තක්කාලි ගෙඩි දාහත | Page 2 | සිළුමිණ

තක්කාලි ගෙඩි දාහත

ආදි හා අර්ජුන් ගජ යහළුවන් දෙදෙනා ඉගෙන ගත්තේ කාශ්මීරයේ පිරිමි ආදර්ශ පාසලේය. එහි පන්ති කාමර පවත්වාගෙන යනු ලැබූයේ කූඩාරම්වලය. අලුතින් ඉදිවෙමින් තිබුණු ගඩොළු - සිමෙන්ති ගොඩනැඟිල්ල පිහිටියේ මේ තුනේ කැලැසියේ කොල්ලන්ගේ ඇසට හසු නොවන දුරකින් නොවේ. එහි ඉදිකිරීම් කොතරම් හෙමින් සිදුවී ද යත් ඔවුන්ගේ ගුරුතුමිය නර්ගීස් පැවසූයේ එහි ඉගෙන ගන්නට කවදා හෝ හැකි වන්නේ මේ බටු කොල්ලන්ගේ මුනුපුරන්ට බවයි.

ගණිත පන්තිය මේ දැන් දැන්ම වාගේ පටන් ගෙන තිබුණු අතර එක්වනම එහි කඩා වැදුණේ හමුදා ඇඳුමකින් සැරසී ගත් පුද්ගලයෙකි. අඩවන් කර ගත් දෙඇසකින් යුතු කෙල්ලක් ඔහු පසුපස ඇවිද ආයේ පොත් මල්ලද තක්කාලි ගෙඩි දාහතක් ද එල්ලාගෙනය. නොගෙතූ කොණ්ඩය ඉස්මුදුණින් එක්කොට පහතට වැටෙන්නට සලස්වා සිටි ඇය හැඳ සිටි නිල් පැහැ සාම්ප්‍රදායික කාශ්මීර ඇඳුම ඇගේ ඇඟට වඩා තරමක් විශාල වූ බවක් පෙනුණි.

“මගේ දුව වාඩි කරවන්න පුළුවන් කොතැනින්ද? මිනිසා ඇසුවේ උස් හඬිනි.

“කෙහොමද මේ පන්තියෙ ඉන්දවන්නෙ?“ නර්ගීස් මහත්මිය ඇසුවාය. “මේක පිරිමි පාසලක්.“

කෙල්ල වහා ඔහු පිටුපස සැඟවුණාය.

“බය වෙන්න එපා කෙල්ලෙ.“ මිනිසා පැවසීය.

“තැනකින් ගිහින් ඉඳගන්න.“

ඉනික්බිති ගුරුතුමිය වෙත ඇවිද ගිය ඔහු තම රිවෝල්වරය ඇද ගත්තේය.

“නීති,“ නර්ගීස් මහත්මිය දෙඩූයේ අමාරුවෙන් හුස්ම ගනිමිනි. “කඩන්න බෑ.“

“මේ පළාතකවත් කෙල්ලන්ගේ ඉස්කෝලයක් නැහැ, නෝනා මහත්තයා“ ඔහු පැවසීය. “හොඳට අහගන්න: මගේ දරුවා ගෙදර යැව්වොත් හරවලා, මං ඔහෙට වෙඩි තියා දානවා.“

මුළු පන්තියම මුණු මුණු ගාන්නට පටන් ගත්තේ බියත් තැති ගැන්මත් හේතුවෙනි.

“නිශ්ශබ්දවෙනවා!“ නර්ගීස් මහත්මිය තම දෙතොල මත ඇඟිල්ල තබා පෙන්වූවාය. “හොඳටම නිශ්ශබ්ද වෙනවා.!“

මෙ වේලෙයි තම ගුරුවරිය වේවැල ඇද නොගත්තේ මන්දැයි ආදී හා අර්ජුන් පුදුම වූවෝය. වෙනදා එබඳු කලබලයක් කළහොත් නිසැකවම අවවාදය ලැබුණේ එයින් වූ බැවිනි.

හමුදාකාරයා කූඩාරම සිසාරා බැලූයේ ලොවි ගෙඩි දෙකක් තරමට රතු කර ගත් දෙනෙතින් යුතුවය. එහි වම්පස කොල්ලන්ගෙන් පිරී තිබුණි. කූඩාරමේ දකුණුපස පිරී ගොස් තිබුණේ ද කොල්ලන්ගෙනි.

