
ලක් දනගේ සිත් සැනසූ
සේ සඳවතින් විහිදේ සොමි රැස් කිරණ
ඒ සඳ රැසින් බැබළේ මුව ලක් දෙරණ
රෑ තද අඳුරු සඟවා තුටු කර නයන
පෑ ඔද සිහි කරයි අනුබුදු හිමි ගමන
උතුම් බුදු දහම ලොව අන් රටවලට
දෙසා එම සුවය දීමට ලෝ දනට
දම්සෝ නිරිඳු තෝරාගත් රට වලට
ලක්දිව අයත් වුයේ අපෙ පෙර පිනට
රජ ඇරයුම ලැබුණි අනුබුදු සමිඳුන්ට
ලක්දිව වැඩමවා ලක් රජු හමුවන්ට
බුුදුදම් දෙසා බුදු සසුනද අරමන්ට
තුම් බුදු දහම සදහට මෙහි පවතින්ට
රජ ඇරයුම පරිදි අනුබුදු හිමි සමිඳු
කුලුණැස අප රටේ ජනයා වෙත විහිදු
මෙහි වැඩමවා හමුවී පෑතිස් නිරිඳු
සදහම් දෙසා ලක් දනගෙ සිත් පැහැදු
දන් දෙමු පින්කරමු තෙරුවන් නිති නැමැද
සන්සුන් ගති පැවැත්මන් නිරතුරු වැලඳ
පින්පිරි පිළිවෙත්ම තහවුරු කර නිබඳ
සන්තොස් දැයක් වෙමු බුදු දහමෙහි පැහැද
විමල් රූබසිංහ
පොසොන් හැඟුම්
මිස්සක පව්වෙන් සඳ එළි නැගී දිලෙනවා
අනුබුදු හිමි සඳහම් හඩ පැතිරී යනවා
තිස්ස නිරිඳු සහ පිරිවර සවන් යොමනවා
පොසොන් - හැඟුම සිරිලක් දන මන පිනවනවා
මෙත් ගුණයෙන් හද සතපා නොගැලී පාපේ
අනුබුදු හිමී සඳහම් මඟ නොයෑම සාපේ
සොසොන් සඳේ - සඳ එළියෙන් බුදහිමි රූපේ
දැක ගනු සැම බොදුනු දනන් සිරිලක් දීපේ
ඉපදී - බුදුව පිරිනිවනින් දුන් බැති සරණේ
අනුබුදු හිමි සඳහම් පද වොරැදෙයි සවණේ
අඹතල් - බිම නොවැඩියෙ නම් ඒ මඳ පවනේ
පොසොන් හැඟුම් කොයිබද අද සිරිලක් දෙරණේ
සිරිලක පුරා පිපි සුදු මල් සුවඳ පෙරී
සනහන නිවන් මඟ බුදු ගුණ මිහිර පීරී
හෙළ මහා පොසොන් සඳකින් දෙන රුසිරු සිරි
වේවා පොසොන් සිරියෙන් මුළු ලොවට දිරි
සිරිමල් ජයලත් ද සිල්වා පියනම
යහපත සැලසේවා
කලාවැව රැලි නගන විලසේ
දහම් සිතිවිලි මැවෙනවා
රුවන් වැලි මහ සෑය අබියස
සිල් සුවඳ සිත නිවනවා
හමා එන මඳ සුළඟ අතරේ
දැයේ අභිමන් ඇසෙනවා
මිහිඳු අනුබුදු සමිඳු සරණින්
රටට යහපත සැදෙනවා
රත්නසිරි පතිරණ
පොසොන් සඳ
හොවා දුනු ඊතල,
මුවා පසු පස නොමග ගිය සිත,
දොවාගෙන අමා සිසිලෙන්
අසා බුදුබණ මිහිඳු හිමිගෙන්
යහ මඟට බට තිස්ස නිරිඳුන්
එහිමි දෙසු බණම අසමින්
ගිනි අවි දරා සුරතින්
