කාලෙන් කාලෙට නත්තල් සම්ප්‍රදායන් ඇරඹුණේ මෙහෙමයි | සිළුමිණ

කාලෙන් කාලෙට නත්තල් සම්ප්‍රදායන් ඇරඹුණේ මෙහෙමයි

 

නත්තල් උත්සවය කියනනේ ලෝකයේ සෑම රටකම පාහේ කුඩාවට හෝ සැමරෙන උත්සවයක්. නත්තල සමරන්න කතෝලික භක්තියක් වීම හෝ නොවීම වැදගත් සාධකයක් වන්නේ නැහැ. ජේසුතුමාගේ උපත සිහිපත් කෙරෙන මේ උත්සවය ලොකු කුඩා සැමට ප්‍රීතිය ගෙන දෙන අවස්ථාවක්. ඒත් සැබවින්ම නත්තල් උත්සවය සැමරීම ආරම්භ කෙරුණේ කොහොමද?

 

අද ලෝකයේ වර්ෂ ගණනය සිදු වන්නේ ජේසුතුමාගේ උපත පදනම් කර ගනිමින්. ජේසුතුමාගේ උපතට පෙර ක්‍රිස්තු පූර්ව ලෙසත්, එතුමාගේ උපතේ සිට ක්‍රිස්තු වර්ෂ ලෙසත් හඳුන්වනු ලබනවා.

කොහොම වුණත් ජේසුතුමාගේ උපත පිළිබඳව විස්තර ලියෙන්නේ එයින් වසර 221කට පසුව කියලා තමයි වාර්තාවල සඳහන් වන්නේ. ඒ පිළිබඳව සඳහනක් ප්‍රථමයෙන්ම හමුවන්නේ බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේදී.

ඒ අනුව ජේසුතුමාගේ උපත දෙසැම්බර් මස 25වැනි දින සිදුවූ බවට ප්‍රකාශ වුවත් එයත් සැක සහිත බවයි කියවෙන්නේ. එම දිනය කිසිඳු ලියවිල්ලක තහවුරු කොට නැහැ.

කෙසේ වුවත් රෝම අධිරාජ්‍ය සමයේදී දෙසැම්බර් 25වැනිදා ක්‍රිස්තු උපත සිදුවූ දිනය ලෙසින් ප්‍රබල ලෙස පිළිගනු ලැබුවා. ඒ අනුව ඔවුන් මේ දිනය සැමරීම ආරම්භ කළ බව තමයි ඉතිහාසයේ සඳහන් වී තිබෙන්නේ.

ඔවුන් එකල නත්තල හඳුන්වා තිබෙන්නේ හිරුගේ යළි උපත සහ පුත්‍රයාගේ උපත සිදුවූ දිනය වශයෙන්.

මේ අන්දමින් ජනතාව දෙසැම්බර් 25වැනි දින ජේසුතුමන්ගේ උපත සැමරීම සිදු කිරීම අඛණ්ඩව පවත්වාගෙන ආවා. ඒ ගමනේදී ක්‍රමිකව නත්තලේ නොයෙක් අංග මේ සැමරීම් අතරට එක් වුණ බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. උදාහරණයක් විදිහට නත්තල් ගස කියන සංකල්පය මිනිසුන අතරට ආවේ 1494දී පමණ බවයි පැවසෙන්නේ. එහිදී මිනිසුන් තම නිවෙස් තුළ ‘ෆර්‘ ගසේ අතු කැබැල්ලක් රඳවා තැබීමට කටයුතු කර තිබෙනවා. පසුව මේ ෆර් අතු කැබැල්ල නත්තල් ගස දක්වා විතැන් වී වර්ධනය වූ බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. වර්ෂ 1605දී ප්‍රථම වරට මේ ෆර් අතු කැබැල්ල ඇපල් ගෙඩිවලින් සැරසිලි කළ බවට ලිඛිත ලේඛන පවතින බව කියැවෙනවා. 1611දී නත්තල් ගස හෙවත් ෆර් අතු කැබැල්ල ප්‍රථම වරට දල්වන ලද ඉටිපන්දම්වලින් සැරසිලි කර තිබෙනවා. මේ සැරසිලි කිරීම වැඩි වශයෙන් සිදුවී තිබෙන්නේ උතුරු ඇමරිකාවේ බවත්, පසුව එය යුරෝපයටද පැතිර ගිය බවත් කියවෙනවා.

අද වන විට නත්තලට පෙර දින සැඳෑව ලෝකය පුරා ඉතා විශේෂ දිනයක් ලෙස සලකා සමරනු ලබනවා. නත්තල් දිනය මෙන්ම නත්තලට පෙර දිනය, එනම් දෙසැම්බර් මස 24වනදා සැඳෑවත් කතෝලික, ක්‍රිස්තියානි ජනතාවට සුවිශේෂයි. කොහොම වුණත් මේ නත්තලට පෙර දින සැඳෑව විශේෂ කොට සැලකීම ආරම්භ වන්නේ 19වැනි සියවසේදී බව පැවසෙනවා. එහෙත් මේ සැමරීමේ මුල් 16වැනි සියවස දක්වා විහිදී ගොස් තිබූ බවත් හඳුනා ගත හැකි ලේඛන පවතිනවා.

නත්තල් දිනය නිවාඩු දිනයක් සේ සැලකීම 17වැනි සියවසේ දී මුල්වරට ක්‍රියාත්මක වූ බවක් තමයි වාර්තාවල සඳහන් වන්නේ. පසුව එය ලොව පුරා පැතිර ගොස් තිබෙනවා. 18වැනි සියවසේදී නත්තල පදනම් කරගනිමින් එකිනෙකා තෑගි හුවමාරු කර ගැනීම ආරම්භ වූවා. නත්තල යනු පරිත්‍යෘගයේ දිනය බව එයින් අදහස් වන බව පැවසෙනවා. ජේසුතුමා ලෝකවාසීන් වෙනුවෙන් කරන ලද කැපකිරීම හුවාදක්වනු වස් එකිනෙකා අතර තෑගි බෙදා ගැනීම ආරම්භ කර තිබෙනවා. අද වන විට එය ලොව පුරා රටවල ජනතාව අතර සිදු කෙරෙන සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. මේ නත්තල් සම්ප්‍රදායන් අතරින් බොහොමයක් උපත ලබා තිබෙන්නේ ඔස්ට්‍රියාවේදී. නැතහොත් ජර්මනියේදී. පසුව එම සම්ප්‍රදායන් ලොව සෙසු රටවල ජනතාව අතරටද වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

අද අපි සමරන නත්තල උපත ලබා තිබෙන්නේ මේ අන්දමින්. අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් නත්තලට තවත් අංග ඉදිරියේදී එකතු වේවි. පසුව ඒවා සම්ප්‍රදායන් බවට පත් වේවි. ඉතින් ඒ සියල්ල නත්තල තවතවත් ලස්සන කරන බවට නම් සැකයක් නැහැ. ඒ පිනිමුවන් බැඳි කරත්තයක නැගී, සීතල හිම වැටෙන රාත්‍රියේ නත්තල් සීයා තෑගිත් රැගෙන රහසේම අපේ ගෙවල්වලට එන නත්තල් දිනයට ලෝකයේ හැමෝම එක වගේ කැමැත්ත දක්වන නිසා.

Comments