පළමු නිර්මාණකරුවා විශිෂ්ටයි; කොපි කිරීම ලේසියි | Page 3 | සිළුමිණ

පළමු නිර්මාණකරුවා විශිෂ්ටයි; කොපි කිරීම ලේසියි

යෞවනයේ මිහිරියාව තව තවත් ඔපවත් කරන්නේ දෙහදක ආදරයයි. ඒ ආදරයට උපමා උපමේය බොහෝ ය; විටෙක දුක්බරය. වියපත් වුව ද යෞවනයේ විඳි ආදරය මතකයට නැගෙන්නේය. ආදරය ගැන එවන් සටහනක් තවන්නේ යොවුන් ආදරයේ චමත්කාරය පාඨකයන්ට තියෙන ජනප්‍රිය ලේඛිකාවකගේ නවතම කෘති කිහිපයක් පිළිබඳව පුංචි සටහනක් තබන්නට ය. ඇය රමණී බුලත්සිංහලයි. ඇය ලියූ ආදරය ආදර කතා පාඨකයන් ආදරයෙන් වැළඳගත් අතර එයින් ඔබ්බට ගොස් ඇය පළ කළ බාබාරා කාරට්ලන්ගේ The Tears Of Love කෘතිය ඇතුළු කෘති කිහිපයක අනුවර්තන පාඨක හද දිනා ගන්නා ලදී. මේ වන විට ඇය පළ කළ නවකතා ගණන 82කි. මේ ඇය සමඟ සිළුමිණ පුන්කලස වෙනුවෙන් කළ සංවාදයකි.

ඔබ නවකතා ලිවීමට පිවිසුණු ආකාරය?

ලිවීම මගේ විනෝදාංශයක් වුණේ අවුරුදු දහයේදී සිට. පළවෙනි නවකතාව ලිව්වෙත් අවුරුදු 10දි. ඒ 1964දී. එය මොනිටර් එක්සයිස් පොත් තුනක ලියවුණු කතාවක්. එලෙස ලියූ තව කතා දෙකක් නැතිවුණා. ඉන්පසුව මම පිටු අසූවේ පොතක් ලියන්න පටන් ගෙන තිබුණා අවුරුදු පහළොවේදි. එය එතනින් නිම වුණා. ඒ කතා කියවපු දවස පුවත්පතේ එකල සේවය කළ ආරියරත්න විතානාච්චි මහතා මට පත්තරවලට ඒවා යවන්න කියා ලිපින කිහිපයකුත් දුන්නා. ඒත් ඉගෙනීම ඇරෙන්නට ඒවා කරන්නට එකල මට අවශ්‍යතාවක් තිබුණේ ම නෑ.

ඉන්පසු 1999 වසරේදි, එවකට මගේ දියණියටත් අවුරුදු දොළහක්. මම ලියපු කුඩා පිටු අසූවේ පොත මට ආයෙත් ලැබුණාම මං එය කාර්යාලයට ගෙන ආවා. එය කියැවූ පොත් කියවන මගේ එවකට වරාය අධිකාරියේ සැලසුම් ශිල්පී ශාඛාවේ මිතුරියන් සියලු දෙනාම එය හොඳ කතාවක් බව කීවා. දීපිකා සුබසිංහ මගේ මිතුරිය උදය හවා මං ළඟින් වාඩි වෙලා කියවන්න ගත්තා ඒ පොත නිම කරන ලෙස. ඇයගේ කරදරය නිසා මෙන්ම මගේ සිතේ සැනසීමක්ද ගැනීමට තමයි මම ඒ පොත නිම කරන්නට සිතුවෙ. දිගින් දිගට ලියැවුණු පොත ශාඛාවේ මිතුරියන් අතර වගේම ඒ දිනවල සාමාන්‍ය පෙළ පන්තියේ සිටි මගේ දියණියගේ මිතුරියන් සියලු දෙනාම එකලෙස රස විඳි බව දැනගනිද්දී මම තවත් එලෙසම කතා කිහිපයක් එක්සයිස් පොත් අතරට මුසු කළා.

ඉන්පසුව මං දයාවංශ ජයකොඩි සමාගම මගින් පැවැත්වූ තරගයකට කතාවක් ලියන්නට පටන් ගත්තා. එය බොහෝ දිගින් වැඩිවූ නිසා මං පළවෙනි කොටස එයට ඉදිරිපත් කළා. තරගයෙන් දිනුවේ නැතත් එහි තිබුණු ලකුණු ප්‍රමාණය මගේ සිතට දහිරියක් එක් කළා. ඉන්පසුව මා සිතුවේ පොත් අතර ඇති දේ මුද්‍රණය කරන්නට. ලියූ නවකතාවක කොටසක් රැගෙන ගියවිට ඔවුන් කීවේ ඒවා හොඳ නමුත් ඔවුන් පුවත්පත්වලට ගන්නේ ජනප්‍රිය වියත් ලේඛකයන්ගේ කතා බව. ප්‍රකාශන සමාගම් කිහිපයකට ගිය විට කීවේ ඔවුන් මුද්‍රණය කරන්නේ පුවත්පත්වල පළවුණු නවකතා පමණක් බවයි. ඒවාට මා රැගෙන ගියේ සිසිල් රුද්‍රිගු නම් කෘතහස්ත ලේඛකයා. ඔහුත් වැඩ කළේ එවකට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාෂා පරිවර්තකයකු ලෙසින්. මමත් වැඩ කළේ එහි සැලසුම් ශිල්පිනියක ලෙසින්. මම පොත් මුද්‍රණය ගැන සිතින් අත් හැරියේ යම් දිනයක මට හැකියාවක් ආවොත් පොතක් මුද්‍රණය කරන්නට සිතමින්.

