අත නොහරින පුටින්ගේ පුරුද්ද | Page 7 | සිළුමිණ

අත නොහරින පුටින්ගේ පුරුද්ද

විරුද්ධ පක්ෂයේ දේශ­පා­ල­නඥ ඇලෙ­ක්සෙයි නව­ල්නිට විෂ ශරී­ර­ගත වී ඇති බව තහ­වුරු වේ.

ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය පව­තින ජර්ම­නියේ වෛද්‍ය­වරු පසු­ගිය සැප්තැ­ම්බර් 10වැනිදා වන විට නවල්නි කෝමා තත්ත්ව­යෙන් මුදා ගැනී­මට සමත්ව සිටි­යහ. 

රුසි­යාවේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යක් වන ඇලෙ­ක්සෙයි නවල්නි මේ වන විට ජර්ම­නියේ බර්ලින්හි රෝහ­ලක සුවය ලබ­මින් සිටින බව වාර්තා වේ. ඔහු පසු­ගි­යදා හදි­සියේ රෝගා­තුර වූයේ ගුවන් ගම­නක් අත­ර­තු­ර­දීය. වහාම ඔහු ජර්ම­නියේ රෝහ­ලක් වෙත ගෙන යන ලදුව රෝගී තත්ත්ව­යට හේතුව සොයා ගැනී­මට පර්යේ­ෂණ කිහි­ප­යක් පවත්වා තිබේ. එහිදී රට­වල් තුනක් විසින් ස්වාධී­නව සිදු­ක­රන ලද පර්යේ­ෂණ මගින් තහ­වුරු වී ඇත්තේ නව­ල්නිගේ ශරී­රයේ ස්නායු අක්‍රිය කර­න­වන විෂක් අන්ත­ර්ගත වී ඇති බවයි. 

ඇලෙ­ක්සෙයි නවල්නි ලෝකය හඳුනා ගන්නේ රුසි­යාවේ විරුද්ධ පක්ෂයේ කැපී පෙනෙන චරි­ත­යක් වශ­යෙනි. ඔහු ආණ්ඩු­වට විරුද්ධ දේශ­පා­ලන උද්ඝෝ­ෂණ රැස­කට නාය­ක­ත්වය දී තිබේ. 

තවද පුටින්ගේ ආණ්ඩුවේ දූෂණ වංචා ලෝක­යට හෙළි­ද­රවු කිරීමේ කට­යු­තු­ව­ල­දීද ඇලෙ­ක්සෙයි නවල්නි පෙර­මුණ ගෙන කට­යුතු කර තිබේ. 

පසු­ගි­යදා රුසි­යාවේ තොමස්ක් සිට මොස්කව් දක්වා ගුවන් ගම­නක යෙදෙ­මින් සිටි­යදී නවල්නි හදි­සියේ රෝගා­තුර වූයේය. ඔහු එක්ව­රම දැඩි වේද­නා­වෙන් කෑ ගස­න්න­ටත්, දඟ­ල­න්න­ටත් පට­න්ගෙන තිබේ. 

එම අව­ස්ථා­වේදී ගුවන් යානය තොමස්ක් වෙත යළිත් හදිසි ගොඩ­බෑ­ම­කට ලක් කළ යානයේ නිල­ධා­රීහු නවල්නි තොමස්ක්හි රෝහල් වෙත ගෙන යෑමට කට­යුතු කළහ. ඒ වන විටද නවල්නි පසුවී ඇත්තේ ‘කෝමා‘ තත්ත්ව­යෙනි. නව­ල්නිගේ තත්ත්වය අය­හ­පත් බව වට­හා­ගත් විරුද්ධ පක්ෂ සාමා­ජි­ක­යන් සහ ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන් දින දෙක­කට පසු ඔහුව ජර්ම­නිය කරා ගෙන යෑමට කට­යුතු කළහ. 

ඔහුව රෝහ­ල්ගත කිරී­මෙන් දින දෙක­කට පසුව එනම් පසු­ගිය සැප්තැ­ම්බර් 2වැනිදා ජර්ම­නිය නිල වශ­යෙන් ප්‍රකාශ කර සිටයේ නව­ල්නිගේ සිරුරේ විෂ අන්ත­ර්ගත වී ඇති බවට පැහැ­දිලි සාක්ෂි ලැබෙ­මින් පව­තින බවයි. 

එම විෂ වර්ගය ඔහුට ගුවන් යාන­යේදී ලබා දුන් තේ කෝප්ප­යට රහසේ එක් කර තිබෙ­න්නට ඇති බවද අනු­මාන කෙරිණි. 

ජර්මන් වෛද්‍ය­ව­රුන් පෙන්වා දී ඇත්තේ ඔහුට ලබා දී ඇත්තේ ස්නායු පද්ධ­තිය අක්‍රිය කර­වන දරුණු විෂක් බවයි. එම විෂ මගින් ස්නායු පද්ධ­තියේ පණි­විඩ මොළ­යට ගෙන යෑම වළ­ක්වන බව වෛද්‍ය­ව­රුන් පෙන්වා දී තිබේ. 

