කතාවේ අව­සානය එළැඹෙන විට චරිත මං කියන දේවල් අහන්නේ ම නෑ | සිළුමිණ

කතාවේ අව­සානය එළැඹෙන විට චරිත මං කියන දේවල් අහන්නේ ම නෑ

 

“යළි උපන් ගැහැනිය” නව කතාව රචනා කරමින් නවකතාකරණයට පිවිසි ශමෙල් ජයකොඩි මේ වන විට නව කතා දොළහක් රචනා කොට ඇත. ඒ බොහෝ කෘති සෑම සම්මාන උලෙළකම පාහේ නිර්දේශ කෘති වූ අතර “ප්‍රංශ පෙම්වතා” (2018) “වීනස්ගේ උපත (2019) යන කෘති ද්විත්වය ස්වර්ණ පුස්තක අවසාන වටය නියෝජනය කළේය. “කුමර කොබෙයි” ඇයගේ නවතම කෘතියයි. මෙහි පළවන සංක්ෂිප්ත සංවාද සටහන ඇයගේ නිර්මාණ පසුබිම මත පදනම් වේ.

 

ඔබ කතාවට ප්‍රවිෂ්ට වන්නේ කෙසේද?

හුඟක් වෙලාවට මම කතාවක් පටන් ගන්නෙ චරිත දෙක තුනක්, එහෙම නැතිනම් සිදුවීම් දෙක තුනක් එක්ක. ඒ වගේ දේවල් මගෙ හිතට ආවම මට හිතෙනව කතාවක් පටන් ගන්න ඕන කියල. එතකොට මට මුලදී තියෙන්නේ මේ සිදුවීම් කිහිපයයි; චරිත කිහිපයයි. ඒ වගේම අවසානය පිළිබඳ සැකිල්ල විතරයි. ඒ වෙලාවෙදි මම හිතනවා මෙය පොතක් හැටියට ලිවිය හැකි දෙයක් ද; ඒ වගේම පොතක් විදියට අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්කමක් තියෙනවද කියන එක. එමෙන්ම මෙය රසවත් කතාවක් ද ප්‍රබෝධවත් කතාවක් ද කියන අදහස ගැන මම හිතනවා. මෙන්න මේ සිතිවිල්ල හිතට ඇතුළු වුණාට පස්සෙ තමයි මම කතාව ලියන්න පටන් ගන්නේ.

මුල් අවස්ථාවේදී මට අමාරුයි. මොකද ඒ චරිත කිහිපයක් සිදු වීම් මාලාවක් මට අලුත් නේ. පොතේ පිටු 30ක් 50 ක් විතර ලියවෙද්දි මම ඒ චරිත අඳුර ගන්නවා. එතකොට මේ කතාවට රිද්මයක් එකතු වෙනවා. එහෙම වෙනකොට මට ලොකු පහසුවක් දැනෙනවා. මම කතාවට ප්‍රවිෂ්ට වුණා වගේ දැනෙනවා. ඇත්තටම ඊට පස්සෙ කතාව ගලාගෙන යන්නෙ ‍නොදැනුවත්වම වගෙ එහෙම වෙනකොට අමතර සිදුවීම් එයට එකතු වෙනවා. ඒ වගේම සිදුවීම් අතර ගැටුම් ඇතිවෙනවා. තවත් චරිත කතාවට එකතු වෙනවා. එහෙම ගලාගෙන යනකොට සමහර විට මම හිතපු නැති හරිම ආගන්තුක මැදක් නිර්මාණය වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම එහි අවසානය මං හිතුවට වඩා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම කතාවෙ අවසාන කොටස වෙනකොට නම් චරිත මං කියන දේවල් අහන්නෙවත් නැහැ. ඒ චරිත කතාව අල්ලගෙන ඉවරයි. එතකොට මං එළියට විසි වෙලා.

 

විප්‍රවාසි කල් ගෙවීම ඔබගේ ලේඛනය ඔපවත් වීමට බලපා ඇති ප්‍රබල සාධකයක් යැයි මම හිතනවා.

නැහැ. විප්‍රවාසීව ඉඳීම හැබෑ දුකක්; තමන්ගෙ රටින් ඈත් වෙලා ඉන්න එක සියයට සියයක් දුකක්. ඒ හින්දා මට එය හොඳක් වුණා. කියල මම හිතන්නෙ නැහැ. ඒ හු‍ෙදකලාව කිසියම් විදියකට පොතක් ලියන්න ඉඩ කඩ ලබාදුන්න කියල මම පිළිගන්නවා. ඒ හුදෙකලාවයි මහා වේදනාවයි එකතු වුණාම තමයි චරිතවලට පණ එන්නෙ. එහෙම වුණා කියල පිටරටක ඉදීම ලිවීම සඳහා මට උදව්වක් වුණා කියල සියයට සියයක් ම කියන්න බැහැ. මම රට අතහැරල ගියෙ කැමැත්තකින් නෙමෙයි. රැකියාව හොයාගෙන කොළඹ ඇවිල්ල ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙන්න බැරි කාලයක් උදා වුණා. ඒ හින්ද රැකියාවක් හොයාගෙන රට අත හැරල එන්න වුණා. ඊට පස්සෙ අනිත් දේවල් ලැබුණා. ඒ වුණත් තමන්ගෙ රට නැතිවීම කියන සාධකය නවත්වන්න බැහැ.

