විනෝදයට කෑම උයන විශ්ව රූ රැජින | සිළුමිණ

විනෝදයට කෑම උයන විශ්ව රූ රැජින

 

පසුගිය සඳුදා රාත්‍රී කාලයේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගුරුදාස්පුර් දිස්ත්‍රික්කයේ කොහාලි නම් වූ කුඩා ගම්මානයේ වැසියෝ එක්වරම ප්‍රීතියෙන් ඔකඳව කෑ ගසන්නට වූහ. මේ කොහාලි ගම්මානය යනු සාමාන්‍යයෙන් දුගී වැසියන්ගෙන් සමන්විත නිද්‍රාශීලී ගම්මානයකි. එහෙත් එදින ගම්වැසියන්ගේ එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වී තිබිණි. ඔවුන් ඉතා ප්‍රිතියට පත්ව සිටි අතර ඇතැම් දෙනා නර්තනයේ යෙදෙමින් සතුට බෙදා ගන්නා අන්දම දැක ගත හැකි විය.

ඔවුන්ගේ මේ සතුටට හේතු කාරණය වූයේ ඔවුන්ගේ ගම්මානයේ සිදුවූ සිදුවීමක් නොවේ. අඩුම තරමින් පන්ජාබ් ප්‍රාන්තයේ හෝ ඉන්දියාවේ සිදුවූ සිදුවීමක් නොවේ. ඔවුන්ගේ සතුටට හේතු වූ සිදුවීම සිදුවූයේ ඉන්දියාවෙන් ද ඉතා ඈත ඊශ්‍රායලයේ එයිලැට් නගරයේය. එහි පැවැත්වූ විශ්ව රූප රැජින තරඟාවලිය ඔවුන්ගේ සතුටට හේතු වූ අතර ඔවුන්ගේ කොහාලි ගම්මානයේ උපත ලැබූ සුන්දර තරුණියක් එහිදී සමස්ත ලෝකය පරදවමින් රූප රාජිනී කිරුළ දිනා ගැනීමට සමත්ව තිබිණි.

ඇය හර්නාස් ක්වාර් සන්ධූ ය. ඇය කුඩා කාලයේදීම කොහාලි ගම අත්හැරදා දෙමාපියන්ද සමග මොහාලි ප්‍රදේශයේ වාසයට පැමිණියද තවමත් ඇගේ මුල් දුගී කොහාලි ගම තුළ මුල් බැස තිබිණී. ඇයගේ මාමා සහ ඔහුගේ පවුල තවදුරටත් කොහාලි ගමේ පදිංචිව සිටි අතර ගම තුළ මේ ලෝක රූප සුන්දරියගේ තවත් ඥාතීන් රැසක්ම විය.

මීට පෙර මේ වසරේදීම දිවා විශ්ව රූප සුන්දරිය කිරුළ දිනා ගත් වහාම සන්ධූ කොහාලි ගමට පැමිණියාය. ඇය ගමේ තම ඥාතීන් සමග කාලය ගෙවමින් ඔවුන් සමග සතුට බෙදා ගත්හ. ඇය එහිදී ට්‍රැක්ටරයක්ද පදවමින් ගොවිතැන සඳහා ගම්වැසියන් දිරිමත් කිරීමට කටයුතු කළාය. එබැවින්ම එයින් මාස කිහිපයකට පසු උදා වූ මේ අති උත්කර්ෂවත් අවස්ථාව කොහාලි ගම් වැසියන්ට දැනුනේ සැබවින්ම තමන්ගේ එකකු ජයගත් විට දැනෙන සැබෑ ආදරණීය හැඟීමය.

එහෙත් එදින සැබවින්ම සතුටට පත් වූයේ කොහාලි ගම් වැසියන් පමණක් නොවේය. සමස්ත ඉන්දියාවම එදින බෙහෙවින් සතුටට පත් වූයේ වසර 21කට පසු විශ්ව රූප රුජින කිරුළ ඉන්දියාවට හිමිවීම හේතුවෙනි.

