සතියේ කවිපොත | Page 2 | සිළුමිණ

සතියේ කවිපොත

කෘතිය- කඳුළු හුයක සිනාමල් 
කර්තෘ- නන්දනී රත්නායක 
මිල- රුපියල් 300/= පිටු ගණන-67 
විමසීම්-0714 484 328

ජීවිතය යනු දුක හෝ සතුට පමණක්ම නොවේ. එහි අපූරු සම්මිශ්‍රණයකි. විටෙක කඳුළු හුයක ඇමිණෙන සිනා මල්වලින් හැඩවන ජීවිතයේ සුන්දරත්වය ගැන අපට කියන මේ කිවිඳිය, නන්දනී රත්නායකයි. ‘කඳුළු හුයක සිනාමල්’ ඇයගේ නවතම කාව්‍ය සංග්‍රහයයි.

කිවිඳියගේ හද සසල කළ එදිනෙදා ජීවිත අත්දැකීම්වලින් ගොඩනැඟුණු මෙම කාව්‍ය සංග්‍රහය තුළ බොහෝ දෙනකු මුහුණ දෙන සුලබ අත්දැකීම් රාශියක් හමුවේ.

ආසියාතික රටවල මවුපිය රැකවරණය අහිමි වූ තැන මුනුපුරු මිනිබිරියන්ට පිහිට වීමට ඉදිරිපත් වන්නේ ආච්චිලා සීයලාය. කෙතරම් අඟහිඟකම් සහ ලෙඩ දුක් මැද වුවද ඔවුහු සිය මුනුපුරු මිනිබිරියන් වෙනුවෙන් යුතුකම් ඉටුකරති. දරුවන් හදා දරුවන්ගේ දරුවන් ද ද හදන වඩන ආච්චිලා සීයලා ගැන කිවිඳිය ගේ හදවත ළතෙත් වූ ආකාරය ඇය මේ කාව්‍ය කෘතිය තුළින් අපට පසක් කරන්නීය.

නීල දිය කඩිති මැද 
හීත හිරිගඩු පිපෙන 
ගමට වී හිඳිමි මම... 
සිහිනයෙන් මෙන් ඇසෙයි මට 
නුඹේ ළපැටි හැඬුම 
(නොදෙන දේ ඉල්ලා කරන) 

කට බලියා- සිඟිති දිව සොලවා 
කරන ආයාචනා... 
සැදෑ අහසේ වර්ණ සිතුවම 
පසුබිමේ පියාඹන කොක්රෑන‍ 
නුඹ කොහිද විමසනා...

මුනුපුරා වෙනුවෙන් මිත්තණියගේ හදවතේ උතුරා හැලෙන ස්නේහය කිවිඳිය එලෙස රචනා කර ඇත්තේ මේ කාව්‍ය සංග්‍රහයේ එන මිත්තණියගේ කවිය මඟිනි. මිත්තණිවරුන් පමණක් නොව මුනුපුරු මිනිබිරියන්ගේ මතක ගබඩාවල ද ආච්චිලා සීයලා ගැන අපමණ සොඳුරු මතක වේ. ඒවා ඔවුනොවුන්ටම අවේණික වූ ආදරණීය සැමරුම්ය. ඉතින් එවැනි ආදරණීය අත්තම්මා කෙනෙකු මෙලොවින් වියෝවූ කල මුනුපුරාට එය කෙසේ නම් දරාගනු හැකිවේද? අත්තම්මාගේ සොහොන ළඟ සිටි මුනුපුරා නම් කවි පන්තිය තුළින් කිවිඳිය මතු කරන්නේ ඒ වේදනාවයි.

හීනයක් වගේ මට 
පෙනෙනවා අත්තම්මෙ 
ඔයාගේ සුදු මූණ... 
හැන්දෑවේ වලාකුළු 
රතුපාට ගැහෙන කොට 
ඒ යටින් පියාඹන කොක්කු රැළ 
ගැන ගන්න බෑ තනිව... 
ඔයාවත් හිටියනම් මා එක්ක 
කොක් හඬින් හිනැහෙන්න 
අනේ මට තිබුණණේ 
ඔයාගේ උණුහුමට ගුලිවෙන්න...

කිවිඳිය මෙතරම් මනහරව ඒ සිතිවිලිවලට පණ පොවා ඇත්තේ ඇයත් මිත්තණියක නිසා වන්නට ඇත. කෘතිය තුළින් ඇය ප්‍රණාමය පුදන ලැයිස්තුවේ පහළින්ම සිටින ඇයගේ සිඟිති මුනුබුරා ඔමෙත් කේමින් කිවිඳියගේ හදවතේ ඉහළම තැනක සිටින බව මේ කවි පද තුළින් මනාව පැහැදිලි වේ.

මගේ දිවි සැඳෑවේ 
අරුත මට කියාදී 
ළපැටි කිරි සිහිනවල 
මල් සුවඳ... 
හිත පුරා අතුල්ලන 
මගෙ පුංචි මුනුපුරා...