“කෙල්ල,“ දෙකේ කොළයට වැටුණු නර්ගීස් මහත්මිය දෙඩුවාය. “මගේ පුටුව අරගෙන පන්තිය මැද්දෙන් ඉඳගන්නවා.“

එයින් සැනසිල්ලකට පත් බවක් පෙන්වූ මිනිසා තම රිවෝල්වරය පහත් කර ගත්තේ කූඩාරමින් පිටව ඈත කඳුකර ඉසව්ව වෙත ඇවිද යන්නට වීය. ඔහු කූඩාරමෙන් පිටව ගොස් බොහෝ වේලා යන තුරුත් ඔහුගේ බරැති අඩි ශබ්දය දෝංකාර දෙනු ඔවුනට ඇසිණ.

එදා නර්ගීස් මහත්මිය වෙනදාට වඩා වේලාසන විවේක කාලය ලබා දෙන්නට කල්පනා කළාය.

විවේක කාලයේදී ද තම අසුනටම ඇලී සිටි කෙල්ල තමා ගෙනා තක්කාලි එකින් එක කන්නට පටන් ගත්තාය. ආදි සහ අර්ජුන් හෙමි හෙමින් ඇයට කිට්ටු කරන්නට වූ අතර සෙස්සෝ ද ඔවුන් දෙදෙනා අනුගමනය කළෝය. තක්කාලි විකද්දී දෙ හනු සෙලවුණා මිස, ඒ හැර කිසිඳු සෙලවීමක, හැරීමක ලකුණක් ඈ වෙතින් දකින්නට නොහැකි විය. කොල්ලෝ ඇයට තම තමන්ගේ නම් පවසමින් හඳුන්වා දුන්නෝය. ඇය බියගුළු ගතියෙන් යුතුව තක්කාලි විකා ගිලිමින්ම සිටියාය. ඇය හය වැනි තක්කාලි ගෙඩිය කා දැම්මේ පස්වැන්නට වඩා බොහෝ වේගයෙනි. අන්තයේදී අර්ජුන් ඔහුගේ නම පවසද්දී ඇය මෝඩ පහේ සිනාවක් පෑවේ කාන්තිය විහිදුණු දෙනෙතින් යුතුවය.

කිසිවෙකු ඇගෙන් නම ඇසූයේ නොවේ. ඔවුහු ඇගේ තාත්තා ගැන ඇසීමෙන් ද වැළකී සිටියෝය. ඒ වෙනුවට, ඔවුහු තමා සංචාරය කර තිබුණු නගර ගැන ද, නරඹන්නට ගිය ක්‍රිකට් තරග හෝ ඔවුන් නරඹා තිබුණු අමිතාබ් - රේඛාගේ චිත්‍රපට ගැන ද පුරසාරම් දොඩමින් සිටියෝය. ආදි හා අර්ජුන් ඇයට ඊළඟ දවසේ තෑගි ගෙන එන බවට ද පොරොන්දු වී තිබුණි; සමනලයින් හා නර්ගීස් මහත්මියගේ අභ්‍යාසවලට පිළිතුරු ඒ තෑගි අතර විය.

ඇය පාපන්දු සෙල්ලමට එක් නුවූ නමුත් කොල්ලන් පාසල් බිමේ පාපන්දුවට පොර කෑ අයුරු කවුළුවෙන් දෙඇස් යවමින් බලා සිටියාය. බියපත්ව සිටි බවක් පෙනුණේ නමුදු, ඇය දිගින් දිගටම පිං පොං බෝල තරම් වූ අර රතට හුරු තක්කාලි විකා කමින් සිටියාය.

ආදි හා අර්ජුන් අනෙක් කොල්ලන් සමඟ රංඩුවට වැටී සිටියේ නැත. ඔවුහු වැඩ අහවර නුවූ අලුත් ගොඩනැඟිල්ල ඇතුළේ පරණ ටයරයක් පෙරළමින් සිටියෝය. ටයරය සිමෙන්ති ගොඩක වැදී අනෙක් පස පෙරළී යද්දී අර්ජුන් තම යහළුවා වෙත හැරුණේ යම් රහසක් හෙළිදරව් කරන්නට මෙනි.

“මං ලොකු වුණාම, මං එයාව කසාද බඳිනවා.