පසුව මේ බව තහ­වුරු කර ගැනීම සඳහා ස්වාධීන රට­වල් තුන­කට නව­ල්නිගේ රුධිර සාම්පල් ජර්ම­නිය විසින් ලබා දී ඇති අතර, එම රට­වල් තුන මගින් ලැබුණු වාර්තා ද විෂ ශරී­ර­ගත වීම තහ­වුරු කර තිබේ. 

මේ වාර්තා ලැබී­මත් සමඟම ජර්මන් චාන්ස­ලර් ඇන්ජෙලා මර්කල්ගේ මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා ප්‍රකා­ශ­යක් නිකුත් කර­මින් ‘ඇලෙ­ක්සෙයි නව­ල්නිගේ ශරී­ර­යට විෂ ඇතුළු වූයේ කෙසේ­දැයි පිළි­ගත හැකි පැහැ­දිලි කිරී­මක් රුසි­යානු රජය විසින් වහාම ඉදි­රි­පත් කළ යුතුව ඇතැයි‘ පවසා සිටි­යේය. එමෙන්ම මේ සිදු­වීම ජර්මන් රජය තරයේ හෙළා දකින බවද ඔහුගේ ප්‍රකා­ශයේ සඳ­හන් ව තිබේ. 

කෙසේ වුවද ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය පව­තින ජර්ම­නියේ වෛද්‍ය­වරු පසු­ගිය සැප්තැ­ම්බර් 10වනදා වන විට නවල්නි කෝමා තත්ත්ව­යෙන් මුදා ගැනී­මට සමත්ව සිටි­යහ. 

සැප්තැ­මි­බර් 11වැනිදා වචන මගින් අද­හස් හුව­මාරු කර ගැනී­මට තරම් හැකි­යා­වක් නව­ල්නිට ලැබී ඇති බව වාර්තා විය. ඒ සමඟම ජර්ම­නියේ විදේශ බුද්ධි සේවය පවසා ඇත්තේ නව­ල්නිගේ සිරුරේ තිබුණු විෂ වර්ගය මේ දක්වා නිශ්චි­තව හඳුනා ගැනී­මට නොහැකි වී ඇති බවයි. එබැ­වින් එය අලු­තින්ම නිප­ද­වන ලද විෂ වර්ග­යක් විය හැකි බවද ඔවුන් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ. 

මේ අතර නව­ල්නිගේ පෞද්ග­ලික ආර­ක්ෂ­ක­යන් පවසා ඇත්තේ ඔහුට වස දී ඇත්තේ ගුවන් යාන­යට ගොඩ­වැ­දී­මට පෙර බවයි. 

ඔහු නවා­තැ­න්ගෙන සිටි හෝටල් කාම­රයේ තිබී සැක­ස­හිත හිස් වතුර බෝත­ල­යක් ඔවුන්ට හමුවී ඇති අතර එම­ගින් ඔහු ගුවන් යාන­යට යෑමට පෙර විෂ ශරීර ගත කර­ව­න්නට ඇතැයි අනු­මාන කර තිබේ. 

කෙසේ වුවද ජර්මන් බල­ධා­රීන් පසු­ගි­යදා ප්‍රකාශ කර සිටියේ මේ වන විට නවල්නි යළි රුසි­යා­වට යා හැකි තර­මට සුව­පත්ව සිටින බවයි. 

මේ අතර නව­ල්නිගේ සිදු­වීම සම්බ­න්ධව පුටින්ගේ ආණ්ඩු­වද ප්‍රති­චාර දක්වා තිබේ. නවල්නි ජර්ම­නිය කරා ගෙන ගිය අව­ස්ථා­වේදී මොස්කව් හි මාධ්‍ය ප්‍රකා­ශක දිමිත්‍රි පෙස්කොව් පවසා ඇත්තේ නව­ල්නිගේ සිදු­වීම සම්බ­න්ධව රජය පූර්ණ පරී­ක්ෂ­ණ­යක් පව­ත්වනු ඇති බවයි. එසේ වුවද පුටින්ගේ තතු දන්නා වැඩි දෙනා පව­සන්නේ නව­ල්නිගේ දිවි ගැල­වෙන්නේ ඔහු වහාම ජර්ම­නිය කරා රැගෙන යෑමට ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන්ට හැකි­වී­මෙන් බවයි. 

කෙසේ වුවද තොමස්ක් හි රෝහල් බල­ධා­රීන් ප්‍රථ­ම­යෙන් නව­ල්නිගේ බිරි­ය­ටද ඔහු අස­ලට යෑමට ඉඩ දී නැත. ඇය මොස්කව් සිට පැමිණ ඇත්තේ ඔවුන්ගේ පවුලේ වෛද්‍ය­ව­රි­යද සමඟිනි. 

