.
ඒ සමඟම එය වෙනත් පුද්ගලයකුට ආරෝපණය කර , තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ කිරීම ද ඊටම බැඳුණු තවත් එක් මඟකි. අපේ මිතුරකු හෝ සමීපතමයකු ඒ ආකාරයේ චෝදනාවකට ලක්වී ලක් වී සිටියේ නම් අප ඔහු හෝ ඇය සනසන්නට ක්‍රියා කරන ආකාරය සිතින් මෙනෙහි කර බැලීම මෙහිදී අපේ ප්‍රශ්නයේ බර හෑල්ලු කරන්නට උදවු වන බව නිසැකය.
උපේක්ෂාව මේ සියල්ලට ඉහළින් ඇති පිළිතුර ය. ඔබ ද මම ද සියයට සියයක් පරිපූර්ණ මිනිස්සු නොවෙමු. චෝදනා, අපහාස, නින්දා කරන තැනැත්තන් ද එසේමය. ඒ දෙස අවබෝධයෙන් හා උපේක්ෂාවෙන් බැලීමට හුරුවීම මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වන ආයෝජනයකි. අනෙක් අතට අප අතින් සිදු කළ යුතු යුතුකම හා ඉටුවිය යුතු වගකීම් උපරිමයෙන් සිදුකරන්නට අවංකවම හුරු වී සිටින්නේ නම්, ඒ විශ්වාසයම ටික කලක් යද්දි හිතේ සැනසිල්ලට ද හේතුවනු ඇත.