මම ලංකාවට ආව අනිත් අය කතා කරන දේවල් මට ඇහෙනවා. එතකොට මට හරි සතුටක් දැනෙනවා. හැබැයි ඒ කිසි දෙයකට මං කන් දෙන්නෙ නැහැ. අනුන්ගෙ දේවල්වලට කන් නොදීම තමයි මගෙ ගමනෙ සාර්ථකත්වය. විවිධ නිර්මාණකරුවො විවිධ දේ කියනවා; සාහිත්‍යකරුවො විවිධ දේ කියනවා. ඒ එකත්වත් මම ඔළුවට ගන්නෙ නැහැ. කෙනෙක් කියයි ඒක හිතුවක්කාරකමක් කියල. හිතුවක්කාරකම අපේ ජීවිතවල තියෙන වටිනා සාධකයක්. මේ ජීවිතය බොහොම වටින එකක්. ඒ නිසා අපි ගැම්මකින් යන්න ඕන කියල මගේ භාෂාවෙන් මම කියනවා. එහෙම කියන්න මට ආයෙත් වෙන කවුරුත් කියන දේ අහන්න ඕන නැහැ. එතැනදි මට කිසි කෙනෙක් ප්‍රශ්නයක් නෙමෙයි.

 

සංක්‍රමණිකයා යන්න ඔබේ කෘතිවල දක්නට ලැබෙන පොදු ලක්ෂණයක්...

එය හිතා මතා කරන දෙයක් නෙමෙයි. පොතක් ලියන්න අපව තල්ලු කරන්නෙ අපේ මනසෙ තියෙන ළඟ ම දේවල්. මං දැන් කාලයක් පුරා රටින් පිට හිටිය නිසා එය නොදැනුවත්ම මට බලපෑම් කරනවා ඇති. ඒ වගේම වෙනත් රටක ඉන්න සිංහල ප්‍රජාව වෙනත් තැනක අතහැර දාල ඉන්න නිසා පුද්ගලයෝ වශයෙන් ඔවුන් ගාව හරි අපූරු ගතිගුණ තියෙනවා. ඒ ගතිගුණ මාව හරියට කම්පනයට පත් කරනවා. ඒ නිසා ඒ චරිත ඇසුරින් එක පාරටම කතාවක් ගොතාගෙන යෑමට මම හරි කැමැත්තක් දක්වනවා. එය ඉබේ සිදුවන දෙයක්. හැබැයි ඉදිරියෙදී මට එහෙම නොලියා ඉන්න උත්සාහ දරනවා. මොකද එතකොට මම ආපසු ලංකාවට ගියා කියන හැඟීම ඇති කරවනවා.

වෙන රටක ජීවත්වෙන්න ගියහම අපිව හුඟක් වෙලාවට හුදෙකලා කරනවා. ඒ නිසා පොතක චරිතවලින් ආපසු ලංකාවට යනව කියන්නෙ ඒ හු‍ෙදකලාව මඟ හැරීමක්. එතකොට පොතේ ඉන්න චරිත එක්ක මම බැඳෙනවා. එහෙම වුණාම මම ජීවත්වෙන්නෙ ලංකාවේ. ඒක මට වාසියක් කියන්න බැහැ; හැබැයි එය වාසනාවක්.

 

“වීනස්ගෙ උපත” එවැනි උත්සාහයක ප්‍රතිඵලයක්.

එහිදී කථකයා කතාව කීමේ ක්‍රමවේදය අනිත් පොත්වලට වඩා ගැඹුරින් නිරූපණය කිරීමට මම උත්සාහ ගත්තා. කතාව කියන කෙනාගෙ කට හඬින් තමයි මම අනිත් චරිත කියවන්නෙ. ඊට පස්සෙ එයාගෙ කට හඬින්ම තමයි එයා සමාජය දකින හැටිත් කියවන්නෙ. ඒ නිසා මේ කට හ‍ඬෙහි ස්වරය තියාගන්න ලොකු උත්සාහයක් හරි තැනදී හරි තරමට මම ගත්තා.

