උඩරට ඇත් පරපුරේ හැදියාව සහ ලැදියාව | Page 2 | සිළුමිණ

උඩරට ඇත් පරපුරේ හැදියාව සහ ලැදියාව

ධම්මික ජය­රං­ජන්

•කෘතිය - හැදියාව සහ ලැදියාව 
•කර්තෘ- ධම්මික ජයරංජන් 
•කර්තෘ ප්‍රකාශනයකි. ,
•මිල රු. 200 
•විමසීිම් - 071 989 8567

ලංකාව අතීතයේ සිටම අලි ඇතුන් ගහණ දූපතක් හැටියට ප්‍රසිද්ධව තිබුණි. ටොලමිගේ ලංකා සිතියමේ පවා අලි ඇතුන් කළු පැහැයෙන් දක්වා තිබුණු බව ප්‍රසිද්ධ කරුණකි. කෙසේ වෙතත් පසුව ජනාවාසකරණය වෙමින් නගර කේන්ද්‍රීයව රාජධානි ගොඩ නැගෙද්දී එතෙක් වනවාසීව සිටී මෙම සත්ව විශේෂය ගෘහාසිත වෙමින් මිනිසා හා සමීප සම්බන්ධතාවකට එකතු විය. විශේෂයෙන්ම රාජකීයත්වය මුල් කොට ගත් සම්භාව්‍ය වටිනාකමක් අලි ඇතුන්ට ලැබීම නිසා සංස්කෘතික වශයෙන් ද මෙම සත්වයා උසස් ස්ථානයක වැජඹුනේ ය. උදාහරණයක් හැටියට දුටුගැමුණු රජුගේ කණ්ඩුල නම් හස්තියා ඔහුගේ යුද ශක්තියේ මෙන්ම රාජකීයත්වයේ ද ප්‍රතිරූපයක් වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. රුවන්වැලි සෑයෙන් ආරම්භ වුණා යැයි සිතිය හැකි විහාරස්ථාන වටා ඉදිකෙරෙන ඇත්පවුර අලි ඇතුන් මුල්කොටගත් විශිෂ්ට සංස්කෘතික නිදර්ශනයක් ය. 

දහනම වන සියවස මුල් කාර්තුව දක්වාම පැවැති මෙරට රාජධානි ක්‍රමය අවසන් වන්නේ උඩරට රාජධානිය ඇද වැටීමෙන් පසුව ය. අද වන විට මහනුවර ඒ රාජකීය මාළිඟය තුළ වැඩ වසන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ය. රජුට පිදුුනු රාජකීය හරසර පිදෙන්නේ ශ්‍රී දන්ත ධාතුවට ය. මංගල හස්තියා මත මහත් වූ ගෞරවාචාරයෙන් යුතුව විශේෂයෙන්ම ඇසල පෙරහැර සමයේදී උඩරට රාජධානියේ වීථි පුරා වැඩමවන්නේ ශ්‍රී දන්ත ධාතුව රැගත් රුවන් කරඬුවයි.

උඩරට ඇත් පරපුර නමින් හඳුනාගත යුතු ගෞරවනීය ඇත් පරම්පරාවක් අපට හමුවන්නේ එතැන් සිට ය. රජු මුල් කොට ගත් මංගල හස්තියාට එදා තිබුණේ රාජකීයත්වයේ සම්භාවනීය පිලිගැනීම වුණත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩමවීම මුල්කොට ගත් ඇත් පරපුරට හිමිවන්නේ ඉන් එහාට ගිය පූජනීය ගෞරවාචාරයක් බව පැහැදිලි ය.

ශ්‍රී දළදා මාළිඟයේ ඇතුන් මුල් කාලයේ සිටම හැඳින්වූයේ “රාජා” යන නාමයෙනි. මෙම රාජා නම් හස්තීන්ගේ අන්තිමයා වූයේ අද වනවිට සංරක්ෂණය කොට ප්‍රදර්ශනයට තබා ඇති හස්තියා ගෙනි. ඔහුගෙන් පසුව ශ්‍රී දන්ත ධාතුව වැඩම කරනු වස් බාහිර පුද්ගලයින්ගේ අයිතිය යටතේ සිටි ඇතුන්ගේ සහය ලබා ගැනුණි. මිල්ලන්ගොඩ ඇතා සහ නැදුන්ගමුවේ ඇතා ඒ අතර සිටින ප්‍රකට උදාහරණ දෙකකි.

ධම්මික ජයරංජන් නැදුන්ගමුවේ ඇත් රජු මුල්කොට ගෙන ලියා ඇති “හැදියාව සහ ලැදියාව” නම් කෘතිය කියවීමෙන් පසුව ඉහත සටහන තැබීමට අපට සිත් විය.

නැදුන්ගමුවේ ඇතා මුල්කොට ගනිමින් ඔහු ලියා ඇති එම කෘතියේ ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය මෙන්ම සීතාවක සිට සෙංකඩගලට දළදා කරඬුව වැඩම වූ ආකාරය පිළිබඳව ද විස්තර සටහන් ඇතුලත් ය.

කෘතියක් වශයෙන් ගත් කළ එය මෙරට දළදා සංස්කෘතිය මෙන්ම ඒ හා බැදුනු ඇත් පරපුර පිළිබඳව ද කරුණු එක්රැස් කිරීමට යම් උත්සාහයක් ගෙන ඇත.

නමුත් මෙම විෂය පුළුල් ශාස්ත්‍රිීය ගවේෂණයකට සුදුසු ප්‍රස්තුතයක් බව මෙරට උගතුන්ගේ අවධානය යොමුවේ නම් එය කදිම ය. ධම්මික ජයරංජන්ගේ ඉහත කෘතිය ඒ වෙනුවෙන් පසුබිමක් සකස් කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසය යි.

Comments