
කලාකරුවාගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ කුමක්ද යනුවෙන් බෙහෙවින් ජනප්‍රිය එහෙත් නියමාකාර පිළිතුරක් නැති ප්‍රශ්නයක් අප හමුවේ වෙයි. අපට සිතෙන්නේ කලාකරුවාගේ ප්‍රධාන අරමුණ වන්නේ අත්දැකීමට සජීවි බවක් ලබාදීම කියා ය. අප සැමට ඇති අත්දැකීම කලාකරුවා විසින් සජීවී ව අනෙකාගේ අත්දැකීමක් බවට ද පත් කරයි. නැත්නම් එය චිත්තාකර්ෂණීය දෙයක් බවට පත් කරයි. කවියා, නවකතාකරුවා, චිත්‍ර ශිල්පියා, මූර්ති ශිල්පියා ඈ මේ ඕනෑම කලාකරුවකු වස්තු බීජවලට; වස්තුවට යමක්් එක් කරයි.
පාඨක හෝ රසික මනසෙහි සදාකාලික ව රැඳී සිටින චරිත නිර්මාණය කරන කෙටිකතාකරුවෝ හා නවකතාකරුවෝ එකී චරිතවල අත්දැකීම පොදු පාඨක අත්දැකීමට සමාන කරති. සමහර කතා අපගේ ජීවිත සුමට කරන්නේ ය; තවත් සමහර කතා අපට වෙනස් ම ජීවන පරිඥානයක්, නිෂ්ඨාවක් උදා කරන්නේ ය. කියැවූ පොත් අතරින් ඔබ වඩාත් ම සන්සුන් කළ කෘති මොනවාදැයි කෙනෙක් මගෙන් ප්‍රශ්න කළහොත් මුල්පෙලේ ලා දැක්විය හැකි කෘතියක අත්දැකීම මෙවර ඔබ වෙත ගෙන එන්නට සිතුවෙමි. ‘සත්‍යකාම‘ ඔබ මේවන විටත් කියවා නැත්නම් කියවන්නට ඇරියුම් කරමි.
කැත්ලීන් ජයවර්ධන ජ්‍යෙෂ්ඨ ලේඛිකාව නිර්මාණය කරන සියලු නිර්මාණ කෘතිවල පැහැදිලි ඒකතානයක් දකිමි. ඇය සිය නිර්මාණ දිවිය කැප කරන්නේ පාඨක මනස සන්සුන් කිරීම උදෙසා ය. අප දකින විඳින බොහෝ නිර්මාණ: ජීවිතය ගිනිගන්නට තව තවත් උල්පන්දම් දෙන ඒවා ය. එහෙත් කියැවීමෙන් පසුත් කතා රසයට බොහෝ එහා ගිය විඳීමක් ලැබෙන නිර්මාණයක් විනා කැත්ලීන් ලේඛිකාව අතින් හරසුන් යමක් ලියැවෙන්නේ නැත. ඒ නිර්මාණ සමුච්ඡය අතරිනුත් වඩාත් ම සිත නිවන කෘතිය කුමක්දැයි ඇසුවොත් දෙන්නට ඇති පිළිතුර සත්‍යකාම කියා ය.
‘ මම මේ පොත ලියන්න කලින් මෙය 1985 ගුවන්විදුලි රඟමඬලට පිටපතක් සේ ඉදිරිපත් කළා. ඒකාලයේ ගුවන්විදුලි රඟමඬල නිෂ්පාදක වශයෙන් කටයුතු කළේ සුගතපාල ද සිල්වා. එහි තේමාව වුණේ ‘ප්‍රේමය, සාමය සහ නත්තල‘.
මට මේ පිටපත ලියන්න පාදක වුණේ හරි අපූරු කතාවක්. පල්ලියක් ළඟ අවුරුදු 30ක් බලන් ඉදපු මිනිසෙක්ගෙ කතාවක් විදියටයි මෙය ලියැවුණේ. මේ වස්තුබීජය මම ගුවන්විදුලි රඟමඬලට ලියල දුන්න ම සුගතපාල ද සිල්වා තමයි කිව්වෙ මේක වඩාත් සුදුසු නවකතාවකට කියලා.
අවුරුදු 30ක් තිස්සේ එකම කාන්තාවක් බලාපොරොත්තුවෙන් ඉන්න පිරිමියෙක්; ඔහුට තමන්ගේ වයස යනවා තේරෙන්නේ නෑ. ඔහුගේ පෙම්වතිය වෙන කෙනකු හා විවාහ වී ලංකාවෙන් ගිහින් වසර 30ක් ගතවෙලා.