පිළිමලුන් නසමින්
උනුන්ද නැසෙමින්
තවත් දුර යතොත් මෙලෙස
පොසොන් සඳ යනු ඇත
යළි නොඑන ලෙස බැස
ලාල් කළුතරගේ
සමරමු
නැඟ එන පොසොන් සඳ මිස්සක ගිරි මුඳුනින්
සදහම් සිසිල පුරවයි තුන්සිත නිවමින්
නපුරට හැරෙන සිතිවිලි දුරලා විගසින්
අනුබුදු හිමිගෙ ගුණ සමරමු හද බැතියෙන්
දින දින දසත ඇවිළෙන ගිනිදැල් නිවමු
නිකැළැල් බුදු දහම නිසි ලෙස හඳුන ගමු
අනෙකා සමඟ අප නොම සසඳා බලමු
පිළිවෙත් සපුරමින් නිරතුරු දිවි ගෙවමු
වස්තුව රැස් කළත් අප ගැති වී සිතට
සමුදිය යුතුයි දවසක පොදි ගැසූ සැමට
වැටුන කෙනෙකු හට දිය හැකි නම් පිහිට
එයමයි පොසොන් දිනයේ නිම නැති සතුට
දම්මිණි ප්‍රේමචන්ද්‍ර ෆොන්සේකා
සැනසීම
මිහින්තලාවේ
අඹතුරු සෙවණට
පොසොන් පොහෝ දින
පායා පුන් සඳ
බුදු මඟ පහදා
අනුබුදු හිමියන්
දෙසූ දහම් පද
තිස්ස නිරිඳුහට....
පුබුදා ලක්දිව
දහම් අමා ගුණ
හැඟුම් ගලාවිත්
ගෙනේ සිතට
සැනසීම සුවේ
නන්දන නාපාවල
ඔබ කවරෙක්ද
සම්බුදු දහම නොමදැන
ගස් ගල් වලට වඳිමින
අගතියෙන් අගතියට බරවුන
මිනිසුන් පිරිසක් එදා වන
නොදැමුන ඉදුරාන
දුනු හී දෑත දරාගෙන
තිස්ස නම් නිරිදාන
දඩයමට වන වැදුන
රජු දුනු හී අත මානන
සිතෙන් සැලසුම් සදයි ගාතන
සෙමෙන් එය වාරන
තිස්ස නම ඇසුණු දාරන
ලක් දෙරණ රජ කරන
බල මහිමයෙන් සපිරුන
නමින් මම අමතන
ඔබ කවරෙක්ද කිව මැන
පවින් සිත ගත මුදවන
යමමඟට ඔබ යොමු කරවන
භාරත දේශයෙන් පැමිනුණ
මිහිඳු හිමියන් මමයි දනු මැන
රජු සම්බුදු දහමෙහි බැදුණා
රට වැසියෝ සතුටින් පිබිදුණා
ලක්දිව දහමින් බැබලුණා
දහම් දීපයයි නමක් පට බැඳුණා
සුනේත්‍රා ප්‍රේමසුන්දර
සුබ පණිවිඩය
අඹතල මුඳුනෙ සිට එයි බුදු ගුණ ගීත
නුඹ කුස තුළ නැගෙයි සඳරැස් සුවිනීත
පොබකරවමින් මිහිකත නදියකි සීත
සුභ පණිවිඩය පිළිගමි නගමින් දෝත
අද වැනි දිනක සතහට නිසිමග පෙනුනේ
සිඳබිඳ සසර බැමි මොක්මග දොර ඇරුනේ
නද දෙන සියොතුන්ද සතුටින් පෙළ ගැසුනේ
මදහස තුළින්මය සුවඳැතිමල් පිපුනේ
සත්වග වෙතට දුන් දහමින් සැනසෙන්නයි
සිත්වල දුක නැසී හරිදෙය දැකගන්නයි
මෙත් කරුණාව තුළ සමිඳුන් වැඩ ඉන්නයි