ඒ වදන් සරල වුවත් සුන්දරය;ආදරණීයය. අත්තම්මා කෙනකුගේ ආදරය සිත පුරා විඳගත් ඕනෑම මිනිබිරියකට, මුනුපුරයකුට වහා දිවගොස් ඇය වෙත තුරුලු වන්නට සිතෙන තරම් ළෙන්ගතුය. එහෙත් තාක්ෂණයට නතුවූ ලෝකය තුළ බැඳීම්වලට දී ඇත්තේ අමුතුම අගයකි. මෙහි එන අත්තම්මාගේ දින පොතින් කාව්‍යය ඊට සාක්ෂි දරයි.

කුඩා සුළි- රැඳි - කොපුල් තල මත 
කඳුළු මල් ඉහිරෙනු ඇතී 
මා කියූ රස කතාවල සිටි 
සුරඟනෝ තනියට එතී 
කතා නොකරම සුසුම් වපුරන 
සමුදුරට දුක වැටහෙතී 
ඈත දුරු රට නුඹව රඳවා 
කිරි සිනා ‘වට්ස් අප්’ වෙතී

ආච්චිලා- සීයලාගේ සහ මුණුබුරු මිනිබිරියන්ගේ ලෝකයේ විවිධ හැඩතල කියන තවත් කවි කිහිපයක්ම මෙම කෘතියට ඇතුළත්ය. ඊට අමතරව අප බොහෝ දෙනකු මුහුණ දෙන සුලබ සිදුවීම් රාශියක් දෙස කිවිඳිය සිය කාව්‍යම හදවත විවර කොට ඇත. හමුවීම් සහ වෙන්වීම්වලින් පිරුණු ජීවිතය දුක මෙන්ම සතුට පිරිණු මල්ලකි. ඒ මල්ලත් රැගෙන ජීවිත ගමන පියමනින අප ප්‍රේමයේ සන්තාපයෙන් යළි යළිත් ඇවිළෙන්නෙමු.

ඔබ ලොබ වැඩූ පොත් පිටු අතර 
දියඹුං ගැසූ නිම් තෙරක 
රස පිරූ ගීයක පද‘තර 
සැඟවී ගියෙ ද අප පෙම? 
කවුළුව වසන රෑ යම 
අඳුරට එකතු වී ගිය 
සීත වා කැරැල්ලක 
සැඟවී ගියෙද අප පෙම?

සෙවීම නම් කවි පන්තියෙහි එන ඒ වදන් අහිමි වූ ප්‍රේමයේ මතක ඇති හැම හදවතක්ම යළි යළිත් පාරනු සමත්ය. අහිමි ප්‍රේමයෙන් ඇතැම් අය ජීවිතයම තනිකඩව ගෙවද්දී ප්‍රේමය හිමිකරගත්තෝ සදා සැනසෙති. ගතින් වියපත් වුවද ප්‍රේමය සිතින් වියපත් නොවන්නේ ඒ නිසාය. ප්‍රේමය නොව් වියපත් නම් කෙටිම කෙටි කවිය තුළින් කිවිඳිය ඒ ගැන කියා ඇත්තේ මෙලෙසිනි.

ඈ....? කියා දෙවරක්ම කියූවත් 
නෑ අනේ තරහක වගක්වත් 
බිහිරි වූවද මා සවන්පත් 
ඔබ ඇසේ මා හදට තවමත්...

එවැනි ප්‍රේමයක් ලබන්නට පින් කළ යුතුයැයි සිතෙන්නේ වත්මන් සමාජය තුළ ප්‍රේමය බොහෝ හද සල්පිල්වල අඩු ලන්සුවට විකිණෙන නිසාය. ප්‍රේමය පමණක් නොව සමාජයේ විවිධ පැතිකඩ රාශියක් කෙරෙහි කිවිඳිය සිය අවධානය යොමුකරමින් මෙම කාව්‍ය සංග්‍රහය රචනා කර ඇත. විවිධ තේමා ඔස්සේ ලියැවුණ කවි 63කින් සමන්විත මේ කෘතිය කිවිඳියගේ දෙවැනි කාව්‍ය සංග්‍රහයයි. ඇය සිය මුල්ම පද්‍ය කෘතිය, උදානය පළ කරන්නේ 2015 වසරේදීය. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක වූ කේ.වී. නන්දනී එස්. රත්නායක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීනේ පමු පළ කරන ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය කඳුළු හුයක සිනා මල් කෘතියයි. තව තවත් අභ්‍යාසයේ යෙදෙමින් කාව්‍යකරණයේ නිරත වන්නේ නම් කිවිඳියගේ නිර්මාණ දිවියේ හෙට දවස වඩාත් පැහැබර වන ලකුණු මෙම කෘතිය තුළින් පිළිබිඹු වේ.

Comments