අද කාලෙ මෙහෙම කෙනෙක් ඉන්න පුළුවන්ද කියන සිතිවිල්ල මට අවා. ඇත්තට ම ඒක හරි සුන්දර කතාවක්. තමන්ගේ කාමරේ ඇතුළෙ කණ්නාඩියකින් මූණක් බලන්නෙ නැතිව අවුරුදු 30ක් ගත කළ මේ ඇන්තනී කියන පුද්ගලයා දවසක් කාමරේ ජනේලෙන් දකිනවා තමා පෙම් කළ යුවතිය පල්ලියට යනවා. ඔහුට ඇස් අදහා ගන්න බැරි වෙනවා. ඔහු දුවගෙන ගිහින් ඇයගේ අතින් අල්ලා ගන්නවා. ඇය ඔහුට බැණ වදිනවා ‘මේ මොකද මේ නාකි මිනිහෙක් මගේ අතින් අල්ලන්නෙ කියලා‘ ඔහු නම කියලා අහනවා මේ ඔබ නොවෙයිද කියලා. තරුණිය පිටුපසට අත දික් කරලා කියනවා ඒ මගේ අම්මා... ඔය පිටුපස්සෙන් එන්නෙ කියලා. ඔහු අතින් ඇගේ අත අතහැරෙනවා. ඔහු ඇගේ අම්මා සමඟ කතා කරනවා. ඇය කියනවා ‘ අපි දැන් ලංකාවෙන් ඇමෙරිකාවට ගිහින් අවුරුදු 30ක්නෙ ඇන්තනී කියලා‘ ඔහු කණ්නාඩියෙන් තමන්ගේ මුහුණ බලනවා; හරියටම අවුරුදු 30කට පස්සෙ. එතකොට දකින දර්ශනයෙන් ඔහු ම තිගැස්මට ලක් වෙනවා. කොණ්ඩෙ ඉදිලා; මූණ රැලි වෙලා. තරුණ විය ඉක්මලා ඔහු මහලු වියට එළැඹිලා. කාලය ගත වෙච්ච ආකාරය ගැන ඔහුට නිනව්වක් නෑ... ප්‍රේමය පදනම් වෙන්නේ රූපය මත. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පදනම් වෙන්නෙම බොහෝවිට රූපය. රූපයට තමයි ආකර්ෂණය වෙන්නේ. මේ සත්‍ය ගැන මම බොහෝ කල්පනා කළා.
ඉතින් මට හිතුණා දැන් කාලෙ මෙහෙම පෙම්වතෙක් බලා ඉදීවිද තමන්ගේ පෙම්වතිය ගැන කියලා. ඒනිසා මම මේ කතාව බුද්ධ වර්ෂවලට අරන් ගියා. බොහෝ පර්යේෂණ හා මූලාශ්‍රය මම මේ වෙනුවෙන් හැදෑරුවා. සත්‍යකාම ලියැවෙන්නේ මේ වස්තුබීජය නිසයි. සත්‍යකාම කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඒතරම් පාඨක ආකර්ෂණයක් මට ඒ කෘතිය නිසා ලැබුණා‘
මුළු මහත් ජීවිතය ම අත්දැකීමකි. ජීවිතයේ සෑම කාල පරිච්ඡේදයක්මත්, සෑම චලනයක්මත් අත්දැකීමක් ය. ජීවිතයේ සමහර කාලපරිච්ඡේද වෛවර්ණිත ය; සමහර කාල අඳුරු ය; සමහර කාල අහස වැනි ය, නිරන්තර වෙනස් වන සුළු ය. මේ ඕනෑම වර්ණයකින් ගොඩනැඟෙන්නේ අත්දැකීමක් ය.
