පාඩම් කිරීම වගේම වත් පිළිවෙත් පිරීමත් විභාග ඉලක්ක සපුරා ගැනීමට මඟක් ! | Page 2 | සිළුමිණ

පාඩම් කිරීම වගේම වත් පිළිවෙත් පිරීමත් විභාග ඉලක්ක සපුරා ගැනීමට මඟක් !

විභාගේ අත ළඟයි. දරුවාට පූජාවක් තියලා යන්තරයක් දැම්මොත් හොඳයි. පන්සලේ කපු මහත්තයා හමුවෙන්න යන්න ඕනේ.“ “වෙද මහත්තයට කියලා විභාගෙට පිටත් වෙන්න හොඳ නැකතක් බලාගන්නත් ඕනේ.“

මේ විදිහේ දෙබස් අපි අපමණ ලෙස අහල තියෙනවා.

උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ශිෂ්‍යත්ව විභාග හා කඩඉම් තරග විභාග ළංවන විට දරුවන්ගේ ගෙලෙහි ලොකු බෙරගෙඩි වාගේ සුර, යන්තර එල්ලීම, හිස පෙගෙන්නට තෙල් දැමීම, දැන් නැතුවම බැරි දෙයක් වෙලා.

යන්ත්‍රයක් දැමීමෙන් මතක ශක්තිය වැඩි කරන්න පුළුවන්ද? විභාගේ පාස් කරගන්න පුළුවන්ද?

මොකක්ද මේ වැඩකටයුතුවලින් සිදු වෙන්නේ...? සමහර කෙනෙක් මේවා සත්‍ය ලෙස පිළිගනී. තව කෙනෙක් අවඥාවෙන් මේ මතවාද බැහැර කරයි. යන්ත්‍ර සාදන ක්‍රම ගණනාවක් තියෙනවා. කරන්නම් වාලේ කරන යන්ත්‍රවල කිසිදු බලයක් නැති බව අප ඉතා හොඳින් යන්ත්‍ර මන්ත්‍රවල හා බුද්ධ මන්ත්‍රවල හරි පිළිවෙළකට කරන යන්තරවල බලය සුළු පටු නොවේ.

යන්ත්‍රයක් සකස් කිරීමට පෙර දරුවාගේ නිවැරැදි ලග්නය නැකත සොයාගත යුතුයි. ඒ අනුව ශුභ නැකතක් සාදා ගෙන නමට හිමි පක්ෂියා රජ කරවන මොහොතක ශුභ හෝරාවකින් ම පත්බිඳ සකසා ගන්නා ලද යන්ත්‍රය.

ඊට අදාළ පුද පූජා තබා වත්පිළිවෙත් අනුව ජප කිරීම කළ යුතුයි. සෑම ජප වාර 21 කට අනතුරුව දරුවාගේ නම, නැකත ලග්නය සිහි කළ යුතුයි.

ජප කිරීම හෝ මැතිරීමට අදාළ වාර ගණන සම්පූර්ණ කළ යුතුයි. 7 වර, 21 වර, 54 වර, 108 වර, 1000 වර, 1001 වර, 1008 වර වශයෙන් කරුණට අදාළ වන පරිදි බල ගන්වා ගැනීම සිදුකළ යුතුවේ.

දරුවාගේ විභාගයට, තරගයකට ජය පතා සිදු කරන යන්ත්‍ර අතර විශේෂ කාණ්ඩයේ යන්ත්‍ර ලෙස කාර්ය සිද්ධි යන්ත්‍රය, ගණපති යන්ත්‍රය, ගණපති උපස්තනා යන්ත්‍රය, සූර්ය මණ්ඩල යන්ත්‍රය, මතාගේෂ්වරී (බාල) යන්ත්‍රය මන්ත්‍රවලින් මතුරන යන්ත්‍ර වේ.

මහාරතන යන්ත්‍රය, කුඩා රතන යන්ත්‍රය, අභිසම්භිදාන යන්ත්‍රය, ජයේද්‍ර රාජ යන්ත්‍රය, දස දිසා පිරිත් යන්ත්‍රය, ජය පිරිත් යන්ත්‍රය, නවගුණ යන්ත්‍රය බුදු ගුණ පිරිත් බල පිහිටුවා සකසා ගන්නා යන්ත්‍ර වෙයි.