සෙත් සුව සතුට ලැබෙමින් පෙරටම යන්නයි
කරුණාදාස සපුතන්ත්‍රි
අමා දිය දහර
පොසොන් සඳත් උදාවෙලා
සිරිලක් බිම එලිය වුණා
අනුබුදු හිමි දෙසු දහමින්
ලක්දිව සිත් පහන් වුණා
අම්බස් තල මුදුනේ සිට
දහම් අමා දිය ගැලුවා
බෝ හදවත් පුබුද වුනා
පව් මල සේදී වැටුණා
එදා පටන් මේ දෙරණේ
මෙත් කරුණා මල් පිපුණා
බුදු හිමිගේ දම් බලයෙන්
ලෝ සතහට සෙත සැදුණා
ඕ. පියසෝම පෙරේරා
සිරිලක වඩිනු මැන
අනුබුදු මහ රහත් හිමි වැඩි පොසොන් දිනේ
මිස්සක පව්ව මුදුනින් දම් සිසිල ගෙනේ
දඹදිව දහම් සෝ නිරිඳුගෙ පුතණු වනේ
අප දෙස බලා යළි සිරිලක වඩිනු මැනේ
ඔබ දුන් දහම් පණිවිඩයම වැලඳ ගෙන
රජ සිටු ඇමති දන ඇසුවා මුනිඳු බණ
මහණ දම් පුරා බොදු පිළිවෙත් රකින
සඟ පරපුරක් කහ සිවුරින් බිහි කෙරින
දේවානම් පෑ තිසි රජ දවස පටන්
පොසොන් සුවඳ විඳ ගති අප සැදැහැ සිතින්
මිහිඳු හිමිගෙ ගුණ සමරා බුදුනු බැතින්
පොසොන් තොරණ පෙරහැර සිහි කරමි ඉතින්
ආනන්ද අබේවික්‍රම
පැතුම
අතගගා අඳුරු මුළු ගෙවා කප් කල්පයක්
මෙත ඔතා බෙදු දහම මුදාගත් දේශයක්
ඇත වෙළා අද දවසෙ ලෙහණු බැරි පැටලුමක්
නැත මෙදා දකිණු හැක ධර්මයක අසිරියක්
පොසොන් සඳ එබේවා පලාහැර ගන අඳුර
මුවින් මුව ගැයේවා හැම පැයක මෙත් සුතුර
නිතින් හිත් නිවේවා ගලා සැනසුම් වතුර
දනන් මුව රැඳේවා පිපුණු හසරැල් අතර
මනෝරි ගමගේ
මිහිදු හිමියනේ
කෝපයෙ ගිනි දැල් නිවා දමන්නට
කුලුණු දියෙන් මෙත් මල් පූදින්නට
ගුණ සුවඳින් හෙළ බිම සනහන්නට
අනුබුදු හිමියනි වඩිනු මැනේ - යළි වඩිනු මැනේ
මහ පොළොවේ බිම් අඟලක් වෙනුවෙන්
උතුම් මිනිස් දිවි වනසා ලති අද
එවන් අයට යහමග පෙන්වන්නට
අනුබුදු හිමියනි වඩිනු මැනේ - යළි වඩිනු මැනේ
දුසිරිත් දුහුවිලි වෙලා සියදු අත
මේ බිම මරු කතරක සිරි ගෙන ඇත
දහම් දියර ඉස සිසිල සදන්නට
අනුබුදු හිමියනි වඩිනු මැනේ - යළි වඩිනු මැනේ
පුෂ්පලතා විද්‍යාලංකාර
මේ සඳ එළියේ
පොසොන් සඳේ සිසිල හමයි
අපෙ ගම් මැද්දේ
පුංචි පැටව් කූඩු හදයි
වැව් තාවුල්ලේ....
පොසොන් සිරිය නරඹාලා
සැදැ සිතින් සැනසිලා
සඳේ ගම්මැද්දේ
අපි ඇව්දිනවා...