මට ඕන ප‍ාඨකයා මාත් එක්ක ගමනක් යන්න. මං මේ අත්දැකීම් ලැබුවා. මේ අත්දැකීම් මට තියෙනවා. ඒ හැමදේම මාත් එක්ක රස විඳින්න එන්න කියල තමයි මට කියන්න තියෙන්නෙ. එහෙම නැතුව යමක් පහදා දෙන්නවත් කියාදෙන්නවත් නෙමෙයි.

“වීනස්ගෙ උපත” පොතේ එන මිණිමුතු කියන තරුණිය මුකුත් නැතුව ගෙදරකට එන්නෙ. නමුත් ඇයගේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමෙහිලා ඇය මුළු පවුලක් ම ප්‍රයෝජනයට ගන්නවා. හැබැයි ඒ කිසි කෙනෙක්ගෙ ජීවිත බිල්ලට දීල නෙමෙයි එහෙම කරන්නෙ. හැමෝගෙම ජීවිතත් ඇදගෙන තමයි ඇය ඒ ගමන යන්නෙ. මම කැමතියි අනිත් අය එක දකිනවට, තේරුම් ගන්නවට නෙමෙයි. මොකද සමහර අය ඒක තේරුම් ගන්නෙ ගොඩක් කල් ගිහිල්ලා. සමහර විට තේරුම් ගන්නට වුවමනාවක් නැතිවෙන්න පුළුවන්. විශේෂයෙන් ජීවිතය මේකයි කියල අවබෝධ කරගත් අයට එය අවබෝධ කරගන්න හෝ තේරුම් ගන්න වුවමනාවකුත් නැහැ. නමුත් එය දකින එ්කම ඇති.

 

“කුමර කොබෙයි” කෘතිය පිළිබඳවත් අපි ටිකක් කතා කරමු.

ඒ පොත මගේ අනිත් පොත්වලට වඩා ටිකක් වෙනස් කියන්නත් පුළුවන්. කිසිසේත්ම වෙනස් නැහැ කියල කියන්නත් පුළුවන්. මේ කතාව වයස අවු. 42ක කාන්තාවක් වටා ගෙතෙන වෘත්තාන්තයක්. විවාහ වෙලා දරු සම්පත් ලබන්න ඉතා ලොකු අපේක්ෂාවකින් ඉන්න කාන්තාවක්. නමුත් ඒක ඒ ආකාරයෙන්ම ඇයට අවශ්‍ය කාලෙදි සිදු වෙන්නෙ නැහැ. අවසානයෙ තමන්ට විවාහ වෙන්න ඉන්නවයි කියන මනමාලයා දකින්න තම මිතුරියක් එක්ක යන ගමනක් ගැන කියවෙන කතාවක්. මේ තරුණිය විවාහය අතපසු වෙච්ච හින්ද හරි කලකිරීමකට පත්වෙලා පසුගාමි ගතිගුණ තියෙන කෙනෙක්. ඒ වුණත් ඇය මිතුරියත් සමඟ යන මේ ගමන අතරමැද සිදුවන කතා බහත් එක්ක එයා ජීවිතය ගැන මෙන්ම ලෝකය ගැනත් ලොකු අවබෝධයක් ලබා ගන්නවා. ඒ තුළින් ජීවිතයට අලුත් ගැම්මක් ලබා ගන්නවා. එය ඇයට ලොකු ශක්තියක් ලබා දෙනවා. ඒ ගැහැනිය එය ඉබේ ලබන අතරෙ මං හිතනව එය කියවන කෙනාටත් තමන් ගැන ඒ ගැම්ම ඇති වෙන කියල. එය මටත් දැනෙනවා. එහි අවසානය විවෘතයි.

 

ඔබ නිර්මාණය කරන ලද චරිත ඒ ආකාරයෙන් ම පාඨකයා ග්‍රහණය කර ගත්තා යැයි ඔබට සිතෙනවාද?

නැහැ. මං හිතපු විදියට තේරුම් ගන්නත් පුළුවන්. එහෙම නැතුව මතුපිටින් මේක දකින අයත් ඉන්න පුළුවන්. නමුත් මම හිතනව කාට හරි එතැන දෙයක් තියෙන බව දැනෙයි කියල. එහෙම නැත්නම් මම හිතපු විදියට වඩා මම කිසි විටෙක නොදැක්ක සම්පූර්ණ වෙනස් දෙයක් දකින අයත් ඉන්න පුළුවන්. “වීනස්ගේ උපත” පොත කියවපු හුඟක් දෙනෙක් මට ලියල එව්ව ඒ පොත පුරාම තියෙන්නෙ මව ගේ කතාව කියලා. ඒක මං නොහිතපු දෙයක්. මොකද මං එතැන ප්‍රධාන චරිතෙට ගන්නෙ ඒ කතාව කියන තරුණයා හා තරුණියයි. පොත ලියලා ඉවරවෙලා පාඨකයො ඒක දකින ආකාරය දකින කොට මම ආයිත් සතුටු වෙනවා. ඒ නිසා මම ලියපු දෙය එහෙම නැත්නම් අදහස් කරපු දෙය. සියයට සීයයක් ඒ ආකාරයෙන් ම තේරුම් ගනී කියල මම හිතන්නෙ නැහැ. එය එක එක්කෙනාට ග්‍රහණය වෙන්නෙ එක එක ආකාරයට.