රෝලන්ඩ් ඒ ප්‍රනාන්දු මහතා මට හමුවූයේ එඩ්වඩ් ජයකොඩි මහතාගේ සංගීත පියැස්සේදී. එහි කලා කටයුතු වලට සම්බන්ධ වී සිටි රත්නායක සොහොයුරා මම එක්සයිස් පොත් අතරට මුහු කළ නවකතා ලියන බව දැනගත් දිනයක රෝලන්ඩ් මහතා ඉදිරියට මාව ගෙන ගියා. පොතක් ගේන්න... කීවේ එතුමා... දින ගණනකට පසු මම පොත් දෙකක්ම එතුමාට ගෙන ගියා. ඒ තාරුකා පොතත්... මා අවුරුදු දහයේදී ලියූ, මේ කාලයට සරිලන අයුරින් සාදාගත් 1964දී ලියූ තුසර බින්දු අනික් පොතත්... තාරුකා පොත ප්‍රකාශනය කරන්නට එතුමා බාරගත් බව මට දැන්වූයේ සුනිල් නැමැති එහි වැඩ කළ අනික් සොහොයුරායි. මගේ ලියැවී තිබුණු පොත් මෙන්ම ඉන්පසු අලුතෙන් ලියා නිම කළ නවකතා තිස් පහක් 2004 සිට 2010 දක්වා එක දිගට මුද්‍රණද්වාරයෙන් නිකුත් කළේ රෝලන්ඩ් ඒ ප්‍රනාන්දු මහතා තාරක ප්‍රකාශන යටතේ. ශාන් ප්‍රකාශකයන්ගෙන් පොත් දෙකක් නිකුත් වුණා. එතුමා මිහිදන්වූ පසු ඒ සියලුම පොත් දැන් නිකුත් වෙන්නේ නිම්සා ප්‍රකාශන යටතේ.

ආදර කතා ලිවීම අමාරු කාර්යයක්ද...?

ඒක ටිකක් කියන්න අමාරුයි. අපි මෙලොවට ආ දා පටන් ම වැඩෙන්නෙ ආදරය ඇසුරෙන්. මට මවගේ පියාගේ වගේම සීයාගේ ආදරයත් නොඅඩුව ලැබුණා. සීයා හොඳට කවි ලිව්වා. ඒත් ඒවා පළ වුණේ නෑ. මං ඒවායින් අභාසය ලැබුවා. ඒවායෙත් ගොඩක් වෙලාවට ආදරය ගැබ් වී තිබුණා. සීයා කවි ලිව්වේ මට. මිණිබිරියට. ඒවගේම මල්ලි ගැන. මුණුබුරාට. ඉතින් ආදරය කියන එක ලැඛෙන කොට ආදරය ගැන කතා ගොතන්නට එච්චර අපහසුවක් එන්නෙ නෑ කියලා මං හිතනවා. අනික මගේ හිතේ අනික් අය ගැන තියෙන්නෙ ආදරයක්... සෙනෙහසක් හැම කෙනා ගැනම... දැන් මෙලොවේ නැති වුණත් මවට පියාට සීයාට සහෝදරයට ඒ වගේම මගේ නෑනාට ලේලියට මගේ දියණියට විතරක් නෙවෙයි. මා වටා ඉන්න හැමෝටම මං ආදරෙයි. ඒත් ඒ සෙනෙහස හා ආදර වල පැතිකඩ වෙනස්. මට වැරැද්දක් කළත් ටිකක් තරහක් ආවත් දෙවෙනි වර ඒ තරහා නැති කරගන්නවා. මට විසල් වැරැද්දක් කළත්, ඔහුටත් නොතේරුණාත්, මගේ සැමියාට පවා මගේ ආදරය අදත් හිමියි. ඉතින් මට ආදරය ගැන ලියන්න මහන්සියක් ගන්න දෙයක් නෑ...

ඔබ අනුවර්තන කිහිපයක්ද පළ කර තිඛෙනවා. ඒ සඳහා පෙලඹුණේ කෙසේද?