මීට පෙර අවස්ථා දෙකකදී විශ්ව රූප රැජින කිරුළ ඉන්දියාවට පිට පිටම හිමිවූ අතර එම අවස්ථා දෙකේදී ප්‍රියංකා චොප්රා සහ ලාරා දත්තා ඉන්දියාවට විශ්ව රූ රැජින කිරුළ රැගෙන ඒමට සමත් වූහ. එයින් වසර 21ක් ගතවන තුරු එම කිරුළ දිනා ගැනීමට ඉන්දියාවේ කිසියම්ම රූමතියකට හැකියාව ලැබුණේ නැත. එහෙත් හර්නාස් සන්ධූ යළිත් ඉන්දියාවේ හිස මත එම කිරුළ පැළඳවීමට සමත් වූවාය.

මේ තරගය ලෝක රූ රැජින තරග ඉතිහාසයේ 70වැනි තරගය වූ අතර ඒ සඳහා රටවල් 80ක් නියෝජනය කරමින් තරගකාරියන් ඉදිරිපත් වී තිබිණි. ඊශ්‍රායලයේ පවතින දේශපාලන අර්බුද සහ කොවිඩ් වසංගත ව්‍යප්තිය අතරතුර මෙවන් අති විශෘල තරගයක් පැවැත්වීම අභියෝගයක්ම විය. එහෙත් ඊශ්‍රායලය එම අභියෝගය සාර්ථකව ජය ගැනීමට සමත් විය.

ජයග්‍රහී හර්නාස්ට කිරුළු පැළඳවීම පසුගිය වසරේ කිරුළ දිනා ගත් මෙක්සිකෝවේ අන්ද්‍රා මේසා අතින් සිදුවූ අතර ඇය මේ වන විට හොලිවුඩ් සිනමාවට එක්ව සිටින්නීය.

වසර 2000 මාර්තු 3වැනිදා උපත ලබා ඇති හර්නාස් රූ රජින තරගයට එක් වීමට පෙර ඉන්දියාවේ මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කළාය. චන්දිගාර් හි ශවලික් පොදු පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඇය කුඩා කළ සිටම මෝස්තර නිරූපනයට මහත් කැමැත්තක් දැක්වූ බැවින් ඇගේ දෙමාපියෝ ඇයව එම ක්ෂේත්‍රයට යොමු කරවූහ. පසුව ඇය චන්දිගාර් කාන්තා පසලෙන් පශ්චාත් උපාධිය දක්වා අධ්‍යාපනය ලැබූ බවද ඇයගේ තොරතුරුවල සඳහන් වේ. ඒ තොරතුරු තාක්ෂණ විෂය අදාළ කර ගනිමිනි.

හර්නාස් පිළිබඳව පැතිර ගිය දැවැන්ත ඕපාදූපයක් වූයේ ඇය විවාහක කාන්තාවක් බවයි. ඇගේ පෞද්ගලික දත්ත පත්‍රිකාවලද ඇය විවාහක ලෙස සඳහන් වේ. එහෙත් ඇගේ සැමියා කවුරුන්ද යන්න පිළිබදව කිසිඳු තොරතුරක් දැන ගැනීමට නැත. එබැවින් සැබවින්ම ඇය විවාහකද යන්න තහවුරු කර ගැනීම අපහසු වී තිබේ. ඇයගේ පියා වන ප්‍රීතම්පාල් සිං සන්ධූ නම් වන අතර මව රබීන්ධර් ක්වූර් සන්ධූ නම් වේ. ඇය ප්‍රසව හා නාරි වෛද්‍යවරියකි. පියා සජීවිකරණ නිර්මාණ ශිල්පියෙකි. හර්නාස්ට එකම සහෝදරයකු සිටින අතර හර්නූර් සිං සන්ධූ නම් වන ඔහු සංගීතවේදියෙකි.

හර්නාස්ගේ උස අඩි පහයි අඟල් නවයක් වුවද ඇයගේ බර කිලෝග්‍රෑම් 50ක් පමණි. ඇය ඉතා දැඩි කැපවීමෙන් නිරූපණ ශිල්පියෙහි යෙදුනද ඇයගේ විනෝදාංශය වන්නේ ආහාර පිසීමයි. එබැවින් ඇය සැබවින්ම තමා පිසින ආහාර අනුභව කරන්නේද යන සැකය සියල්ලන්ටම පහළ වන බව නම් නිසැකය.

Comments