ඇත්තටම මම කැමති නැහැ කථාවකින් යම් කිසි දෙයක් පහදා දෙන්නවත් පාඩමක් ලෙස කිසි දෙයක් කියා දෙන්නවත් මට ඕන මගේ අත්දැකීම් පාඨකයන් සමඟ බෙදා ගන්න විතරයි. මාත් එක්ක ඒ කතාව රස විඳින්න විතරයි. මගෙ කතාවල චරිත කොහොම හරි ජීවිතෙ අල්ලගෙන යනවා. ඒ යන ගමනට ඔයාලත් එකතු වෙන්න කියල තමයි ම‍ට කියන්න ඕන. එතකොට එක එක මට්ටම්වලින් පාඨක‍යො ඒ චරිත තේරුම් ගැනීමට උත්සාහ කරාවි.

 

පාඨකයන් පිළිබඳ ඔබේ අදහස...

ඔවුන් පොතක් රස විඳින විදිය හරිම විවිධාකාරයි. පිරිසක් ඉන්නව පොතේ තියෙන ගැඹුරුම අර්ථයත් එක්ක ඉන්න. සමහර අය ඉන්නව පොතේ තියෙන රසයත් එක්ක ඉන්න. සමහර අය හරි කැමතියි පොතත් එක්ක කල්පනා ලෝකයකට ගිහිල්ල එතැන අතරමං වෙලා ඉන්න. ඒ වගේම මේ පාඨකයො බලාපොරොත්තු වෙන දේ හරි විවිධයි. ඒ නිසා කෙනෙක් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවත් දෝෂාරෝපණයක් කළත් මම දකිනව එහි හොඳ පැත්ත. මොකද ඒ ඔවුන්ගේ බලාපොරොත්තුව. ඒ බලා පොරොත්තු එකිනෙකට වෙනස්. අපි ජීවිත දිහා සුබවාදීව බලන්න ඕන. හැමදේටම දොස් පවර පවර ඉඳීම හරි නැහැ.

අපේ ජීවිතය සතුටින් තියාගන්න අඩු ගානෙ අපි පොතක් කියවල සතුටක් ලැබුවද කියල බලන්න ඕන. එයින් ජීවිතයට කිසියම් ගැම්මක් ලබාගත්ත ද කියල අපි බලන්න ඕන. අපේ ජීවිතෙ ලස්සන කරගන්න පොඩි පොඩි දේවල් තියෙනවා. එය අඳුරගන්න ඕන. නිර්මාණකරුවෝ වශයෙන් අපි එය හඳුන ගත්ත නම් අපේ වගකීමක් තියෙනව පාඨකයන් සමඟ එය බෙදා හදා‍ගන්න. ඒ තුළින් පාඨකයාගේ ජීවිතයට අලුත් ගැම්මක් ලබ‍ාදෙන්න. ඔවුන්ගෙ ජීවිතයට අලුත් පණක් දීල ජීවිතයට මුහුණ දෙන්න ධෛර්යයක් හා ආත්ම විශ්වාසයක් ලබා දෙන්න.

 

ඔබේ නිර්මාණකරණයත් එවැනි ආත්ම විශ්වාසය මත පදනම් වූවක්..

ඒක මගේම ගමනක්. සාහිත්‍ය ලෝකයට එකතු වීම ගැන මට සතුටක් තියෙනව. මුලදි මට ලොකුවට හිතුණ මම මෙතැනට ආගන්තුකයි මම මෙතැනට අයිති නැහැ කියලා. මොකද මම සාහිත්‍යය ඉගෙනගෙන තිබුණෙත් නැහැ. මට ක්ෂේත්‍රයෙ දන්න කියන කවුරුත් හිටියෙත් නැහැ. දැන් මට එහෙම විචිකිච්ඡාවක් නැහැ. ඒ වුණාට එහෙම කියල මට ලොකු ආඩම්බරයකුත් නැහැ. මට තියෙන ලොකුම සතුට තමයි ලංකාවට මගේ ජීවිතේ අහිමි වෙලා නැහැ කියන හැඟීම. මම පිටරක ජීවත් වුණත් මම මගේ පොතයි ඒකෙ ඉන්න චරිතයි එක්ක ජීවත් වෙන්නෙ ලංකාවේ.

Comments