ඔස්කාර් රාත්‍රියේ කනේ පහර | Page 2 | සිළුමිණ

ඔස්කාර් රාත්‍රියේ කනේ පහර

ලෝක සිනමා ක්‍ෂේත්‍රයේ පසුගිය දිනවල වඩාත්ම කතාබහට ලක් වූයේ කනේ පහරකි. ඒ සුපිරි හොලිවුඞ් නළු විල් ස්මිත් තවත් විකට නළුවකු වන ක්‍රිස් රොක්ට එල්ල කළ කනේ පහරයි. පසුගිය ඉරිදා පැවැති 94 වැනි ඔස්කාර් සම්මාන උළෙල අතරතුර එල්ල කළ මෙම කනේ පහර එම උළෙලේ දී සම්මාන දිනාගත් චිත්‍රපට සහ කලාකරුවන්ටත් වඩා මාධ්‍ය තුළ කතාබහට ලක් වූයේය. 

විල් ස්මිත්ට කේන්ති ගියේ ඒ වනවිට වෙනත් සම්මානයක් ප්‍රදානය කිරීම සඳහා වේදිකාවට පැමිණ විහිළු කතා කියමින් සිටි ක්‍රිස් රොක් ඔහුගේ බිරිඳ ජෙඩා පින්කට් සම්බන්ධයෙන් ද විහිළුවක් කිරීම හේතුවෙනි. ක්‍රිස් ගේ විහිළුවට ලක් වූයේ ජෙඩා හිස මුඩු කර තිබීමයි. ඔහු G.I. Jane නැමැති චිත්‍රපටයක තිබූ චරිතයකට ජෙඩා සම කරමින් විහිළු කළේය. මුලින් විල් ද මේ විහිළුවට සිනාසෙමින් සිටින ආකාරයක් දැකිය හැකි විය. නමුත් ක්‍රිස්ගේ විහිළුව නිසා ජෙඩා තරමක් අපහසුතාවට පත් වූ ආකාරයක් පෙනිණි. ඊළඟ මොහොතේ දක්නට ලැබුණේ සිය අසුනෙන් නැගිට වේදිකාව වෙත එන විල් ය. ක්‍රිස් ද ඔහු එන්නේ කුමකටදැයි කුතුහලයෙන් බලා සිටිනු දක්නට ලැබිණි. ක්‍රිස් අසළට ආ විල් අත පුරවා ඔහුගේ කන හරහා පහරක් දුන්නේය. ක්‍රිස් මොහොතකට අන්දුන් කුන්දුන් විය.

ක්‍රිස් පමණක් නොව ප්‍රේක්‍ෂකාගාරය ද අන්දුන් කුන්දුන් වූයේ මෙය විහිළුවක් ද, එසේත් නැත්නම් කලින් සැලසුම් කරන ලද්දක් ද, එසේත් නැතිනම් ඇත්තටම සිදු වූවක් ද යන්න කිසිවෙකුට තේරුම්ගත නොහැකි වූ බැවිනි. නමුත් මොහොතකින් කාටත් පැහැදිලි වූයේ විල් ක්‍රිස්ට පහර දුන්නේ ඇත්තටම බවයි. මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කාරණයක් තිබේ. එනම් ජෙඩා පින්කට් හිස මුඩු කරන්නේ විලාසිතාවකට නොවන බවය. ඇය දැන් කාලයක සිටම ඇලපීචියා (Alopecia) නැමැති රෝගයකින් පීඩා විඳිමින් සිටින්නීය. එය හිස කෙස් ගැලවී යාමේ රෝගයකි. විල් ට කේන්ති ගියේ ක්‍රිස් තම බිරිඳගේ රෝගී තත්ත්වය විහිළුවට ගැනීම නිසා ය. ක්‍රිස්ට පහර දී නැවත සිය ආසනයට පැමිණීමෙන් පසුව ද විල් නිහඬව සිටියේ නැත. ඔහු අසුනේ වාඩි වී හිඳිමින් ද ක්‍රිස්ට බැණ වැදුණේ අසභ්‍ය යෙදුම් පවා යොදා ගනිමිනි. මේ නිසා රූපවාහිනි විකාශය භාරව සිටි නිෂ්පාදකවරුන්ට එම අවස්ථාවේ හඬ මකා දමන්නට පවා සිදුවිය. මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ ජෙඩා ගේ රෝගය ගැන ක්‍රිස් නොදැන සිටි බවකි.

