කර්තෘ - සුනිල් ආරියරත්න
ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහෝදරයෝ
මිල - රුපියල් දෙසීයයි.
“සුනිල් ආරියරත්න, තමා හඳුන්වනු ලබන්නට කැමැත්තේ කවරකු හැටියට දැයි අපි නොදනිමු. මන්ද යත්, ඔහු සාහිත්‍යයටත්, කලාවටත් සම්බන්ධ විවිධ භූමිකාවන්හි හසළව පතළව සිටින හෙයිනි” මේ ඩබ්ලියු. ඒ අබේසිංහ නම් උත්තම විචාරකයාගේ “ගේ ය පද ලීලා” කෘතියෙන් උද්ධරණය කොට “ඇහි පිල්ලමක් අතර” යනු වෙන් නාම ගන්වා ඇති සුනිල් ආරියරත්නයන්ගේ අටවන ගේය පදමාලා සංග්‍රහයෙහි පසුවදනට යොදන ලද්දකි. පසුවදනෙහි ආරම්භක මේ වාක්‍ය ද්වය වසර හැට ගණනක් අතීතයට අප මනස රැගෙන යාමකි. “සියොතුන්ට රැකවල්” “ජීවිතය ගීතයක් වේවා!” “නරියා සහ මිදි වැල” සමඟ “සුසානය යාබද නිවස” වැනි අපූර්ව අත්දැකීමක් පාදක කොටගෙන විරචිත කෙටි කතාව නැවත අප මනස අවදි කළේය. ඔහු එකී ක්ෂේත්‍රයෙහි දිගටම නිමන්න වූවා නම්? වරක් ඔහු මුවින් පැවසූ පරිදිම තමන් විඳී සකල විධ අත්දැකීම් ගේය පදමාලා රචනයට උපයුක්තය. ඒ හේතුවෙන් අද්‍යතනයේ ඔහු මානවසිංහ පරම්පරාවේ ශ්‍රේෂ්ඨතමයා බවට පත්ව ඇති බව අවිවාදිකය.
“ඇහි පිල්ලමක් අතර ගේය පද මාලා සංග්‍රහයෙහි සංගෘහිත බොහෝ රචනා චිත්‍රපටය වූ කලී අධ්‍යක්ෂකවරයා ගේ කලාවයි. එහි රසෝද්දීපත උපාංග ඔහුගේ කාර්ය සාධනය සපුරා ලන්නක් විය යුතුය. ඒ බව මුළු මහත් සිංහල චිත්‍රපට ගීතාවලියෙහි සුවිශේෂී වූ නිර්මාණයකින් පැහැදිලි කළ හැකිය.
“මේ බජාර් එකට මල්ලී
අහසක් නෑ
පොළොවක් නෑ
ඇඩ්‍රස් නෑ
පට්ට පොරවල්
නෝන්ඩි වෙනවා
සිරා කරාලා
චාටර් වෙනවා
පොට් එක හිටිනං
වැඩ කිඩ බොක්කෙන්
අද ආතල් නං
හෙට චොර වෙද්දෙන්”
මේ ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ “ඇඩ්‍රස් නෑ” චිත්‍රපටයේ රූප රාමු තියුණු කිරීම උදෙසා සුනිල් ආරියරත්නයන් අතින් ලියැවුණු ගේය පදමාලාවක තැනින් තැනින් උපුටා ගත් පද කිහිපයකි. මෙවන් උත්තරීතර භාෂා ඥානයකට උරුමකම් කියන සුනිල් ආරියරත්නයන් අතින් මෙය ලියවෙතැයි සිතිය හැකි පද මාලාවක් ද? සිනමා ගේය කාව්‍ය රචනයෙහි පරිචයක්, ඔහු සිනමාකරුවකු වීමත් මෙවැන්නක් බිහිවීමට හේතු වූවාට නිසැකය.
මේ රචකයා විසින්ම අධ්‍යක්ෂණය කළ ‘විජය බා කොල්ලය” චිත්‍රපටය උදෙසා, ඔහුට විරචිත “සිංහල තෝනේ” ශ්‍රාවක සවන් සැනසූ තවත් ප්‍රබල ගේය පදමාලාවකි.