අත්දැකීම් ග්‍රහණය වන්නේ විවිධ අයුරිනි. ඔබට, මට අත්දැකීම් ලැබුණ ද ඒවා යොදා ගන්නේ හෝ ඒවායෙන් පැනෙන නව අර්ථ ග්‍රහණය කර ගන්නේ කෙසේදැයි නොතේරෙන්නට ඉඩ තිබේ. මේවැනි කතා සමහර විට අපත් අසා ඇතත් ඒවා අප අතින් නිර්මාණ නොවන්නේ ඒ නිසා ය. එහෙත් කවියන්, දාර්ශනිකයන්, නවකතාකරුවන් අපට වඩා බෙහෙවින් වෙනස් ය. ඔවුහු සෑම අත්දැකීමක් ම පිට නොපිට පෙරළා ඒවායෙහි සියුම් තැන් ග්‍රහණය කර ගැනීමේ ලා සමත් ය. අත්දැකීම පිටුපස හෝ අත්දැකීම ඉක්මවා පවතින යමක් ආවරණය කිරීමේ ලා ඔවුහු සමත්කම් පාති. දාර්ශනිකයන්, කවියන් අතර මේවා සැමවිට ම විවිධ හැඩතල ගන්නේ ය.
‘ආකාල යාත්‍රා‘ කෘතිය බිහිවන්නේ ද කැත්ලීන් නම් ලේඛිකාවගේ සහකම්පනය නිසා ය. ඇය සිය ජීවිත කාලය පුරා ම මිනිසුන්ගේ අනේකවිධ ක්‍රියාකාරකම් නිසා ඇතිවන, සිදුවන ගැටලු සවිඥානික ය. මිනිසුන් ජීවිත කාලය ගත කරන ප්‍රෝඩාව ගැන ඇය දැනුම්වත් ය. එනිසාම ඇය මානව සමාජයෙන් පළා යෑමට, මානව සම්බන්ධතා අවම කරන්නට වගබලා ගනී. ඇය පවසන්නේ මානව සම්බන්ධතා වලට වඩා සත්ව ලෝකය සුන්දර හා පියකරු බව ය.
මා ඇය කළකිරීමෙන් ජීවත් වන්නේ දැයි ඇසුවෙමි. ඇගේ පිළිතුර ඍජු ය; දාර්ශනික ය.
‘කළකිරුණොත් ලියන්න බෑ.
ඒනිසා කළකිරීමක් නෑ...‘
මානව සමාජය ගැන වන තියුණු කියැවීම ඇය පූර්ණ බවට පත්කර ඇති බව පැහැදිලි ය. ‘මම පැහැදිලි ව දැක්ක කාරණයක් තමයි, බොහෝ මානව සම්බන්ධතා ගොඩනැඟී ඇත්තේ අනුන්ගේ වැරදි කතා කිරීමේ දක්ෂතාව මත බව. ඕපදූප නැතිව මානව සම්බන්ධතා තහවරු කරගන්න බෑ. ඒක ඛේදවාචකයක්. ඒ වගේම තමන්ගේ ප්‍රශ්නවලට එක එක්කෙනා වැරදිකරුවන් සොයනවා. හැබැයි ඒ වැරැද්ද පළමුවෙන් වුණේ තමන්ගෙ වැරැද්දකින් කියලා ඔවුන් කොයි මොහොතකවත් හිතන්නෙ නෑ. මම පීඩනයෙන් ඉන්න අය ඇසුරු කරන්න බයයි. සැහැල්ලුවෙන් සිනාවෙන් ඉන්න අය ඇත්තටම නරක නෑ. මෙන්න මේ වගේ ඒවා තමයි මට මේ කෘතිය ලියන්න බලපෑම් කළේ‘
අත්දැකීම තීව්‍ර කිරීම හෝ මොට කිරීම නිර්මාණකරුවාගේ ප්‍රතිභාව මත රඳා පවතින්නකි. කුරිරු, අඳුරු අත්දැකීමකින් අර්ථවත්, සජීවී අර්ථකථනයක් මතු වීමේ ප්‍රතිභාව කලාකරුවාගේ නිපුණතාව මත තීරණය වේ. කලාව කියන්නේ ම ඒකට ය. ජීවිතය එහි කොන්දේසි සමඟ ම තේරුම් ගෙන, ඒවා රසවත් සහ උත්කෘෂ්ට සංරචන බවට පෙරළීමට දෙනු ලබන නාමය කලාව යැයි මා යෝජනා කරන්නේ ඒ නිසා ය. මේවා අඩුවැඩි වශයෙන් නිර්මාණකරුවන් භාවිත කරන්නේ ඒ සත්‍යය ගැන ඔවුන්ට වෙන දැනීම හේතුවෙනි. කලාව, ආදරය හා සම්බන්ධ වන්නේ මේ වැනි තැන්හිදී ය. ආදරය සියලු අඩුලුහුඩුකම් අඳුනන බවත්; ඒ අඩුලුහුඩුකම් සියල්ලත් සමඟින් ආදරය කරනා බවත් ' කොලරා කාලේ ආලේ' ලියමින් කියන්නේ ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් ය. ආදරය, කලාව එක්තැන් වන්නේ මේ වැනි තැන්වලදී ය.