අව­සා­නයේ ඔවුන්ට ‘කෝමා‘ තත්ත්වයේ පසු­වන නවල්නි අස­ලට යෑමට අව­ස්ථාව ලැබී ඇත්තේ ඔවුන්ගේ විවාහ සහ­ති­කය රෝහල් බල­ධා­රීන්ට ඉදි­රි­පත් කළ පසු­වය. 

එමෙන්ම නවල්නි ජර්ම­නිය කරා ගෙන යෑමට තීර­ණය කළ විට රෝහල් බල­ධා­රීන් එයට විරෝ­ධය දක්වා ඇත්තේ ඔහු ඉව­තට ගෙන යෑමට තරම් නිරෝ­ගීව නොසි­ටින බව පව­ස­මිනි. එහෙත් කෙසේ හෝ එම විරෝ­ධතා නොත­ක­මින් ඔහු ජර්ම­නිය කරා රැගෙන යෑමට ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන්ට සහ දේශ­පා­ලන ක්‍රියා­කා­රීන්ට හැකි­යාව ලැබී තිබේ. 

වැඩි දෙනා පව­සන්නේ නවල්නි දිග­ටම රුසි­යාවේ රැඳුණේ නම් ඔහුගේ දිවි නොගැ­ල­වෙනු ඇති බවය. 

එසේ පැව­සී­මට සාධා­රණ හේතු ඇත්තේ මීට පෙර විෂ ශරීර ගත වූ රුසි­යානු ප්‍රබ­ල­යන් රැසක් දිවි බේරා ගැනී­මට අස­මත් වූ නිසා­වෙනි. එම ප්‍රබ­ල­යන් සියලු දෙනාට පාහේ පුටින්ගේ විරු­ද්ධ­වා­දීන් වීමද පොදු සමා­න­ක­මකි.  උදා­හරණ ලෙස සර්ජි සහ යුලියා ස්ක්‍රිපාල්, ඇලෙ­ක්සැ­න්ඩර් ලිට්වි­නෙන්කෝ යනා­දීන් දැක්විය හැකිය. 

සර්ජි ස්ක්‍රිපාල් යනු රුසි­යාවේ හමුදා නිල­ධා­රි­යකු වූ අතර ඔහු බ්‍රිතාන්‍ය සහ රුසි­යාව අතර ද්විත්ව ඔත්තු­ක­රු­වකු ලෙසද කට­යුතු කර තිබේ. යුලියා ස්ක්‍රිපාල් යනු ඔහුගේ දිය­ණි­යයි. 

2018 මාර්තු මාස­යේදී බ්‍රිතා­න්‍යයේ සැලි­ස්බරි හිදී මේ දෙදෙනා විෂ කැවී­මට ලක්වූ අතර එහි­දීද ලබා දී තිබුණේ ස්නායු පද්ධ­තිය අඩ­පණ කර­වන විෂ වර්ග­යක් බව සොයා ගෙන තිබේ. 

ඇලෙ­ක්සැ­න්ඩර් ලිටි­වි­නෙන්කෝ ද එවැ­නිම රුසි­යානු බුද්ධි අංශ­වල සේවය කළ පුද්ග­ල­යෙකි. අව­සා­නයේ ඔහු­ටද කිසි­යම් පිරි­සක් විසින් විෂ ශරී­ර­ගත කළ අතර ඔහු මිය­ගියේ ඇතිවූ සංකූ­ලතා හේතු­වෙනි. 

මීට අම­ත­රව තවත් දේශ­පා­ලන ක්‍රියා­කා­රීන්, ඔත්තු සේවා සාම­ජි­ක­යන් අභි­ර­හස් ලෙස මිය­ගිය අවස්ථා කිහි­ප­යක්ම වාර්තා වන අතර, ඒ බොහෝ අව­ස්ථා­ව­න්හිදී මිය­ගිය පුද්ග­ල­යන් පුටින්ගේ රජ­යට විරු­ද්ධව යම් රහස් ආරක්ෂා කළ අය හෝ දේශ­පා­ලන විරු­ද්ධ­වා­දීන් බව හඳු­නා­ගෙන තිබේ. කෙසේ­වු­වද තම විරු­ද්ධ­වා­දීන් ඉවත් කිරී­මට විෂ භාවිත කිරීම සම්බ­න්ධව රුසි­යානු නායක ව්ලැඩි­මිර් පුටින්ට ඇත්තේ කුප්‍ර­කට ඉති­හා­ස­යකි. 

ඒ අනුව ඇලෙ­ක්සෙයි නවල්නි සම්බ­න්ධව පුටින් එම සුපු­රුදු ක්‍රියා­මා­ර්ග­යම අනු­ග­ම­නය කළා­දැයි උප­දින්නේ සාධා­රණ සැක­යකි. 

 

Comments