“තාප්ප - කලිසම් - සිදාදි - සඤ්ඤෝ
තෙම්පරාදු - මඤ්ඤොක්කා
පොල් සම්බෝල - පීකුදු බාල්දි
අරුමෝසම් - කොම්පඤ්ඤා
බොත්තම් - බස්කම් - තුප්පහි - කසාද
රඹුටන් - කේජු - පිපිඤ්ඤා
කෝප්ප - පීරිසි - තාච්චි - පෝච්චි
අලුකුත්තේරු - රතිඤ්ඤා”
මේ එහි අවසන් ඛාණ්ඩ දෙකයි. එය සහ මුලින්ම පෘතුගීසි භාෂාවෙන් සිංහලයට එක් වූ වාග් මාලාවකින් අවසන් කර ඇති බව පැහැදිලිය. සුනිල් ආරියරත්නයන් සතු චිත්‍රපට ගීත නිර්මාණයෙහි ප්‍රතිභාවට මීට වැඩි උදාහරණයක් තවත් අවශ්‍ය වේද? මේ රචකයා කිසිසේත් කාව්‍ය චෞරයකු නොවන බැවින් ගීතයෙහි ස්ථායි කොටස පරංගි බයිලා රචනයකින් උපුටාගත් බව සොරසිතකින් තොරව පවසා තිබේ. එය කොතරම් යහපත්දැයි මට හැඟුණේ මෑතක දී නැවත වරක් විමල් දිසානයක ගේ තුන්වන කාව්‍ය සංග්‍රමය වන “නර රකුසා” කෘතිය පරිශීලනය කිරීමේ දීය. “ක්‍රිස්ටීන්” නම් පැදි පෙළෙහි අවසන් පද ද්විත්වය ඒ උදෙසා මෙසේ දක්වමු.
“ඔබ දැකුමින් යළිත් වරක්
සිත් විය ජීවත් වන්නට
කප් කෙළ හිරු පායන තෙක්
සිටින්න අනුකම්පා කොට”
රාජ්‍ය සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩල සාමාජික සාමාජිකාවනි එකවර ඇතැම් නිර්මාණකරුවන් යයි ඔබ සිතාගෙන සිටින්නවුන්ට සම්මාන දෙකක් දීමෙන් නොනවතිනු මැනවි. ලබන වසරක සම්මාන සතරකින් සංග්‍රහ කිරීමට වග බලා ගත යුතුය. සුනිල් ආරියරත්නයන් උක්ත ගීතයෙහිදී පද ප්‍රතිභාවට සමීප කුසලතාවක් පළ කර ඇත්නම් ඒ අරිසෙන් අහුබුදු සූරීන්ම පමණකි. බොහෝ ගායක ගායිකාවෝ ගේය පදමාලා රචකයන්ගෙන් යොවුන් පෙම් ගී අපෙක්ෂා කරති. යොවුන් ප්‍රේමය පාදක කොටගෙන කෙතරම් ගී නිර්මාණ බිහි වුවත්, ප්‍රතිභාපූර්ණ නිර්මාණකාරකයාට, අපූර්වාකාරයෙන් එවන් නිර්මාණ බිහි කිරීමද අපහසු නොවේ. කලාකරුවා ගතින් වියපත් වුවත්, සිතින් මහලු නොවන හෙයින්ද, සුනිල් ආරියරත්නයෝ අදත් සුන්දර පෙම් ගී රචනා කරති.
“මහ හිමයේ නදී තෙරක
හිම පතනය ගලන තැනක
උණුසුම් වූ පොරෝනයක
ගුලි වෙන්නට නිහඬ රැයක
ඔබ එනවද මාත් එක්ක”
“මගෙ හසඟන පීනා යන්න ඉතින්
ගංගාවේ ඇති නැවතී සිටියා ඉවුරේ
අපි හමුවෙමු නිවනට නොගිහින් මතු ආත්ම භවයේ
යළි ඉපිද ඉපිද සංසාරේ”
සුබ රාත්‍රියක් වේවා
සුබ රාත්‍රියක් වේවා
ඔබේ සුදෝසුදු යහනට අද රෑ
මධු සඳ පායාලා
ඔබට සිසිල දේවා”
මේ දීපිකා ප්‍රියදර්ශනී හා ජයන්ත රත්නායක උදෙසා අපුර්වත්වය මුසු කොට සරළ වාක් මාලාවන්ගෙන් විරචිත ළගන්නා පෙම් ගී ත්‍රිත්වයක ස්ථායි කොටස් තුනකි. අමරදේව, නන්දා, කසුන් කල්හාර ආදීන් උදෙසා චිරංතන කාව්‍ය භාෂාව උපයුක්ත කොටගෙන විරචිත ගේය පදමාලා කිහිපයක් මෙහි ඇතුළත් ය.