මං කාලයක් බාබරා කාට්ලන්ඩ්, ඩෙනිස් රොබින්ස්, රූබි එම් අයිරස්, මිල්ස් ඇන්ඩ් බූන්ස් වල නවකථා කියවන්න පෙලඹී සිටියා. ඒවා හරි සුන්දරයි; සරලයි. එවැනි කතා ඇත්තටම ලංකාවට ගැලපෙන විදියට ලියන්න පුළුවන් නං කියන අදහස මගේ තිබුණා. එක් පාඨිකාවක් මාත් එක්ක කථා කරද්දි මං මේ පොත්වල කතා ගැන කිව්වා. ඇය නීලමණී. ඇය තමයි කිව්වේ ඇයි ඒ වගේ කතා අපිට කියවන්න සිංහලෙන් ලියන්නෙ නැත්තෙ කියලා. ඇය කිහිප දිනක්ම කතා කරද්දි ඒ කතාව කිව්වා. මගේ හිතෙත් ඒකට කැමැත්තක් තිබුණ නිසා මං අනුවර්තිත සාහිත්‍යයට අත තැබුවෙ.

ඕනෑම දෙයකදී පළමු නිර්මාණකරුවා විශිෂ්ටයි; කොපි කිරීම ලේසියි. අනුවර්තනය කියවපු ඒ පළමු පොත් කියවපු දෙතුන් දෙනෙක්ම කීවේ ඒ නිර්මාණය ගැන නොකියා මං ඒ පොත් ඉදිරිපත් කළා නම් කවදාවත් ඒ නිර්මාණය කොපියක් විදියට හිතන්න බෑ කියලා. පළමු නිර්මාණකරුවාට හෝ කාරියට අගෞරවයක් කරනවා කියන්නේ මගේ පොතක් එලෙස වූවත් මට ඇතිවෙන වේදනාව ගැන මට දැනෙන නිසා. මං ඒ පොත් කතුවරියන්ට ආදරය කරන නිසා. එවැන්නක් ලියන්නට මට දහිරිය දීම ගැන සම්පූර්ණ ස්තූතිය යොමුවිය යුත්තේ නම් නීලමණීට.

පරිවර්තන සිදුකර තිඛෙනවාද?

මෙතෙක්ම නැහැ. පරිවර්තනයක් ලෙස නොවෙයි. අනුවාද ලෙසින් කතා කිහිපයක් ඉදිරිපත් කරන්නට සිතාගෙන සිටිනවා. පරිවර්තනයක් කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයේ හසල දැනුමක් අවශ්‍යයි. එවැන්නක් ලියන්නට ගියොත් මට අවුරුද්දකට එක පොතකට වඩා කරන්නට ලැඛෙන එකක් නෑ. එය සඳහා මම පොත් දෙක තුනක් තෝරාගෙන තිඛෙනවා. මගේ නවකතා කිහිපයකුත් වසරකට ඉදිරිපත් කළ යුතුයි. ඒ මමත් ආදරය කරන, මට මෙන්ම මගේ පොත් වලට ආදරය කරන සහෘදයන් පිරිසක් සිටින නිසා. ඔවුන්ට මා ගෞරව කරන්නට හැක්කේ වසරකට පොත් කිහිපයක් දීමෙන් කියා මම හිතන නිසා., .

ඉදිරියේදීත් ඔබ අතින් තව තවත් ආදර කතා බිහිවේවි ද?

මේ වසරෙදි මම ලියුව කිහිරඟුරු(1/2), ස්වේතා, රාජා රාණී නවකතා පාඨකයා ආදරෙන් වැළඳගත්තා. මගේ පොත් කියවන පාඨක සහෘදයන් ඉන්නා තාක් කල් මම නවකතා ලියන්නට කැමැතියි. ඒ කතා බොහෝ විට ආදරයක් හරහා, ඒත් ජීවිතයේ නොයෙකුත් පැති ගැන යම් අන්දමකින් මුහුකුරා ගිය සිතිවිලිවලට පාදකවූ නවකතා. ආදරය ගැබ් වුණත් ඒවා ආදර කතා ලෙසින්ම හඳුන්වන මිනුම් දණ්ඩ කුමක්දැයි දැනගැනීමට හැකියාවක් ඇත්තේ නම් හොඳයි. එය මගේ වගේම එවැනි පොත් පාඨකයන්ට ඉදිරිපත් කරන අනික් නවකතා කතුවර කතුවරියන්ටත්, ආධුනික කතුවර කතුවරියන්ටත් ඔවුන්ගේ නවකතා පෙළගැස්වීමට, පාඨක පාඨිකාවන්ට කියැවීමට හැකි සරල සුගම නවකතා බිහිවීමට හැකියාවක් දේවි.

මං එන වසරේ පා තබන්නේ හැටහය වියට. බලාපොරොත්තු එනවා යනවා. සමහර දේ හරියනවා; සමහර දේ නෑ. භෞතික සම්පත් ලෙසින් ඒවා සමහරවිට හරි යාවි. ඒවා එන එන හැටියට මං පිළිගන්නෙ. මගේ දුකට සැපට එක්වී මට මේ සියල්ලටම ධෛර්යයක් දුන් ආදරණීය දියණියට කරදරයක් නොදී, මට මේ ජීවිතයේත් ලැබී ඇති ශරීරයට දුක් නොදී, හුස්ම පොද යවන්නට ඇති බලාපොරොත්තුව තමයි මගේ ලොකුම ඉදිරි බලාපොරොත්තුව.

ඡායාරුප-සමන් ශ්‍රී වෙදගේ

Comments