“කාවද?“ ආදි ඇසීය.

“අර කෙල්ල!“

“එයාගෙ තාත්තා ඔයාට වෙඩි තියල දායි.“ ආදි පැවසීය.

“මං මැරන්න වුණත් ලෑස්තියි.“ අර්ජුන් පැවසූයේ ඒ ගැන සැලකිල්ලක් නො දක්වන්නාක් මෙනි.

“මැරෙන්නෙ මොකොටද? ඇයි ලියුමක් ලියන්නේ නැත්තේ?“

“ලියුමක්?“

“එයා උත්තරයක් එව්වොත්, ඔය දෙන්නට පැනල යන්න පුළුවනි.“ ආදි යෝජනා කළේය.

විවේක කාලය අවසන් වෙද්දී කෙල්ල තක්කාලි ගෙඩි එකොළහක් කා අවසන් කර තිබුණි. සීනුව නාද කළ නර්ගීස් මහත්මිය ඉතිහාසය පාඩම පටන් ගත්තාය. සාමාන්‍යයෙන් ගතානුගතික ගුරුවරියක වූ නමුදු අද දවසේ ඇගේ දේශනය ඊට වඩා හාත්පසින් වෙනස් විය.

“ළමයි“ ඇය පාඩම පටන් ගත්තේ ශාන්ත ස්වරයකිනි.

“අර පේන ඈත කඳුකරයේ උද්‍යාන දෙකක් පිහිටා තියෙනවා. වම් පැත්තේ ශාලිමර්; දකුණේ තියෙන්නේ නිශාන් ෂාලිමර් ඉඳිකළේ අධිරාජයා අධිරාජිණිය වෙනුවෙන්. නිශාන් උද්‍යානය ඉදිකළේ අධිරාජිණියගේ සහෝදරයා; ඒත් අධිරාජිණිය වෙනුවෙන්මයි.“

“ඔව්, මැඩම්.“ කොල්ලන් උත්තර දුන්නේ ගාම්භීරවය. අර්ජුන් දුටුයේ කෙල්ල දහ තුන් වැනි තක්කාලි ගෙඩියත් කා දමන අන්දමය.

‘1632 අවුරුද්දෙ එක හවසක, අධිරාජිණිය නිශාන් උද්‍යානයට ලැබෙන ජල සැපයුම නතර කළා. දන්නවාද ඒ ඇයි කියලා?“

“නැහැ, මැඩම්!“

“හේතුව තමයි නිහාන් ශාලිමාර් තරම්ම අලංකාර වීම.“

“ඔව්, මැඩම්“ කොල්ලෝ එකවර ශබ්ද නගන්නට පටන් ගත්තෝ. ආදි බලා සිටියේ කෙල්ල දා හතර වැනි තක්කාලි ගෙඩිය ද කන්නට පටන් ගත් අයුරුය.

උද්‍යාන ගැන පාඩම අර්ජුන් අවධානය යොමු කළේ බාගෙටය. ඔහු තම නිල් පාට පැන්සලින් ආදර හසුනක් ලිවීමේ යුහුසුළුව සිටියේය. හසුන ලියා අහවර වූ ඔහු එය ආදි අත පත් කෙළේ අඩුපාඩු බලන්නටයි. ආදිගේ මකනය බොහෝ වතාවක් ඒ මත එහි මෙහි ඇදුනු අතර ඔහු අතින් පේළි කිහිපයක් ද ඊට එක් විය.

“මේක කොහොමද එයාට දෙන්නේ?“ ආදි මිමිණීය.

“මං ගිහින් දෙන්නම්“

“මෝඩයා, අලුත් විදිහකට කරනවා.“

මේ ආදර ලියැවිල්ල පණිවුඩ ගෙන යන ගුවන් යානයක් බවට හැරවූ ඔහු නර්ගීස් මහත්මිය කළු ලෑල්ල මත ඉතිහාස පාඩමේ යම් කොටසක් ලියන්නට හැරෙන තෙක් බලා සිට එය ගුවන්ගත කෙළේය.

