ඒ 2017 වර්ෂයේ දිනකි. එවකට 39 හැවිරිදි වියේ පසුවූ සෙල්වා හසන් දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙමින් සිටියාය. ඒ වන විට ඇය ඇයගේ සිඟිති දියණියට උපත ලබා දී මාස 18ක් ඉක්ම ගොස් තිබූ අතර දැනට මාස හයක පමණ කාලයක සිට දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවකින් පීඩා වින්දාය. එදින ඇයට වඩාත් අපහසුතා දැනෙමින් තිබුණි. ඇය ඉතාම අපහසුවෙන් තම මෝටර් රථය ධාවනය කරමින් ආසන්නයේ පිහිටා තිබූ තම දෙමාපියන්ගේ නිවසට පැමිණි අතර ඇයගේ දෙමාපියෝ වහාම ඇය රෝහල් ගත කිරීමට කටයුතු යෙදූහ.
ඇය සොයා රෝහලට පැමිණි ඇයගේ සැමියා වන අල්ට දැන ගැනීමට ලැබුණේ සුභ ආරංචියක් නම් නොවේ. ඇයගේ හෘදය අක්‍රිය වීමට ආසන්නයේ තිබූ අතර ඉක්මනින්ම ඇයට හදවතක් බද්ධ කිරීමට නිර්දේශ කර තිබිණි.
ඒ වන විටත් හෘදය සැත්කමක් කිරීමේ අවස්ථාව මග හැරී තිබූ අතර බද්ධ කිරීම සඳහා හෘදයක් සොයා ගන්නා තුරු ජීවත් වීම සෙල්වාට අභියෝගයක් විය. ඇය ඇතුළත් කළ මනා පහසුකම් තිබූ බ්‍රිතාන්‍යයේ හරේෆීල්ඩ් රෝහලේ වෛද්‍යවරුන් ඇයගේ පවුලේ සාමාජිකයන්ට වරණයක් ඉදිරිපත් කළහ. ඒ ඇයට කෘත්‍රිම හදවතක් බද්ධ කිරීමයි. ඒ වන විට ඇමරිකාවේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද කෘත්‍රිම හදවත් රෝහල සතු වූ අතර, 2011 වසරේදී 50 හැවිරිදි පුද්ගලයකුට මේ හදවතක් බද්ධ කරන ලදුව ඔහු ඉතා නිරෝගී සුවයෙන් ඒ වන විටත් කල් යවමින් සිටියේය.
එබැවින් රෝහලේ යෝජනාව සම්බන්ධව දෙවරක් නොසිතූ සෙල්වාගේ සැමියා අල්, සෙල්වාට කෘත්‍රිම හදවතක් බද්ධ කිරීමට අවසරය ලබා දුන්නේය.
ඒ අවසරය සමගින් මෙතෙක් කල් රෝගීව හෝ සෙල්වාව ජීවත් කළ ඇයට උපතින්ම ලැබුණු හෘදය වස්තුව ඇයගේ ශරීයෙන් ඉවත් කළ වෛද්‍යවරු ඒ වෙනුවට ඇයට කෘත්‍රිම හදවත බද්ධ කළහ.
මේ කෘත්‍රිම හදවත ක්‍රියා කරන්නේ බැටරියෙනි. ඒ බැටරිය බෑගයක බහා වෙනම රැගෙන යා යුතුය. බැටරිය හා හෘදය භාවිතා කරන්නාගේ ශරීරය මහත බට දෙකක් මගින් සම්බන්ධ වේ. මේ බට දෙක ශරීරයේ නාභිය හරහා හෘදයට සම්බන්ධ කෙරෙන අතර එහි කෙළවර කෘත්‍රිම කුටීර දෙකකි. මේ කුටීර දෙක බැටරිය මගින් ලබා දෙන බලය හේතුවෙන් වරින් වර වාතයෙන් පිරී යයි. එවිට එය ක්‍රියාකරන්නේ හෘදයේ කුටීර මෙනි. එළෙස පිම්බෙන හැකිලෙන හෘදය කුටීර හේතුවෙන් සිරුර පුරා රැධිර සංසරණය සිදු වේ. රුධිරයද පවිත්‍ර වේ. එහෙත් සෑම විටම ශරීරය හා සම්බන්ධ කෙරෙන බට දෙක සහ බලය ලබා දෙන බැටරිය රෝගියා සමගම තිබිය යුතු අතර යම් හේතුවකින් බැටරිය අක්‍රිය වීමක් සිදු වේද යන අවිනිශ්චිතතාව පවතින බැවින් සෑම විටම අමතර බැටරියක්ද හෘදය භාවිත කරන පුද්ගලයා අසල පැවතිය යුතුය.