ජේ. ඩී. අබේකෝන්
සිත් පහදා ගමු
මිහිඳු සමිදු පිය උප දෙසින් ලද පෙර
මිහින්තලාවට රජු දැක වැඩම කර
සංවාදෙකින් පසු දැන දැණුම සමබර
බොඳුවන් කළහ රජු හා සපරි පිරිවර
සුපුරුදු ලෙස ගලන සඳරැස් කසුන් වැට
කළ එළි කරයි ගෙමිදුල මල් යහන් යට
සිල්ගත් බොදුණුවෝ තම සිත් පහන් කොට
පසුවෙති නිවෙස් තුළ නිකෙළෙස් පැතුම් පිට
උවසු උවැසියන් වන මල් අතින් දරා
පිගැට නැග ගියත් එදවස පැතුම් පුරා
අද නැති එවැනි උවසුන් සෙනහසුන් අරා
කැඳවති පරිසරය අනියත දසුන් කරා
හාතාගොඩ විමලසිරි
නමදිමු
මිස්සක අරණේ තුරුලිය අතු පතරේ
වන මල් පිපුණා පැහැසර හිරු සෙවණේ
මිගවග සරණා පවසින් නැහැ තැවුණේ
විල්දිය පිරුණා පියුමන් නෑවෙන සේ
සියක් දහසක් ආලෝකය හමුවේ
කහවත් පින්වත් බුදුපුතු රජ දැක්මේ
ගිනි ගත් හදවත් වැලිකැට වන් පොළොවේ
දහමක් සිසිලක් හිමි ඔබගෙනි පැතුවේ
බුදු වදනක් පෙර නෑසූ දනන් එදා
මුදු වදනින් ඇමතූ සැනසු සමිඳා
සුළු ඇත් පද සුතුරෙන් රට නැළවූදා
සාදු සාදු නමදිමු හිමි සරණ පතා
ගොංගිතොට සරත්
දහම් දිවයින
නරනිඳු දෙවන පෑතිස් රජ දවස එදා
අනුදුබු මිහිඳු හිමි වැඩි දම් සුවඳ විදා
පරසිදු මිහින්තල වතගොත මතක සදා
හෙළබොදු දනන් සමරති බැතිබරව පුදා
දෙසමින් දහම් හිමිසඳ පෑතිස් රජුට
දවමින් පවිටු සිතිවිලි බරවුන පවට
ගනිමින් රජුනි සහ පිරිවර බොදු මගට
දහමින් මිහිඳු හිමි සෙත සැලසුනි රටට
අනුබුදු මිහිඳු හිමි ගෙන වැඩි දම් සාර
හෙළදැස ඔපකලා දහමින් තිරසාර
එකමුතු දමින් බැඳි නිති දන පිංසාර
මහවැව් අමුණු බැඳි රට වුනි සරුසාර
උපවැදි පැවිදි සැම සමගිව රොද බැදුනී
දාගැබ් බුදු මැදුරු රටවට ගොඩ නැගුනී
අම්බස්තලෙන් සුපුරුදු මුණි බණ ඇසුනී
මහ සෑ මිහින්තල සඳ කිරණට තෙමුනී
ටී. ඇම්. පොඩිරාලහාමි
දහම් දිවයින
ගඟ අහසින් තරණය කර දැකුමට අඩතල ගිරි පිමි
සඟ පිරිසක් සමඟ වැඩිය පොසොන් දිනේ අනුබුදු හිමි
වග පවසා තිස්ස රජුට පිළිතුරු අඹ පැනයෙන් නිමි
වග ඇසුරිනි පොහෝ දිනේ මහරජුගේ දඩකෙලි බැමි
චුල්ල හස්ති පදුම සුතුර දෙසමින් රජ පිරිස වෙතට
එල්ල වුණේ තෙරුවන් ගුණ පහදවන විට බලය සිතට
රැල්ල වගේ තුටු කඳුලැලි ගලමින් සැම දෙනගෙ නෙතට
මෙල්ල වුණු බොදුවන්වී පා සිල්ගෙන කුළුණු සිතට
ඇරයුම ලැබ පසුදිනයේ සඟ පිරිසම රජු නිවසේ
නරපති හා පිරිස වෙතට මිහිඳු සමිඳු බණ පැවසේ
