පසුගිය නොවැම්බර් 21වැනිදා චිලි දේශයේ ජනතාවට විශේෂ දිනයක් විය. ඒ එදින ඔවුන් සුවිශේෂී වෙනසක් වෙනුවෙන් තම ඡන්දය භාවිත කළ නිසාවෙනි. ඔවුන්ගේ ඒ විප්ලවීය ජනමත ප්රකාශනයේ ප්‍රතිඵලය වූයේ ලොවම කතා කරන අලුත්ම තරුණ නායකයකු එරට වගකීම් බාර ගැනීමක් සමඟිනි. ඔහු ගාබ්‍රියෙල් බොරික් ය. වයස තවමත් 35කි. වැදගත්ම කරුණ වන්නේ ඔහු එරට වාමාංශය නියෝජනය කිරීමයි.
1986 පෙබරවාරි 11 වැනිදා චිලියේ සුන්දර පන්ටා අරෙනාස් හිදී උපත ලැබූ ගාබ්‍රියෙල් කුඩා කළ සිට වාමාංශික අදහස්වලින් පෝෂණය ලැබූවෙක් විය. ලතින් ඇමරිකානු කලාපය මීට දශක දෙකක පමණ කාලයක සිට එම කාලපයටම ආවේණික වාමාංශික අදහස් සහිත පාලකයන්ගෙන් පාලනය විය. එම වාසනාව ලත් රටවල් අතරට වෙනෙසියුලාව, උරුගුවේ මෙන්ම බ්‍රසීලයද ඇතුළත් විය. පසුකාලීනව මේ පාලනයන් බිඳ වැටුණු අතර මේ අතරින් ඇතැම් රටවල ජනතාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමටද සිදු විය. චිලී දේශයේ වාමාංශික දේශපාලන ඉතිහාසය ලියවෙන්නේ 70 දශකයේ සිටය. ලෝකය පුරා ප්‍රසිද්ධ වූ වාමාංශීක ජනාධිපති සැල්වදෝර් අයියන්දේ එරට ජනතාව තම ඡන්දයෙන් පත් කර ගත් ප්‍රථම වාමාංශීක නායකයා ලෙස දැක්විය හැකිය. එහෙත් සැල්වදෝර් අයියන්දේට සිදුවූයේ ධනවාදී කුමන්ත්‍රණ හමුවේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමටය. ලාභය මත පදනම් වූ දේශපාලනය ජනතාවට සාධාරණය ඉටු වන ඉසව්වක් කරා විතැන් කිරීමට ගත් උත්සාහයට ලැබුණු දඬුවම එතරම් ප්‍රබල විය.
දැන් එයින් වසර ගණනාවකට පසුව ගාබ්‍රියෙල් බොරික් යළිත් ජනතා වරමින් චිලී නායකත්වයට පැමිණ ඇත්තේ වාමාංශික දේශපාලන මතවාද සමඟිනි. ඔහුගේ පියා රසායන ඉංජිනේරුවකු වන බැවින් සෑම විටම ගාබ්රියෙල්ද ඔහුගේ සහෝදරයෝද අධ්‍යාපනික පසුබිමක ජීවත් වූහ. කුඩා කල සිට තම රුචිකත්වය මත නීතිය හැදැරූ ගාබ්‍රියෙල් චිලී ජාතික විශ්වවිද්‍යාලයේදී ඉගෙනුම ලබන කාලයේ සිටම දේශපාලනයට යොමු විය. ඒ තම පවුලට කිසිඳු දේශපාලනික පසුබිමක් නොමැති වටාපිටාවකය. එහෙත් ඔහුගේ නායකත්ව ලක්ෂණ අපූරු විය. එහි අතුර ප්‍රතිඵලය වූයේ ඔහු ඉතා තරුණ වියේදී ම එරට ජනතාවගේ ගැලවුම්කරුවා බවට පත්වීමය.
සැබවින්ම බොරික් පැමිණෙන්නේ පෙර කිසිඳු සූදානමක් නොතිබූ ගමනකි. ඔහු තම දේශපාලන ජීවිතය අරඹන්නේ ශිෂ්‍ය ක්‍රියාධරයකු වශයෙනි. දක්ෂිණාංශීක දේශපාලනඥයන් යටතේ ක්‍රමයෙන් වළ පල්ලට යමින් තිබෙන චිලියේ වාමාංශික නායකත්වයට අවස්ථාව විසින් ඉඩ සලසා දෙමින් තිබිණි. හිටපු චිලි ජනාධිපතිවරයාට දූෂණ චෝදනා එල්ල වී තිබුණු අතර ඔහු තම බලතල යොදමින් ඒවායින් සැඟවී සිටීමට උත්සාහ දැරීය. එහෙත් තවමත් 35 හැවිරිදි වියේ පසුවන, ශිෂ්‍ය ජීවිතය යන්තමින් අවසන් කළ, චිලී ජනාධිපති වීමට යන්තමින් වයස සම්පූර්ණ කළ , ඇඟ පුරා කොටා ගත් පච්ච සහිතව රැඩිකල් වාමාංශික දේශපාලන ධාරාවකට නායකත්වය දෙන මේ අපූරු තරුණයා කෙරෙහි විශ්වාසය තැබීමට චිලී ජනතාව නිර්භය තීරණයක් ගත්හ.
ඇතැම් විට ඔහුගේ නිකැළැක් අතීතය, දේශපාලනයට කිසිඳු සම්බන්ධයක් නොමැති පවුල, මෙන්ම ඔහුගේ වාමාංශීක දේශපාලන ධාරාවද ජනතාවගේ මේ තීරණයට හේතු සාධක වන්නට ඇත.
එමෙන්ම පැවසිය යුතු වන්නේ බොරික්ගේ වාමාංශීක දේශපාලනයද වඩා නූතන බවය. ඔහු පවසන්නේ තම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සාධාරණ නොවන බවයි. එමෙන්ම කලාපයේ ඇතැම් රටවල නායකයන්ගේ දේශපාලන දර්ශනයද ඔහු ආදර්ශයට ගෙන තිබේ. එහෙත් ඔහු අදහස් දක්වන්නේ ඔහුටම ආවේණික පාලනයක් සම්බන්ධයෙනි. කියුබාව, නිකරගුවාව සහ වෙනිසියුලාව තම මිත්‍රයන් බව බොරික් පවසා තිබේ.
කෙසේ වුවද චිලියේ ජනාධිපතිවරයාට වසර හතක ධූර කාලයක් හිමිය. බොරික් මේ මොහොතේ ජය තහවුරු කර සිටියද ඔහුට ජනාධීපති අසුන හිමි වනු ඇත්තේ 2022 වසරේ මාර්තු 11 වැනිදා සිටය. ඇද වැටෙමින් පවතින රටක ජනතාවගේ විශ්වාසය සියයට 55 ඉක්මවා ලබා ගැනීම දේශපාලන ආධුනිකයකුට එතරම් පහසු නැත. එහෙත් මේ තරුණයා එම අභියෝගය සාර්ථකව ජය ගනෙ තිබේ. තවත් ඉතිරිව ඇත්තේ ඔහු ඉදිරි වසර හතර ඇතුළත තමන් මැවූ පාලනය චිලි ජනතාව හමුවට ගෙන ඒමට සමත් වේද යන්න විමසා බැලීමය.