යන්ත්‍ර, මන්ත්‍රවල පමණක් පිහිට ලැබී තරග විභාග ජය ගැනීමට කිසිසේත් ම හැකියාවක් නැත. මේ යන්ත්‍ර පැලඳීම තුළින් සිදුවන්නේ දරුවාගේ යම් අපල දෝෂ හා ඇස් වහ දෝෂ තුන් දොස් කෝපවීම ආදී දෝෂයන් ඇත්නම් ඒවා සමනය වී ඉගෙනීමට ආසාව උනන්දුව ඇති කරවීමේ ක්‍රියාවලියයි.

මෙය සමහර විටෙක පූර්ණ ලෙස සිදුවන මානසික පිබිදීමක් ලෙස ද පිළිගනී.

ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහාභූතයන්ගෙන් සැදුම්ලත් විශ්ව ධාතුව හා මිනිස් සිත හා ශරීරය සැම විට තව කෙනෙකුගෙන් ලැබෙන ආදරය, දයාව, කරුණාව, ළෙන්ගතුකම දැඩි ලෙස ඇලුම් කරයි. තමන්ට ලැබී ඇති අභියෝග අවස්ථාවේ තමන්ගේ ළඟින් ම සිටින අයෙකු විසින් මෙම සෙත් ශාන්ති ආදී ක්‍රියාවලියන් සිදු කර දෙන විට සිත තුළ දැඩි ප්‍රසන්න බවක් ඇති වෙයි. එතුළින් මනසේ හා සිත තුළ ඇතිවන රසායනික ක්‍රියාවලියක් තුළින් දරුවා ප්‍රබෝධවත් වන එන්සයිම මොළයට හා ශරීරය පුරාවට පැතිරී විහිදීම තුළින් විශේෂ ලක්ෂණ රැසක් සමඟින් දරුවා ප්‍රබෝධවත් වන අතර එතුළින් ධාරණ ශක්තිය ඇතිවී ඉගෙනුම ලබන දෙයින් බොහෝ කොටස් මතකයේ රැඳීම සිදුවෙයි. මෙය වෙනයම් ක්‍රමයකට සිදු කිරීමක් මෙතෙක් දැනගන්නට නැත. තමන් විසින් ම ඇති කරගන්නා උත්සාහය කැපවීම ද මීට අදාළ වෙයි.

සත්‍ය පරදවා අසත්‍ය ඉස්මතු කර පෙන්වන සමාජයක මෙම සියලු ගුප්ත විද්‍යා, සෙත් ශාන්ති, බෝධි පූජා, පිරිත් දේශනා ආදියට හිමිව තිබූ තැන මේ වනවිට ක්‍රමයෙන් අහිමිව ගොස් ඇත.

යන්ත්‍ර බැඳීම තුළින් ම පමණක් ජය ගැනීමට නොහැකි බව ඉතා පැහැදිලි ය. ඒ සඳහා අදාළ දරුවාගේ සිත, කය, වචනය යන තිදොරේ සංවර බව හික්මීම මනා පාලනයක් ද අවශ්‍ය වේ. බුද්ධි මට්ටම ද ඉතා වැදගත් වෙයි.

ඉහත සියල්ල පරිපූර්ණ වේ නම් අතිරේක බලයක් ලෙස අතිරේක ශක්තියක් ලෙස ආශිර්වාදාත්මක දේ සිදු කළ හැකි ය. එනම් බෝධි පූජා තැබීම, සෙත් කවි සුගායනය, යන්ත්‍ර පැලදීම ආදී කටයුතු හා බුද්ධි වර්ධන තෙල් හා ඔසු ලබාදීම හෙළ වෙදකමේ ඉතා උසස් බුද්ධිවර්ධක රහස් බෙහෙත් අප සතු දැනුම අතර ඇත.