නිරයේ දෙව්ලොව පවපින අනුලා අසමින් දවසේ
තිර අධිටන් ගෙන සසුනේ මගඵල ලැබුවා සුවසේ
බුදු හිමි තෙවරක් වැඩි දින සිරිලක බුදුරැස් දිලුනා
මදුරසදම් සුවය ලැබී හැම දනගෙම හිත ඇලුනා
බොදු හෙළ රටකට මෙහෙවර කර ඇති කර හද කුලුනා
සිදු වූ අසිරියට පොහෝ අද දින බොදු කොඩි සැලුනා
ගුරු දෙවි මොග්ගලීතිස්ස හිමිගේ මෙත් අනිත් පැතූ
ගරු කොට එව් පිරිස සමග වැඩියා අනුබුදුන් පුතූ
හිරු මෙන් බැබලු සසුනකි ලැබුනේ ගුණ දහම් එතූ
උරුමය අපහට ලැබුනේ ගෞතම හිමි මෙතින් පැතූ
මුණසිංහ නිශ්ශංක
පොසොන් පෝ දා
අම්ඹස්ථලයට පායපු සඳ අනුබුදු සමිඳුනි
රුවන් වැලිය සෑ මළුවට ඒ රැස් විහිදුනි
උඩ මළුවේ වැලි මළුවේ කිරි සුද දිලිසුනි
ජය සිරිමා බෝ සමිඳුන් සිසිල බෙදා දුනි
කලා වැවේ දිය රැලි මත සඳ රැස් දිලිසුනි
සමාධි පිළිමේ කරුණා ධාරා වෑ හුණි
සඳකඩ පහනේ ලියවැල් මත රස වෑහුණි
අවුකන බුදු රුව දකින්න පින් සිත් පෑදුනි
පෑතිස් නිරිඳුන් එදවස ඇසුවෝ බණ පද
සිව් පිරිසක් හෙළ දෙරණට උරුම කළෝ සොඳ
දහම් දීපයක් විලසින් පොබකළ ඒ සඳ
අඹතලයට පායපු සඳ අනුබුදු සමිදුන්
කුසුමා ප්‍රේමරත්න
මිස්සක පින්බිම
හිස කඳු මුඳුනක තොරණ බැදේවී
සුපුරුදු දන් පින් ඉහළ ඇදේවී
අනුබුදු ගුණ නැණ සිතෙහි රැදේවී
පිරිසුදු දහමෙන් රට ම හැදේවී
නිදහස් විමනේ මවුරට ජාතිය
සඳරැස් වතුරේ අනුබුදු ජෝතිය
බුදුරැස් විහිදා අඹතල චේතිය
අදහස් උපදී සම්බුදු නීතිය
ඇත් පද උවමේ සදහම් රාවය
අත් විඳ සැනසුණු ලොවුතුරු ජීවය
සිත් මල සුපිපෙන සුමිහිරි තාවය
මෙත් සවි සුවයකි සැලසුණු සේවය
මන්දිර සදහම් සම්බුදු පිළිමය
සුන්දර නිමැවුම් නිමැවුව උරුමය
පින්බර සිතුවිලි සුජනිත දැනුමය
මන්දිර නොනගී දෙලොව ම දිනුමය
පත පොත ලියැවුණු අකුරු රටාවයි
සතරක දිනුමේ දැනුම වැඩීමයි
පරිණත පිරුවන ඉගෙන ගැනීමයි
ගත සිත නිවුමේ දැහැමි ලතාවයි
අනුලා දේවිය දැය දිනු පොරණේ
සලසා සදහම් නිසි රැක වරණේ
වනිතා නිදහස සිරිලක් දෙරණේ
ජනතා දිනුමකි අනුබුදු සරණේ
දන් පින් අගයන දහමට පෝසත්
කන් දෙන ජනතා යහමග යෑමක්
රන් දද සවනක් රැස් මැද සේසත්
පන් සිල් එසැවේ ගුණ නැණ බෝසත්
නුවණැති අඹ පැන විසඳුව අන්දම
නරපති දිනුමකි තෙරුවන් වැන්දම
ගඟ බැති ගලනා ජනරැලි හින්දම
සදැහැති අරණකි මිස්සක පින්බිම
නන්දසේන පලිහක්කාර