බැටරිය අක්‍රිය වීමකදී තත්ත්පර අනූවක් තුළ දෙවැනි බැටරිය සම්බන්ධ කළ යුතු අතර ඒ සඳහා රෝගියා අසල සෑම විටම ඒ සඳහා දැනුම සහිත පුද්ගලයකුද සිටිය යුතුය. සෙල්වා සම්බන්ධව මේ සියලු වගකීම් ඇයගේ සැමියා වන අල් පවරා ගත් අතර සියලු දෙනාගේ කැමැත්තෙන් පවුම් 86,000ක් ලෙස මිල නියමව තිබූ කෘත්‍රිම හදවත සෙල්වාට සම්බන්ධ කෙරිණි.
එය පැය හයක් දක්වා දීර්ඝ වූ අති බැරූරුම් සැත්කමක් විය. එහෙත් බ්‍රිතාන්‍යයේ චිර ප්‍රසිද්ධ හරේෆීල්ඩ් රෝහල් කාර්ය මණ්ඩලයට එය සාර්ථකව ඉටු කිරීමේ හැකියාව විය. එබැවින් සෙල්වා යළිත් ඉක්මනින්ම තම සාමාන්‍ය දිවි පෙවෙතට එළඹියාය.
ඇය සෑම විටම තම ජීවිතය පවත්වා ගැනීමට බලය ලබා දෙන බැටරිය උසුලාගෙන සිටිය යුතු විය. බැටරියේ සිට නාභිය ඔස්සේ ශරීරයට ඇතුළුව වාතය මගින් හෘද කුටීර පුරවන බට දෙකද ශරීරයෙන් බැහැරට දිස්වීමද වැළැක්විය නොහැකිය. අමතරව සෑම මොහොතකම අමතර බැටරිය තමන් අසල තබා ගත යුතු වන අතර ඒ බැටරිය ක්ෂණිකව සවි කිරීමට දැනුම ඇති පුද්ගලයකුද සෑම මොහොතකම රෝගියා අසල සිටිය යුතු විය.
ඒ සියල්ල කෙසේ වුවද සෙල්වි ජීවතුන් අතර සිටීම ආශ්වාදය කළාය. ඇයගේ පස් හැවිරිදි පුතු සහ මාස දහඅටක් වයසැති කුඩා දියණියට මවගේ ආදරයද නොඅඩුව ලැබීමට හේතුව මේ කෘත්‍රිම හෘදයම විය. යන යන තැන ඔසවාගෙ ගියද අන් අයගේ අනවශ්‍ය අවධානය ඒ හේතුවෙන් නොඅඩුව ලැබුණද සෙල්වාට නම් කෘත්‍රිම හෘදය ආශිර්වාදයක්ම විය. ඇය මේ වන විටත් ඉතා නිරෝගීව ජීවත් වන අතර මේ වන විට ඇයගේ අමතර බැටරිය හෝ ශරීරයෙන් බැහැරට දිස්වන බට කිසිවකුටත් අමුතු හැගීමක් ගෙන දෙන්නේ නැත. ඒ වෙනුවට සියලු දෙනා අගය කරන්නේ ඇය ඉතා නිරෝගීව ජිවත් වීම පමණක්මය.
“තමාට වෙනදාට වඩා ශක්තිමත් බවක් දැනෙන බවත්, වඩා නිරෝගී බවක් දැනෙන බවත් පවසන සෙල්වා හසන් වැඩිදුරටත් පවසන්නේ තම දරුවන් සහ සැමියා සමග තවත් කාලයක් ජිවත් වීමට අවස්ථාව ලැබීම ගැන තමා ඉතා ප්‍රීතියට පත්වන බවයි.
සැබවින්ම මිය යමින් සිටින පුද්ගලයකුට අවයව බද්ධයෙන් ජීවිතය ලබා දීම විශ්මකර්මයක්මය. එහෙත් මිනිස් අවයව ලබා ගැනීම ඉතා දුශ්කර වනවා සේම එය අහිසංකයන් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන තත්ත්වයක් දක්වා ව්‍යප්තව ඇති පරිසරයක කෘත්‍රිම අවයව බිහි වීම බෙහෙවින් අගය කළ යුතුය. එමෙන්ම එම කෘත්‍රිම අවයව භාවිත කිරිමට තරම් නිදහස් මනසක් සහ විවෘත අදහස් අහිත පුද්ගලයන් හමුවීමද බෙහෙවින්ම අගය කළ යුතුය.