කෙසේ නමුත් ඊට මොහොතකට පසු විල් ද තමාගේ ක්‍රියාව ගැන පසුතැවිලි වූ බවක් පෙනෙන්නට තිබිණි. ඔහුගේ දෑස් කඳුළින් තෙත් ව තිබූ බව එම අවස්ථාවේ එහි සිටියවුන් මාධ්‍ය සමඟ පවසා තිබෙනු දැකිය හැකි විය. සහෝදර නළු නිළියන් කිහිප දෙනෙකු විල් වෙත අවුත් ඔහු සන්සුන් කිරීමට උත්සාහ ගෙන තිබිණි. ඩෙන්සිල් වොෂින්ටන්, බ්‍රැඩ්ලි කූපර්, නිකෝල් කිඩ්මන් වැනි ජනප්‍රිය නළු නිළියන් ඒ අතර වූ බව වාර්තා වේ.

මෙම සිද්ධියෙන් මොහොතකට පසු විල්ගේ ජීවිතයේ විශිෂ්ටතම අවස්ථාවක් උදා විය. එනම් ඔහු හොඳම නළුවා ට පිදෙන ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීමයි. එය විශේෂ අවස්ථාවක් වන්නේ විල් ඔස්කාර් සම්මානයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය වීම නිසාය.

සම්මානය පිළිගැනීම සඳහා වේදිකාවට ආ විල් නැවතත් හඬා වැටෙනු දැකිය හැකි විය. කඳුළු පිසිමින් ඔහු පැවසුවේ තමා මෙම සම්මාන උළෙල සංවිධානය කරන Academy of Motion Picture Arts and Sciences ආයතනයෙන් ද, සහෝදර කලාකරුවන්ගෙන් ද සමාව අයදින බවයි. නමුත් පහර කෑමට ලක් වූ ක්‍රිස්ගෙන් ඔහු එම අවස්ථාවේ සමාව ගත්තේ නැත. එසේ වුවත් පසුව දා විල් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිස්ගෙන් ද සමාව ගැනීමට කටයුතු කළේය.

ඒ වනවිට ඔස්කාර් උළෙල සංවිධානය කරන ආයතනය මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස අවධානය යොමු කරමින් සිටියේය. මෙම පහර දීම හෙලා දකින බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත් ඔවුන් ද නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබිණි. නීතිය අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවක් ද එහි සඳහන් විය. විල් ස්මිත් ක්‍රිස්ගෙන් සමාව ගනිමින් නිවේදනයක් නිකුත් කළේ මේ අතරතුර ය. 

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අවශ්‍යදැයි ඩොල්බි රඟහලේ සිටි පොලිස් නිලධාරීන් ක්‍රිස්ගෙන් විමසා තිබූ බව සඳහන් ය. නමුත් එවැන්නක් අවශ්‍ය නැතැයි පවසා ඔහු එතැනින් ඉවත්ව ගොස් තිබූ බවක් මාධ්‍ය වාර්තාවල දැක්විණි.