කැත්ලීන් ජයවර්ධන ලේඛිකාව ‘ඉවුරු ‘නවකතාව ලියන්නේ මේ අත්දැකීම් පරාසය තවතවත් මුහුකුරා යද්දී ය. ඇය කලාකරුවකුට හිමි සංවේදී බව මෙන්ම තියුණු තීක්ෂණ නිරීක්ෂණය ද සිය නිර්මාණ සඳහා උපයෝගී කර ගන්නේය.
‘රණවිරුවා හා කැරලිකරුවා කියන්නෙ එක ම මූලයකින් උපදින දෙන්නෙක්. ඒත් අපි ඒ දෙදෙනා දිහා බලන්නෙ වෙනස් ම ආස්ථාන දෙකක් හිතේ තියාගෙන. මේ දෙදෙනා ම බිහි වන්නේ එක ම මූලයකින්. දිළිඳුකම, පීඩනය නිසා අයෙක් රැකියාවක් බලාපොරොත්තුවෙන් හමුදාවට බැඳෙනවා; තවත් අයෙක් සමාජ ක්‍රියාකාරීත්වයට අභියෝග කරමින් කැරලි ගහනවා. පරස්පරවිරෝධී දේවල් එක්තැන් වන ලස්සන බලන්න. මෙන්න මේ පරස්පර සම්බන්ධතා ඇතුළෙ තියෙන ඒකමිතික ප්‍රශ්න රටාවයි මට වස්තුවිෂයය වෙන්නේ. අපි හැමෝම අපේ ජීවිතවල හුදෙකලා වෙලා; සහජීවනයක් නෑ. සහකම්පනයක් නෑ‘
නිර්මාණකරුවා ස්වකීය විඳවීම වින්දනයක් උදෙසා පාඨක ප්‍රජාව වෙත තිළිණ කරන්නෙකි. ඔහු ස්වීය විඳවීම ඔස්සේ පාඨක සමාජය පුළුල් කියැවීමකට ලක් කරයි. ලෝකය විශ්වීය වී ඇතැයි පැවසුවත් ලෝකය දිගින් දිගට ම හුදෙකලා වෙමින් කුඩා වෙමින් පවතී. ඇය සාක්ෂාත් කරන සත්‍යය එයයි. හදවතේ ගැඹුරු ම තැන් ස්පර්ශ කරනා ක්‍රමවේද දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ හදවතේ බුර බුරා නැඟෙන වේදනාව ම සමාජ සත්තාව මත තබා එකී වේදනාවෙන් ම ජීවන සත්‍යය පසක් කරලීම ය. අරුන්දතීලා, කමලාදාස්ලා මෙන්ම ශේක්ස්පියර්ලා ද කරන්නේ එය ම ය. එහිදී අප අතර පවතින දෑ ම; අප අතරින් ම උපහාසයට නංවා කටුක යථාර්ථය ඉදිරියේ අප නිරුවත් කරන්නේ ය.
ඒ කොනිති ගසන ප්‍රවේශය හා සේම හදවත පිරිමදිමින්, ආදරයෙන් මත් කරමින් ජීවන යථාර්ථය පසක් කරන නිර්මාණ ක්‍රමවේදයක් ද තිබේ. එය ජීවිතය නැමැති වීණාවේ සියුම් ම තත් ඉසියුම් ලෙස පිරිමදිමින් යථාර්ථය පසක් කරයි. මේ ක්‍රමවේද දෙක ම ඒ ඒ නිර්මාණකරුවා ස්වීය දැක්ම හා ආඛ්‍යාන රටාව ඔස්සේ පාඨකයා, රසිකයා වෙත ප්‍රධානය කරයි. කැත්ලීන් ජයවර්ධන ජ්‍යෙෂ්ඨ ලේඛිකාව ද ජිවිතය නැමැති වීණාවේ තත් ඉසියුම් ව පිරිමදිමින් ජීවිතය ගැන පාඨකයන්ට යථාවබෝධය ලබා දීමේලා ප්‍රමුඛ මෙහෙයක් ඉටු කරමින් සිටියි.