අර්ජුන් දුටුයේ මුළු පන්තියම හිස හරවා එදෙස බැලූ බවය. හැරී බැලූ ඔවුන් දුටුයේ වංගු ගසමින් ඇදුනු කරදාසි ගුවන් යානය දෑකැත්තකින් කපන්නාක් බඳු හඬක් නගමින් කූඩාරමින් පිටතට ගොස් යළි කුංකුම සුවඳක් ද සමඟින් ඇතුළට ආ අයුරුය. කුරුල්ලකු මෙන් ඇදුනු එය නර්ගීස් මහත්මියගේ මීවදයක් බඳු කොණ්ඩය පසු කෙළේ මහත් වේගයකිනි. ඉනික්බිති වේගය අඩු වී ගිය එය සාන්ත දාන්තව ඇද වැටුණ් ඉතිරිව තුබුණු තක්කාලි ගෙඩි තුන මතය.

“කෙල්ල,“ කෝපයට පත් නර්ගීස් මහත්මිය පැවසූයේ ඉණට දෙ අත ඇනගෙනය. “ඒක මෙහේ ගේනවා.“

කෙල්ල ඇගේ අණ පිළිපැද්දාය.

කෙල්ල අතින් ආකාස යාත්‍රාව උදුරා ගත් ඇය එය දිග හැර, නිල් පැහැ අකුරින් ලියා තුබුණු දේ මුළු පන්තියටම ඇසෙන ලෙස කියවන්නට පටන් ගත්තාය.

බාගෙට පණ නැති වී ගිය අර්ජුන් ආදි වෙත හැරුණේය. අර්ජුන්ගේ දෙ ඇස බියෙන් වෙව්ලන්නට පටන් ගෙන තිබිණි.

“මං ඔයාට චිත්‍රපටවල පෙන්වන තරමටම ආදරෙයි.“

නාසය උඩට සීරු ආදි තම දිගු සපත්තුවෙන් පොළොව හාරන්නට වෑයම් කළේය.

“මට ඕනෑ ඔයාව කසාද බඳින්න. මට පුළුවනි. ඔයා වෙනුවෙන් නිශාත් උයනට වඩා ලස්සන එකක් හදන්න. අපි ඔයාට කන්නත් එක්ක ඒ උද්‍යානයේ තක්කාලි හිටවමු. මගේ ඊළඟ සැලැස්ම මොකක්ද කියලා දැනගන්න මට උත්තරයක් එවන්න.“

මේ පියාඹන හාදුව අධිරජ ආදි ගෙන්.

අර්ජුන් සැනසුම් සුසුමක් හෙළීය. ආදි සිය දෙ අත අස්සේ මුහුණ හංගා ගත්තේ ඩෙස්කුවට බර වෙමිනි. නර්ගීස් මහත්මියට ඔහුගේ රහස හෙළි විය. යහළුවන්ට ඔහුගේ රහස හෙළි විය.

“කෙල්ල,“ ගුරුවරිය ඇසුවේ ඇස් කරකවිමිනි. “ඔයා කැමතිද ආදි අධිරාජයා කසාද බඳින්න?“

ලැජ්ජාවට පත් ඇය තම උදරය අල්ලා ගත්තා අමුතු සුවඳැති තක්කාලි තලපයක් වමනය කළාය. ඉනික්බිති කඳුළු ගංගාවක් එකවර හිස් කළ ඇය කූඩාරමෙන් පැන ඈත කඳුකරය දෙසට දුවන්නට පටන් ගත්තාය.

ගුරුතුමිය ආදිට පිටි අත්ලෙන් පහර කීපයක් දුන්නාය. ඔහුට කුකුල් වෙස් මුහුණ පැලඳගෙන ඉන්නට සිදුවිය. ඊට අමතරව දවසේ ඉතිරි හරිය දෙ අත ඉහළට ඔසවාගෙන ඉන්නටද ඔහුට අණ ලැබුණි.

කූඩාරම පුරා පැතිර ගියේ භයංකර නිහැඬියාවකි. ඩෙස්කුව මත ඉතිරි වී තිබුණු ඉතිරි තක්කාලි ගෙඩි දෙක දෙස බලාගත් වනම අර්ජුන් මොහොතක් කල්පනාවට වැටී සිටියේය. කෙල්ල තම පියා සමඟ ආ පසු පැමිණෙන බවත් ඔවුන් දෙදෙනාට වෙඩි තබා දමන බවත් ඔහුට නියත විය. දෙදෙනා; ඔව්, ආදිටත් නර්ගීස් මහත්මියටත්.

 

 

Comments