‘ක්‍රිස්, මා ඔබෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිනවා. මා කළේ නුසුදුසු සහ වැරදි ක්‍රියාවක්’ යයි විල් සිය නිවේදනයෙහි සඳහන් කර තිබේ. ‘සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් විසකුරුයි. විනාශකාරීයි’ යනුවෙන් ද ඔහු පවසා තිබිණි. ‘නමුත් මගේ බිරිඳගේ සෞඛ්‍ය ප්‍රශ්ණයක් පිළිබඳව විහිළු කළ විට මට දරා ගැනීමට බැරි වුණා. මම ආවේගශීලීව ප්‍රතිචාර දැක්වූයේ ඒ නිසා යි. ආදරයෙන්, කරුණාවෙන් පිරි ලෝකයක ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ’ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් සටහනේ දැක් වේ.

ලෝකයේ සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වූ කීර්තිමක් කලාකරුවකු වන විල් මේ ආකාරයෙන් ආවේගශීලීව හැසිරුණේ ඇයි? මෙම සිද්ධිය දුටු බොහෝ දෙනෙකු තුළ මේ ගැන කුතුහලයක් ඇති වූවාට සැකයක් නැත. විල් ගේ හැසිරීම සම්බන්ධයෙන් යම් අදහසක් ඇති කර ගැනීමට උදව්වන තොරතුරක් ඔහු ගේ ජීවිත මතක සටහන් ලියූ will නැමැති පොතෙහි සඳහන් වන බව මාධ්‍ය අනාවරණය කර තිබිණි.

තමා වයස අවුරුදු නවයක දහයක දරුවකුව සිටිය දී ප්‍රචණ්ඩ බේබද්දකු වූ තම පියා මවට කෲර ලෙස පහර දෙනු දුටු බව විල් ඉහත කී පොතෙහි ලියා ඇති බව පැවසේ. මවගේ ආරක්‍ෂාව වෙනුවෙන් එකල තමාට කිසිවක් කිරීමට නොහැකි වීම තමා තුළ විශාල පශ්චත්තාපයක් ඇති කළ බවද, එය කෙතරම් ප්‍රබල වී ද යත් දිවි නසා ගැනීමට පවා කල්පනා කළ බවද ඔහු සඳහන් කර ඇත.

තමා නිවටයකු ය යන හැඟීම ඇති කිරීමට හේතුවන ඕනෑම අවස්ථාවක් තමා තුළ ආවේගශීලී බවක් ඇති කරන බව ද විල් එම පොතේ ලියා තිබේ. ඔස්කාර් උළෙල අවස්ථාවේ ද ඔහු ආවේගශීලී වූයේ ක්‍රිස් තම බිරිඳට විහිළු කරද්දී නිහඬව සිටීම නිවටකමක් ලෙස හැඟුණු නිසා විය හැකිය.

විල් සහ ජෙඩා දෙදෙනාගේ විවාහ ජීවිතයට මේ වනවිට වසර 25 කි. ඔවුන් විවාහ වූයේ 1997 වසරේ යි. ඊට පෙර විල් ෂෙරී සැම්පිනෝ සමඟ විවාහ වී සිටියේය. ඔවුහු 1995 වසරේ එකිනෙකාගෙන් දික්කසාද වූහ. විල්-ජෙඩා දෙදෙනාට දරුවෝ දෙදෙනෙක් සිටිති. මේ පවුලේ සියලු දෙනාම නළු නිළියන් ය. 

විල් ගේ කම්මුල් පහර ගැන කතා කරන අතරම මෙවර ඔස්කාර් සම්මාන දිනාගත් නිර්මාණ සහ කලාකරුවන් ගැන ද කතා කිරීමට අමතක නොකළ යුතුය. 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සියාන් හෙඩර් ගේ අධ්‍යක්‍ෂණයක් වූ Coda චිත්‍රපටය යි. මෙය මසුන් ඇල්ලීමේ සහ විකිණීමේ යෙදෙන දිළිඳු ගොළු/ බිහිරි පවුලක් වටා ගෙතුණු සිනමාපටයකි. එම පවුලෙහි කතා කළ හැකි සහ කන් ඇසෙන සාමාජිකයන් සිටින්නේ එක් අයෙකු පමණි. ඒ තරුණ දියණිය යි. ආර්ථික ගැටලු නිසා මෙන්ම ගොළු/බිහිරි බව නිසා ද විවිධ පැතිවලින් බැට කන මෙම පවුල මුහුණ දෙන අත්දැකීම් චිත්‍රපටය තුළ නිරූපනය වේ.