“කාලින්දී ජල තලේ ගිලී
ශ්‍යාම වර්ණිත සිරුර දොවා
දිය කෙළියි ඔබේ ක්‍රිෂ්ණා
කොකුම් මැකෙයි වුජ සුන්දරියන්ගේ
එදෙස නොබලා සැනසෙන් රාධා”
“ස්නේහයේ චුම්බනය නළල මත වගුරුවා ආලිංගනය සුරස මතක පොත තුළ හොවා ප්‍රේම ආරාමයේ - කැණිමඬල බිම හෙළා චාරුතර වසන්තය නිමා කර ඔබ ගියා”
මේ භාෂා පරිචය පෙන්නුම් කළ රචකයෝ කෙදිනත් විරල වුහ. කේ. ඩී.කේ. ධර්මවර්ධන මෙහිදී අපේ මතකයට ළඟා වෙයි. පෙම් ගී යයි ආල අදෝනා වමාරන්නා වුනට මේවා පූර්වාදර්ශ විය යුතු බව ලියා තැබීමට ද අපි කිසිසේත් පසුබට නොවෙමු.
සිංහල, දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ රචනාවන්හිදී බොහෝ රචකයන් ගතානුගතික වුවත්, සුනිල් එහිදීත් අපුර්වත්වයට සිය රචනා වෙත කැඳවා ගනී.
“හිරුත් අලුත් - සඳුත් අලුත්
ගසුත් වැලුත් මලුත් අලුත්
බසත් ගමත් රසත් අලුත්
පැලත් ගමත් රටත් අලුත්”
“උක්දඬු දුන්න රැගෙන
මල්සර ගමට වඩින
දුටු දුටු යොවුනන් හට
මල් හී වලින් විඳින
මේ වසන්තේ”
“වී පිරිලා බිස්සේ
කිලුටු පොදක් නෑ කොස්සේ
කැවුම් කොකිස් උඩ මැස්සේ
මී කිරි නංගිගෙ හොස්සේ”
මේ ගී නිර්මාණත්‍රයක ඛණ්ඩ කිහිපයක් පමණකි.
ගතානුගතික සංකල්ප රූප නැවුම් පරිසරයක යෙදීමට රචකයා පෑ සමත්කමට කදිම නිදසුනක් වන්නේ “රන් සමනලයෙක්” මැයෙන් විරචිත රචනයයි. මේ එහි අවසාන ඛණ්ඩය පමණකි.
“විලෙන් පලා ගිය හංස යුවළ කෝ
විල ඇයගෙන් විමසයි
දෑතින් සිය ළැම මඬල වසාගෙන
විළියෙන් ඈ ඇඹරෙයි
කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ
මහනෙල ඇගෙන් අසයි
මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි.”
මෙය කොතරම් චමත්කාරයක් ශ්‍රාවක සිත් සතන්හි ජනනය කරන්නේද?
“ඇහි පිල්ලමක් අතර” ගේය කාව්‍ය සංග්‍රමයෙන් සුනිල් ආරියරත්නයන්ගේ ගේය කාව්‍ය රචනයෙහි කෘතහස්ත බව පමණක් නොව, සංගීත විශාරදත්වයක් අනුපමව විදහා දැක්වෙන බව නොකියා බැරිය. “ශංකර් ජායිකිෂන්ලාගේ සිංහල ගීත” නම් ශුද්‍ර විචාරයෙන් අප මෙතෙක් ස්වාධීනයැයි උත්තම යැයි සිතා සිටි නිර්මාණ සංගීතමය පක්ෂයෙන් කොතරම් අනු කාරකදැයි මින් නොමඳව පසක් කර ගත හැකිය. එය ද ඉතා උත්තම ක්‍රියා දාමයකි. ඔහු හැර කවරෙක් එය කරත්ද? ඔබට එයට වෙනම ස්තුතියක් හිමි විය යුතුය.
අවසාන වශයෙන් කිව යුත්තේ මෙවන් ගේය පදමාලා සංග්‍රහ කෙරෙහි කවුරුන් කවර දෘෂ්ටියක් හෙළුවත් මෙවන් කෘති තව තවත් බිහි විය යුතු බවයි. ශ්‍රාවක සවන් සනහන බොහෝ ගීත ගායනයට සීමා නොවී මෙලෙස සංගෘහිත විය යුතුමය. මෙවන් නිර්මාණ නැවත නැවත පරිශීලනයෙන් රස විඳීමේ මග ද නොඅනුමානව සහෘදයාට උරුම වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉදිරියේදී සොරකම් කෙරෙන තනු පමණක් නොව චෞර කාව්‍යයන් පිළිබඳව ද ඔබේ අවධානය යොමු වේවා.! ඔබ කරන මේ මහඟු කාර්යභාරය ඉන් සම්පූර්ණ වනවාද නිසැකය.