මෙම සියල්ල තුළින් අවසාන තීන්දුව හා තීරණය නම් පුද්ගලයා තුළ චිත්ත ශක්තිය, ඇතිකිරීම තුළින් ගොඩනැ‍ගෙන ආත්මවිශ්වාසයත් - විශ්වයේ ඇති ශක්තියත් - නිරෝගි බවත් පිරිසිදු බවත් එකට එක්කර ගත් කල එය මහා ආශිර්වාදයක් බලයක් වී ජය ගෙන දෙන බවයි.

ලුනුවිල - ප්‍රඥාව හා මොළයේ වර්ධනයට ඉතා ප්‍රබල ඔසුවක් වන අතර ඒවා නිවසේ පෝච්චියක වගා කොට තබා ගැනීම වටිනා ක්‍රියාවකි. 

අවුරුද්දකට වැඩි දරුවන්ට කොළ කීපයක් පොඩිකර දියරමය ආහාරයකට මිශ්‍ර කර දීමෙන් මොළයේ දුබලතා මඟ හැරී යන බව වෙද පොත්වල සඳහන් වේ.

ආහාර අනුභව කරන වයසේ දරුවන්ට ලුනුවිල, රතු ලූනු සමඟ අඹරා ගිතෙල් හා ලුනු ඇඹුල් ස්වල්පයක් දමා ආහාර සමඟ දීමත් ඉතා හොඳයි. තවද ලුනුවිල පදම අනුව වෙනස් කොට විවිධ වැඩිහිටියන්ට ද ආහාරයට ගත හැකි ය. එයින් බොහෝ රෝග සුවපත් වන බව ආයුර්වේදයේ සඳහන් වෙයි.

ගොටුකොළ, උදුපියලිය, කොත්තමල්ලි, රත්හීනැටි, හීනැටිහාල්, සුවදැල්, ඇල්හාල්, එලඟිතෙල්, තල තෙල් (ඉතා සත්‍ය ලෙසට සකස් කළ ඒවා විය යුතු යි) බුද්ධි වර්ධනයට ඉතා ගුණදායක ආහාරපාන වේ.

රන් මුදුවක් කසළ ගොඩක තිබුණත් එහි අගය හා වටිනාකම කිසිදාක අඩුවක් නොවන බැවින් ලෝකයේ අප වටා ඇති බලයේ ශක්තියේ අඩුවක් නැති අතර සිදුවී ඇත්තේ එම ශක්තීන් තුළට විවිධ අසත්‍ය දේ හා මවා පෑම් එකතු කොට ක්‍රමයෙන් ආර්ථික වාසි ලබාගැනීම සඳහා විනාශ කර දැමීමයි.

ජනතාව අතර එම ශක්තීන් තුළ ඇති විශ්වාසයන් බිදී යාම තුළින් කුමන ආකාරයේ යන්ත්‍රයක් ශාන්ති කර්මයක් තුළින් හෝ ලැබෙන ශාන්තිය පිළිබඳ විශ්වාසයෙන් තොරවීමයි. යන්ත්‍ර පැලඳීමෙන් පමණක් මතක ශක්තිය දියුණු කළ හැකි නම් මන්ද බුද්ධියක් ඇති දරුවන්ට යන්ත්‍ර පලඳවා ඔවුන්ගේ බුද්ධිය මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කොට සර්ව සම්පූර්ණ දරුවෙක් බවට පත් කළ හැකි විය යුතුයි.

අන්ධ විශ්වාස, අන්ධ භක්තිය විනාශයට මුල්වෙයි. යන්ත්‍රයක් පැලඳීමෙන්, සෙත් ශාන්ති කිරීමෙන්, ජීවිතයට ආශිර්වාදයක් ලැබීමට නම් එය නිවැරැදිම ක්‍රමයන්ට අනුවම සිදු කළ යුතුයි. එසේ සකස් කළ යන්ත්‍රය තුළ ශක්තියක් පවතී. එය පුද්ගලයා බාහිර උපද්‍රවවලින් ආරක්ෂා කරයි. අදුරු කිරණවලින් වළකා ශුභ කිරණ ලබාදෙයි. මේ තුළින් යම් ජයග්‍රහණයක් සඳහා ශක්තියක් ලැබෙන බවට සනාථ කළ හැකිවෙයි.

වල්පොල සද්ධානන්ද හිමි

Comments