මෙවර ඔස්කාර් උළෙලේ දී හොඳම චිත්‍රපටය වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ කොඩා නොවීම ද විශේෂත්වයකි. වැඩි දෙනෙකුගේ තේරීම වී තිබුණේ ජේන් කැම්පියන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද The Power of the Dog චිත්‍රපටය යි. එය සම්මාන 12 ක් සඳහා නිර්දේශ වී තිබිණි. කොඩා නිර්දේශ වී තිබුණේ සම්මාන 3 ක් සඳහා පමණි. නමුත් අවසානයේ The Power of the Dog පරදවා හොඳම චිත්‍රපටය සම්මානය දිනාගන්නට Coda සමත් විය. හොඳම චිත්‍රපටය සම්මානය සඳහා චිත්‍රපට 10 ක් නිර්දේශ වී තිබිණි. සුප්‍රකට අධ්‍යක්‍ෂ ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්‍ෂණය කළ West Side Story ද ඒ අතර විය. ඉහත සඳහන් කළ චිත්‍රපට තුනට අමතරව සෙසු නිර්දේශිත චිත්‍රපට වූයේ Belfast, Dune, Drive My Car, Nightmare Alley, King Richard, Licorice Pizza, Don't Look යන ඒවා යි. මෙවර සම්මාන උළෙලේ දී කැපී පෙනුණු තවත් චිත්‍රපටයක් විය.

ඩෙනිස් විල්නව් අධ්‍යක්‍ෂණය කළෘමබැ සම්මාන වැඩිම ගණනක් දිනාගත් චිත්‍රපටය යි. ඊට සම්මාන 6 ක් හිමි විය. ඒ හොඳම කැමරාකරණය, හොඳම සංගීතය, හොඳම දෘශ්‍ය ප්‍රයෝග,හොඳම නිශ්පාදන සැලැස්ම, හොඳම සංස්කරණය, හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් පිදෙන සම්මානයි.

Coda චිත්‍රපටය,කලින් කී ලෙසම සම්මාන තුනක් සඳහා නිර්දේශ වී තිබූ අතර එම සම්මාන තුනම හිමිකරගැනීමට සමත් වීම විශේෂත්වයකි. හොඳම අනුවර්තිත තිර රචනය වෙනුවෙන් සියාන් හෙඩර් සම්මාන දිනාගනිද්දී, හොඳම සහය නළුවා සම්මානය එහි රඟපෑ ට්‍රෝයි කොට්සර් ට හිමි විය.

කලින් සඳහන් කළ The Power of the Dog සිනමාපටයට හිමි වූයේ එක් සම්මානයක් පමණි. ඒ හොඳම අධ්‍යක්‍ෂ සම්මානය යි. King Richard චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් විල් ස්මිත් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් අතර The Eyes of Tammy Faye චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කළ ජෙසිකා චැස්ටේන් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. හොඳම ස්වතන්ත්‍ර තිරනාටකය වෙනුවෙන් පිදෙන සම්මානය හිමි කරගත්තේ Belfast චිත්‍රපටය යි. එහි තිර රචකයා මෙන්ම අධ්‍යක්‍ෂවරයා ද වූයේ කෙනත් බ්‍රානා ය.

ජපානය විසින් ඉදිරිපත් කරන ලද Drive My Car හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය සම්මානය දිනාගත්තේය. රියුසුකෙ හමගුචි අධ්‍යක්‍ෂණය කළ මෙය සුප්‍රකට ජපාන ලේඛක හරුකි මුරකමි ගේ කෙටි කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. Encanto හොඳම සජීවකරණ චිත්‍රපටය ලෙස සම්මාන හිමි කරගත්තේය.

Comments