‘කැරපොත්තා’ එළවන්න ගිය සිකනොව්ස්කි වසර 18ක් හිරේට | සිළුමිණ

‘කැරපොත්තා’ එළවන්න ගිය සිකනොව්ස්කි වසර 18ක් හිරේට

 

බෙලරූස් ජනාධීපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ දේශපාලන විරුද්ධවාදියා වන සර්ගේයි සිකනොව්ස්කි හට එරට අධිකරණයක් මගින් වසර දහඅටක සිර දඬුවම් නියම කර තිබේ. ඔහුගේ නඩුව විභාග කරන ලද්දෙ දොරටු වසා දැමුණු උසාවියකින් බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. සර්ගේයි සිකනොව්ස්කි සිරගත කෙරුණේ 2020 මැයි මාසයේ සිටය. ඔහු 2020 වසරේ අගෝස්තු මාසයේ පැවති බෙලරූස් ජනාධිපතිවරයාහට ඉදිරිපත් වූ අතර ස්වාධීන සහ සාධාරණ මැතිවරරණයක් පැවැත්වෙන්නේ නම් ඔහුගේ ජයග්‍රහණය අනිවාර්ය බවද ප්‍රකාශ විය.

 

දශක දෙකකට ආසන්න කාලයක් පුරා ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බෙලරූස් පාලනය කරමින් සිටින අතර ඔහු පවත්වන මැතිවරණද දූෂිත බවට එරට ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබේ.

පසුගිය මැතිවරණයේදී සර්ගේයි සිකනොව්ස්කිගෙන් ඔහුට එල්ල වූයේ විශාල තරගයකි. එම මැතිවරණ සටන පුරාවටම සර්ගේයි ලුකෂෙන්කෝ හැඳින්වූයේ ‘කැරපාත්තා‘ වශයෙනි. ඔහුගේ මැතිවරණ තේමා පාඨය වූයේද ‘කැරපොත්තාගෙන් මිදෙමු‘ යන්නයි. ඔහුගේ මැතිවරණ රැළිවලට සහභාගී වූ ජනතාව පාවහන් ලෙළවමින් ‘කැරපොත්තා පන්නමු‘ යනුවෙන් කෑ ගැසූහ. මැතිවරණ විචාරකයන්ගේ අදහස වූයේ සිකනොව්ස්කි ඉතා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරණු ඇති බවයි.

එහෙත් මහජන නීති උල්ලංඝනය කළේය යන චෝදනා මත සර්ගේයි සිකනොව්ස්කි 2020 මැයි මාසයේදී අත්අඩංගුවට ගැනුණී. ඔහුට ඇප දීමක් හෝ සිදු නොකෙරුණු අතර අගෝස්තු මස පැවැත්වූ මැතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අති විශාල ජයග්‍රහණයක් වාර්තා කර තිබිණි. බෙලරූස් ජනතාව වීථි බසිමින් දිගින් දිගටම චෝදනා කර සිටියේ මැතිවරණය දූෂිත බවයි. එහෙත් ඒ සම්බන්ධව පසු විපරමක් කිරීමට හෝ කිසිඳු අදහසක් ජනාධිපති ලුකෂෙන්කෝ තුළ නොවීය.

වසරකටත් වඩා වැඩි කාලයක් අත්අඩංගුවේ පසුවූ සර්ගේයි සිකනොව්ස්කි පසුගියදා පැවැත්වුණු නඩු විභාගයෙන් පසුව වසර 18ක් සඳහා සිර දඬවම් ලැබුවේය. දැන් ඔහුගේ බිරිය ඔහු වෙනුවෙන් සටනට පිවිස සිටින අතර ඇය පවසන්නේ ඔහු වෙනුවෙන් දේශපාලනයේ නිරත වන බවයි.

“මගේ සැමියාගේ දේශපාලනයට සහය දක්වන මිලියන ගණනක් බෙලරූස් ජනතාව වෙනුවෙන් මම දේශපාලන පොරපිටියට පිවිසීමට තීරණය කළෙමි“ සිකනොව්ස්කිගේ බිරිය ස්වේත්ලානා සිකනොව්ස්කයා තම සැමියා නඩු තීන්දුව ප්‍රකාශයට පත් වූ අවස්ථාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියාය. සිකනොව්ස්කි වසර දහටක සිර දඬුවම් විඳීමෙන් යළිත් දේශපාලනයට පිවිසෙන තෙක් ඔහුගේ සටන ඉදිරියට ගෙන යෑමට දැන් ඇයට සිදු වනු ඇත. ඉදින් ඇයට හෝ මේ ‘කැරපොත්තා‘ එළවා දැමීමට හැකියාව ලැබේදැයි බෙලරූස් ජනතාව බලාසිටිනු නොඅනුමානය.

Comments